Home » සමාජය කලඹන සයිබර් අපරාධ

සමාජය කලඹන සයිබර් අපරාධ

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

මේ වන විට මුළු ලොවම අන්තර්ජාල තාක්ෂණයෙන් බලගැන්වුණු ඩිජිටල් විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ. ඊට මුල් වූ පෙරළිකාර මෙන්ම විප්ලවීය මෙවලම් බවට පරිගණකය හා ජංගම දුරකතනය පත්ව ඇත. එපමණක් නොව, පරිගණක හා ජංගම දුරකතන භාවිත කරමින් සයිබර් අපරාධකරුවන් හා හැකර්වරුන් යන හැඳින්වීම ලත් පිරිස් නීති විරෝධි ක්‍රියාවල නිරතව විවිධ අපරාධ, අපචාර, වංචා හා අක්‍රමිකතා සිදු කරති. එවැනි සයිබර් අපරාධකරුවන් හා හැකර්වරු පරිගණක හා ජංගම දුරකතන සඳහා අනවසරයෙන් ප්‍රවේශ විය හැකි ආකාරයට පරිගණක වයිරස් නිර්මාණය කර විවිධ ආයතනවල හා පුද්ගලයන්ගේ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ගිණුම් වෙත හා පෞද්ගලික පරිගණක තුළට ඇතුළු වී අත්‍යවශ්‍ය දත්ත සොරාගැනීමේ, මකාදැමීමේ හා එලෙස සොරකම් කළ දත්ත යොදාගෙන මුදල් සොරාගැනීමේ සිදුවීම් රැසක්ම පසුගිය කාලය පුරා අප රටින්ද වාර්තා විය.

හැකරුන් විසින් මෑතකදී එලෙස අනවසර ලෙස ග්‍රහණයට ගත් ප්‍රධානතම වෙබ් අඩවියක් වූයේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියයි. පසුගිය වසරේ දෙසැම්බර් 31 දින කිසියම් පුද්ගලයකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස, එහි කටයුතු පාලනයට නතු කරගෙන තිබූ අතර, දින කීපයක් යන තුරුම එම වෙබ් අඩවිය පැවතියේ බාහිර පාර්ශ්වයක ග්‍රහණයේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ක්‍රියාත්මක වී එය නැවත යථා තත්ත්වයට පත් කරනු ලැබූ අතර, මේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක්ද ආරම්භ කිරීමට පියවර ගැනිණි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අමතරව පසුගිය දෙසැම්බර් 30 දින රාත්‍රියේ ශ්‍රී ලංකා පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලටද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් වැඩිම බලපෑම එල්ල වූයේ එම දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යන යූටියුබ් නාළිකාවට. මේ සිදුවීම්වලට පෙරද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ජාලා රැසකටද අවස්ථා ගණනාවකදීම මෙවැනි සයිබර් ප්‍රහාරයන් එල්ල වී තිබිණි.

පරිගණක ක්ෂේත්‍රය ආශ්‍රිතව කටයුතු කරන ප්‍රවීණයන් මේ ආකාරයෙන් සිදු වන සයිබර් ප්‍රහාර හඳුන්වනු ලබන්නේ Website defacement වශයෙනි. එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අපරාධකරුවන් බලාපොරොත්තු වන්නේ වෙබ් අඩවියක් ‘විකෘති කිරීම’, එසේත් නැති නම් එකී වෙබ් අඩවියේ හෝ වෙබ් පිටුවේ දෘශ්‍ය පෙනුම වෙනස් කිරීමයි. එලෙස කිරීමෙන් එලෙස ග්‍රහණයට ගන්නා, එසේත් නැති නම් හැක් කරනු ලබන වෙබ් අඩවි අපකීර්තියට පත් කිරීමටද, තමන් කෙරේ ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීම සහ මතවාද තිරවීමද සයිබර් අපරාධකරුවන්ගේ බලාපොරොත්තුවයි.

බොහෝ අවස්ථාවල සයිබර් අපරාධකරුවන් විසින් වෙබ් අඩවිවලට අනවසර ප්‍රවේශය ලබා ගනිමින් එල්ල කරනු ලබන මේ සයිබර් ප්‍රහාර සාර්ථක වන්නේ එම වෙබ් අඩවිවල ආරක්ෂාව කෙරෙහි නිසි සැලකිල්ලක් නොදැක්වීම නිසා බව මෙරට සයිබර් ආරක්ෂණය පිළිබඳ කටයුතු කිරීමේ ප්‍රධානතම ආයතනය ලෙස පිළිගැනෙන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අවස්ථා ගණනාවකදීම පෙන්වාදී තිබේ.

සයිබර් අපරාධකරුවෝ, එසේත් නැති නම් මේ කියන හැකරු අනවසරයෙන් වෙබ් අඩවිවලට ප්‍රවේශ වී ඒවායේ දත්ත වෙනස් කිරීම, එම දත්ත මකාදැමීමට අමතරව සමාජ මාධ්‍ය භාවිත කරන ජනතාවගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත අනවසර ප්‍රවේශය ගැනීමද සිදු කරති. ඉන් පසු බැංකු ගිණුම්හි මුදල් සොරාගැනීම, මානසික බියවැද්දීම්, ලිංගික හා මූල්‍යමය අල්ලස් ගැනීම් ආදි අපරාධ සිදු කරන අතර, සමාජයේ එවැනි අපරාධ ක්‍රමයෙන් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ නිරීක්ෂණය විය.

වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ගිණුම් වෙත අනවසර ප්‍රවේශය මෙන්ම සයිබර් අපරාධකරුවන්ගේ තවත් එක් උපක්‍රමයක් වන්නේ මුදල් දෙන බව පවසමින් ජංගම දුරකතනවලට ලැබෙන කෙටි පණිවිඩ සහ දුරකතන ඇමතුම්ය. එවැනි කෙටි පණිවිඩ සහ දුරකතන ඇමතුම් දී ජනතාව රවටා මුදල් සොරාගන්නා පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වූ බව මේ සම්බන්ධව කළ විමසුමකදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා අනාවරණය කළේය.

මේ වන විට මෙරට සිදු වන විවිධ සයිබර් අපරාධ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අවධාරණය කරන්නේ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post), පුද්ගල දත්ත සහ මූල්‍යමය තොරතුරු ලබාගනිමින් සිදු කෙරෙන සයිබර් වංචා බහුලව වාර්තා වන බවයි.

ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර්ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායි භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට සැපයීම, රැකීරක්ෂා සොයා දීම ආදිය සඳහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ එස්.එම්.එස්. පණිවිඩ සහ වට්ස්ඇප් පණිවිඩ මඟින් ඕ.ටී.පී මුරපද (Password) තොරතුරු ඉල්ලා එවන පණිවිඩවලින් ජනතාව පරිස්සම් විය යුතු බවද එම සංසදය වැඩිදුරටත් දැනුම් දෙයි.

ව්‍යාජ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, එස්.එම්.එස්. සහ වට්ස්ඇප් මඟින් එවනු ලබන පණිවිඩ හරහා සයිබර් ජාවාරම්කරුවන් මේ වංචා සිදු කරන අතර, එලෙස එවන සබැඳි (Link) වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකතනවල ඇති දත්ත සොරාගැනීමෙන් විවිධ අපචාර සඳහා මෙන්ම මුදල් වංචාද සිදු කරන බව හෙළිදරව් වී තිබේ.

“ඔබේ ජංගම දුරකතනයට ව්‍යාජ කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම් ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති බවට පවසන්න පුළුවන්. විවිධ වට්ටම්, නිවෙසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් ඔබට පණිවුඩ එවන්න පුළුවන්. එවැනි පණිවුඩ ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදීමට වගබලා ගන්න,” මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා සඳහන් කළේය.

මේ ආකාරයේ සයිබර් අපරාධ වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ගොනු කිරීමේ අරමුණින් 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත. පරිගණක අපරාධ හඳුනා ගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්‌වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධි විධාන සැලැස්‌වීම සඳහා වූ පනතක්‌ ලෙස මේ පනත ක්‍රියාත්මක වන බව මේ පනත පැනවීමේ අරමුණ ලෙස එහි පූර්විකාවේ සඳහන් කර තිබේ.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ ඇති පදනම වී ඇත්තේ පරිගණකයක්, පරිගණක වැඩසටහනක්, දත්ත හෝ තොරතුරු වෙත නීත්‍යනුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම අපරාධයක් ලෙස හඳුනාගැනීමයි. එමෙන්ම පරිගණයක් වෙත ප්‍රවේශ වීමට වරදරකරුට අධිකාරි බලයක් තිබුණේද යන්න නොතකමින් නීත්‍යනුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ විධි විධානයක්ද එහි ඇතුළත් වී තිබීම වැදගත් වන කරුණකි.

අධිකාරි බලයක් නැතිව අනවසරයෙන් දත්ත වෙනස් කිරීම හෝ මකාදැමීම මේ පනත අනුව වරදක් වන අතර, අධිකාරි බලයක් සහිත පුද්ගලයකුට ප්‍රවේශය අත් කරගැනීම වැළැක්වීම පිණිස පරිගණකයේ වැඩසටහන් සකස් කිරී‍මද වරදක් වේ. පරිගණක වයිරස් වැඩසටහන්වල නිශ්චිත කාර්යය වෙනස් කිරීම සඳහා කේත ඇතුළත් කිරීමෙන් පරිගණකයට හානි හෝ අලාභ කිරීම, තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම, පරිගණක සේවා අධිකාරි බලයක් නැතිව භාවිත කිරීම සහ එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පරිගණක වැඩසටහන්, දත්ත හෝ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී ඒවා අත් කරගැනීමද මේ පනත යටතේ අපරාධ ලෙස හැඳින්වේ.

මේ අතර මෙරට සයිබර් අපරාධ වැළැක්වීම සම්බන්ධව ක්‍රියාකාරිව කටයුතු කරන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සතු දත්තවලට අනුව පසුගිය 2024 වසර තුළ සමාජ මාධ්‍ය සම්බන්ධ පැමිණිලි (ව්‍යාජ ගිණුම්, අනවසර ප්‍රවේශ, වැරදි තොරතුරු) 17,396ක්ද, අන්තර්ජාල වංචා ඇතුළුව ඍජු සයිබර් අපරාධ 4,347ක්ද වාර්තා වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division