Home » ජාතික ක්‍රීඩා සභාව ගැන නැවත හිතමු

ජාතික ක්‍රීඩා සභාව ගැන නැවත හිතමු

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment

මෙරට ක්‍රීඩාවේ මහගෙදර හෙවත් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත උත්තරීතරම ආයතනය ලෙස ‘ජාතික ක්‍රීඩා සභාව’ හැඳින්විය හැකි වන අතර, මෙරට සම්මත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ පළමු වගන්තිය අධ්‍යයනය කිරීමෙන්ම ඒ බව පැහැදිලි වනු ඇත. එනම් ඒ වසරේදී සම්මත කරගන්නා ලද ක්‍රීඩා පනත සම්බන්ධව නිල වශයෙන් 1973 ජූලි 9 දා ප්‍රකාශයට පත් කරන ලද ලිඛිත දැන්වීමට අනුව ‘ජාතික ක්‍රීඩා සභාවක්’ යන්න පළමුව සඳහන් කරමින්, ඒ සභාව ඇතුළු ක්‍රීඩා පනතට අනුව පිහිටුවිය යුතු පරිපාලන ආයතන පිළිබඳ පළමු වගන්තියේම සඳහන් කර ඇත.

තවද, ඊට අමතරව ක්‍රීඩා පනතේ 1 වන කොටසේ 4 (1) උප වගන්තිය යටතේ ජාතික ක්‍රීඩා සභාවක් පිහිටුවීමේ අරමුණු අර්ථ නිරූපණය කර ඇත. එනම්: ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා පිහිටුවනු ලබන සභාව ‘ජාතික ක්‍රීඩා සභාව’ යනුවෙන් හඳුන්වනු ලබන බව එම අර්ථ නිරූපණයෙන් පැහැදිලිව කියවේ. එබැවින් මෙරට ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන ජාතික ක්‍රීඩා සභාව නම් උත්තරීතර ආයතනයට වැදගත් වගකීමක් පැවැරී ඇති අතර, ඒ ආයතනය සඳහා පත් කරන සභාපතිවරයා සහ අනෙකුත් සාමාජිකයන් 12 දෙනාගේ පත් කිරීම්ද නීත්‍යනුකූල බවට ක්‍රීඩා අමාත්‍යවරයාද තහවුරු කරගත යුතුය.

එහෙත් පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාතික ක්‍රීඩා සභාව සඳහා කරන ලද පත්කිරීම් නීත්‍යනුකූලද යන ප්‍රශ්නය මතු වන්නේ පත්වීම් ලද දහතුන් දෙනාගෙන් දෙතුන් දෙනකු පිළිබඳ පරස්පරතාවන් මෙන්ම නීත්‍යනුකූල ගැටලු මතු වූ ඇති නිසාය. එනම්: මෙරට රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රය නියෝජනය කොට මේ සභාවට පත්ව සිටින සභාපතිවරයා සහ එක් සාමාජිකයකු පිළිබඳ ප්‍රශ්න මතු කරන්නට තරම් හේතු සාධක ඇත. 2014 වසරේ ශ්‍රී ලංකාවේදී පැවති ආසියානු රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ෆීජි ක්‍රීඩකයන් තිදෙනකු යොදාගත් ආකාරය වැරදිසහගත බවට ලෝක රග්බි සංගමය විසින් තීරණය කරන ලදි. එසේ නීත්‍යනුකූල නොවන අයුරින් ක්‍රියා කිරීමේ වරදට දඬුවමක් ලෙස පවුම් 50,000ක දඩයක් ලෝක රග්බි සංගමය විසින් එවක ශ්‍රී ලංකා රග්බි සංගමයට පනවනු ලැබීය.

