Home » මනුසත් හැසිරුම් කදිමට විනිවිද දකින ඈන් ටයිලර්

මනුසත් හැසිරුම් කදිමට විනිවිද දකින ඈන් ටයිලර්

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment

“හැම විවාහයක්ම විවිධ අවධි පසු කරයි. ඒවා තුළ බොහෝ විට නැවත ඉපදීම් ඇත. ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දෙදෙනකු අතර කාල දෙකකදී හොඳ විවාහයක් සහ නරක විවාහයක් යන දෙකම පැවතිය හැකිය.”

අලුත් පොතක තේමාව වත් අන්තර්ගතය වත් නොදැන පාඨකයන් ලෙස අප එය තෝරාගන්නා අවස්ථාවක් ඇත් නම් ඒ, ඒ කතුවරයා පෙර නිර්මාණවලදී පා ඇති දස්කම්වල රස අප හඳුනන බැවිනි. මට නම් අමෙරිකානු ජාතික කතුවරියක වන ඈන් ටයිලර්ගේ පොත් ගෙන එන්නේ එවැනි හැඟීමකි. ඈන් ටයිලර් මානුෂීය හැඟීම් මනා සේ කියවන, පුද්ගල හැසිරීම් කදිමට විනිවිද දකින ලේඛිකාවකි. මිනිස් හැසිරීම්වල සංකීර්ණ බව සරලව සහ රසවත් ලෙස තම නිර්මාණ මඟින් විදහා පෑම ඇයගේ දස්කමයි. මේ, ඈ 2022දී ප්‍රකාශයට පත් කළ ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ නවකතාව ගැන සටහනකි.

ඈන් ටයිලර්ගේ සෙසු පොත් මෙන්ම ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ පොතද ලියවී ඇත්තේ පවුලක් තුළ දිගහැරෙන අතිශය සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීම් පෙළගස්වමිනි. 1959 සිට 2020 දක්වා කාල වකවානුව ඔස්සේ දිවෙන මේ කතාව අමෙරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ එක්තරා මධ්‍යම පාන්තික පවුලක් තුළ සිදු වන හැලහැප්පිලි, කඩාවැටීම්, දිනුම් සහ සුළු සුළු දිලියුම් මැනවින් විස්තර කරයි.

“එහෙනම් මෙහෙමයි දේවල් වෙන්නේ,” ඕ කීවාය. “පවුල්වල සාමාජිකයෝ මෙහෙම දේවල් තමයි එකිනෙකා වෙනුවෙන් කරන්නේ. ඇත්ත බව පිළිගන්න අපහසු දේවල් ටිකක් හැංගීම, ආත්ම වංචාවන් කීපයකට, ඒ වගේම කරුණාවන්තකම් කීපයකට ඉඩ දීම…”

“ඇයි පොඩි කුරිරුකම්?” ඔහු විමසීය.

“ඔව්, පොඩි කුරිරුකම්වලටත් ඉඩ දීම!” ඕ පිළිතුරු දුන්නාය.

‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතියේ කතානායක ගැරට් පවුල, පිටතින් බලද්දී සාර්ථක, ආදරණීය පවුලක් සේ පෙනුණද, එක් වහලයක් යට ජීවත් වන එහි සාමාජිකයෝ එකිනෙකාගෙන් වියුක්ත උප ඒකක වැනිය. ඔවුන් එකිනෙකාගේ අපේක්ෂා නොහඳුනන අතර, ඔවුන්ගේ සිතුම් පැතුම්වල පවා කිසිදු සමාන බවක් නැත. පවුලේ මව වන මර්සි ජීවිත කාලයක්ම චිත්‍ර ශිල්පිනියක වන්නට හීන දකිමින් උන් තැනැත්තියකි. ඇයගේ මේ සැබෑ නොවුණු සිහිනය තම දරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේද දරුවන්ගේ ජීවිතවලට පවා විවිධ මට්ටමින් බලපෑ බව මේ කතාව ගලා යද්දී පැහැදිලි වේ.

ගැරට් පවුලේ එකම පුතු වන ඩේවිඩ් වැඩෙන්නේ තම පියා තමා නොරුස්නා බව අදහමිනි. මේ නිසා ඔහු නිරතුරුවම සිය පවුලෙන් දුරස්ව වෙසෙන්නට උත්සාහ දරයි. මෙවැනි කුඩා ඉරිතැළීම් බහුල මේ පවුලේ කතාව කියවන්නන්ගේ හදවත් තුළට කාවදින්නේ ඔවුන්ද ඒ පවුලේ සාමාජිකයන් බවට පත් කරමිනි.

මේ කතාවේ හැම පරිච්ඡේදයක් සමඟම ලේඛිකාව ගැරට් පවුලේ සාමාජිකයන් අතීතයේ සිට වර්තමානයට ගෙන එන්නීය. කියවන්නාද ඔවුන් සමඟම ඒ ගමන එන්නේ අලුතින් පවුල තුළ ඇති වන හැලහැප්පිලිවලට තමාද මැදි වෙමිනි. ‘ෆ්රෙන්ච් බ්රේඩ්’ කෘතිය ගැන කළ කතාබහකදී ඈන් ටයිලර් මේ චරිතවල විකාශය අපූරු ලෙස විස්තර කරන්නීය. පවුලක සාමාජිකයන් අතර ඇති ආදරය ඔවුන් එකිනෙකා හා නොකියන දේවල සහ එකිනෙකා වෙනුවෙන් නොකරන දේවල් පවා ගැබ්ව ඇති බව එහිදී ඇය අපට සිහිපත් කර දෙයි. ඇතැම් විට තමා මවන චරිත තමගේ පාලනයෙන් තොරව හැසිරෙන බවත්, ඔවුන්ගේ හිතුවක්කාර හැසිරීම් ගැන තමාට වගකිව නොහැකි බවත් ඈ කියන්නේ තම චරිතයේද ඇති විනෝදයට බර පැතිකඩක් විවර කරමිනි.

වර්ෂ 1941දී අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ උපන්නියක වන ඈන් ටයිලර් 1964 සිට මේ වන විට නවකතා 25ක් පළ කර ඇත. ඇයගේ පොත් අතුරින් ‘ඩිනර් ඇට් ද හෝම්සික් රෙස්ටෝරන්ට්’ (1982), ‘ද ඇක්සිඩෙන්ටල් ටුවරිස්ට්’(1985) යන ඒවා ප්‍රබන්ධ සඳහා වන පුලිට්සර් සම්මානයට නිර්දේශ වූ අතර, ‘බ්‍රීදින් ලෙසන්ස්’ (1988) නවකතාව 1989 දී එම සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව, මේ වෙද්දී ඈන් සිය ලේඛනය වෙනුවෙන් ‘මෑන් බුකර්’ ඇතුළු සම්මාන රැසක් හිමි කර ගෙන තිබේ. ඇයගේ නවතම නවකතාව වන ‘ත්‍රී ඩේස් ඉන් ජූන්’ පසුගිය දා නිකුත් විය.

හෙල්මලී ගුණතිලක 
පුස්තකාලයාධිපතිනි 
ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසල 
මෙල්බර්න්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division