Home » ලාබෙට විදුලිය දෙන්න යන මොකක්ද මේ ‘ජල බැටරිය’

ලාබෙට විදුලිය දෙන්න යන මොකක්ද මේ ‘ජල බැටරිය’

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර
ජල බැටරි ආකෘති

මෙරට විදුලිබල ගැටලුව අතීත කාලයේ සිටම ඇදී එන්නකි. ඒ උදෙසා ජල විදුලිය, තාප විදුලිය, ගල් අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීම ඇතුළු විවිධාකාර විසඳුම් ඉදිරිපත් කළ ද, එයින් ස්ථාවර විසඳුමක් සොයාගැන්මට නොහැකි විය.

ඉන් පසුව වුවද සූර්යබල ශක්තිය, සුළං බලයෙන් විදුලිය නිපදවීම ඇතුළු විදුලිය බලය නිපදවීමට විවිධ ක්‍රියාමාර්ග ගැනුණද, අප රටේ සමස්ත ජනතාවට පැය 24ම විදුලිය බලය සැපයීමට එයින් කිසිදු ලෙසකින් පැහැදිලි ස්ථාවර විසඳුමක් ලැබුණේ නැත. පසුගිය මාසයේ පාණදුර ග්‍රීඩ් උපපොළේ දෝෂයක් හේතුවෙන් සමස්ත දිවයිනේම විදුලි බලය බිඳවැටිණි. ශ්‍රී ලංකාව වැනි රටකට හැකියාව ඇත්තේ අඩු මිලකට උත්පාදනය කරනු ලබන ජල විදුලිය වැනි ප්‍රභවයක් හෝ ස්වාභාවිකව විදුලිය උත්පාදනය කළ හැකි සූර්යබල පද්ධති වැනි ක්‍රමවේදයන්ය.

එහෙත් ගැටලුව වී ඇත්තේ දිවා කාලයේ සූර්ය බලයෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ගබඩා කිරීමට අදාළ සූර්යබලශක්ති කෝෂ (බැටරි) නොවීමයි. ඒ කෝෂ අධික මිලකින් යුක්ත වීම හේතුවෙන් අපට ආර්ථික වශයෙන් ගැටලුවක් මතුව තිබේ.

මේ තත්ත්වයට විසඳුමක් සොයාගනු ලැබූ තාක්ෂණය නම් ‘ජල බැටරිය’ හෙවත් ‘පම්ප්ඩ් හයිඩ්‍රෝ’ (Pumped Hydro) ක්‍රමවේදයයි. එය අප පමණක් නොව, මේ වනවිට ලෝකය පුරා භාවිත කරන්නකි. එහිදී භාවිත කරනු ලබන ක්‍රමවේදය වන්නේ ඉහළ සහ පහළ ඇති ජලාශ දෙකක් උපයෝගී කරගෙන දිවා කාලයේදී සූර්යබලයෙන් පහළ ඇති ජලාශයේ ජලය ඉහළ ජලාශයට යොමු කර, රාත්‍රී කාලයේදී ඒ ජලය යළිත් පහළ ජලාශයට යොමු කිරීමෙන් ජලවිදුලිය උත්පාදනය කිරීමයි.

මෙය ලෝකයේ මේ වන විට බහුලව භාවිත කරනු ලබන විදුලිබල ජනන ක්‍රමවේදයක් වුවත්, සියලු රටවලට එය ක්‍රියාත්මක කළ නොහැකිය. මූලික වශයෙන් ඒ සඳහා ජලය පිරි ජලාශ දෙකක් තිබිය යුතු අතර, එක් ජලාශයක් ඊට අදාළ නියමිත දුරක් සහිතව ඉහළින් පිහිටා තිබියදී අනෙක් ජලාශය ප්‍රමාණවත් ජලය රඳවාගත හැකි ප්‍රමාණයෙන් පහළින් පිහිටා තිබිය යුතුය. එමෙන්ම සූර්යාලෝකය හොඳින් ඇති රටක් විය යුතුය. මේ සියලු පහසුකම් ඇති රටකට පමණක් ‘ජල බැටරිය’ හෙවත් ‘පම්ප්ඩ් හයිඩ්‍රෝ’ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හැකිය.

ඒ සියලු පහසුකම් අපේ රටේ ඇති බැවින් අපේ රටේ ද ‘ජල බැටරි’ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇත. ඒ අනුව මෙරට ප්‍රථම ‘ජල බැටරි’ ව්‍යාපෘතිය වන මහඔය ජලවිදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය මූලස්ථානය) ධම්මික විමලරත්න පවසයි.