එකල ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් විසින් එම ෆීජි ක්‍රීඩකයන් තිදෙනාට අක්‍රමවත් පරිදි ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දී ගන්නා ලද අනීතික තීරණ හේතුවෙන් ලැබුණු දඬුවමට ඔවුන් වන්දි ගෙවිය යුතු වුවද, අවසානයේ ලෝක රග්බි සංගමයට යෝජනා කළේ මෙරට රග්බි ක්‍රීඩාව සංවර්ධනය කරන්නට වාර්ෂිකව දෙන ආධාර මුදල්වලින් ඒ දඩය පියවා ගන්නා ලෙසයි. ශ්‍රී ලංකාව පැත්තෙන් කළ ඒ යෝජනාවට පළමුව ලෝක රග්බි සංගමය අකැමැති වුවද, එකල නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය දැරීමත්, තම පියා රටේ නායකයා වීමත් යන හේතු සාධක යොදාගනිමින් කෙසේ හෝ ඒ යෝජනාවට එකඟ කරවාගෙන, පසුව ඒ දඩය පවුම් 5,000 බැගින් වාරික වශයෙන් ගෙවීමට තීරණය කර ඇතැයි පැවසේ. කෙසේ වෙතත් මේ ක්‍රියාදාමයන්ට අදාළ කාල සමයේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේද ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයාය.

තවද, රග්බි ක්ෂේත්‍රයෙන් ජාතික ක්‍රීඩා සභාවට නම් කර ඇති තවත් සාමාජිකයකුගේ පත්වීමද නීත්‍යනුකූල නොවන්නේ ඔහු රග්බි ක්‍රීඩා ආම්පන්න අලෙවියට ඍජු ලෙසම සම්බන්ධ නිසා බවද පැවැසේ. එනම්: මෙරට සම්මත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 15.1 (i) වගන්තියට අනුව රොහාන් අබේකෝන් වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස පත් කිරීම නීත්‍යනුකූල නොවන අතර, ඒ පත්වීම ශ්‍රී ලංකා රග්බි සංගම් ව්‍යවස්ථාවේ 20 (m) වගන්තියද උල්ලංඝනය කිරීමකි. තවද: මෙරට ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන වොලිබෝල් ක්‍රීඩාව නියෝජනය කරමින් පත් කොට ඇති එකම සාමාජිකයා වන සී. රත්නමුදලි මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස නම් කිරීමද නිවැරදිදැයි කතාබහට ලක් වී ඇත.

ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ජනප්‍රියත්වයක් උසුලන, එමෙන්ම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන ආ පාපන්දු, දැල්පන්දු, වෙඩි තැබීමේ ක්‍රීඩා, බර ඉසිලීම වැනි ක්‍රීඩා ක්ෂේත්‍රයන් ගෙන් කිසිදු නියෝජනයකට වත්මන් ජාතික ක්‍රීඩා සභාව තුළ ඉඩක් ලැබී නැත. එහෙත් රග්බි සඳහා සිවු දෙනකුටත් ක්‍රිකට් සඳහා දෙදෙනකුටත් ඉඩ දී ඇත. ඊට අමතරව බොක්සිං, මේසපන්දු, බැඩ්මින්ටන් හා මලල ක්‍රීඩා යන ක්ෂේත්‍ර සඳහා එක් අසුන බැගින් දී ඇත. මේ අනුව බැලූ විට ක්‍රීඩා පනතේ අර්ථ නිරූපණයට අනුව ක්‍රීඩා සභාවක් පිහිටුවීමට පාදක කරගත් මූලික අරමුණු ඉටු කරගැනීමට මෙවන් පත්කිරීම් මඟින් බාධාවක් වනු ඇත. එනම්: මීට පෙර සඳහන් කළ පරිදිම ක්‍රීඩා පනතේ 1 වන කොටසේ 4 (1) උප වගන්තිය යටතේ ජාතික ක්‍රීඩා සභාවක් පිහිටුවීමේ අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීමයි. එනිසා අදාළ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා එක් ක්‍රීඩාවකින් අවම වශයෙන් එක් අයකු හෝ ඒ සභාවට ඇතුළත් කළ යුතු නොවේද? අනෙක් අතට ගත හොත් එක් ක්‍රීඩාවකින්ම සිවු දෙනකු ජාතික ක්‍රීඩා සභාවට පත් කළ යුත්තේ ඇයි ? ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් මේ පිළිබඳ නැවත සිතා බැලීම ක්‍රීඩාවේ උන්නතියට හේතු වේ..

සිරිනාම රාජපක්ෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division