මේ දිනවල චීනයේ ප්‍රදර්ශනය කෙරෙන එක්තරා චිත්‍රපටයක් ගෝලීය වශයෙන් වාර්තා තබන්නට පටන් ගෙන තිබේ. ‘Ne Zha 2’ නමැති මේ චිත්‍රපටය නිකුත් වූයේ ජනවාරි අගදීය. මාර්තු ආරම්භ වන විට එය මෙතෙක් වැඩිම ආදායම් ඉපැයූ චීන චිත්‍රපටය බවට පත් විය. Ne Zha 2 සජීවකරණ චිත්‍රපටයකි. එයට පාදක වී ඇත්තේ 16 වැනි ශතවර්ෂයේ බිහි වූ චීන නවකතාවකි. ඒ නවකතාවට පදනම් වූයේ, චීන ජනප්‍රවාද සහ මිථ්‍යා කථාය.
චීන ජන සමාජයේ මිථ්‍යාවට විශාල ඉඩක් වෙන්ව ඇතැයි මට සිතේ. චීනයේ ගත කළ පස් අවුරුද්දේදී මම එය අත්වින්දෙමි.
චීන ගුවන්විදුලියේ සේවයට මා බඳවා ගනු ලැබූයේ එහි සේවය කරන ජනප්‍රිය ශ්‍රී ලාංකික සන්නිවේදකයකු වන රවිමල් හඳුවලගේ මැදිහත් වීමෙනි. මේ නිසා මගේ චීන ජීවිතයේ පළමු ගුරුවරයා වූයේද ඔහුය.
දිනක් සවස් කාලයක අපි දෙදෙනා චීනයේ සුපිරි වෙළෙඳසලක සිට පා ගමනින් ආපසු එමින් සිටියෙමු. චීන යුවාන් 100 නෝට්ටු මිටි වශයෙන් පදික වේදිකාවේ ගොඩගසා තිබිණි. මිනිසුන් ඒවා මිල දී ගනිති. කිට්ටු වී බැලූ විට ඒවා ව්‍යාජ නෝට්ටු බව පැහැදිලි කර ගැනීම අපහසු නැත.
මේ තරම් විශාල ප්‍රමාණයක් ව්‍යාජ මුදල් නෝට්ටු පදික වේදිකාවේ විකුණන්නේ ඇයිද යන්න පුදුම උපදවන්නකි. රවිමල් කාරණය පැහැදිලි කළේය.
“මේ ළඟදි එනවා මළවුන් සමරන දවසක්. එදාට මේගොල්ලෝ හන්දිවලට ගිහින්, පාර අයිනේ තියාගෙන මේ සල්ලි පුච්චනවා. එයාලා හිතන්නේ දුම අහසට ගියාම මැරුණු නෑදෑයන්ට ඒවා ලැබෙනවා කියලා!”
රවිමල් මේ කරුණු මට පැහැදිලි කළේ මුදල් නෝට්ටු මිටියක් අතේ තබාගෙනය. අවට සිටි චීන ජනතාව අප දෙදෙනා දෙස බලා සිටියෝය. මිථ්‍යාව යන්න සාපේක්ෂය. කෙනෙකුට ‘මිථ්‍යාව’ සේ දැනෙන යමක් තවෙකකුට ‘විද්‍යාව’ විය හැකිය. ඒ නිසා මෙහිදී සිනා සීම නුසුදුසුය. මම නැඟුණු සිනාව යටපත් කරගත්තෙමි.
චීන ජනතාව මේ උත්සවය හඳුන්වන්නේ ‘චින්මින්’ කියායි. ඒ උත්සවයේ අරුත ‘සොහොන් ගෙවල් පිරිසුදු කිරීම’ යන්නයි.
චීන මිනිසුන් මුදල් නෝට්ටු පුලුස්සන ආකාරය දැකබලා ගැනීමට මට ආශාවක් ඇති විය. ඒ උත්සව දිනයේ ඇඳිරි වැටුණු පසු, මඳ දුරක් ඇවිද ගියෙමි. පදික වේදිකාවේ සුදු පැහැ කොටු සලකුණු කොට, ඒ කොටු මැද මුදල් නෝට්ටු මිටි තැන්පත් කරනු ලැබේ. ඉන් පසුව ඒවාට ගිනි තබති. අනතුරුව ඔවුහු ඒ වටා හිඳ, මුදල් නෝට්ටු සියල්ල දැවී යන තුරු කෝටු කැබැල්ලකින් එහෙ මෙහෙ පෙරළති. භක්තිමත්ව සිදු කරනු ලබන පූජාවක හැඩයක් හෝ වෙනත් කිසිදු ගැඹුරු හැඟීමක් ඔවුන්ගෙන් පිළිබිඹු වූයේ නැත. හුදෙක් සම්ප්‍රදායක් ඉටු කිරීම සඳහා පමණක් ඔවුන් ක්‍රියා කරන බව මට දැනිණි.
