Home » සිඩ්නි ඔපෙරා හීනයක් තියෙනවා

සිඩ්නි ඔපෙරා හීනයක් තියෙනවා

එම්.සෆීර්

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment

ත්මන් සමාජ, සංස්කෘතික ,දේශපාලනික වපසරිය අනෙකුත් කලාවේ ක්ෂේත්‍ර සේම වේදිකා නාට්‍යය කලාව ද අර්බුදකාරී මට්ටමකට පත් ව ඇත. රංගශාලා ප්‍රේක්ෂකත්වයෙන් ඈත් වෙමින් පවතීදැයි සැක සහිත ය.නාට්‍යකරුවන් ද ආර්ථිකමය වශයෙන් අසීරු තත්ත්වයකට පත් ව සිටිති. එනිසා ම ප්‍රශ්නය කුමක්දැයි නිවැරදි ව හඳුනා ගෙන පිළියම් කළ යුතු කාලය පැමිණ තිබේ. මේ පිළිබඳ ව සාකච්ඡා කිරීමට නාට්‍යෙව්දී එම්.සෆීර් රඟහලට කැඳවා ගතිමු.

මොහු දශක හතරකට ආසන්න කාලයක් පුරාවට නාට්‍ය හා රංග කලාවට ප්‍රායෝගික මෙන් ම න්‍යායික ප්‍රවේශයන් හදුන්වා දීම සඳහා පුරෝගාමීව කටයුතු කරන්නෙකි. ජාත්‍යන්තර වේදිකාව ජයග්‍රහණය කළ අධ්‍යක්ෂකවරයෙකි. ප්‍රකාශකයෙකි. ප්‍රචාරණ උපදේශකවරයෙකි. දේශකයෙකි .ලෝකය සමඟ ලාංකේය නාට්‍ය කලාව එකතු කිරීමේ පර්‍යේෂණාත්මක කර්තව්‍යයේ නිරතව සිටින කලාකවෙකි.

දිකා නාට්‍ය කියන්නේ මම මුදල් උපයන කර්මාන්තය නෙමෙයි. මම ව්‍යාපාරිකයෙක්. හැබැයි ඒ ව්‍යාපාර කලාවට සම්බන්ධයි. මම ප්‍රකාශකයෙක්, ප්‍රචාරණ උපදේශකයෙක්, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විශ්ව විද්‍යාල ගණනාවක උගන්වන පුද්ගලයෙක් . මුල් කාලයේ ඕනම මනුස්සයෙක් නාට්‍ය කලාව තෝරගන්නේ ආසාවට. නළුවෙක් වෙන්න තියෙන පිස්සුවට. තමන්ට නිවැරදිව ම විෂය පථය අහුවෙන්නේ, දිග, පළල තේරෙන්න ගන්නේ ඉන්පසුව. මම නාට්‍ය කලාව තෝරගන්නේ මගේ දේවල් කියන්න එක මාධ්‍යක් විදිහට. මම නාට්‍ය කරන්නෙ ම මගේ තෘප්තියට.”

නාට්‍ය කලාවට ඇති ඇල්ම සහ එය අනාගතයට දායාද කිරීමේ ආශාව සමඟ තනි පුද්ගලයෙක් ලෙස රටක රාජ්‍ය මැදිහත්වීමකින් සිදු විය යුතු, කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පවා දැනට දශක දෙකක පමණ කාලයක් පුරාවට මුළුමනින් ම සංවිධානය කරන්නේ එම්. සෆීර් ය.

“කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල, කාලය වශයෙන් ගත්තොත් අවුරුදු පහළොවක් උළෙල වශයෙන් ගත්තොත් දහයක් මේ වන විට සංවිධානය කරලා තියෙනවා. මුලින්ම ජාත්‍යන්තර නාට්‍ය උළෙලට ආවේ අයදුම්පත් දහයක්, පහළොවක් පමණයි. නමුත් අවුරුදු පහළොවකට පස්සේ අයදුම්පත් තුන්සියයකට අධික ප්‍රමාණයක් අපිට එනවා”

මෙම පරිශ්‍රමයේ ප්‍රතිඵල මෙරට නාට්‍ය කරුවා, හැදෑරීම් කරන්නන්, ප්‍රේක්ෂකයා විසින් ලබාගෙන තිබෙනවා ද? ඒ පිළිබඳ ව එම් . සෆීර් පවසන්නේ මෙවැන්නකි.

