පින් තකා දන් දීම, දන් දිදී පින් දීම ගැන වූ ශ්‍රී ලාංකේය ආකල්පමය සංස්කෘතික රාමුව ද කරපින්නා ගෙන සේපියන්ස් ගොයියා ද ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය. ගුවනින් රැගෙන යා හැකි ඇඳුම් කැඩුම්, ලට්ට ලොට්ට කිලෝ තිහකට ආසන්න ප්‍රමාණය හැර, ගෙන යා හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ තබා ඉත සිතින් පිටත් වූයේ ඔස්ට්‍රේලියාවේ වූ සව්සිරිය සිතින් ආඝ්‍රාණය කරමිනි.
දින සති කිහිපයක් ඥාති නිවෙසක ලැගුම් ගෙන, ඔවුන්ගේ ජීවන රටාවට ද මහා බරක් දෙමින්, හිමින් හිමින් නිවෙසක් කුලියට ගෙන එහි පදිංචිය පිණිස ගියේ, අප නවතාගත් ඥාති මිත්‍රාදීන්ට ස්තුති කරනවාට වඩා දස අතේ පින් අනුමෝදන් කරමිනි. ස්තුති කළාට සේපියන්ස්ගේ හදවතට මදිය; දැනෙන්නේ නැතිය. එහෙත් ඔහු තුළ තිබෙන පෙර කී සංස්කෘතික රාමුව නිසා පින් දීම බරට දැනෙන්නේය.
මේ මහාද්වීපයේ යාන්තම් නිවෙසක් කුලියට ගෙන පදිංචි වන්නට ගියද ඇඳ, පුටු, මේස ආදියේ සිට වළං, පිගන් ඇඳ ඇතිරිලි ආදි කුදුමහත් බඩුමුට්ටු තොගයක් ආයෙම එක් රැස් කරගැනීම අත්‍යවශ්‍යය. අතේ තිබූ, ඩොලර් බවට පත්ව හිච්චිව ඉකිබිඳින ශ්‍රී ලාංකේය අභිමානවත් රුපියල් ඇසිපිය ගසමින් මුව ද විවර කරමින් බලා සිටින්නේ, ඒ සා විශාල බඩු භාණ්ඩ තොගයක් තියා, මේ සතිය දෙකවත් කාලා බීලා ඉන්නට, මේ සේපියින්ස් ගොයියාටත්, උන්දැගේ අඹුදරු කැලතටත් ඇති වෙයි දෝයි යන වික්ෂිප්තභාවයෙනි.
මෙතෙක් ජීවිතයේ සිදු කරන ලද දන්පින් ආදි දානමය කුසලානිශංස ගැන බර විශ්වාසයක් ඇති සේපියන්ස් ගොයියා, තමාට ගෙනයන්න හරිහමන් බඩු භාණ්ඩ නැතත්, බෑගයේ පරිස්සමට වඩමවාගෙන වදාළ බුදු පිළිම වහන්සේ උස් තැනක රඳවා පුදපූජා කොට, මහත් වූ සත්‍යක්‍රියා කරන්නේය; “මෙතුවක් ජීවිත කාලය තුළත්, පෙර සංසාරයේත් ලබා දී ඇති දානාදි කුසලකම්ම ද, දහදොළොස් වතාවක් කඨීන ආදි චීවර පූජා සඳහා ඉතසිතින්ම සම්මාදම්ව ඇති හෙයින් ද පන්සල් විහාරස්ථාන ගොඩනැඟීම් වෙනුවෙන් පැල්බැඳගෙන සිදු කර ඇති පින්කම් ද වහා ක්‍රියාත්මක වී, ඒ සියලු කුසල ඵල දෙත්වා! ඒ කුසලානුබලයෙන් මේ ඉඳුම් හිටුම්, නවාතැන්, ගේදොර, බඩුමුට්ටු ගැටලුව විසඳේවා!” ආදි ලෙස පතන්නේය.
