අවුරුදු සියයකට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන මාරාන්තික ගැටුමක ස්වරූපයක් ගත් දේශසීමා අර්බුදයක් පෙබරවාරි 21 දා දෙරටේ රාජ්‍ය නායකයන්ගේ එකඟතාවෙන් ඓතිහාසික ගිවිසුමකට එළඹුණේ මධ්‍යම ආසියානු කලාපය මෙන්ම ගෝලීය ප්‍රජාව ද ඉමහත් ප්‍රීති ප්‍රමෝදයට පත් කරමිනි. සෝවියට් මධ්‍යම ආසියානු රාජ්‍ය දෙකක් වූ තජිකිස්තානය හා කිරිගිස්තානය කි.මී. 870ක් පමණ දිගින් යුතු දේශසීමාවක් මුල්කොටගෙන ඉහළ ආතතිමය ගැටුමකට අවතීර්ණ වූයේ අද ඊයෙක නොවේ.
අන්තරිජාතික මැදිහත්වීම් ද සමඟ දශක දෙකක් පුරා ඉදිරියට ඇදී ආ මේ අර්බුදය පෙබරවාරි 21 දා දෙරටේ රාජ්‍ය නායකයන් විසින් අත්සන් කෙරුණු වටිනා ගිවිසුම්ප්‍රකාරව රාජ්‍ය ද්විත්වයටම ගැටලුවකින් තොරව ඉදිරියේදී ජල සම්පත පරිභෝජනය, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් භුක්ති විඳීම ආදියට අවකාශ උදා කරනු ඇති බව විස්තර වී ඇත.
පැවති සෝවියට් සමාජවාදි සමූහාණ්ඩුවට අයත් තජිකිස්තානය හා කිරිගිස්තානය සෝවියට් දේශයෙන් වෙන් වී ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මේ දේශසීමා අර්බුදය හට ගැනිණි. ඇත්ත වශයෙන්ම සෝවියට් දේශයෙන් වෙන් වූ බොහෝ රාජ්‍ය අරබයා මේ ආකාර දේශසීමා නිර්ණ අර්බුද මතුවීම සුලභ තත්ත්වයක් විය.
තජිකිස්තානය හා කිරිගිස්තානය යන රාජ්‍ය දෙකම මධ්‍යම ආසියානු කලාපයේ දරිද්‍රතාවේ පහළම තීරයේ රැඳී සිටින රාජ්‍ය දෙකක් වන අතර, පැවති දේශසීමා අර්බුදය තුළ හටගත් දේශපාලනික නොසන්සුන්තාව මේ තත්ත්වය තවත් තීව්‍ර කිරීමට හේතු විය.
තජිකිස්තානයට නැඟෙනහිර දෙසින් චීනය ද දකුණින් ඇෆ්ගනිස්තානයද පිහිටා ඇත. ඇලුමිනියම් හා පුළුන් නිෂ්පාදනය තජිකිස්තාන ආර්ථිකයේ පදනම වන අතර, කෘෂිකර්මාන්තය ද ගම්බද ප්‍රදේශවල ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ලෙස පවතී. කිරිගිස්තානය ද, කසකස්තානයට මායිම්ව පිහිටි රාජ්‍යයක් වන අතර, ටියෑං ශාන් හා පාමීර් කඳු පන්තියේ මේ රාජ්‍යය පිහිටා ඇත.
කිරිගිස්තාන ඉතිහාසය විවිධාකාර සංස්කෘති හා අධිරාජ්‍යවලින් ගහන වූ අතර, මේ රාජ්‍යය නිදහසින් පසු ඒකීය ජනපති ජනරජයක් බවට පත් විය. එමෙන්ම කිරිගිස්තානය, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද යුරෝපා ආර්ථික සංගමයේ ද ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ද ආදි සංවිධාන කීපයකම සාමාජිකත්වය දරන රටකි. තජිකිස්තානය හා කිරිගිස්තානය අතර දේශසීමා අර්බුදයේ ආරම්භය ඉතා සංකීර්ණ එකකි.
