Home » බානගල උපතිස්ස නාහිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර

බානගල උපතිස්ස නාහිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර

by Mahesh Lakehouse
March 8, 2025 12:30 am 0 comment

කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර්ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම්පෙන්හිදී පැවැත්විණි. මේ අන්තර්ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් මෙන්ම විද්වත්හු රැසක්ද සහභාගි වූහ. එහිදී බානගල උපතිස්ස නාහිමියන්ට කාම්බෝජයේ බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්ගෙන් හිමි වූයේ ඉහළම රාජ්‍ය ගෞරව හරසර සහිත පිළිගැනීමකි.

කාම්බෝජයේ නොම්පෙන්හි සෝකා හෝටලයේ පැවති මෙම අන්තර්ජාතික සමුළුවේ තේමාව වූයේ ‘මනුෂ්‍යත්වයේ සේවය සඳහා සංස්කෘතික හුවමාරුව’ යන්නයි.

මේ තේමාව යටතේ පැවති ඉස්ලාම්-බෞද්ධ සමුළුවේදී විශේෂ දේශනය කළ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ට සිය ගෞරවය පිරිනැමූ කාම්බෝජයේ අග්‍රාමාත්‍ය Samdeeh Moha Bor Thipadie Hun Manet මැතිතුමන්ට එහිදී බානගල හිමියෝ ඉන්දියාවේ මුම්බායි හි ජනමාධ්‍යවේදි ශකීල් සිද්දික් (Shakil Siddiqui) මහතා රචනා කළ බානගල නා හිමි චරිතාපදානය ඇතුළත් ‘අංජලිකරණීයෝ’ ග්‍රන්ථය පිරිනැමූහ.

මීට දශක කිහිපයකට පෙර මුස්ලිම් ජනතාව සහ ලෝකයේ අනිත් ආගමික ජනතාව අතර විශාල බෙදීමක් තිබූ බවත්, ලෝක මුස්ලිම් ලීගයේ ක්‍රියාත්මකභාවය නිසා අද වන විට එම ඈත් වීම තුනී වී යමින් පවතින බවත්, එය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ලෝකයේ බෞද්ධ, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු ආදී වශයෙන් ආගමික වශයෙන් වෙන් වූ පාසල් පවත්වාගෙන යෑම සහ තවදුරටත් ආරම්භ කිරීම සුදුසු බව සිය දේශනයේදී බානගල උපතිස්ස නාහිමියෝ අවධාරණය කළහ.

මේ සමුළුවට ලෝක මුස්ලිම් ලීගයේ සභාපති ආචාර්ය මොහමඩ් බින් අබ්දුල් කරීම් අල් ඉසා මහතාද (Sheikh Dr. Mohmmed Bin Abdul Karim Al- Issa), කාම්බෝජයේ උනුලොම් විහාරාධිපති යොන් සෙන් යෙත් නාහිමි (Rev.Yon Seng Yeath) ප්‍රමුඛ බෞද්ධ නාහිමිවරුද ලෝක බෞද්ධ හා මුස්ලිම් ආගමික නායකයෝද සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division