මේ දිනවල පාර්ලිමේන්තුවේ 2025 වර්ෂය වෙනුවෙන් අය-වැය විවාදය පැවැත්වෙන නිසා උණුසුම් දේශපාලන වාද විවාද රැසක් මැතිසබයෙන් අසන්නට ලැබේ. 2025 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109කින් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 155ක් හිමි වූ අතර, විරුද්ධව හිමි වූයේ ඡන්ද 46ක් පමණි.
ජනපති අනුර දිසාපතිවරුන්ට කීවේ මොනවාද?
රුපියල් බිලියන 1,400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායි ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ඒ, දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (27) පැවති සාකච්ඡාවේදීය.
ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3% – 4% අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමේත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව පැහැදිලි කළේය.
රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවත්, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ඊට හේතු වී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා තෘප්තිමත් රාජ්‍ය සේවකයකු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළේය. 2025 අය-වැය යෝජනා මඟින් ඉදිරිපත් කළ වැටුප් හා අතිකාල දීමනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් හඳුනාගෙන ඇති අතර, කාණ්ඩ වශයෙන් ඒ බඳවාගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවයේ මැද ස්තරය එමඟින් සම්පූර්ණ වන බවත් ජනාධිපතිවරයා පැවසීය.
සංවර්ධනය යනු ගොඩනැඟිලි, පාලම් ඉදිකිරීම පමණක් නොවන බවත්, කඩාවැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබිය යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළ අතර. එහි ප්‍රධාන කාර්යභාරයක් දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව පවතින බවද කියා සිටියේය.
තම දිස්ත්‍රික්කවලට අදාළ ගැටලු මෙහිදී දිසාපතිවරුන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලද අතර, ඊට අදාළ විසඳුම් සලසා ගැනීමේ අදහස් සහ යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
තානාපතිවරු රැසක් ජනපති හමු වෙති
පසුගිය සතිය ඇතුළත ප්‍රධාන රටවල තානාපතිවරුන් කිහිප දෙනකුම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හමු වීම විශේෂත්වයකි. මෙසේ ජනාධිපතිවරයා හමු වූයේ ජපානය, ඉතාලිය, ඊජිප්තුව, නෙදර්ලන්තය යන රටවල ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරුය.
මෙරට වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟ වී ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ ජනපති හමුවේ පැවසීය. මේ අතර පසුගියදා ජනාධිපතිවරයා හමු වූ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් නව රජය ගෙනයන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහය දෙන බව පැවසූ අතර, මෙරට සංචාරක වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයට දිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.
මේ අතර මෙරට ඊජිප්තු තානාපති අහමඩ් ඊබ්‍රහිම් ද පසුගියදා (27) අනුරකුමාර ජනාධිපතිවරයා හමු විය. මෙරට සංචාරක හා ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව සහ මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බච් ද පසුගියදා ජනාධිපතිවරයා හමු විය. මෙරට අධ්‍යාපන හා පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නිර්මාණ සංරක්ෂණ කටයුතු හා කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු සඳහාද සහය ලබාදීමටත් නෙදර්ලන්ත තානාපතිනිය සිය එකඟතාව මෙහිදී පළ කළාය.
දුම්රිය සහ බස් නැවතුම් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක්
ජාතික ජන බලවේගයේ ප්‍රවාහන ප්‍රතිපත්තියේ මූලධර්මය වන්නේ ප්‍රවාහනය මහජන සේවාවක් බවට පත් කිරීම, පරිසර හිතකාමි හා තිරසර ප්‍රවාහන සේවයක් බවට පත් කිරීම, ආරක්ෂිත සහ කාර්යක්ෂම කිරීම, මගී සංයුතිය විවිධත්වයක් ගොඩනැඟීම සහ ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණයක් ගොඩනැඟීම යන්නයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා යනු දැන් තනි අමාත්‍යංශයකි. මීට පෙර අඩුම තරමින් ඇමැතිවරුන් 4ක්, නියෝජ්‍ය ඇමැතිවරුන් 4ක් හා තවත් රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනකු විසින් පාලනය කළ මේ අමාත්‍යංශ කිහිපයක් අද තනි අමාත්‍යාංශයක් ලෙස ඇමැතිවරයකු සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු විසින් පාලනය කරනු ලැබේ. අමාත්‍යාංශ හැට හැත්තෑවක් තිබුණද, ඒවා ජනපති අගමැති ඇතුළු අමාත්‍යවරුන් 22කට සීමා කිරීමට කටයුතු කර තිබේ.
