මේ දිනවල හැමෝම හොයන, හැමෝම මුමුණන “දුමාරේ ” ගීතය, ලංකාවෙ මෙන්ම ලෝකය වටේ ඉන්න ශ්‍රී ලාංකීය රසිකයන් අතර වඩාත්ම ජනප්‍රිය, හැමෝම කතා වෙන Trending ගීතය වී අවසන්. මේ ගීතය ගයන්නේ රොබී-ජේ. රසදුන මේ කතාබහ රොබී-ජේ සමඟ දුමාරේ ගැන සහ ඔහුගේ සංගීත ජීවිතේ ගැනයි.
දුමාරේ නිසයි ඔබ බොහෝ දෙනා අතර දන්නා චරිතයක් වෙන්නේ, හිතුවද මේ ගීතය මේ තරම් දුරක් ඔබව අරන් එයි කියලා?
නැහැ. මේ වචන තුළ ගැඹුරක් තියෙනවා කියන එක දැනුණා. නමුත් මේ සමාජයේ ඉන්න රසිකයින් මේ තරම් මේ ගීතය වැලඳ ගනී කියන එක හිතුණ් නැහැ. මොකද සමාජයේ බොහෝ වෙලාවට ඇහෙන්නේ ප්‍රේම ගීත සහ විරහ ගීත නිසා. ඒ නිසා මට හිතුනෙම නැහැ මේ ගීතය මිනිස්සු අතරට යයි කියලා. හැබැයි මේ ගීතය රචනා කළ අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවෝ මට කිවුවේ මේකේ තියෙන තේරුම තේරුම් ගත්ත දවසට අයියේ මේක පිස්සුවක් වෙනවා කියලා. අද ඉතින් ඇත්තටම මේක පිස්සුවක් වෙලා තියෙනවා.
මේ කාලයේ අලුත් නිර්මාණ බිහිවෙන්නේ නැද්ද?
අප්‍රේල් මාසයේ පළවෙනි සතියේ තව අලුත් නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා. එය නිර්මාණය වෙන්නේ මගේ අදහසක් අනුව. ඒ එක්කම දුමාරේ ගීතය එක්ක ලංකාවේ සහ විදෙස් රටවල ප්‍රසංගවලට ඇරයුම් ලැබිලා තියෙනවා.
රොබී – ජේ කොහොමද සංගීතයට යොමු වෙන්නේ?
මට හය හතර තේරෙන කාලේ ඉඳන් තමයි මගේ සංගීතය පටන් ගන්නේ. මට ගායනා කරන්න පුළුවන්, මට තව කෙනෙක් පිනවන්න පුළුවන් කියන එකම මට අවුරුදු තුන හතර වෙද්දීම තේරෙනවා. මගේ අම්මා තාත්තා දෙන්නම රජයේ සේවකයෝ. ඒ නිසාම ඒ දෙන්නම රටේ විවිධ පළාත්වල වැඩ කළා. මම සහ මල්ලි හැදෙන්නේ මගේ ආච්චි, සීයා සහ නැන්දා ගාව. හැමදාම වගේ හවසට අපි පන්සලට යනවා. අපි මධ්‍යම පාන්තික පවුලක්. අපේ ගෙදර රේඩියෝ එකක්වත් තිබ්බේ නැහැ. 84 රූපවාහිනිය ලංකාවට ආවමත් ඒක බලන්නත් සීයා අපිව කිලෝමීටරයක් විතර දුර එක්කගෙන ගියා. ඔය කාලේ ඉඳන් කනට ප්‍රිය කළේ අම්මා පොඩි කාලේ අපිව නිදිකරවන්න ගයපු ගීතයක්. එහෙම නැත්නම් තාත්තා මුමුනපු මොහොමඩ් රාෆිගේ ගීතයක්. ඊට අමතරව පන්සලට ගියාම හාමුදුරුවෝ කියපු බෝධි පූජා කවි. ඒ කාලේ ඉඳන් මම මට ඇහෙන සද්ද ටික ඉමිටෙට් කරලා කියන්න පටන් ගත්තා. එතැනින් තමයි මට තේරුම් ගියේ මටත් හැකියාවක් තියෙනවා කියලා.
