Home » වගකිවයුතු රජයක් ලෙස විදේශ රැකියා ක්ෂේත්‍රයට ලබාදිය යුතු නිවැරදි ස්ථානය ලබා දෙමින් ක්ෂේත්‍රය ගොඩ නැගීමට කටයුතු කරනවා

වගකිවයුතු රජයක් ලෙස විදේශ රැකියා ක්ෂේත්‍රයට ලබාදිය යුතු නිවැරදි ස්ථානය ලබා දෙමින් ක්ෂේත්‍රය ගොඩ නැගීමට කටයුතු කරනවා

- විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර -

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධාන කළ “විශේෂ මහජන දිනය”වැඩසටහන පසුගිය මාර්තු 04 වැනිදා එම කාර්යාංශ පරිශ්‍රයේදී පවැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමනාකරු (ප්‍රචාරක) මධුශාන් කුලරත්න මහතා “සිළුමිණ – රට රස්සා” අතිරේකයට ප්‍රකාශ කළේය.

මෙහිදී විගමනික ප්‍රජාවගේ ගැටලු විසදීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඇතුලු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරීන් හා විෂය භාර විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා නිලධාරීන් කටයුතු කළ බවත් මෙතෙක් නොවිසදුණු ප්‍රශ්න, ගැටළු රාශියකට ඉක්මන් විසඳුම් ලබාදීමට සංවිධාන වූ මෙම මහජන දිනය ඊට සහභාගී වූ සියළුම දෙනාගේ විශේෂ ඇගයීමට හා ප්‍රසාදයට පත් වුණු බවත් මධුශාන් කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම “විශේෂ මහජන දිනයට” පැමිණ සිටි පිරිසෙන් බහුතරයක් ඊශ්‍රායල්, කොරියානු හා ජපන් රැකියා සිහින සැබැ කර ගැනීමේ උවමනාවෙන් සිටින තරුණ පිරිස් විම විශේෂත්වයකි. එමෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රයේ දැනටද කටයුතු කරන අය මෙන්ම ඔවුන්ගේ පවුල්වල පිරිස්ද මෙම මහජන දිනයට පැමිණ තම ප්‍රශ්න, ගැටළු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී. එම සියළුම දෙනා හමුවෙමින්, ඔවුන් හා සාකච්ඡා කරමින් ඔවුන්ගේ ප්‍රශ්න, ගැටළු හඳුනා ගැනීමට, ඒවාට ඉක්මන් විසදුම් ලබාදීමට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කටයුතු කළ බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමනාකරු (ප්‍රචාරක) මධුශාන් කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධාන කළ මෙම “විශේෂ මහජන දිනය” අවස්ථාවේදී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මාධ්‍ය වෙතද අදහස් දැක්වූ අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,

”විදේශ රැකියා ක්ෂේත්‍රය යනු බොහෝ විට ප්‍රශ්න සහ ගැටලු බහුල ක්ෂේත්‍රයක්. ඒ වගේම අපිටත් ගොඩක් අය ඉල්ලීම් කරලා තිබුණා, අපිව මුණගැහිලා යම් කිසි ආකාරයකට ඒ අයට තිබෙන පැමිණිලි, චෝදනා අදහස් ඇතුලු බොහෝ දේවල් මේ ක්ෂේත්‍රයට අදාළව ඉදිරිපත් කරන්න අවස්තාව දෙන්න කියලා. ඒ නිසා අපි තීරණය කළා ජනතාව සෘජුවම මුණ ගැසිලා කතා කරන්න. වෙනදා තැන් තැන්වල අපි මහජන දිනය කලත් මේ ආයතනයේදීම මහජන දිනය පැවැත්වීම වැදගත් බව අපි තීරණය කළා” යනුවෙනි. “ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ ආයතනයේ පවත්වන පළමු “විශේෂ මහජන දිනය” මෙයයි. මෙතැන අපි කාණ්ඩ කිහිපයකට එය බෙදලා තියනවා. එක් කොටසක් පැමිණිලි අරන් එන අය සහ අනෙක් කොටස එයාලගේ පවුල්වල සාමජිකයින් වෙන්න පුලුවන්. තුන්වැනි කොටස පිටරට ගිහින් රැකියාවක් කරලා එතනදී මොනවා හරි අසාධාරණයක් වුනා නම් ඒ අයයි.