“අනේ මේ, අන්න අර සූජීව නංගි කිවුව අර ගෝස්ඩ් කෝස්ට්වල ඉන්න නදීකා නංගිගෙ උපුල් මල්ලිට කතා කරලා මොකක් හරි ජොබ් එකක් හොයා ගන්ඩ කියලා. අතට කීයක් හරි හොයාගන්නෙ නැතුව මෙතැන උඩබලියං හිටියට කිසිම දෙයක් ඉබේ නම් පහළ වෙන එකක් නැහැ. අන්න අර චමින්ද මල්ලිල කිවුව, අර සැල්වෝස් කියන චැරිටි ඕගනයිසේෂන් එකට කෝල් එකක් දීල අහල බලන්ඩ කියල, ඒ අය මේ වගේ අලුතින් සෙට්ල් වෙන උදවියට ඕන කරන බඩුබාහිරාදිය නොමිලේම ගෙනැවිත් දෙනවලු” යැයි සේපියන්ස් ගොයියාගේ ඇඹේණිය කියන්නට ගත්තීය. ඒ අනුව එතුමියම සැල්වේෂන් ආමි හෙවත් ගැලවීමේ හමුදාව නමැති කිතුනු ආගමික පුණ්‍යායතනයට කතා කළාය. සේපියන්ස් ගොයියා ගෝල්ඩ් කෝස්ට්වල උපුල් මලයාට කතා කළේය.
උපුල් මලයාගේ නෝනා ද විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියක් සම්පූර්ණ කරමින් සිටියාය. “ආ හරි අයියෙ, නදීක කැම්පස් යන අතරෙ මම පුතාවත් බලාගෙන ඔය හවසට පොඩි ක්ලීනක් ගහනවා. මම අපේ බොසාට කතා කරලා ඔයාටත් ජොබ් එකක් බලන්නම්,” යැයි උපුල් මලයා කීවේය. කිවූ පරිදිම උපුලා වැඩේ සෙට් කළේය. මූණිච්චාවට කතා කරන මිනිසුන් අතර උපුල් මලයා ආදරණීය චරිතයකි. ඔහු විසින් පිරිසුදු කිරීමේ කොන්ත්‍රාත්තුවක් භාරගත් ආයතනයක පිරිසුදු කිරීම, මට පවරා ඔහු ඉන් ඉවත් වූයේ, අයියෙ ඔයා මේක කර ගෙන යන්න මට දැනට මං කරන ඉතුරු ජොබ්වලින් ගේම ගහගෙන යන්න පුළුවන් කියමිනි.
එහෙත්, ඒ පිරිසුදු කිරීම් කටයුත්ත පිණිස අදාළ මොප් බාස්කට්, අදාළ ආම්පන්න, වැකියුම් ක්ලීනර් උපකරණ කිසිවක් සේපියන්ස් සතුව නොවීය. “අප්පට සිරි! අයිය ගාව මෙලෝම දෙයක් නැද්ද?” යැයි විමසූ උපුලා, තමන්ගේ වූ මොප් බාස්කට් එක සහ අදාළ ආම්පන්න ටික මට දානමය ලෙස පරිත්‍යාග කළේය. උපුලාට දස අතේ හිත පිරෙන්න පින් දෙනවා හැරෙන්නට කළ හැකි කිසිවක් නැත. අත තිබූ අවසාන ඩොලර්වලින් වැකුම් ක්ලීනරයක් පමණක් මිල දී ගතිමි.
“මිනිසකුට මාළුවකු පරිත්‍යාග කරන්න පටන් ගතහොත්, ඔබට නිතිපතා ඔහු පෝෂණය කරමින් සිටිය යුතු වේ. එහෙත් ඔබ ඔහුට මාළු අල්ලා ගන්න විදිය කියා දුනහොත් ඔහුගේ ජීවිත කාලය පුරා ඔබ ඔහු පෝෂණය කළා හා සමාන වෙයි” යන චීන කියමන මාඕ සේතුං විසින් ලොවටම කියා දී තිබේ.
