Home » ඇමෙරිකානු යුද ආස්වාද සිනමාවට

ඇමෙරිකානු යුද ආස්වාද සිනමාවට

by Mahesh Lakehouse
March 1, 2025 12:32 am 0 comment

ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් හොලිවුඩ් පුරවරයේ ප්‍රමුඛතම සම්මාන උලෙළ වන ඔස්කාර් සම්මාන උලෙළ නැරඹීමට මාර්තු අද (02) දින එක්වනු ඇත. රතු පලස මත නේක වර්ණ ඇඳුමින් සැරසුණු සිනමා තාරකාවන්, විල් ස්මිත්ට කම්මුල් පහරක් හෝ අහම්බෙන් වැරදි චිත්‍රපටයකට හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය පිරිනැමීම වැනි කුමන නාට්‍ය ජවනිකාවක් දිගහැරෙයි ද, යන්න සිනමාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටිනු ඇත.

එහෙත් බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සඳහන් නොකරන දෙය නම් ඔස්කාර් ජයග්‍රහණ සඳහා තරග කරන බොහෝ චිත්‍රපට එක්සත් ජනපද හමුදාවේ උදවු නැතිව රිදී තිරයට නොපැමිණෙන බවයි.

පෙන්ටගනය හෙවත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ‘ගෝල්ඩ් ෆින්ගර්’ (1964) සිට ‘කැප්ටන් මාවල්’ (2019) දක්වා, යුද්ධය තේමා කරගත් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා 2,500කට වැඩි ප්‍රමාණයක් සෑදීමට සහාය වී ඇති අතර, සෑම වසරකම සාමාන්‍ය වෘත්තාන්ත චිත්‍රපට ව්‍යාපෘති 7කට සහ කුඩා චිත්‍රපට සහ රූපවාහිනී ව්‍යාපෘති 90කට වඩා වැඩි ගණනකට දායක වේ.

ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රධානියා මෙන්ම මිලිටේන්මන්ට් ඉන්කෝපරේෂන් කෘතියේ කතුවරයා සහ ‘තියටර්ස් ඔෆ් වෝ’ වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද වන රොජර් ස්ටාල් පවසන අන්දමට අමෙරිකාවේ නිෂ්පාදිත බ්ලොක්බස්ටර් චිත්‍රපටවලින් තුනෙන් එකකට හෝ අඩකට පමණ හමුදා සහාය ලැබී තිබේ. “ඔස්කාර් සම්මාන උලෙළ මඟින් ආරක්ෂක රාජ්‍යයේ අනුග්‍රහය දක්වන නිෂ්පාදන කිහිපයකට වසර ගණනාවක් පුරාවට ගෞරව කර ඇත යනුවෙන්ද,” ස්ටාල් පවසයි.

ලොක්හීඩ් මාටින් සමාගම විසින් නිපදවනු ලබන එක් එෆ්-35 ප්‍රහාරක යානයක මිල ඩොලර් මිලියන 80 ඉක්මවයි. මේ අනුව, ජෙට් යානා, යුද ටැංකි සහ ගුවන් යානා වාහක නෞකා අත්පත් කරගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ පිරිවැය ඇතුළු ලොව සුපිරිතම ආරක්ෂක බලවතාගේ පුළුල් සහනාධාරයකින් තොරව චිත්‍රපට නිෂ්පාදකයන්ට උක්ත තාක්ෂණික උපකරණ සහ උපාංගවලට ප්‍රවේශ විය නොහැකිය. පෙන්ටගනය සමඟ හවුල් වීමෙන් චිත්‍රාගාරවලට තාක්‍ෂණික ප්‍රවේශය සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ ශිල්පීන්, චිත්‍රපට රූගත කිරීමට හමුදා කඳවුරු යොදාගැනීම කළ නොහැකිය.

