නෙතින් නෙත බලාගෙන
ආදරෙන් කොඳුරන්න
රෝස දෙකොපුල් මතට
හාදු වැහි වස්සන්න…
සඳ ගාව තරු පොකුරු
නෙළා හිස සරසන්න
එක රෑක නුඹ එන්න
මේ හීනෙ ඇහැරන්න
ලෝකයක් මට කුමට
මා ගාව නුඹ ඉන්න…
අතින්වත් අත නෑර
හැමදාම ළඟ ඉන්න
මට ඕනෙ නුඹ එක්ක
සංසාරෙ දුර යන්න
ලෝකයක් මට කුමට
මම ගාව නුඹ ඉන්න…
ගායනය – බන්දුල සමරසේකර
සංගීතය – අනුර වන්නිආරච්ච්
පද රචනය – නිලුකා පතිරණ
ජීවිතේ හැමදාමත් මට හීන තිබුණා. මම හැමදාම වෙහෙසුණේ ඒ හීන වෙනුවෙන්. ඒත් කවදාවත් හැබෑ කරගන්න පුළුවන් වේවි කියලා හිතපු නැති හීනයක් මට හැබෑ වුණා. ඒක තමයි මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය. මගෙ අම්මා තාත්තා මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ඒත් නංගිටයි මටයි හොඳට උගන්නන්න ඒ දෙන්නට පුළුවන් වුණා. මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට මට ගුරු පත්වීමක් ලැබුණා. තාත්තා අම්මා එදා තරම් කවදාවත් සතුටු වුණේ නැතිව ඇති කියලා මට අදටත් හිතෙනවා.
“පුතේ දැන් ඉතිං පෙළවහක් වුණානම් හරි නේද? අම්මා මන්තරයක් වගේ මතුරන්න ගත්තා. තාත්තා නම් නිහඬවමයි හිටියේ. පාසල් කාලේ ඉඳලා මගේ හිත ගත්ත කෙනෙක් හිටියා. ඇයත් මං ගැන විශේෂයෙන් බැලුවා කියලා මම දන්නවා. ඒත් අපි දෙගොල්ලෝ අතර කිසිම ගැළපීමක් නැහැ. අපි සාමාන්‍ය පවුලක. එයාලා අපේ ගමේ වංශවත් පවුලක්. විශ්වවිද්‍යාලයට ගියත් මගෙ හිත හැමදාම තිබුණේ ගමේ. ඒ නිසා මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණෙත් තනියමයි. අපි හමු වුණා නම් හමු වුණේ ගමේ පන්සලේදී විතරයි.
“ගුරු පත්වීමක් ලැබිලා ගමෙන් ගියාට පස්සේ මම හිතුවා මට එයාව අමතක වෙයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ගමේ එන හැම දවසකම අම්මා මට විවාහය ගැන මතක් කළා. මමත් ඒ වෙන කොට ඒ ගැන හිතලා තිබුණේ. දවසක් මම එයාලගෙ ගෙදර ගියා. එයාගේ අම්මා, අයියා, අක්කා හැමෝම ගෙදර හිටියා. මම මගේ තීරණය එයාලට කිවුවා. ඒ ගොල්ලෝ මගෙ දිහා බැලුවේ පුදුම වෙලා. මගෙ කතාව අහලා අම්මා ගෙට ගියා. අක්කත් මඟහැරලා ගියා. අයියා විතරක් මා එක්ක හිටියා. පැය කාලකට විතර පස්සේ අක්කා ආවේ තේ බන්දේසියකුත් අරගෙන. අයියා ගෙට ගිහින් අම්මත් එක්ක ආයෙත් සාලෙට ආවා.
“මගෙන් අකැමැත්තක් නෑ. මේ ළමයා කෙළින්ම ඇවිල්ලා අහපු එක ගැන මට සතුටුයි… පවුලේ හැමෝම අම්මගෙ කීම අනුමත කළා. ඒ විදිහට තමයි මගෙ මැණිකෙව මගෙ ළඟට ගත්තේ.”
කලෙකට පෙර මගේ මිතුරියගේ සැමියා කියන්නට වූයේ මහත් සතුටිනි (ඇයත් ඔහුත් දැන් සිටින්නේ විදෙස්ගතවය). තමා හිත ගත් තරුණිය දෙපාර්ශ්වයේම අනුමැතිය ඇතිව විවාහ කරගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නැතිනම් ඒ යහළු මිතුරුකම්වලට දහසක් බාධා පැනනඟිනු නොඅනුමානය. මේ එවන් ප්‍රේමයක කතාවක් බඳුය.
නවපරපුරේ ගී පද රචිකාව වන නිලූකා පතිරණ ලියූ, ගායන ශිල්පී බන්දුල සමරසේකර ගයන මේ ගීතයේ පද සරලය. එහි අදහස සරලය. එනමුදු එයින් කියවෙන කතාව ගැඹුරුය.
‘නෙතින් නෙත බලාගෙන
ආදරෙන් කොඳුරන්න
රෝස දෙකොපුල් මතට
හාදු වැහි වස්සන්න…’
යන ගීතය පිළිබඳ ගී පද රචිකා නිලූකා පවසන්නේ මෙවන් අදහසකි:
“ආදරය ගැන මට විටින්විට විවිධ කවි පද ලියවිලා තියෙනවා. දවසක් හරි ලස්සනට හඳ පායලා තිබුණා. මම අහස දිහා බලාගෙන ඉන්නකොට මගේ හිතට මේ වචන ටික ආවා. මේක ගීතයක් ද කවියක් ද කියලා අදහසක් මට තිබුණෙ නෑ. ඒත් මම ඒ පද එකින් එක ලිවුවා. එය ගීතයක් කරන්න නම් අදහසක් තිබුණේ නැහැ. ඒත් බන්දුල සොහොයුරා කාලයක් තිස්සේ මගෙන පද පෙළක් ඉල්ලා හිටියා. ඒ අනුව තමයි මම මේ පද පෙළ ඔහුට දුන්නේ. මගේ පද පෙළට සංගීතවේදි අනුර වන්නිආරච්ච් හරි අපුරු සංගීත නිර්මාණයක් කර තිබුණා. මේ හැමෝගෙම දායකත්වයෙන් තමයි මගේ පදවලට මේ තරම් පිළිගැනීමක් ලැබුණේ.”