“ලෝකෙ ජාත්‍යන්තර නාට්‍ය , චිත්‍රපට හෝ සාහිත්‍ය හෝ මොනයම්ම උත්සවයක් තියෙන්නේ ඒ අංශයේ අයට අධ්‍යයනය කරන්න. නමුත් ජෝර්ජියාවේ ජාතික රඟහලේ නාට්‍යයක් මරදානෙ පෙන්නනකොට ලංකාවේ නාට්‍ය කාරයෝ කාර්ය බහුල නම්, ෂැංහයි නාට්‍ය ඇකඩමියේ නාට්‍යයක් මරදාන එල්ෆින්ස්ටන් එකේ පෙන්නනකොට කිලෝමීටර් එකහමාරක් දුරින් තියෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට සහභාගි වෙන්න බැරි නම්, බ්‍රසීල්වල නාට්‍යයක් ලංකාවෙ පෙන්නද්දි කාට හරි අවිස්සාවෙල්ලේ ඉදන් කොළඹ එන්න බෑ දුරයි කියනවා නම් ඒක ඔවුන්ගේ අවාසනාව මිස මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මට ඔවුන් ගැන තියෙන්නෙ අනුකම්පාවක්. සමහරෙක්ට මරදානට ඇවිත් නාට්‍යයක් බලන්න බැහැ. නමුත් විදෙස් ශිෂ්‍යත්ව ලබා ගන්න අපට කතා කරනවා. පාවුලෝ කොයියෝගේ සාන්තියාගෝ නම් සරන්නා පොත වගේ වාසනාව තමන් ළඟ තියාගෙන වටේ ගියා කියලා තේරුමක් නැහැ”

හුදු රසවින්දනය සඳහා පමණක් නාට්‍ය කිරීම එකකි. හැදෑරීම සඳහා නාට්‍ය කිරීම තවත් දෙයකි.

“ජාත්‍යන්තර නාට්‍ය උළෙලට කවදාවත් මහා ජන ගඟක් ආවෙත් නෑ. නාට්‍යකරුවො විශාල සංඛ්‍යාවක් ආවෙත් නෑ . කවුරු හරි ඇහුවොත් එහෙම වෙලත් ඇයි මම මේ නාට්‍ය උළෙල පවත්වන්නෙ කියලා, විජය රජ්ජුරුවන්ගේ පටන් මහින්ද රාජපක්ෂ රාජ්‍ය දක්වා ම නාට්‍ය උළෙලක් ලංකාවෙ තිබ්බේ නෑ. තනි මිනිහෙක් වුණු මම ඒක ආරම්භ කළා. මේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල නිසා පහුගිය වසර ගණනාව ඇතුළත විදේශීය නාට්‍යකරුවන් රැසක් මේ රටේ විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. මේ රටේ තියෙන එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙල සංවර්ධනය කිරීම, දියුණු කිරීම, නාට්‍ය කරුවන්ගේ, නාට්‍ය හා රංගකලාව හදාරන විද්‍යාර්ථීන්ගේ, පොදු මහත් ජනතාවගේ වගකීමක්.”

වගවීමෙන් ඕනම ක්ෂේත්‍රයක් තුළ කටයුතු කිරීමටනම් නිසි හැදෑරීමක් මෙන් ම හැඟීමක් තිබිය යුතු බව එම්.සෆීර්ගේ අදහසයි.

