වැසි වසිනා අහස අපී
මිණි දිලෙනා පොළොව අපී
සිරි ලංකා රට ම අපී…
ගොවියෝ අපි කම්කරුවෝ
රට රකිනා ජනතාවෝ…
මේ ජව සම්පන්න ගී පද රචනා කරනු ලැබූයේ මෙරට සිටි ප්‍රවීණතම ගීත රචකයා වූ මහගම සේකරයන් විසිනි. වර්ෂ 1970 දී රට පාලනය කළ ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට්, සමඟි පෙරමුණු ආණ්ඩුව සේකරගේ මේ ගී පදවලට බිය විය. 1971 තරුණ නැඟිටීමෙන් අන්ද මන්ද වී සිටි ආණ්ඩුව මේ ගීතය දෙස බැලුවේ තරුණයන් විප්ලවයට කැන්දන විප්ලවීය ආමන්ත්‍රණයක් හැටියට ය.
ආණ්ඩුව බිය වූයේ ‘ගොවියෝ අපි කම්කරුවෝ රට රකිනා ජනතාවෝ’ යන ගී පදවලට ය. අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ අදහස වූයේ රට රකින්නේ ගොවි කම්කරු ජනයා නොව මැති ඇමැතිවරුන් බැවින්, සේකරගේ ගී පද දෝෂ සහිත බව ය. කෙසේ වුව ද ගීතය ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රචාරය කරන ලද්දේ සේකර ලියූ ‘ගොවියෝ අපි කම්කරුවෝ’ යන වදන් ඉවත් කොට, කිසියම් බක පණ්ඩිතයකු ලවා ‘වැසියෝ අපි පුරවැසියෝ’ යන වදන් ආදේශ කිරීමෙන් පසුව ය. සේකර ඒ පිළිබඳ බොහෝ කනස්සල්ලට පත්ව සිටියේ ය. මන්ද: ‘පුරවැසියන්’ යන්නට සූරා කන ධනපතියන් ද අයත් වන බැවිනි.
රාජාණ්ඩු පැවති ඓතිහාසික යුගයේ ලොව වෙනත් රටවල මෙන් ම ලංකාවේ ද
පුරවැසියන් සිටියේ නැත. සිටියේ රජු සහ රජුගේ යටත්වැසියෝ ය. රජු දේවත්වයෙන් පිදුම් ලැබූ අතර, යටත්වැසියන් ඇන්දේ, පැලැන්දේ, කෑවේ, බීවේ ‘රජුගේ අවසරය ලැබුණොත්’ පමණි; දැළි රවුළු කැපුවේ ‘පස් වාන් දහසකට බුදු වන්ඩ! බත් මුඛය පාදා ගන්න අවසර’ ඉල්ලීමෙන් පසුව ය.
යටත්වැස්සන් පුරවැස්සන් බවට පත් වූයේ 1789 ප්‍රංශ මහා විප්ලවයෙනි. පීඩාකාරි රාජ්‍ය පාලනය තවදුරටත් දරා ගත නුහුණු ප්‍රංශ ජනයා වීදි බැස, 16 වැනි ලුවී රජුගේ රාජකීය ඔටුන්න කුණු කානුවකට විසි කර, පැරිසියේ පාලනය පුරවැසි සභාවකට පවරා ගත්හ. පුරවැසියන් බිහි වූයේ ද, ප්‍රජාතන්ත්‍රවාදි මහජන නියෝජිත පාලන ක්‍රමය බිහි වූයේ ද එතැන් සිට ය.
නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයන්හි රජු සහ යටත්වැසියන් නැත. ඔවුන්ගේ සාම්පල් දැක ගන්න අවශ්‍ය නම් යා යුත්තේ කෞතුකාගාරවලට ය. එහෙත් පුදුමය නම්: තමන් තවමත් රජුන් යැයි සිතා සිටින පාලකයන් මෙන් ම, තමන් තවමත් යටත් වැසියන් යැයි සිතා සිටින පුරවැසියන් ද, 21 වැනි සියවසේත් අප රටේ වාසය කිරීම ය. ‘මහ රජාණෝ’ යැයි තමන්ට ම කියා ගත් රාජ ප්‍රතිරූපකයෙක් මෙරට සිටියේ ය. ඔටුන්න අහිමි ඔහුගේ පුත්‍රයාට රජයේ ආරක්ෂක අංශ විසින් ගිනිඅවි 7ක් දී තිබූ බව හෙළි වූයේ නොබෝදා ය. මොවුන් අප රටේ මහජන මුදල් මිලියන 4,000ක් වියදම් කොට විදෙස් සංචාරවල නිරත වූවා පමණක් නොව, රජා ඇන්දේ කෑවේ බිවුවේ ද මහජන මුදලිනි.
2024 සැප්තැම්බර් අපේ රට 180ක් අනෙක් පස හැරුණේ මිනිසකු විසින් මිනිසකු මැඬීම සමස්තයක් ලෙස අවසන් කිරීමේ අඩිතාලම දමනු පිණිස ය. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ රජවරුන් හෝ රාජකීය ඇමැත්තන් සිටිය නොහැකි ය. ඉන්නේ හෘදයංගම බැඳීමෙන් බැඳුණු සහෝදරයෝ ය; මහජන සේවකයෝ ය. ඒ වෙනස දරා ගත නොහැකි, වහලුන් සේ හැසිරෙන මිනිස්සු ද සිටිති. ස්පාටකස් වැනි වහල් නායකයන් බිහි වන තුරු, තම දෑත් දෙපා බැඳි යදම්වලට ප්‍රේම කළ වහල්ලු ද සිටියහ.
යටත් වැස්සන්ට ලෝකය වෙනස් කළ නොහැකි ය. පරාධීන මානසිකත්වය ජානගත වී ඇති මිනිසුන් වෙනස් කිරීම අපහසු ය. තමන් කැපුවත් කොළපාට ය, තමන් කැපුවත් නිල් පාට ය, කියන මිනිසුන් අතළොස්සක් තව මත් ඉතිරිව ඇත්තේ ඒ නිසා ය. පාපැදියෙන් ගමන් කළ මිනිසා පාර්ලිමේන්තුවට යැවූ පසු කොළඹ හතේ පදිංචි වී, ප්‍රාඩෝ වී8 රථයෙන් ගමට එන විට උද්දාමයට පත්ව සතුටු කඳුළු හෙළූ යටත් වැසියන් මේ රටේ සිටි බව හා සිටින බව අමතක නොකළ යුතු ය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලනය භාර දිය යුත්තේ නිදහසේ ස්වර්ග රාජ්‍යයට අප කැඳවාගෙන යෑමට සමත් පන්ති සගයන් වේ නම්, ඔවුන්ට ය.
මං මුළා වූ එකකු සේ තව මත් රාජ ඌෂ්ණයට ඉව අල්ලන අයකු වේ නම් ඔහු තැබිය යුත්තේ අනාගත පරපුරට දැක බලා ගනු පිණිස කෞතුකාගාරයක වීදුරු කුටියක ය.