Home » ලොකු බලාපොරොත්තු නැහැ රත්තරං!

ලොකු බලාපොරොත්තු නැහැ රත්තරං!

චාමර රණවක

by thanushika
March 1, 2025 12:30 am 0 comment
අනුෂා රණසිංහ

චාමර රණවක කියන්නේ මේ දවස් වල සමාජ මාධ්‍යය තුළ බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්. ඒ ඔහු සහභාගී වූ වැඩසටහනකට ලබා දුන් අව්‍යාජ පිළිතුරු හේතුවෙනි. රසඳුන මේ සොඳුරු කතාබහත් චාමර රණවක සමඟ ය.

මේ දවස්වල ඔබ සමාජ මාධ්‍යය තුළ බොහොම ජනප්‍රියයිනේ?

වරදරක් නැහැ. මට ඉතින් හැමදාම වගේ ඔය වගේ ප්‍රතිචාර තිබුණා. මම හැමදාම මිනිස්සුත් එක්ක කතාබහ කරලා සුහදව හිටියා.

සමාජ මාධ්‍යය තුළින් ලැබෙන ප්‍රතිචාර එහෙම බලනවද?

අනේ නැහැ. මට වෙන වැඩ තියෙනවා කරන්න.

මෙහෙම වැඩසටහන් කරලා ගෙදර ගියාම කොහොමද ලැබෙන ප්‍රතිචාර?

එහෙම කිසිම විශේෂත්වයක් නැහැ. කවුරුත් ගණන් ගන්නේවත් නැහැ.

බෙල්ලේ ඉබ්බෙක් එල්ලන් ඉන්නේ ඇයි

ඒක මගේ යාළුවෙක් දුන්න එකක්.

ඒක අනිවාර්යෙන්ම ප්‍රසංගවලදී දානවද?

එහෙමත් නැහැ. සමහර වෙලාවට දානවා. සමහර දවස්වලට අමතක වෙලත් යනවා.

මේ දවස්වල ප්‍රසංග වැඩ කටයුතු කොහොමද?

ප්‍රසංග තියෙනවා. අදත් මේ හලාවතට ඇවිත් ඉන්නේ ප්‍රසංගයක් වෙනුවෙන්.

ඔබ ගයන්නේ ඔබම ලියලා සංගීතවත් කරන ගීත විතරයි, ඇයි ඒ?

මම කවුරුත් ලියපු සින්දු කියන්නෙත් නැහැ. මම ලියන සින්දුවලට මෙලඩි දාන්නෙත් මම විතරයි.

ඔච්චර අදහස් එන්නේ කොහෙන්ද?

මේ ලියපු හැම ගීතයකම තියෙන්නේ මගේ ජීවිතේ අත්දැකීම්.

ඔබේ ගීත අතර ඔබ වඩාත් කැමති ගීතය මොකක්ද?

එහෙම කියලා නැහැ. ඔක්කොටම එක වගේ ආදරෙයි.

ප්‍රේක්ෂක ආදරේ දැනෙන්නේ කොහොමද?

මම ඒ ගැන ලොකුවට හිතන්නෙත් නැහැ. මම ගායකයෙක් කියලා ඔළුවට අරගෙනත් නැහැ. මට මොන ප්‍රතිචාර ආවත් එකයි. මාව බුක් කළොත් මම ගිහින් සින්දු කියලා එනවා. එච්චරයි.

චාමර අයියාගේ අය කිරීම් කොහොමද?

මම වෙන අය වගේ ලොකු ගණන් ගන්නේ නැහැ. මම ගන්නේ සාධාරණ ගාණක්. හරි නම් මම තමයි වැඩිම ගාණක් ගන්නත් ඕනේ. මොකද මගේ සින්දු ඔක්කොම මමම ලියලා මමම සංගීතවත් කරපු නිර්මාණ. එහෙම හැර මට SMS ගහන්න කියලා නැහැ. මගේ සින්දු චැනල් වලට දීලත් නැහැ. හැබැයි මම ලොකු ගණන් කියන්නේ නැහැ. එහෙම කිව්වම කොහොමද මිනිස්සු දරා ගන්නේ. බොහොම අමාරුවෙන්නේ සංගීතයක් කරන්නේ.