“මට දස දහස් ගණනක් තරුණ තරුණියෝ මුණ ගැහිලා තියෙනවා ඔවුන් ක්ෂේත්‍රයට එන්නේ ම එක රැයකින් නළුවෙක් හෝ නිළියක් වීම වැනි බොහොම පටු සිහින සමඟ. ඒ නිසාම හැදෑරීම් කරන්න ඉඩ අඩුයි. ඔවුන්ගේ සහජ දක්ෂතාව නිසා ලැබෙන මුල් අවස්ථාවේ දී ම හොඳම නළුවා හෝ නිළිය වුණා ම හැදෑරීම ඔවුන්ට අමතක වෙනවා. ගිලිහෙනවා. නිසි හැදෑරීමක් නොමැති ව ඉදිරියට යන්න බැහැ කියන එක ඔවුන්ට තේරෙන්නේ නැහැ. නාට්‍ය කලාව සම්බන්ධයෙන් අලුත් පරම්පරාවට උපදෙස් දෙනවට වඩා අලුත් පරම්පරාව විෂයට අවංක වීම තමයි හොඳ. උදාහරණයක් විදිහට අපි භාෂාව වෙනස් කරන්න්නම් භාෂාව දැනගන්න වෙනවා. නාට්‍යයේ පෙරළියක් කරන්නනම් නාට්‍ය දැනගන්න ඕන.”

කෙටි මාර්ගවලින් තම අරමුණ කරා යෑමෙන් මංමුලා වන බවත් නිසි ප්‍රතිඵල සහිත ගමන දීර්ඝ වගේම කල් ගතවන බවත් ඔහු පවසයි. ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් කරා තම ආත්මීය කුසලතාව යොමු කිරීමටනම් මෙම කැපවීම, වගවීම තිබිය යුතු ය.

අපේක්ෂාවේ නාට්‍ය මංගල්‍ය, රාජ්‍ය නාට්‍ය උළෙල,යොවුන් නාට්‍ය උළෙල වැනි උත්සව සංවිධානය වන්නේ ද එවැනි නාට්‍ය ශිල්පීන් ඇගයීමට ය. නමුත් එකී බලාපොරොත්තු කිසිවක් මෑතක පැවැත් වූ නාට්‍ය උළෙල හරහා ඉෂ්ට වූ බවක් පෙනෙන්නට නැති බව ද සෆීර් පවසයි.

“කොවිඩ් වසංගතයට පස්සේ ලංකාවේ නාට්‍ය කලාව අවදි කරන්න ගත්ත ප්‍රයත්නයක් තමයි මේ අපේක්ෂාවේ නාට්‍ය මංගල්‍ය. නමුත් මම අහන්නේ රඟහලේ මිනිස්සු විසිපහක්වත් නැති ව නාට්‍ය උලෙළක් පැවැත්වුවාට නාට්‍යකරුවට ඇගයීමක් ලැබෙනවද? ආර්ථික ප්‍රතිලාභයක් තියෙනව ද? රාජ්‍යට ලාභයක් තියෙනව ද? මගෙ අදහස මේ නාට්‍ය ගමට අරන් ගිහින් නොමිලේ පෙන්නුවත් මීට වඩා ඵලදායී වෙයි. එල්ෆිනිස්ටන් හෝ ටවර් රඟහල්වල එකම නාට්‍ය නැවත නැවත පෙන්නුවාට ප්‍රේක්ෂකාගාරය වර්ධනය වෙන්නෙ නෑ. ”

“නාට්‍ය උළෙලක් කියන්නේ නරක දෙයක් නෙමේ. හැබැයි අවාසනාවට කාට ද මේකෙන් වැඩක් වුණේ? නාට්‍ය උළෙලට නාට්‍ය ඉදිරිපත් කරලා නාට්‍යකරුවා කන්ඩ නැතුව රඟහලෙන් යනවනම්?, මම ලෝකෙ තියෙන නාට්‍ය ගෙනල්ලා රඟහලෙන් බාගයක් පුරවගන්න බැරුව කණගාටු වෙනවනම්, නාට්‍ය හා රංගකලාව උගන්වන විශ්ව විද්‍යාල හතරක්, පහක් තියෙන රටේ ,නාට්‍ය පාසල් ගණනාවක් තියෙන රටේ , සංස්කෘතික මධ්‍යස්ථාන දෙසීයකට අධික ප්‍රමාණයක් තියෙන එකේ වැඩක් තියනව ද?”‍