ගිවිසුමට එළඹි මාවත
වර්තමානය වන විට මල්ඵලගැන්වී ඇති තජිකිස්තාන හා කිරිගිස්තාන දේශසීමා අර්බුදය නිමා කිරීම පිළිබඳ සාකච්ඡාවල ඇරඹුම අද ඊයේ සිදුවූවක් නොවේ. එහි ආරම්භය සිදු වූයේ 2002 වර්ෂයේ පටන්මය. එහෙත් දශක දෙකක පමණ කාලයක්ම එය පැවතියේ, ඉතා සුළු ප්‍රගතියක් පමණක් ප්‍රදර්ශනය වෙමිනි. 2002දී අර්බුදයට තුඩු දුන් දේශසීමාවෙන් අඩක් පමණ නිර්ණයට ලක් කළ ද සෙසු කොටස එලෙසම පැවතිණි.
අද අප කතිකා කරන මේ නිර්ණයට ලක් නොවූ ඉතිරි දේශසීමා අර්ධය ඇතුළත් ප්‍රදේශයේ ජලය භාවිතය, මහාමාර්ගය ආදිය සම්බන්ධයෙන් තජිකිස්තානය හා කිරිගිස්තානය අතර ගැටුම්කාරි, ඉහළ ආතතිමය තත්ත්වය දිගින් දිගටම පැවතිණි. ඇත්ත වශයෙන්ම මේ දේශසීමා නිර්ණය නොකළ අර්ධයේ දෙරට අතර පැවති ඉහළ ආතතිමය ගැටුම් හේතුවෙන් 2021 අප්‍රේල් පටන් 2022 සැප්තැම්බර් වනවිට රාජ්‍යයන් දෙකෙහිම සිවිල් ජනයා මහත් සේ අසරණභාවයට පත්වූහ. 2022 දී තජිකිස්තාන වැසියන් 83ක් ද කිරිගිස්තාන වැසියන් 63ක් ද මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම
ගෝලීය ප්‍රජාවම ප්‍රකාශ කරනු ලැබුවේ කිරිගිස්තාන හා තජිකිස්තාන ප්‍රජාවන්ට දේපළ හිමිකම් අයිතීන් යටතේ ස්වාභාවික සම්පත් භාවිතයට හා ප්‍රවේශයට නීතිමය හිමිකමක් පවතින බවයි. ඒ සෝවියට් අධිකාරීන්ගේ සහායෙන් නිර්දේශිත ඉඩම් හිමිකම් ක්‍රමවේදය යටතේයි.
1991 දෙරටම ස්වාධීන රාජ්‍යයන් වූ පසු සෝවියට් සංගමය විසින් 1920 ගණන්වලදී කලාපීය දේශසීමා නිර්ණය කර තිබූ ආකාරය පදනම් කරගෙන නිදහසින් පසු තජිකිස්තානය හා කිරිගිස්තානය මේ දේශසීමා අර්බුදයට මැදි වී ඇත. මේ දේශසීමා අර්බුදය තුළ ගනු ලැබූ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් කිහිපයක්ම පවතී. රුසියානු ජනපති ව්ලැදිමීර් පුටීන් වරෙක තජිකිස්තාන හා කිරිගිස්තාන රාජ්‍යයන් දෙරටේම නායකයන් අමතා, සාම ගිවිසුමකට අවතීර්ණ වන ලෙස ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. අනෙක් අතින් ගැටුමට සම්බන්ධ දෙරටේම රුසියානු බළකායන් රඳවා සිටින බව ද වාර්තා වී තිබේ. මේ ගිවිසුම නීතිගත වුවහොත් එය අවු. 100ක් පමණ පැවති දේශසීමා අරගලයේ නිමාව මුළුමනින්ම සාර්ථක වීම සටහන් කිරීමකි. මේ ආකාර ගිවිසුමක් හුදු නීත්‍යනුකූල තත්ත්වයක් පමණක් නොව; එය ඉන් ඔබ්බට විහිදී ගියා වූ, දෙරටේම ජනතාවගේ අභිලාෂයන් ඉතා ප්‍රගතිශීලි අයුරින් සාර්ථක වීමකි.