බහාලුම් නිශ්කාෂණ අර්බුදයට විසඳුම්
මේ අමත්‍යාංශය පසුගිය කාලයේ විශාල කතාබහකට ලක් වූ අමාත්‍යංශයකි. ඒ වරායේ බහාලුම් නිශ්කාෂණයේදී ඇති වූ අර්බුදයකි. කෙසේ වෙතත් ඉතා කෙටි කාලයකින් එම ගැටලුවට විසඳුම් දීමට කඩිනම් පියවර ගැනිණි. ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ප්‍රසන්න ද ඇමතිවරයා හා කරට කර වැඩකටයුතු කරන නිසා ඔහු ගැන ද මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් විය. අමාත්‍යාංශයට අයත් වැඩපොළවල් දුම්රිය ස්ථාන බස් නැවතුම්පොළවලට රෑ දිවා නැතිව ගොස් සොයා බලා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දීමට ඔහු කටයුතු කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා මඟින් සුවපහසු ප්‍රවාහන සේවයක්
ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන අලුත්ම ව්‍යාපෘතිය වන්නේ ආසන්නයේ පවතින දුම්රියපොළ සහ බස්නැවතුම ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියයි. මගීන්ට සුවපහසු ප්‍රවාහන සේවාවක් ලබාදීමට බස් නැවතුම සහ දුම්රිය පොළ සංවර්ධනය කිරීම සහ ඒකාබද්ධ කාලසටහන් සකස් කිරීම මෙහි මූලික අරමුණයි. මෙය ප්‍රවාහන අමාත්‍යංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය එක්ව දියත්වන වැඩසටහනකි. බිමල් රත්නායක ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මූලික සාකච්ඡාවලදී තීරණය වූයේ මීරිගම, මොරටුව, මරදාන යන ස්ථානවල නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි. මූලික සාකච්ඡාවලදී මෙම ව්‍යාපෘතියට ඉංජිනේරුවරුන්ගේ සහ නගර සැලසුම්කරුවන්ගේ ස්වේච්ඡා සහය ලබාදීමට ජාතික විද්වත් සංවිධානයේ ඉංජිනේරු සංසදය කැමැත්ත පළ කර තිබේ. එම සංවිධානයේ කැඳවුම්කරු වන්නේ වත්මන් විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි ඉංජිනේරුවරයායි.
සැලසුම දියත් වන්නේ මෙසේයි. දුම්රිය සහ ලංගම ප්‍රධානීන්, අමාත්‍යංශ නිලධාරීන්, ප්‍රජා සංවිධාන, පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ බලධාරීන්ගෙන් යුත් මෙහෙයුම් කමිටුවක් නම් කෙරෙන අතර, එම කමිටුව මඟින් යෝජනා සකස් කිරීමට නියමිතය. ඒ යෝජනා පදනම් කරගෙන මූලික සැකැස්ම සකස් කරන අතර අදියරෙන් අදියර ලැබෙන ප්‍රතිපාදන අනුව ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට නියමිතය. මේ සඳහා ස්වෙච්ඡා ශ්‍රම දායකත්වය අපේක්ෂා කරන අතර පෞද්ගලික අංශයේ සහය ලබාගැනීමටද සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. මේ වන විට මොරටුව සහ මීරිගම නරග ආශ්‍රිත සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය ගැන මූලික වටයේ සාකච්ඡා පැවැත්වූ අතර, මරදාන ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා පෙබරවාරි 27 දින පෙරවරුවේ පැවැත්වී තිබේ. “අපේ සංසදයේ ඉංජිනේරුවරුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම්. අපි දේශපාලනයට සම්බන්ධ වුනේ ඇත්තටම රටට වැඩක් කරන්න. අපේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න කලින් තිබුණ ආණ්ඩුවල කිසිදු බලධාරියෙක් කටයුතු කළේ නැහැ. ඒ නිසාම අපි සහාය දීලා ආණ්ඩුවක් පත් කරගත්තා. ඒ ආණ්ඩුවේ වැඩකටයුතුවලට ස්වෙච්ඡාවෙන් අපි සම්බන්ධ වෙනවා. අපේ දරුවන්ට හොඳ රටක් හදලා දෙන්න අපි කටයුතු කරනවා.” මේ සම්බන්ධයෙන් ජාතික විද්වත් සංවිධානයේ ඉංජිනේරු සංසදයේ සාමාජිකයෙක් දැඩි උනන්දුවකින් අදහස් දැක්වීය.
ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඇමති විජිත කීවේ මොනවාද?
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ ඉහළ පෙළේ කොටසේ ප්‍රකාශයක් සිදු කළේය.
හේරත් අමාත්‍යවරයා සිය දේශනයේදී මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කරමින්, රටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා රජයේ උපාය මාර්ග ඉස්මතු කළේය.
මීට මාස කිහිපයකට පෙර පැවති ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකාවාසී ජනතාව ප්‍රගතිශීලී තීරණයක් ගත්තේ රට ආර්ථික, සමාජීය සහ දේශපාලන පරිවර්තනයක් කරා යොමු කිරීමට ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් පත් කරගැනීමටය. 2024 නොවැම්බරයේ පැවති මෙම මැතිවරණ ප්‍රතිඵලය පැති කිහිපයකින් විශේෂ වැදගත්කමක් දරයි. එය රටේ සෑම ප්‍රදේශයකම – උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර – සහ සියලු ජනවර්ග සහ ආගම්වල ජනතාවගෙන් සාමූහික සහ ඒකාබද්ධ හඬක්, වෙනසට සහ ධනාත්මක පරිවර්තනයට සහය විය. මැතිවරණයෙන් පසු පිහිටුවන ලද වත්මන් පාර්ලිමේන්තුව, වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක්, දමිල ප්‍රජාවේ කාන්තාවන් දෙදෙනෙකු දෘශ්‍යාබාධිත පුද්ගලයකු සමඟ අපගේ ඉතිහාසයේ වඩාත්ම දියුණු වූ පාර්ලිමේන්තුවකි. මෙම ඇතුළත් කිරීම ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගිකත්වය හෝ වෙනත් හේතු මත පදනම් වූ වෙනස්කම් නොසලකා එහි සියලු ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවේ නව මාවත නියෝජනය කරයි.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ කතාව මෙසේ උපුටා දක්වන්නට කැමැත්තෙමි: “මැතිවරණයෙන් ජනතාව සහ අප අතර ගිවිසුමක් ඇති වෙනවා. මේ බැඳීම ගොඩනැඟෙන්නේ අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අදහස් ඉදිරිපත් කරමින්, රටේ අනාගතය හැඩගස්වාගත යුතු ආකාරය ගෙනහැර දක්වන විටයි. මේ අදහස් කෙරෙහි විශ්වාසය තබන ජනතාව අපට ඡන්දය දෙනවා. ඔවුන්ගේ ඡන්දයෙන් ජනතාව අපට ආණ්ඩු කිරීමේ ජනවරම ලබා දීමෙන් මෙම සබඳතාවයේ ඔවුන්ගේ කොටස ඉටු කර ඇත. දැන් ජනතාවට සේවය කරමින් අපේ යුතුකම ඉටු කිරීමේ වාරයයි.”යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එජාප-සජබ සමගියට බාධා කරන ල-යනු තුන කවුද?
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සමගියක් ඇති කිරීමට ගත් උත්සාහය ලත් තැනම ලොප් වී තිබේ.
“යූඑන්පී එක තමයි අපේ අතේ තිබුණු ජයග්‍රහණය නැති කළේ. අපට කරන්න පුළුවන් ලොකුම විනාශය පසුගිය ජනාධිපතිවරණයේදී යූඑන්පීය කළා. දැන් වැලේ වැල් නැතිව අපි එක්ක සන්ධාන ගහන්න කතා කරනවා.” සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරයකු තම විරෝධය එළිපිටම කියාපෑවේ එහෙමය.
තිස්ස අත්තනායක ඉකුත්දා තීරණයක් ගත්තේය. ඒ එජාප සජබ සන්ධාන සාකච්ඡාවලින් ඉවත් වීමටය. ඒ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක කියන්නේ මෙහෙම කතාවකි.