සහෘද රසිකත්ව වර්ධනය කිරීම සඳහා රටේ නිවැරදි යාන්ත්‍රණයක් තිබිය යුතු ය. සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවන්නේ සාරධර්ම පිරි සමාජයක් බිහි කිරිම, ප්‍රාදේශිය දරු දැරියන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීම, විදේශිය නර්තන ප්‍රසංග අත්දැකීම් ලබාදී ඔවුන් අන්තර් ජාතික තලයට ගෙන ඒම යන යන අරමුණු ත්‍රිත්වය පෙරදැරි කරගෙන ය.නමුත් එම අරමුණු ඉෂ්ට වන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවලට නිසි යාන්ත්‍රණයක් නොමැතිකම ද කලා ක්ෂ්‍රේත්‍රයේ අර්බුදයට බලපා තිබේ.

“සංස්කෘතික මධ්‍යස්ථාන දෙසීයක් තිබ්බා කියලා නාට්‍යක් පෙන්නන්න , චිත්‍රපටයක් පෙන්නන්න ශාලාවක් නැත්නම් වැඩක් ද? ”

“ජෝන් ද සිල්වා රඟහල වහලා වසර දහතුනක් හෝ දාහතරක්. ඒ අතරතුර ආණ්ඩු තුනක් මේක කරන එක අතෑරලා තියෙනවා. මේ පවතින ආණ්ඩුවත් මේක කළේ නැත්නම්? සාහිත්‍ය උත්සවයකින් සම්මාන ලබන කෘතියක් පළාත් සභාවලට ගන්න ක්‍රමයක් හදලා නැත්නම්, නාට්‍ය පොත් ලියන උන් නාට්‍ය පොත් ගන්නෙ නැත්නම්, කවි ලියන උන් කව් පොතක් ගන්නෙත් නැත්නම්, නවකතා ලියන උන් නවකතා පොතක් ගන්නෙත් නැති රටක් ඇතුළෙ අපි මොනව ද කරන්නේ? අපි ආඩම්බරෙන් කියවන දේවල් පුස්සක් නෙමේ ද ?

ප්‍රශ්නය ඇත්තේ නාට්‍ය කරුවාගේ , ප්‍රේක්ෂකයාගේ ලෙස වෙන් වෙන් වශයෙන් නොව පාලන තන්ත්‍රයේ පටන් සමස්ත සමාජයේ ය.

“උදාහරණයක් විදිහට මම ප්‍රකාශකයෙක් . මම ආසයි නාට්‍ය පොත් ගහන්න . නමුත් මම පොත් ගහලා විකුණගන්න බැරි ව අඩවලට තියන්න වුණොත් වැඩක් ද ?”

නාට්‍යකරුවා පමණක් නොව සමස්ත කලාකරුවාම වසාගෙන පවතින ඛේදනීය සත්‍යයක් පිළිබඳ ව එම්.සෆීර් අදහස් දක්වන්නේ එලෙසිනි. සැබවින් ම මෙය ඛේදවාචකයකි. සම්මත වූ පනත්, ගොඩනැඟිලි වෙනුවට ප්‍රායෝගික ක්‍රියාත්මක වීම් අනිවාර්යයෙන් ම අවශ්‍යය ය. තම තමන්ගේ කෙරුවාවල් පිළිබඳ ව උදම් ඇනීම, පුරාජේරු කියවීම පැත්තක තබා සියල්ලෝ ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත.