කෙසේ හෝ, සේපියන්ස්ගේ බිරින්දෑගේ ඇමතුමෙන් පසු සැල්වෝස් චැරිටි සංවිධානය නොහොත් පුණ්‍යායතනයේ ලොරියක් පුරාවට පාවිච්චි කළ හැකි හොඳ මට්ටමේ ඇඳන්, මෙට්ට, ඇඳ ඇතිරිලි, වළං පිගන්, හැඳි ගෑරුප්පු ඇතුළු නිවෙසකට ඇවැසි අඩුම කුඩුම රැසක් ගෙනැවිත් බාලා ඒවාද අවශ්‍ය අවශ්‍ය තැන්වලට ද ස්ථානගත කර ‘ඕකේ, ගුඩ් ඔන් යූ’ හෙවත් ‘එහෙනං හොඳක් වේවා,’ යැයි කියා යන්නට ගියේය. සුපුරුදු පරිදි ඉංගිරිසියෙන් උන්ට පින් දීම උගහට වුව ද ‘තැන්ක් යූ සෝ මච්,’ ආදි වශයෙන් කන පැළෙන්න ස්තුති කරන්නට නම් සේපියන්ස් ගොයියා පසුබට නොවීය.
“ඔය ආගමික සංවිධානවලින් පිනට ගත්ත වගේ නෙමෙයි, ඕවල යටි අරමුනු තියෙනව. උන් අපිට ඒ ආගමට හැරෙන්ඩ කියයි ද දන්නෙ නෑ…” යැයි සුපුරුදු පරිදි ලාංකේය අභිමානය මුසු ප්‍රෞඪාභිමානයෙන් සේපියන්ස් ගොයියා පැවසීය.
“එහෙම එකක් නෑ. මේ රටවල ඉන්න ඒ මිනිස්සු ඒ තරම් කුහක නෑ. එහෙම මොනව හරි දීල තම තමන්ගෙ ආගම්වලට බඳවගන්ඩ යෝජනා කරන්ඩ මේ රටවල නීතියෙනුත් අවසරයක් නැහැ. එහෙම වුණොත්, ඒවා අල්ලස් ගණයටනේ වැටෙන්නෙ,” භාර්යා තොමෝ පැවසුවාය.
“එහෙදි නම් අපි ඕව කාගෙන්වත් පිනට ඉල්ල ගත්තෙ නැහැ. අපිම හම්බ කරල අරගත්තෙ.” කසාද බඳිද්දි නෝනාගේ අප්පච්චි පත බුරුත ලීයෙන් කළ ඇඳ, අල්මාරි සහ සෝෆා සෙට් එකක් දුන් පසු ඒවා ආම්බාං කරන්න අලිමස් කන්නට අවශ්‍ය වූයේ බුරුත කඳන්වල බර වටහාගැනීමෙනි.
සේපියන්ස්ට පිනට ඉල්ලා ගැනීම පිළිබඳ සියුම් හීනමානයක් ඇති වී තිබේ. ඊට හේතුවක්ද ඇත. දානය, පින, පින්කම, කුසලය, පින් දීම, චැරිටි හෙවත් නොමිලේ කිසිවක් බලාපොරොත්තු නැතිව දීම සහ ස්තුති කිරීම ආදි මුල් බැසගත් සංකල්ප එකිනෙක පැටලී සේපියන්ස් හැදුණු ලාංකේය අච්චුවේ සංස්කෘතික රාමුවට සාපේක්ෂව කල්පනා කිරීම ඊට හේතුවය.
දානය පිළිබඳ ගැඹුරු සංකල්ප ලාංකේය සංස්කෘතිය තුළ ඇත. ආමිස පූජා හෙවත් දෙලොව සැප පිණිස දෙන දානය ආමිස පූජා ගණයට අයත් වන අතර, අත්හැරීම කියන ගැඹුරු කුසලතාව ප්‍රගුණ කිරීම උදෙසා කිසිත් බලාපොරොත්තුවක් නැතිව දන් දීම කියන දානය ප්‍රතිපත්ති පූජා කාණ්ඩයට අයත් වේ. දෙවැනි ආකාරයේ දානමය සංකල්පය අතිශය ප්‍රබුද්ධ දියුණු හෝමෝ සේපියන්ස් අදහස වුවද ලංකාවේ එය ගණන් ගන්නේ නැත.