“එක්සත් ජාතික පක්ෂයෙන් ලැබුණු ආරාධනාවකට අනුව අපි දෙගොල්ලන්ට ඉදිරි දේශපාලන කටයුතුවලදී එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්ද කියලා බලන්න සාකච්ඡාවක් ඇරඹුවා. අපි ඒක ආරම්භ කළේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ එකඟතාව ඇතිව. නායකතුමාම තමයි සාකච්ඡා ඉදිරියට කරගෙන යෑම සඳහා කණ්ඩායමක් නම් කළේ. මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ නායකත්වයෙන් යුතුව මමත් ගයන්ත, හර්ෂණ හා මුජිබර් රහුමාන් ඒ කමිටුවට අයත් වුණා.
“අපි දිගටම සාකච්ඡා කරමින් ඉතා සාධනීය තැනකට සාකච්ඡාව අරන් ආවා. දැන් මේ වෙනකොට ඒක කඩාකප්පල් කරන්න පක්ෂය ඇතුළෙන් යම් යම් කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වෙනකොට කබීර් හෂින් මහත්තයගෙත් ඉම්තියාස් මහත්තයාගෙත් මාගේ පෞද්ගලික ව්‍යාපෘතියක් විදියටයි සමහරු මේක හඳුන්වන්නේ. මම නායකත්වයට කීවේ මේක අපේ වැඩක් නෙවෙයි පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව මත පක්ෂයේ වැඩක් කියලා නම් කරන්න. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරලා තීන්දුවක් ගන්න. එහෙම නැතුව මම මේ සාකච්ඡාවලට යළි සහභාගි වෙන්නේ නෑ.”
සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් කියන්නේ පක්ෂ දෙකේ සමගියට බාධා කරන්නේ පක්ෂ දෙකේම සිටින ල-යනු තුනක් බවත්, ඒ ල-යනු තුන තවම එළියට පැමිණ නැත.
මානව හිමිකම් ගැන රනිල්ගෙන් හෙළිදරවුවක්
රනිල් මල් පාර කාර්යාලයේදී තරුණ නීතිවේදීන්ගේ හමුවකට සහභාගි වූයේ බ්‍රහස්පතින්දාය. එහිදී ඔහු ලංකා රජයට මෙන්ම සියලු දේශපාලන පක්ෂවලට අනගි දූරදර්ශී උපදෙසක් දුන්නේය.
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා” රනිල් කී කතාවේ මූලික හරය වූයේ එයයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ වසරේ සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද රනිල් එහිදී සඳහන් කළේය.
රනිල්ගේ අනාවරණය ගැන තරුණ නීතිවේදීන් සිටියේ දැඩි කුතූහලයකිනි. රනිල් එහිදී රජයටද දැනමුතුකමක් දුන්නේය.
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මේ දෙබිඩි පිළිවෙත ගැන ලංකාවේ ආණ්ඩුව වගේම අනෙක් දේශපාලන පක්ෂත් බැරෑරුම් විදියට හිතන්න ඕනැ.”
ඒ අතරම රනිල් පළමු සහ දෙවැනි ලෝක සංග්‍රාම අතරතුර එක්සත් රාජධානිය පවා ඡන්ද කල් දැමූ ආකාරයත් ලංකාව හැම විටම යුද ගැටුම් තිබියදී පවා නිසි කලට මැතිවරණ තැබූ ආකාරය ගැනත් තරුණ නීතිවේදීන් දැනුවත් කළේය.
අය-වැය ගැන රනිල්ගේ මතය
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීන්ද එජාප ප්‍රබලයන්ද සහභාගී වූ හමුවකදී මුලින්ම කතාබහට ලක් වූයේ ආණ්ඩුවේ කුලුඳුල් අය-වැයයි.
“කවදත් ජේවීපී එක වචන මවලා දෙන්න දක්ෂයි නේ… මේ අය-වැයත් ඒ වගේම මවාපෑමක් තමයි” වජිර කීවේ කතාවට මුල පුරමිනි.
“මං විවාදේ කතා කරන්න නැඟිටින කොට ආධුනිකයො ඔක්කොම සැරෙන්ඩර්…” චාමර කීවේ කවුරුත් හිනස්සමිනි.