“අපි නිකම් තියනවා කියලා මවාගෙන ඉන්නවා විතරයි. දැන් රාජ්‍ය නාට්‍ය උළෙල තිබ්බා. නමුත් රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරන නාට්‍ය අනුමණ්ඩලයට කාර්යාලයක් නෑ. යට ඇදුම ගන්නැතුව උඩින් විතරක් වහගන ගිහින් වැඩක් තියෙනව ද? අවුරුදු පනහක් ගිහිල්ලත් මේ දේවල් හදාගන්න බැරි වෙලා තියෙනවා. නාට්‍ය කලාව පිළිබඳ ව ප්‍රතිපත්තිමය තීරණ ගන්න පුළුවන් බලය හිමි ආයතනයක් මේ රටේ නෑ. බෝතල් පත්තර එකතු කරන්නන්ටත් වෘත්තීය සමිතියක් තියෙනවා. නාට්‍ය කාරයන්ට එහෙම එකක් නෑ. මේක හැමදාම අවුලක් ඇතුළෙ තියෙන්නේ.”

මේ අර්බුදය දැන්වත් අවසන් කළ යුතු බව ඔහු කියයි. ඒ සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යය ය.

“නාට්‍ය උළෙල හරහා කරන්නේ මේ අවුල්වලට පුංචි පුංචි පැලැස්තර දාන එක. මේකේ ව්‍යූහය සහ හැඩය තේරුම් ගන්නෙ නැතුව මේ මොහොතෙ තියන ප්‍රශ්නයට විකල්ප හොයලා වැඩක් නෑ. හැම රජයකින් ම අපි ඉල්ලුවේ මේ යාන්ත්‍රණය විධිමත් කරන්න කියලා. හැම අමාත්‍යාංශයකටම වෙන් වුණු වගකීම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් සංස්කෘතික අමාත්‍යාංශයක් තියෙන්නේ මොකට ද? ඔවුන් ඔවුන්ගේ කාර්යභාරයට වගවීමක් නැත්නම් වැඩක් ද? අවුරුදු දොළහක් දහතුනක් වහලා තියන රඟහලක් හදන්න බැරි නම් රාජ්‍යකට රාජ්‍ය ඒ ගැන ලැජ්ජා වෙනවා මිස කලාකරුවන්ට බැණලා වැඩක් නෑ. තවම රාජ්‍ය නාට්‍ය උළෙලට දෙන්නේ රුපියල් පනස්දාහයි. රාජ්‍ය නාට්‍ය උළෙලට අවසාන වටයට එන නාට්‍ය ටික ගම් මට්ටමින් පෙන්නන්න කියලා අපි අවුරුදු තිහක් තිස්පහක් ඉල්ලනවා. නමුත් ඒක වෙන්නෙ නෑ.

ප්‍රේක්ෂකාගාරය හිස් වීමේ අර්බුදයට නාට්‍යකරුවාට සහ ප්‍රේක්ෂකයාට පමණක් දොස් කියා පලක් නැත. නිසි හැදෑරීමක් සහිත නාට්‍යකරුවන් සේ ම ප්‍රේක්ෂකයාට නාට්‍ය රසවිඳිය හැකි වටපිටාවක් නිර්මාණය කළ යුතු ය. එයට පිළියම සකස් කළ යුත්තේ කෙසේද?

“රජයෙන් කලා කරුවාට වටිනාකම සකස් කළ යුතු යි.මැරුණට පස්සේ පෙට්ටියට කීයක් හරි දුන්නට වැඩක් නෑ. 2015 යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලුවා ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික් 25ට ප්‍රධාන රංග ශාලා විසිපහක් . අපි නාට්‍ය හදලා පෙන්නන්න බැරි වෙන්න හේතුවක් එතකොට නැහැ. අපි හදන භාණ්ඩයට වෙළඳපොලක් තියෙන්න ඕන. මිනිස්සු එළවළු හදලා ආර්ථික මධ්‍යස්ථානයට ගේනවා මිසක් ආර්ථික මධ්‍යස්ථානය හදන්නේ මිනිස්සු නෙමේ. ඒක හදන්නේ රජයෙන්. ඒ වගේ යටිතල පහසුකම් සකස් කර දිය යුතු යි. අපි ඉල්ලුවේ ඒ වගේ රංග ශාලා විසි පහක් වගේ ම පළාත් නමයට ජාතික රංග ශාලා නමයක්. රංග ශාලා 35ක් එතකොට අපට තියෙනවා. ඒ හොඳට ම ප්‍රමාණවත් අපේ වාර්ෂිකව බිහි වෙන නාට්‍ය ටික පෙන්නන්න. අපට ඕන දවස් 30ට නාට්‍ය 30 යි. අවුරුද්දේ දවස් 365 ම මේ නාට්‍ය ශාලා තිස්පහේ නාට්‍ය පෙන්නන්න පුලුවන්.වෘත්තීය මට්ටම අනිවාර්යයෙන් සකස් කළ යුතුයි. ”

