ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ 139 වැනි ජන්ම දින සැමරුම පෙබරවාරි 23 දිනට යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද පිරිත් පින්කම හා සාංඝික දානමය පින්කම පසුගියදා ලේක්හවුස් ආයතනයේදී පැවැත්විණි.
ඒ අනුව, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 24 දා ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදී ඩී.ආර් විජයවර්ධනයන්ගේ පිළිරුවට රංජිත් විජයවර්ධන මහතා විසින් මල් මාලාවක් පලඳවා උපහාර දක්වන ලදි. පසු දින එනම් පෙබරවාරි මස 25 දා මහා සංඝරත්නය 25 නමක් විෂයයෙහි සාංඝික දානමය පින්කම පැවැත්විණි.
ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරාධිපති ඉත්තදෙමලියේ ඉන්දසර; ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, කෝට්ටේ කල්‍යාණ ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය, සර්වඥ විශාරද, රත්මලාන කොතලාවල සමාධි මධ්‍යස්ථානාධීශ්වර, මාතර වෙහෙරහේන පූර්වාරාම විහාරාධිකාරි මාපලගම පූජිශ්වර; ගාලු පුරවරයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, උඩුරුව කයිකාල ශ්‍රී සුනන්දාරාමාධිපති, ශාස්ත්‍රාචාර්ය කෝට්ටේ විජිත නාහිමිවරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ රැසක් වැඩම කළ මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර පීරිස්, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, සමාගම් ලේකම් සුදර්ශී හේවාවසම්, ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති ප්‍රියන්ත විජේසූරිය, ලේකම් නිලන්ත ගුණසේකර මහත්ම මහත්මීන් ඇතුළු ආයතනයේ සේවක සේවිකාවෝ පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප – චින්තක කුමාරසිංහ, හිරන්ත ගුණතිලක