පාසල් ගියේ කොහෙද?
මුලින්ම ගියේ හොරණ ශ්‍රී පාලි කනිෂ්ඨ විද්‍යාලය. එතැනින් අවුරුදු දෙකක් වගේ කාලයක් ඉගෙන ගෙන මම යනවා ගලේවෙල ප්‍රාථමික විද්‍යාලයට. ඒ අම්මගේ තාත්තාගේ ස්ථාන මාරුවීම් නිසා. ඊට පස්සේ ශිෂ්‍යත්වය සමත් වෙලා මට කුරුණෑගල මලියදේව විද්‍යාලයට යන්න පුළුවන් වුණත් මාව දැම්මේ නැහැ කිලෝ මීටර් 40ක් විතර දුර යන්න තියෙන නිසා. ඒ නිසා ගලේවෙල සෙන්ට්‍රල් එකේ ටික කාලයක් ඉඳලා පසුව මම ගියා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එතැනින් තමයි මම සාමාන්‍යය පෙළ සහ උසස් පෙළ හැදෑරුවේ.
අද වෙද්දී ඔබ ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?
මම සෑහෙන්න හීන දැක්කා. මට මේ සංගීතය පිහිටලා තියෙන්නේ හාස්කමක් වගේ. මට ඕනෙම ආරක ගීත ගායනා කරන්න පුළුවන්. මගේ වෘත්තිය වෙලා තියෙන්නේ සංචාරක හෝටල්වල ගීත ගායනා කිරීම. ඒක ලොකු අභියෝගයක්. සංචාරක හෝටල්වලට විවිධ රටවල විවිධ සංස්කෘතීන්වල අය එනවා. උදාහරණයක් විදිහට ගත්තොත් රුසියාව කියන රට ගත්තම එයාලගේ රසවින්දනය වෙනස්. ඒ නිසා ඒ අය ඉන්න තැනක රුසියානු ගීත ගායනා කරනවා කියන්නේ ඒ අය හරියට විනෝද වෙනවා. රුසියානු භාෂාව උච්චාරණය හරිම අමාරුයි. මම මාලදිවයිනට ගියා එහෙදි ඒ භාෂාව ඉගෙන ගත්තා. ඒ එක්කම ජපාන, අරාබි, හින්දි ,ජර්මන් වගේ භාෂා නවයක ගීත එකතුවක් මම හදා ගත්තා. ඒ හැම එකකම ඔර්ජිනල් වචන, ශබ්ද රසය එක්කම ඒ ගීතය දැනෙන විදිහට මම ගායනා කළා. ඔය හැමදේම මම ඉගෙන ගන්නේ සංචාරක හෝටල් වලින්. මම සංචාරක හෝටල්වල ගීත ගයන්න එන්නේ 2009දී. බෝධි පූජා කවි කියන තැනින් පටන් ගත්ත මම ස්කොලේ විවිධ තරගවලින් ජයග්‍රහණ ලබා ගෙන විවිධ බෑන්ඩ්වල සෙල්ලම් කරලා තමයි අද මේ දුමාරේ හරහා හැමෝම දන්නා කෙනෙක් වෙනකම් මේ ගමන ආවේ.
මේ වෙද්දී ඔබේම ගීත කීයක් තියෙනවද?
ගීත හතක් නිර්මාණය කරගෙන තියෙනවා. එකක් මගේ පුතා ගැන. එකක් මගේ තාත්තා ගැන. ඒවා මම මටම විඳින්න හදා ගත්ත ගීත නිර්මාණ. මම හිතන්නේ නැහැ ඒ ගීත පොදු සමාජයේ අය වැලඳ ගනී කියලා. නමුත් දවසක අවස්ථාවක් ලැබුණොත් මම ඒ ගීත නිකුත් කරනවා.
ඒ එක්කම තෙනී සහ මිහී කියන පුතාලා දෙන්නත් මේ ගීතය හරි අපූරුවට ගයනවා. ඔබත් ඒ දෙදෙනා එක්කම වැඩසටහන්වලට සම්බන්ධත් වෙලා තිබ්බා, ඒ දෙන්නා ගැන දැනෙන දේ කිවුවොත්?