“රාජ්‍ය පුම්බන්න සම්මාන උළෙල කළාට ප්‍රමාණවත් නැහැ. වාර්ෂික අයවැයෙන් හුදු උත්සවයක් තියනවට එහා ගිය කාර්යභාරයක් රටට තියෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයට තියෙනවා. එය නිවැරදි ව තේරුම් ගත යුතු යි. ”

නගරයෙන් ගමට නාට්‍ය නොයන්න එහි ප්‍රේක්ෂකත්වය වර්ධනය නොවෙන්න මෙකී හේතු මෙන් ම තවත් හේතු පවතින බව එම්. සෆීර්ගේ අදහසයි.

“උදාහරණයක් විදිහට අනුරාධපුර මහවිලච්චියට රංග ශාලා පහසුකමක් නැති අනුරාධපුර නගරයට එන මනුස්සයෙක් හවස ශෝ එක බලල යන්නේ කොහොම ද? බස් නෑ. ජර්මනියේ නාට්‍ය දර්ශනයක ටිකට් එකේ බස් එකේ, ට්‍රේන් එකේ ගාන ඇතුළත්. අපිට රෑ 8න් පස්සේ එල්ෆිනිස්ටන් එකෙන් එළියට බැහැලා යන්න බස් එකක් නැත්නම් ඔයා එන්නෙ නෑ නාට්‍යක් බලන්න. නාට්‍ය නිර්මාණවල ප්‍රේක්ෂකයා රැදෙන්න මේ අනාරක්ෂිත භාවය නැති වෙන්න ඕන. ”

අවසාන වශයෙන් නවක පරම්පරාවට සෆීර් ලබා දෙන්නේ මෙවැනි අදහසකි .

“නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම ලෝකෙත් එක්ක යම් ගනුදෙනුවක් කරනවා. ජාත්‍යන්තර මට්ටමේ නාට්‍ය නිශ්පාදන 6ක් කරනවා. මේක මේසයක් උඩ තියලා මට නිකම්ම ලැබුණ දෙයක් නෙමේ. 1998 / 99 වගේ වෙනකොට මට තිබ්බ හීනය නාට්‍යයක් අරගෙන ඉන්දියාවට යන්න.

2006/2007 වගේ වෙනකොට මට තිබුණෙ යුරෝපයේ හදනවා වගේ නාට්‍යයක් හදන්න. ඊට පස්සේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලවලට සහභාගී වෙන්න ලැබෙද්දි ජාත්‍යන්තර මට්ටමේ නළු නිළියන් සමඟ නාට්‍යයක් පෙන්නගන්න අවස්ථාවක් තිබුණ නම් කොච්චර හොඳ ද කියන හීනය. ඒ හැමදේම අත්පත් කරගෙන අද වෙද්දි මම හිතනවා සිඩ්නි ඔපෙරා වගේ නාට්‍යශාලාවක මගෙ නාට්‍යක් පෙන්නන්න. ජාත්‍යන්තර නාට්‍යය උළෙලක විනිශ්චයකරුවෙක් විදිහට වාඩිවෙන්න. ඕනම කෙනෙක්ට පළවෙනි අඩියෙන් ම තුන්සියවෙනි අඩියට අඩිය තියන්න බෑ. කාලානුරූපීව විවිධ කාල අපි පහු කරන්න ඕන. අද නාට්‍ය කරන්න ඇවිත් හෙට ජාත්‍යන්තර නාට්‍යකරුවෙක් වෙන්න බැහැ. මේවා දිගු ගමන්. ”

සඳුනි දිසානායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division