වත්මන දානය යන්න, අනාගතය සහ මතු සංසාරයේ සුඛවිහරණය පිණිස කරනු ලබන්නා වූ අතිවිශාල ආයෝජනයක් ලෙස සැලකේ. පූජක පක්ෂය විසින් ද ජනතාව තුළ දානය ලබා දීමෙන් ඔවුන්ගේ අනාගත අපේක්ෂාවල සශ්‍රීකත්වය, ගෙවල් දොරවල්, යානවාහන ආදි සුවපහසු සැප ලබාගැනීමටත්, ඉදිරි ආත්මභාවවල සංසාරය පුරා අල්ලා හිටින සැප උදෙසා දන් දීමට පොලඹවනු ලබයි. එහිදී වැඩිපුරම ප්‍රතිලාභ පල දෙන දානය යන කොටසට පූජකයින් උදෙසා දෙනු ලබන විවිධාකාර දානයැයි යන අදහස ද පැවිදි පක්ෂය විසින් සුපිරි ව්‍යාපාරික ආයෝජන මඟක් ලෙස සමාජයේ පැළ කර තිබේ. ඊට අනුගත වන ජනතාව ආගමික පූජකයන් සොය සොයා නොයෙකුත් වස්තු භව භෝග පුදති; කන්න බොන්න නැති උදවිය පවා සිය කර-කන පවා පූජක ස්ථාන වෙනුවෙන් පමණක් පුදති. තමන්ගේ අසල්වැසියාගේ දරු කැලත කුසගින්නේ සිටියද ඒ දෙස නොබලා, අනාගත පින් ආයෝජනයේ වැඩිපුර ප්‍රතිලාභ ලැබෙන පැවිද්දන්ට දන් දීමට උත්සුක වෙති.
එසේම පින සහ කුසලය ලෙස ද අදාළ පුණ්‍යකර්මය නිසා රැස් වන ප්‍රතිලාභි ශක්තිය දෙයාකාරයැයි කියති. පින යනු ලැබෙන්නා වූ ප්‍රතිලාභය (result for the good actions), කුසලය හෙවත් කෞශල්‍යය හෙවත් නිවන් දැකීමට දක්වන හැකියාව (Parth to the end results) ලෙස ගැඹුරු අරුතක් දක්වයි. ඒ අනුව, අනාගත ආයෝජන පින් රැස්කිරීම නිසා ජනසමාජයට අත්වන කෞශල්‍යය විපරීත එකක් බව ප්‍රබුද්ධව තර්කානුකූලව බැලූ කල පෙනේ. දියුණු ජනසමාජවල, දනට පිනට පින්තකා දන් දීමේ සංකල්පයක් නැත. එහෙත් දැන් කර්මය පිළිබඳ ඉන්දීය සංකල්පය බටහිර මිනිසුන් තුළට ද ගමන් කර ඇති බව පෙනේ. කිසියම් බලයකටම (ක්‍රියාවකටම) ප්‍රතිවිරුද්ධ වූ ද සමාන වූ ද බලයක් (ප්‍රතික්‍රියාවක්) ඇතැයි පැවසෙන නිව්ටන්ගේ තුන්වැනි නියමය හා සමගාමිව බටහිර අය කර්මය ගැන සිතති. කර්මය පිළිබඳ වඩාත් ගැඹුරු විග්‍රහයක් බෞද්ධ දර්ශනයේ ඇතත්, ලාංකේය ජනසමාජය තුළ ඒවා පොතට පමණක් සීමා වූ බවක් පෙනේ. අපිට මාර දර්ශනයක් තිබේය. එය ලොව කාටවත් නැතිය. එය අපි දිවි පුදා ආරක්ෂා කරමු, යැයි පවසන මුර බල්ලකුගේ නාදයෙන් සහ ක්‍රියාවෙන් ඔබ්බට ජනසමාජය ගමන් කර නොතිබීම විමතියකි.
ඒ අනුව ශ්‍රී ලාංකේය මිනිසුන්ට පින් සිදු කර ගැනීමට කිසිවක් කර කියාගත නොහැකි, යාචකයන්, කාලකන්ණියන්, අබ්බගාතයන් සිටිය යුතුමය. උන්ට අප යමක් දුන් පසු උන්, පුන පුනා සිය දුක් අඳෝනා කියමින්, දුන් උපකාරයෙන් සිය ජීවිතයට ලැබුණා වූ මහා ආලෝකය ගැන පවසමින්, හතර වටේටම ඇහෙන්න දානය දුන් තැනැත්තාගේ ගුණ වනා පින් අනුමෝදන් කළ යුතුය. එසේ කළ විට දාන දුන් තැනැත්තාගේ පින නිසි පරිදි ලියාපදිංචි වීම සිදු වේය වැනි අදහස් අතිශයින්ම මානව විරෝධීය.