මෙහෙමයි. මේ ගීතයේ පද රචනා කරන්නේ අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවෝ. සංගීත අධ්‍යක්ෂණය කරන්නේ අනුරාධ අබේසිංහ සහ ගීත ගායනයෙන් තමයි මම එක් වෙන්නේ. ඒ එක්කම තව බොහෝ පිරිසක් මෙහි එන රූප රචනාවට සහ තාක්ෂණික පැත්තෙන් පටිගත කිරීම්වලදී සම්බන්ධ වුණා. මේ ගීතයේ තියෙන පදවැල්වල රසය සහ ගැඹුර, ගායනයේ තියෙන යම් කිසි විශේෂත්වයක් නිසා මේ ගීතය ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකය පුරා ජනප්‍රිය වෙමින් දිනපතා විවිධ ආකාරයේ නිර්මාණ බිහිවෙමින් පවතිනවා. මේ තරම් ප්‍රමාණයක් මෑත කාලයේ සෝෂල් මීඩියා තුළ ගීතයක් වැලඳ ගත්තා නම් ඒ දුමාරේ. මේ වෙද්දී විවිධ පාර්ශ්වයන් ඉන්නවා මෙහි පංගුකාරයින් වුණු. ඒ අතර ක්‍රීඩකයෝ, විවිධ ජාතීන් සහ ප්‍රසිද්ධ චරිත ඉන්නවා. මේ අය අතරට තමයි අපේ තෙනී සහ මිහී කියන පුතාලා දෙන්නත් එකතු වෙන්නේ. එයාලගේ වයස එක්ක ලොකු දස්කමක් තියෙන දෙන්නෙක්. සංගීත ක්ෂේත්‍රයේ ඊළඟ පරම්පරාවේ දෙන්නෙක්. මගේ ගීතයත් ඒ පුතාලා දෙන්නා ගායනා කළා. ඒකට විශාල ප්‍රචාරයක් ලැබුණා. මේ ගීතය තුළ තියෙන්නේ අාධ්‍යාත්මික විග්‍රහයක්. ඒක මේ දරුවෝ දෙන්නට බර වැඩියි. ඒ නිසා මම ඒ පුතාලාගේ තාත්තට යෝජනා කළා දරුවෝ දෙන්නටම ගැළපෙන ඔර්ජිනල් එකක් නිර්මාණය කරමු කියලා. මම ඒ දරුවෝ දෙන්නගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා.
ඔබට ආදරේ කරන රසිකත්වයට කියන්න දෙයක් ඇති?
දුමාරේ ගීතය ප්‍රේක්ෂකයා අතරට එන්නේ මේ සමාජයේ ලොකු හිඩැසක් පුරවමින්. මෙවැනි ගීතවල ලොකු අඩුවක් තිබ්බා. මේ වෙද්දී යූටියුබ් නැරඹුම් වාර මිලියන 3 ඉක්මවා තියෙනවා. මගේ යූටියුබ් නාළිකාවේ මිලියන 1.2ක් සහ අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවන්ගේ යූටියුබ් නාළිකාවේ මිලියන 2 ඉක්මවා තියෙනවා. ඒ එක්කම අපේ තව ප්‍රඩක්ෂන් හවුස් එකේ යූටියුබ් නාලිකාවේත් 2k වගේ නරඹලා තියෙනවා. බොහොම සන්තෝෂයි. රොබී-ජේ වගේ අහිංසක මනුස්සයෙක් බොහොම දුකක් ලොකු බරක් කරේ තියාගෙන එන ගමනේ ආටිස් කෙනෙක් වෙන්න මේ දුන්නු ජවයට බොහොම ස්තුතියි. එයාලා මට ලබා දෙන හැම කමෙන්ට් එකකටම මමයි පිළිතුරු දෙන්නේ.
දවසකට ලක්ෂයකට ආසන්න ප්‍රතිචාර ලැබෙද්දී ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න වෙලා යනවා. දොසක් හිතන්න එපා. හැමෝටම මම ආදරෙයි. විශේෂයෙන්ම ජනමාධ්‍යයටත් මම ආදරෙයි.