මේ හවුල්කාරිත්වය නොමිලයේ දෙන්නක් නොවන අතර, හමුදා නිලධාරීන් සහ උපකරණ භාවිතය වෙනුවට, චිත්‍රපට නිෂ්පාදකයන් චිත්‍රපටයක තිර රචනය සම්බන්ධයෙන් පෙන්ටගනයේ දැඩි විනෝදාස්වාද ප්‍රතිපත්තියට අවනත විය යුතුය. මේ සහයෝගිතාවේ හිලව්වට තිර රචනයේ වෙනස්කම් නිතර සිදු කිරීම අවශ්‍ය වේ. රිදී තිරය මත අප රස විදින බොහෝ නිර්මාණ මෙබඳු සහයෝගිතාවක ප්‍රතිඵලයකි.

උදාහරණයක් ලෙස ‘ගොඩ්සිලා’ (2014) චිත්‍රපටයේ තිර රචනය එක්සත් ජනපද හමුදාවේ න්‍යෂ්ටික අවි භාවිතය විවේචනය කිරීමට අදහස් කළ චිත්‍රපටයක සිට එක්සත් ජනපද පරමාණු බෝම්බ හෙළීම සඳහා බිහිසුණු උපමාවක් වන ‘ගොඩ්සිලා’, න්‍යෂ්ටික මිසයිලයකින් ශක්තිමත් කර ඉනුදු නොනැවතී අවසානයේ එක්සත් ජනපද හමුදාව විසින් සටනට සහාය වන චිත්‍රපටයක් බවට පරිවර්තනය විය. හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ ප්‍රහාර පිළිබඳ මුල් පිටපතේ සඳහන් කිරීම් ද නිෂ්පාදකයන් විසින් ඉවත් කරන ලද්දේ පෙන්ටගනය චිත්‍රපටයට දෙන තම ආධාර ඉවත් කරගන්නා බවට තර්ජනය කිරීමෙන් පසුවය.

‘ගොඩ්සිලා’ යනු පෙන්ටගනයට සුදු හුනු තවරමින්, ඊට පරමාදර්ශි ප්‍රතිරූපයක් දීමේ අරමුණින් සටන්කාමි කර්මාන්තය විසින් නිර්මාණය කරන ලද බොහෝ චිත්‍රපටවලින් එකකි. ‘සීරෝ ඩාර්ක් තර්ටි’ සහ ‘අමෙරිකන් ස්නයිපර්’ යන නිර්මාණ ද්වයම අමෙරිකානු හමුදාවට සහ එක්සත් ජනපද බුද්ධි අංශ අගය කරන අතරම අමෙරිකානු කුප්‍රකට මෙහෙයුම් මඟින් ඇෆ්ගන් සහ ඉරාක ජනයාගේ මනුෂ්‍යත්වය ඒකාකෘතිකරණය කර අවම කරයි. ඔන්ටාරියෝ තාක්ෂණික සරසවියේ සන්නිවේදන සහ ඩිජිටල් මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ සහකාර මහාචාර්ය ටැනර මිර්ලීස් පවසන පරිදි, මේ චිත්‍රපට “එක්සත් ජනපද යුද මෙහෙයුම් තේජාන්විත මෙන්ම අවශ්‍යයෙන්ම සිදු කළ යුත්තක් ලෙස රාමුගත කරයි. එමෙන්ම යුද්ධයේදී සිදු වන මානව, සමාජීය සහ පාරිසරික විනාශ සහ විශේෂයෙන්ම සිවිල් වැසියන්ට වන හානි අවතක්සේරු කිරීමක් හෝ නොසලකා හැරීමක් සිදු කරයි.”

2008 දී ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ ‘ජාහෙඩ්’, ‘ප්ලැටූන්’, ‘ඉන් ද වැලි ඔෆ් එලා’ වැනි එක්සත් ජනපද යුද්ධයේ මානව පිරිවැය පරීක්ෂා කරන හෝ අමෙරිකානු හමුදා නිලධාරීන් විසින් සිදු කරන ලද යුද අපරාධ නිරූපණය කරන චිත්‍රපටවලට ආධාර අත්හිටුවීමේ පුරුද්දක් පෙන්ටගනයට ඇත.

විජය දිසානායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division