චීන ගුවන්විදුලියේ සිංහල අංශයේදී දිනක් මම මේ පිළිබඳ ආවර්ජනය කළෙමි.
“සර්, ඔබ මවිත වනවා, මේ සොහොන් ගෙවල් පිරිසුදු කරන දිනයේදී සොහොන් බිමේ ඔවුන් කරන දේවල් දුටුවොත්!” සිංහල අංශයේ චීන යුවතියක තමා උගත් ගැඹුරු සිංහලෙන් පිළිවදන් දුන්නාය.
මේ අනුව ඊළඟ ‘චින්මින්’ උත්සව දිනයේදී අසල වූ ‘බාබව්ශාන් ‘චින්මින්’ සුසාන භූමියේ බාහිර පටිගත කිරීමක් සූදානම් කරගත්තෙමු. එවක චීන ගුවන්විදුලියේ සේවය කළ චූලා, දිල්ශාන් සහ අනෝජාද මේ ගමනට එක් වූ බව මගේ මතකයයි. සිංහල අංශයේ චීන සාමාජිකයෝ කිහිප දෙනෙක්ද අප හා එක් වූහ.
අප සොහොන් බිමට පිවිසෙන අවස්ථාවේ චීන ජාතිකයෝ විශාල පිරිසක් එහි සිටියහ. ඔවුහු තම තමන්ගේ ඥාතීන්ගේ සොහොන් කොත් අසල පිරිසුදු කරති; අනතුරුව තම ඥාතියා ජීවත්ව සිටියදී වඩාත්ම කැමැතිව සිටි දේවල් සංකේත වශයෙන් එහි තැන්පත් කරති.
මේ ක්‍රියාව පුදුම සහගතය. සෑම සොහොන් කොතක් අසලම ප්‍රණීත ආහාර පිඟානක් විය. එයට එක් කර තිබුණේ මියගිය පුද්ගලයා ජීවත්ව සිටියදී වඩාත් ප්‍රිය කළ ආහාරයි. දුම්පානයට ලොල් කෙනකු වෙනුවෙන් ඔවුහු සිගරැට් පැකට්ටුවක් එහි තබති. එය විවෘත කර, ඉන් එකක් පිටතට ගෙන එය දල්වා තැබීම ඔවුන්ගේ සිරිතයි. ස්ත්‍රී ලෝලී පුද්ගලයන්ගේ සොහොන් කොත් මත සුන්දර කාන්තාවන්ගේ පින්තූර තබා තිබිණි. ඒවා ඒ කාලයට වෙළෙඳපොළෙන් මිල දී ගත හැකිය. චීනයේ පැවැත්වෙන සෑම උත්සවයකදීම වඩාත්ම සක්‍රිය වන්නේ ඔවුන්ගේ වෙළෙඳපොළයි. ඇතැම් සොහොන් කොත් මත ස්ත්‍රී රූප තබන්නේ මියගිය පුද්ගලයාගේ බිරිය සහ දරුවන්ම වීම සිත්ගන්නාසුලු කරුණකි. සොහොන් කොත මත මත්පැන් තබන්නේ බෝතලය විවෘත කර, ස්වල්ප ප්‍රමාණයක් කුඩා වීදුරුවකට දමාය.
මේ චාරිත්‍රය ඉටු කිරීමේදී ඔවුන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් දුක් වන බවක් අපට සන්නිවේදනය වූයේ නැත. එහි තිබුණේ සැණකෙළි සිරියකි.
මේ සැණකෙළිය හෝරාවකට පමණ සීමා වෙයි. ‘ෂී ජිං ශාන්’ නගර සභාවේ අපද්‍රව්‍ය ඉවත් කරන වාහන සොහොන් බිමට ඇතුළු වන්නේ හමුදා රථ පෙළක් වාගේය. ඔවුන්ගේ තෝරා බේරා ගැනීමක් නැත. කෑම පිඟන්ද, සිගරැට් පැකට්ද, මත්පැන් බෝතලද, කාන්තා පින්තූර පත්ද අපද්‍රව්‍ය ප්‍රවාහන රථයට පැටවෙයි.
සොහොන් ගෙවල් සැබැවින්ම පිරිසුදු වීම සිදු වන්නේ ඉන් පසුවය!