අයවැය විවාද ගැන රනිල්ගේ මතය දැනගන්න කාටත් අවශ්‍ය විය.එහෙත් නායක රනිල් එක වාක්‍යයක් පමණක් කියා නිහඬ විය.
“මම ඈතින් ඉඳන් බලාගෙන ඉන්නවා.”
කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඉකුත් කැබිනට් මාධ්‍ය හමුවේදී කියූ කතාවක් ගැනද මන්ත්‍රීවරු රනිල්ගෙන් ප්‍රශ්න කළහ.
එහිදී නලින්ද ජයතිස්ස කීවේ බැඳුම්කර සිද්ධියට එරෙහිව රනිල්ටත් ක්‍රියා කරන බවකි.
අර්ජුන් මහේන්ද්‍රන් ගැන රනිල් කීවේ මොනවාද?
“අපි මේ ප්‍රකාශය ගැන ආණ්ඩුවෙන් අහන්න යනවා. මේ කතාවලින් ආණ්ඩුව තව හිර වෙනවා. මේවට මගේ ඇති සම්බන්ධයක් නෑ. හරි නම් මේ ප්‍රකාශයට නඩු පවරන්න පුළුවන්. අනික අර්ජුන් මහේන්ද්‍රන් රටින් පිට වෙනකොට එයා මහ බැංකු අධිපති නෙමෙයි.”
එජාප ප්‍රබලයන්ගෙන් සජිත්ට චෝදනා
එජාපය සහ සජබ එකතු වීමේ සාකච්ඡා තවමත් අවසන් වී නැත. සාකච්ඡා අසාර්ථක වීමට ප්‍රධාන හේතුව සජිත්ගේ ක්‍රියා කලාපය බව එජාප ජ්‍යෙෂ්ඨයෝ කරුණු පැහැදිලි කළහ.
“පාර්ලිමේන්තුවේ අයවැය විවාදවලදිත් ප්‍රධාන විපක්ෂයෙන් කිසිම ඇඟට දැනෙන තර්ක ඉදිරිපත් කිරීමක් සිදුවුණේ නැහැ නේද? නිෂ්ක්‍රීය විපක්ෂයක් වෙලා තියෙන්නේ. මේ වගේ ලාචෝරු විපක්ෂයක් කිසි කාලෙක තිබුණේ නෑ…” රුවන් පැවසීය.
“විපක්ෂය ශක්තිමත් නැති නිසා තමයි ආණ්ඩුව පාළු ගෙයි වළං බිඳින්නේ,” තලතා පැවසුවාය.
ෆෙරායි ලයිෂන් සහ එල්බෝඩ්
මේ අතර රනිල් සහ එජාපයට හිතවත් වෘත්තීයවේදීන් අතර හමුවක් අඟහරුවාදා මල්පාර කාර්යාලයේදී පැවැත්විණි. මේ හමුවට එජාප සභාපති වජිර ද සහභාගි විය.එහි ප්‍රධාන මාතෘකාව වූයේ රටේ වත්මන් දේශපාලන තත්ත්වයයි. රනිල් සහභාගී වූ 8 වැනි ඉන්දීය සාගර සමුළුව ගැනද එහිදී සාකච්ඡා විය.
“සර්, ආපහු පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් යනවා. මොකද කියන්නේ ඒ ගැන?” වෘත්තීයවේදීන් එහිදී නායක රනිල්ගෙන් විමසූයේ දැඩි කුහුලකිනි.
“සර් වගේ පරිණත කෙනෙක් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන. ඇත්තටම සර් පාර්ලිමේන්තුවට එන්න තීරණය කළොත් ඒක හොඳයි කියලා අපේ අදහස…” වෘත්තිය වේදීහු වැඩිදුරටත් පැවසූහ.
රනිල් මේ සියලු කතා අසාගෙන සිටියේය. මඳ නිහඬතාවක් ආරක්ෂා කළ රනිල් උපහාසය මුසු ස්වරයකින් මෙසේ කීවේය:
“ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ්කාරයෝ එක්ක කාලය ගත කරන්නේ නෑ,” රනිල්ගේ කතාවෙන් මුළු ශාලාවම සිනා සාගරයක් විය.