ඒ වෙනුවෙන් අරණායක හා නාවලපිටිය යා කරමින් මහඔය ව්‍යාපෘතිය යටතේ ඉදි වන කිලෝමීටර් 2.5කින් යුක්ත උමඟක් හරහා ජලය ඉහළට පොම්ප කරනු ලැබේ. එහිදී දිවා කාලයේ හොඳින් සූර්ය බලය ඇති විට ඒ සූර්යබල ශක්තියෙන් පහළ අරණායක ජලාශයෙන් ජලය ඉහළින් පිහිටි නාවලපිටිය ජලාශයකට පොම්ප කෙරේ. දෙවනුව රාත්‍රී කාලයේදී ඒ ජලයම පහළට ජලාශයෙන් ගලා එන්නේ ටර්බයින් 3ක් හරහා විදුලිය ජනනය කරවමිනි. එක් ටර්බයිනයකින් මෙගාවොට් 200ක් බැගින් මෙගාවොට් 600ක විදුලි බලාගාරයක් ඒ අනුව ස්ථාපිත කෙරෙනු ඇත.

මේ ව්‍යාපෘතියෙන් විදුලිය බලය නිපදවීම 2032/2033 වසරේදී ආරම්භ කරනු ලබන බව ඉංජිනේරු ධම්මික විමලරත්න පෙන්වා දෙයි.

මේ කතාව තුළ යම් අයකුට පැනයක් මතු විය හැකිය. ඒ දිවා කාලයේ නිපදවන සූර්ය බලයෙන් ලබා ගන්නා විදුලිය වැය කර පහළ ජලය ඉහළට ගෙනයනවාට වඩා එම විදුලියම රාත්‍රී කාලයේ විදුලි අවශ්‍යතා වෙනුවෙන් භාවිත කළ නොහැක්කේ ද යන්නයි. රාත්‍රී කාලයේ ශ්‍රී ලංකාවේ විදුලිය ඉල්ලුම මෙගාවොට් 2700ක් පමණ වේ. සූර්ය බලයෙන් දිවා කල විදුලිය ලබා ගන්නේ නම් රාත්‍රී කාලයේ අධික මුදලක් වැය කරමින් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදු වේ.

සූර්ය බලයෙන් නිපදවනු ලබන විදුලිය බලය ගබඩා කිරීමට නම් ඒ උදෙසා සුර්යබල විදුලිය ගබඩා කරනු ලබන කෝෂ (බැටරි) අවශ්‍ය වනු ඇත. ඊට අධික මිලක් වැය වනු ඇත. සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට වියදමක් නොගියද ඒවා ගබඩා කිරීමට අධික වියදමක් දැරීමට සිදු වනු ඇත. එනිසා සුදුසුම ක්‍රමය වන්නේ ඒ බලයෙන් පහළ ජලාශයේ ඇති ජලය ඉහළට යොමු කර පසුව ඒ ජලය යළිත් පහළ ජලාශයට යොමු කර වැඩි විදුලිය බලයක් නිපදවීමයි.

තවත් ගැටලුවක් නම් පහළ ජලාශයේ ජලය වරින්වර ඉහළට ගෙන යෑමේදී පහළ ජලාශයෙන් ගොවිතැන් කරන, සහ ඒ ජලය භාවිත කරන අයට සිදු වන බාධාවන්ට දෙන විසඳුම කුමක්ද? එසේම ජලාශයෙන් පහළට ජලය ගලා නොයෑමෙන් සමාජ ප්‍රශ්නයක් යන්නයි පරිසර ප්‍රශ්නයක් නිර්මාණය නොවන්නේද?

ඊට පිළිතුරු ලබා දෙන්නටද ඉංජිනේරු ධම්මික විමලරත්න කටයුතු කළේය.

පහළ ඇති ජලාශයේ එත් කොටසක බැම්මක් ඉදි කිරීමෙන් පසුව එහි ජලය එක්රැස් කරගනු ලැබේ. ඒ අනුව පහළ ජලාශය භාවිත කරන කිසිවකුට ගැටලුවක් ඇති නොවනු ඇත. එහිදී සිදු වන්නේ එකම ජලය දිවා කාලයේ පහළ ජලාශයෙන් ඉහළටත් රාත්‍රී කාලයේ ඉහළ ජලාශයෙන් පහළටත් ගලා ඒමයි. එයින් පහළ ජලාශයෙන් වගා බිම් සිදු කරන හෝ එම ජලය වෙනත් කටයුත්තක් පිණිස යොදා ගන්නා කිසිවකුටත් කිසිදු බාධාවක් සිදු නොවනු ඇත.