තජිකිස්තාන ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය කමිටුවේ ප්‍රධානි ප්‍රකාශ කර ඇත්තේ, දශක ගණනාවක් දෙරට අතර පැවති අර්බුදය ඵලදායී ගිවිසුමකට අවතීර්ණ වීම තජිකිස්තාන ජනපති එහොමොමි රහ්මොන් හා කිරිගිස්තාන ජනපති සඩ්යර් ජපරෝව්ගේ මහත් වෑයමක සාර්ථක ප්‍රතිඵලයක් බවයි. ගෝලීය තලයේ කුඩා රාජ්‍යයක් ද විශාල රාජ්‍යයක්ද දුබල හෝ ප්‍රබල රාජ්‍යයක්ද යන්න ද්විපාර්ශ්වීය හෝ බහුපාර්ශ්වීය ගැටුම්වල තීව්‍රතාව හෝ ධාරිතාව තීරණය නොකරන අතර, සෙසු කලාපීය රාජ්‍යයන් ද ඈදුණු දරුණු ගැටුම් බවට ඒවා පරිවර්තනය වන්නේ විදුලි වේගයකිනි.
වර්තමානයේ අප්‍රිකානු කලාපයේ, කැරිබියන් කලාපයේ ගැටුම් දේශසීමා ඔබ්බෙන් විහිදී ඇත්තේ කිසිදු ආකාරයක පාලනයකින් තොරවය. එබැවින්, අවුරුදු සියයක දිගු කලක පටන් ඉදිරියට ඇදී ආ ගැටුමක් දෙපාර්ශ්වයේ රාජ්‍ය නායකයන් සුහදව විසඳාගැනීම නව ලෝක පර්යායට එක්තරා අතකින් කදිම සාධනීය බලපෑමකි.
දේශසීමා අරගලයේ
ඉතිහාස පුවත
සෝවියට් සංගමය 1991දී බිඳවැටීමෙන් අනතුරුව එයට අයත්ව තිබූ රටවල් 15ක් ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කළ අතර, තජිකිස්ථානය හා කිරිගිස්තානය ද ඒ අතර විය. මධ්‍යම ආසියානු රාජ්‍යයන් වූ මේ රාජ්‍යයන්වල පැවතියේ 1920 ගණන්වල දී ජෝශප් ස්ටාලින්ගේ ඉඩම් අයිතිය පදනම් කරගත් නීතිය යටතේ නිර්ණය කරනු ලැබූ දේශසීමා මායිම් වූ අතර, වර්තමාන තජිකිස්තානය හා කිරිගිස්තානය අතර දේශසීමා අර්බුදයේ ද මූල හේතුව විය. 1991දී දෙරට මේ ආකාරයෙන් ස්වාධීන රාජ්‍ය බවට පත්වීමෙන් අනතුරුව මේ රාජ්‍ය දෙක දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික – සමාජීය වශයෙන්ද සැලකිය යුතු ආකාරයේ වෙනස්කම්වලට භාජනය විය.
පැරණි දේශසීමා බෙදීම තුළ තජිකිස්තානයට හා කිරිගිස්තානයට ඒ දේශසීමා මායිම ආවරණය වූ ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් පොදුවේ භුක්ති විඳීමට හැකියාවක් පැවතිය ද ක්‍රමයෙන් මේ ස්වරූපය අර්බුදකාරි මාවතකට පිවිසෙන්නට විය. ජල සම්පත, තණබිම් ප්‍රදේශ මේ අතර කැපීපෙනිණි. තජිකිස්තානය හා කිරිගිස්තනය දේශසීමා ප්‍රදේශයේ ජල සම්පත කළමනාකරණය කිරීම රාජ්‍ය, පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් සිදු විය. එහෙත් මේ යන්ත්‍රණය තුළ හටගත් විවිධ දුර්වලතා නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වීම තුළ අවසානයේදී මේ ක්‍රමවේදය අභ්‍යන්තර වශයෙන් ම අර්බුදකාරි මාවතකට පිවිසීම දෙරටේ ප්‍රජාව අතර අවිශ්වාසය, නොසන්සුන්තාව දිගින් දිගටම පැවතීමට හේතුකාරණා විය.
මේ පුපුරා යෑම මඟින් දශක ගණනාවක දේශසීමා අර්බුදයක් වෙත මේ රාජ්‍ය දෙක තල්ලු වීමට මංපෙත් සලසනු ලැබීය. ඒ අර්ථයෙන් ගත් කල, පෙබරවාරි 21 දා දෙරට රාජ්‍ය නායකයන් නව දේශසීමා නිර්ණය පදනම් කරගනිමින් එළඹි ගිවිසුම ඉතා අගනා ජයග්‍රහණයකි.