පිට පිට තෙවැනි වතාවටත් රනිල් බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඒ සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් පැවැත්වීමටය.
රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා පැවැත්වුණු මෙම දෙසුමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් සහභාගී වූහ.
මෙහි දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දෙසුම පැවැත්වූයේ රනිල්ය. මෙම ඉන්දීය සංචාරයේදී රනිල් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද පැවැත්විණි.
“ලොක්ක ලෝකෙ වටේ ගිහින් මේ සැරේ අමුතු ගේමක් ගහනවා වගේ…” එජාප ජ්‍යෙෂ්ඨයන් පැවසූයේ එහෙමය.
හිටපු මන්ත්‍රීන්ගේ සංගීත සාදය
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගෑස් සිලින්ඩරයෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වූ මන්ත්‍රී පිරිසක් ඉකුත්දා රැස් වූයේ මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ නිවෙසේදීය. මන්ත්‍රීවරුන් තිස් දෙනකුට පමණ ආරාධනා කළත් පැමිණ සිටියේ විසිහතර දෙනෙකි.
“අපට හැම තැනින්ම ආරාධනා එනවා. තනි තනිව තීන්දු ගන්නේ නැතිව අපි පොදු තීන්දුවක් ගමු.” මහින්දානන්ද අලුත්ගමගේ එහෙම කියන විට මධුර විතානගේ කීවේ “හිතුවාටත් කලින් ආණ්ඩුව ෆේල් වෙලා. ආණ්ඩුවට බනින්නේ නැති කෙනෙක් නෑ,” යනුවෙනි.
“හොඳ පොදු සන්ධානයක් හදමු. එකතු කරගන්න පුළුවන් අය එකතු කරගමු. මම නාමල් මල්ලි එක්කත් කතා කරන්නම්.” මහින්දානන්ද යළිත් කීවේය. සාකච්ඡාව අවසන් වීමත් සමඟ මධුපානෝත්සවය සූදානම් විය.
“ඔන්න මම කාලෙකින් වැඩක් සෙට් කළා,” මහින්දානන්ද කීවේය. පියල් නිශාන්ත, මහින්දානන්ද, සහන් ප්‍රදීප් හා සුදර්ශන දෙණිපිටිය යන හිටපු මන්ත්‍රීවරුන් අතර ඇති වූයේ තරගයකි. ඒ බීමට නොව, ගීත ගායනයටය.
“මල්සරා විදිනවා හැම දෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ…” පියල් නිශාන්ත සාදය ආරම්භ කළේ ඒ ගීතයෙනි. ඔහු ෆෙඩී සිල්වාගේ කුණ්ඩුමනී ගීතයත් ගායනා කළේය.
“විමල් අයියා හිටියා නම් මෙතනට කපුගේත් බස්සනවා…” මහින්දානන්ද කීවේ විමල් වීරවංශ ගැන මතක් කරමිනි.
ෂැඩෝ කැබිනට් එකේ අවුලක්
පසුගිය සති කිහිපයේදීම අප මේ තීරුවේ සඳහන් කළ විපක්ෂයේ සෙවණැලි කැබිනට් මණ්ඩලය අයවැය දෙවැනි වර කියවන විට යථාර්ථයක් බවට පත් වී තිබිණි. අය-වැය විවාදයට මුහුණ දීමට පෙර මේ සෙවණැලි කැබිනට් මණ්ඩලයේ අවශ්‍යතාවය විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නත් අවසාන විග්‍රහයේදී පෙනෙන්නට ඇත්තේ එය සිතූ තරම් සාර්ථක වී නැති බවයි. අය-වැය විවාදයේදී විපක්ෂයේ ආරම්භක කථිකයන් වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර, රවී කරුණානායක වැනි අය ඉතා හොඳ ආරම්භයක් දුන්නද, සවස් වන විට පළමු පෙළ මන්ත්‍රීවරුන් ඊට එතරම් සූදානම් වී පැමිණි බවක් පෙනෙන්නට නොතිබිණි. විශේෂයෙන්ම ආරම්භක කථිකයා ලබාගන්නා තේමාව අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට විපක්ෂය අපොහොසත් විය. තම තමන්ගේ හිතට නැඟෙන වල්භූත කතා කිරීමට ගිය නිසා ආරම්භයේ සිට අවසානය තෙක් පවත්වාගත යුතුව තිබුණු ගලායෑම අනාගත් බවට විපක්ෂ මන්ත්‍රීන් අතර කතාබහක් ඇති විය.