‘මහ ඔය පොම්ප කළ ගබඩා ජල විදුලි ව්‍යාපෘතිය’ නමින් හඳුන්වා ඇති මේ ව්‍යාපෘතිය ඉදිරි වසර දෙක තුළ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය. එය මෙරට විදුලි බලයේ පරිවර්තනීය වෙනසකට මුලපිරීමක් වන්නේය. ඉංජිනේරුමය ආශ්චර්යයක් වන මහඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන ව්‍යාපෘති සැලැස්මේ ද (2025-2044) ප්‍රධාන අංගයකි.

ඉංජි­නේරු ධම්මික විම­ල­රත්න

ඉංජි­නේරු
ධම්මික විම­ල­රත්න

කිලෝමීටර් 2.5ක දිගින් යුත් උමඟ කෙළවර මීටර් 516ක දළ හිසකින් සමන්විත වන අතර, එය ඉදිරි දශක කිහිපය සඳහා බලශක්ති ගබඩා කිරීම සහ වැඩිදියුණු කරන ලද විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහතික කරයි. මෙහි මූලික ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක් පමණ වැය වනු ඇත.

මහඔය ව්‍යාපෘතිය යෝධ බැටරියක් ලෙස ක්‍රියාත්මක වන අතර, සූර්ය හා සුළං බලයෙන් බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ යන විට එය විදුලිබල පද්ධතියට සපයනු ඇත. වසර 2030 වනවිට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනයෙන් 70%ක් උත්පාදනය කිරීම සහ 2050 වනවිට කාබන් අවම කිරීමේ ඉලක්කය කරා ළඟා වීම සඳහා ශ්‍රී ලංකාවට මේ හැකියාව ඉතා වැදගත් වනු ඇත.

ඒ හරහා අඛණ්ඩ විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය වැඩිදියුණු වන අතර, එමෙන්ම මිල අධික පොසිල ඉන්ධන මත යැපීමද අඩු වනු ඇත.

මේ ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රතිලාභ අතිමහත්ය. පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීමත් සමඟ මහඔය පොම්ප කළ ගබඩා ජල විදුලි ව්‍යාපෘතිය මඟින් හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීම, බලශක්ති ස්වාධීනත්වය වර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය ප්‍රයත්නයන්ට දායක වනු ඇත.

ඉදිකිරීම්වලදී රැකියා අවස්ථා සිය ගණනක් නිර්මාණය කිරීම සහ එහි සංවර්ධනයෙන් බලපෑමට ලක් වන පවුල් සඳහා වඩා හොඳ නැවත පදිංචි කිරීමේ විකල්පයන් දීම ද මේ ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

මේ ව්‍යාපෘතිය විදුලි පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීමේදී වැදගත් භූමිකාවක් ද ඉටු කරයි. එසේම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රාග්ධන පිරිවැය 2032 වනවිට විදුලි ඒකකයක් මත අමතර ශත පනහක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මහඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ අනාගතයට ඍජු ප්‍රතිලාභ ලැබිය හැකිය. එය ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වූ කැපවීමකි. ආනයනික පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමට අමතරව විදුලි මිල ස්ථාවර කිරීම සහ තිරසර බලශක්ති ආර්ථිකයක් සඳහා මාවත විවර කිරීම මඟින් මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජනතාවට සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙනු ඇත. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අරමුණ සාක්ෂාත් කරගනිමින් තිරසර බලශක්ති නවෝත්පාදනයන්හි ගෝලීය ප්‍රමුඛයා බවට පත්වීම මේ අනුව සිදු කළ හැකිය.

මෙරට ජනතාවට මෙන්ම රජයට ද විශාල හිසරදයක් වන විදුලි බිලට විශාල සහනයක් සලසන්නට මේ ‘ජල බැටරිය’ හරහා හැකි වනු ඇත. ඉදිරියේදී රන්දෙණිගල, රන්ටැඹේ ඇතුළු මහවැලි ජලාශ ඇසුරින් ද සුදුසු ස්ථාන හා ජලාශ යොදාගෙන ජල බැටරි නිර්මාණය කරගත හැකි වනු ඇත.

මේ ලෙසින් කුඩා ජල විදුලි ජනන ආශ්‍රිතව ද ජල බැටරි ස්ථාපිත කළ හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ විදුලි බිලට සලසන විශාල සහනයක් මෙන්ම මෙරට ආර්ථිකයට දෙන විශාල දායකත්වයක් ද වන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division