එලොන් මස්ක් අවුරුදු විස්සක කාලයක් තුළ දරුවන් දහතුන් දෙනකු දැඩි කරලීම කාගේත් සිත් ගත් කාරණයකි. එනමුත් ඒ දරුවන් කෙරේ ඔහු දක්වන සෙනෙහස සහ බලපෑම ගැන අද ලෝ ඇස ඍජුවම යොමුව තිබේ. ඒ, එලෝන් සිය පුතකු සැම තැනකම කැටුව යෑමට කටයුතු කිරීමත් සමඟය. ඔහු ඇත්තටම එසේ කරන්නේ ඇයි?
ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කරන සාකච්ඡා සඳහාත්, මාධ්‍ය සාකච්ඡා සඳහාත් තම පුතු රැගෙන එයි. එය දේශපාලනිකව සිතන මතන සමහරුන්ට නැවතී කල්පනා කිරීමට තරම් හේතුවක් වී තිබේ.
ප්‍රසිද්ධ කාරණයක් නම්, එලෝන්ට තම පුතු හා තදින් ඇලී සිටීමට අවශ්‍ය නමුත් ෆෙඩරල් රජය පවත්වාගෙනයෑම තුළ ඔහු අතිශය කාර්යබහුල වී ඇති බවයි. මේ බාධාව මඟහරවා ගැනීමට ඔහු තම රාජකාරි සඳහා පුතු ද කැටුව යයි. අනෙක් අතට, ඔහුට තමා අගනා පියකු බව ලෝකය ඉදිරියේ සනාථ කරවීමට අවශ්‍ය වී තිබේ. ඒ සඳහා තම පුත්රුවන රූකඩයක් ලෙස ඔහු භාවිත කරන බව සමහරුන්ගේ මතයයි.
තම පුතු උරහිස මත තබාගෙන ඡායාරූපවලට පෙනී සිටීම ඔහුගේ ස්වභාවයයි. බරපතළම කතාව නම්, එලෝන් තම පුතු තමන්ට සිදු විය හැකි භයානක හදිසි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට යම් ආකාරයක ‘මානව පලිහක්’ ලෙස යොදාගනිමින් සිටිනවාය යන මතයයි.