කාලයකින් නේද මල්සරා සින්දුව ලිව්වේ

ඔව්. හරියටම අවුරුදු විස්සකට පස්සේ.

ඇයි ගීත එකකටවත් රූප රචනා නොකරන්නේ?

මම එහෙම කරන්නේ නැහැ. සින්දු තියෙන්නේ අහන්න. ටෙලි නාට්‍යය සහ චිත්‍රපට තමයි බලන්න තියෙන්නේ.

මඟ හැරුණු ලියන්න කැමැත්තෙන් ඉන්න අත්දැකීමක් තියෙනවද?

එහෙම නැහැ. දැන් මේ අහන හින්දා මම කියන්නේ. මම සින්දු ලියන එක ගැන හිතලාවත් නැහැ. මොකද සින්දු හිතලා ලියන්න බෑනේ. සින්දු ලියවෙන්න ඕනේ. එහෙම නැතුව ලියලා හරි යන්නේ නැහැ. අද කාලේ වෙලා තියෙන්නේ සින්දු ලියන එකනේ. මනසට දුකක් වේදනාවක් හෝ සතුටක් ආවම තමයි සින්දු ලියැවෙන්නේ.

ආපස්සට හැරිලා බලද්දී ගායකයෙක් වීම ගැන මොකද හිතෙන්නේ?

අවුලක් නැහැ. මං ගායකයෙක් වුණානේ ඉතින්. ඒක වෙන්න තියෙන දේ වෙන්න ඇති.

ගායකයෙක් නොවුණා නම් කවුරු වෙයිද?

ගායකයෙක් නොවුණා නම් එක්කෝ කුඩුකාරයෙක් වෙයි. නැත්නම් බන්ධනාගාරයක ඉඳියි.

ඔබේ විලාසිතා වෙනස් නේද?

අනේ මට එහෙම විලාසිතා නැහැ. මම අඳින්නේ මගේ බිරිඳ මට දෙන ඇඳුම.

ආදරණීය බිරිඳ ඉනෝෂාගෙන් ලැබෙන සහයෝගය ගැන වචන කළොත්?

ඒක වචනවලින් කියන්න බැහැ. එයා තමයි මගේ බිරිඳ. මගේ ලෝකයේ මට හම්බ වුණු දෙවි කෙනෙක් වගේ.

පුතාගේ වයස කීයද?

අවුරුදු 6යි.

තාම පොඩි නිසා ලොකු වෙද්දී තාත්තා වගේ සින්දු කියයි නේද?

ඒ වුණාට මට ඉතින් හැදෙන ගහ දෙ‍ෙපත්තෙන් දැනෙනවා වගේ තේරෙනවා. මෑන්ට තාම එහෙම තාලයක් එහෙම නැහැ. දැන් ඉන්න ළමයි අවුරුදු තුනේ ඉඳන් සින්දු කියන්නේ. මෙයාට එහෙම නැහැ. හැබැයි කියන්නත් බැහැ ඉතින් ලොකු වෙද්දීත්.

තාත්තා සින්දු කියන ප්‍රසංග බලන්න යන්න පුතා ආස නැද්ද?

ඒවාට නම් ආසයි. රෑට ලයිට් දාලා එහෙම තියෙනවානේ. නිතරම එක්කගෙන යන්නේ නැහැ පාසල් යන නිසා. ඉඳලා හිටලා ට්‍රිප් එකක් එක්ක යනවා වගේ එක්ක යන අවස්ථා තියෙනවා.

හෙට දවසේ බලාපොරොත්තු තියෙනවද?

අනේ නැහැ රත්තරං. නිවී සැනසිල්ලේ ඇස් දෙක පියගන්න තියෙන්නේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division