සමහර පිරිස් සල්ලි එකතු කරලා රැකියා සඳහා පිටරට යැවුවේ නැති අවස්ථාත් තිබෙනවා. එවැනි අය කාර්යාංශයේ ලියාපදිංචිය නැත්තම් ඒ වගේ අවස්ථාවල අපිට ක්‍රියා කරන්න බැරි වෙන තැන් තිබෙනවා. ඒ වගේම විදේශ රැකියාවලට ගිහිල්ලා එතැන අසාධාරණකම් වූ අවස්තා තියනවා. ඒ නිසා ජනතාව මේ සම්බන්ධව දැනුවත්වීම මදි කියලා හිතෙනවා . වගකිවයුතු රජයක් විදිහට අපි මේ විදේශ රැකියා ක්ෂේත්‍රයට ලබාදිය යුතු නිවැරදි ස්ථානය ලබාදී මේ ක්ෂේත්‍රය ගොඩ නැගීමට කටයුතු කරනවා.”

මෙහෙදී මාධ්‍යවේදීන් විසින් අසන ලද කොරියානු E8 වීසා ප්‍රශ්නය පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේය.

“දැන් අපි කොරියන් E8 වීසා සඳහා කැබිනටි අනුමැතිය අරන් තියනවා. මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ කතාවක් ඇති වෙලා තිබුණත් ශ්‍රමිකයින් කොරියන් රැකියාවලට යවන්න අතරමැදියන් සම්බන්ධවී සිටියත් එය කිසිසේත්ම නිත්‍යානුකූලව සිදුවී නැහැ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ එම ගිවිසුම පාකිස්ථානය අත්සන් කළ ගිවිසුමක්. එය කොපි කරලා පාකිස්ථාන් නමවත් ඉවත් කරන්නේ නැතුව අත්සන් කරපු ගිවිසුම් තමයි මීට කලින් තිබුණේ. එය නිත්‍යානුකූල නැහැ. ඒ වගේම මීට කලින් තිබ්බ ප්‍රශ්නය තමයි වීසා කාලය ඉතාම කෙටියි. රැකියාවට යාමට වියදම් කරන ගාස්තුව එරටදී උපයන්නවත් බැහැ. ඒ වගේම අතර මැදියන්ගේ ගාස්තුවත් ඉතා විශාල මුදලක්. මේ සියළුම කරුණු පිළිබඳව ඉතාම හොඳින් සොයා බලා, පුළුල් අධ්‍යයනයක් සිදු කර ඉතාමත් සාධාරණ ක්‍රමවේදයකට කෙටි කාලයක් තුළ E8 ප්‍රශ්නය අපි විසදුවා. ඒ අනුව කොරියන් E8 වීසා ලැබූ පළමු ශ්‍රමික කණ්ඩායම ඉතාම ඉක්මනින් එම රැකියාවන් සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා .

ඒ වගේම විදේශ රැකියා ක්ෂේත්‍රය ආශ්‍රිතව පසුගිය කාලයන් පුරාවටම බොහෝ අක්‍රමිකතාවයන් සිදුව තිබෙනවා. සමහර කාරණා පිළිබඳව අඩුම තරමින් කාර්යාංශයේ වගකිවයුතු නිලධාරීන් දන්නෙවත් නැහැ. වගකීම් දරපු සමහර ඇමතිවරු අත්තනෝමතික විදිහට අවස්ථා ගණනාවකදීම කටයුතු කර ඇති බව මේ සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණ ගණනාවකදීම අනාවරණය වුණා. සිදු කරපු දේවල තිබෙනවා. රටවිරුවන්ට ලබා දුන් විද්‍යුත් වාහන බලපත්‍ර සම්බන්ධව, E8 වීසා රැකියා සම්බන්ධතාව හා ඊට අමතරව තවත් සිදු වූ අක්‍රමිකතාවයන් සම්බන්ධ කරුණු,කාරණා ඒ අතර ප්‍රධානයි. මෙම විමර්ශනයන් ඊට සම්බන්ධ ආයතනවලට දැනටමත් අපි යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ආයතන තමයි මෙහිදී වැරදි බවට තහවුරු වන පුද්ගලයනට නඩු පවරන්නේ. මෙම පරික්ෂණවලදී කෙනෙක්ට කියන්න පුලුවන් දේශපාලනිකව පලිගැනීම්වලට මෙහෙම කරනවා කියලා. නමුත් එහෙම නැහැ. වැරදිකරුවන්ට නීතියෙන් ගැලවෙන්න කිසිම අවස්ථාවක්, බුරුලක් ලබා නොදී හෙළිදරව් වන සෑම වැරැද්දකටම එරෙහිව අපි නඩු පැවරීම් සිදු කරනවා.”

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉතාම සාර්ථක ලෙස සංවිධාන කරන ලද මෙම “විශේෂ මහජන දිනය” පිළිබදව “සිළුමිණ – රට රස්සා” අතිරේකය සමඟ වැඩිදුරටත් අදහස් දැක්වූ කාර්යාංශයේ ප්‍රචාරක කළමනාකරු මධුශාන් කුලරත්න මහතා සඳහන් කළේ මෙම “විශේෂ මහජන දිනය” ලැබූ සාර්ථකත්වය නිසාම එම මහජන දිනය සෑම මසකම පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division