හොඳටම මානව හිමිකම් රැකපු හිටපු ඇමැති කවුද?
මානව හිමිකම් ලංකා සංවිධානය විසින් සංවිධානය කර තිබු 2025 මානව හිමිකම් සමුළුව සහ විශිෂ්ටතා සම්මාන උලෙළ පසුගිය සති අන්තයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.
මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනයි. මීට අමතරව මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසාරි ජයසේකර, දිලිත් ජයවීරද සහභාගීව සිටියහ.
සවස 4ට පමණ ආරම්භ කළ උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමටද ආරාධනා කර තිබුණේ වජිරටයි. ඒ අනුව මෙම සංවිධානය මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවන ලද බැවින් වජිර තමන්ගේ ප්‍රකාශය ඊට නියමාකාරයෙන් ගැළපෙන පරිදිම සිදු කරන්නට විය.
“මට මහජන නියෝජිතයෙක් වෙන්න අවස්ථාව ලැබුණේ අවුරුදු 28දී. එදා මෙදා කාලය තුළ මම කිසිම දවසක පොලීසියකට ගිහින් කිසිම පුද්ගලයකුට විරුද්ධව පැමිණිල්ලක් දාලා නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් මට විරුද්ධව පොලීසියකට ගිහින් පැමිණිල්ලක් දාලාත් නැහැ. ඉතින් මම හිතනවා ඒක මම කරපු මානව හිමිකම් ආරක්ෂාවක් කියලා. යනුවෙන් ප්‍රකාශ කළ වජිර එහිදී දීර්ග විස්තරයක් කළේය.
වජිර රනිල්ට පෙන්වූ අසිරිමත් කමෙන්ටුව
“වර්තමානයේ එසේ ම ලොව පහළ වූ අසිරිමත් මිනිසෙක් තමයි රනිල් වික්‍රමසිංහ. ඔහු අද කියන දේ අද ලොවට නෑ සුනත්, තවත් අනාගත පරම්පරා කීපයක් ඉදිරියට ඔහු කියන දේ රැව් පිළිරැව් දෙනු ඇත. ඔහු මෙලොවට පැමිණි කාර්යය උපරිමයෙන් නිම කොට නිදහසේ නිහඬව සොබාදහම කලාව රසවිඳියි. ඔහුව වටහා නොගත් ඔහුව කියවා නොගත්, හුදී පෘථග්ජනයන් කෙදිනක හෝ කනගාටු වනු ඇත. එහෙත් එදිනට ඔහු නැතත් ඔහු දායාද කළ දේ ඔබව රැක ගනු ඇත.”
වජිරගේ මේ කමෙන්ටුව ගැන එතැන සිටි සියලුදෙනාම කතාබහ කරන්නට විය.
මෙම කතාබහට තවත් දෙයක් එක්කළ වජිර කියා සිටියේ, “ඇත්තටම අපිට කියාගන්න බැරි දෙයක් මේ පුද්ගලයා විසින් හරි අපූරුවට විග්‍රහ කර තිබෙනවා,” යනුවෙනි.
නාමල්ගෙන් අලුත් වැඩක්
නාමල් රාජපක්ෂද අලුත් වැඩකට අතගසා තිබේ. ඒ පොහොට්ටුව හැරගිය නායකයන් යළි පොහොට්ටුවට සම්බන්ධ කර ගැනීමය.
“අපි තමයි රටේ ශක්තිමත්ම සංවිධානාත්මකම පක්ෂය ආර්ථික අර්බුදය නිසා පක්ෂයේ ජනපදනමට බලපෑමක් ආවා. ඒත් ජනතාවගේ විකල්ප තේරීම අපි. අපට මේ වෙලාවේ ලොකු කාර්යභාරයක් තිබෙනවා. මෙහෙම ගියොත් රට විශාල අනතුරකට ලක් වෙනවා. මේක මහින්ද ජනාධිපතිතුමා යුද්ධය කරලා දිනා දීපු රට. අපි එකතු වෙලා ගමනක් යමු.”
නාමල් කියන්නේ එහෙම කතාවකි.