බොහෝ අය කිසිවකුට යමක් පරිත්‍යාග කරද්දී එහි තමන්ගේ නම කොටා දෙයි. එවිට දකින දකින කෙනාගේ කටින් ‘එය දුන්නේ අහවලා,’ කියන කියන වාරයක් පාසා, දන් දුන්න කෙනාට පින් වැඩෙතැයි යනුවෙන් ද තවත් මානව විරෝධි අදහසක් ඇත. මේ සිතුවිලිප්‍රකාර, අප විසින් යමක් දනට දුන් මිනිසකු යම් හෙයකින් ස්වෝත්සාහයෙන් නැඟීසිට, අපගේ ආධාරය ද සහිතව අපට වඩා දියුණු තැනකට පත් වූයේ නම්, ශ්‍රී ලාංකේය පින්වතා ඊට කොහොත්ම කැමැති නැත. කාලකන්ණියා හැමදාම අප දෙන දේ කා, අපට පින් දිදී සිටිය යුතුය.
ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදියට පොදුවේ ශ්‍රී ලංකාවේ කියන්නේ ‘අනාථ නිවාස’ කියාය; නැතිනම් ‘මහලු මඩම’ හෝ ‘මඩම’ යනාදි කිසියම් තත්ත්වයෙන් බාල අදහසක් ඇති වචන භාවිත කරයි.
දියුණු ජනසමාජවල ඇත්තේ සහකම්පනය (Empathy) නමැති මොඩර්න් හෙවත් නවීනතම වදනයි. අපේ ඇත්තේ අනේ පව්, අනුකම්පාව, වැනි අදහස්ය. සහකම්පනය යනු සහානුභූතිය හෙවත් අනෙකාගේ හැඟීම් වේදනා සියල්ල තමන්ට දැනෙන උදාර වූ ගුණයය. එහිදී අනෙකාගේ මානව ගරුත්වය, පෞරුෂ ගරුත්වය අබමල් රොනකින් හෝ නොනසන සහ ඒවා ආරක්ෂා කරන අදහසක්ද ගැබ්ව තිබේය. චැරිටි හෙවත් ආධාරයක් ලෙස දෙන භාණ්ඩයක, එය දුන්නේ කවුද කියාවත් සඳහනක් නැතුව දෙනු ලබයි. දුන් පසු, ඒවා භාර ගත් අයගේ ස්තුති, පැසසුම්, පින් දීම්ද ඔවුන් නොසොයන්නේ මානව ගරුත්වය සුරකින්නා වූ සහකම්නය නමැති සංකල්පය ජනසමාජය තුළ හොඳින් ස්ථාපිත කර ඇති නිසාය.
එහෙත් ශ්‍රී ලංකාවේ ඇති අනාථ නිවාස නමැති ස්ථානවලට දාන දෙන මිනිසුන් මොනතරම් රසට කෑම බීම ඇඳුම් පැලඳුම් දුන්නද, ඒවායේ අසරණ වූ දරුවන් හෝ වැඩිහිටියන්ගෙන් තම තමන්ට පින් දී අනුකම්පාව අයැද සිටින තුච්ඡ ස්වරූපය තුළ සහකම්පනය ගෑවිලාවත් නැත.
මේ ස්වරූපය අතිශය සියුම්ව තේරුම් ගත යුතු දියුණු මානවවාදි සංකල්පය. ඒවා ආගමික සංස්ථා තුළත්, පාසල් විෂය නිර්දේශ තුළත්, ගුරුවරුන් ඇතුළු අදාළ බලධාරීන් තුළත් පළමු කොට පැළ කර, ඉදිරි පරම්පරා දෙකක දරුවන්ට උගන්වා ඔවුන් තුළ වර්ධනය කළ පසු, දියුණු සේපියන්ස් ජනසමාජවල නාඩිය ද අප සමාජ තුළ වැඩ කරන්න ගනු නියතය.