සති කිහිපයකට පෙර හොලිවුඩය ගින්නෙන් දැවෙද්දී කඳුළු පිරි නෙතින් බලා සිටි හොලිවුඩ් තරු මීට දින කිහිපයකට පෙර ඔස්කා සම්මාන උළෙලේ දීප්තිය දකිමින් තුටු කඳුළු වගුරනු දැකිය හැකි විය .සම්මාන උළෙල ආරම්භයේ දීම ලැව්ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූවන් සහ විනාශයෙන් කම්පනයට පත්වූවන් වෙනුවෙන් විනාඩි කිහිපයක් කැපවූ අතර තිරයේ දිගහැණු එම දසුන් නිමාවට පත්වූයේ,”අපි ආදරෙයි හොලිවුඩ්” යන වදන්වලිනි.
ඇකඩමි සම්මාන හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 97 වැනි වතාවටය.එය ලොව පැරැණිතම සිනමා සම්මාන උළෙල ද වේ.මෙවර නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කිරීම ද දෙවරක්ම කල් දැමීමට සිදුවිය. පළමු වර ජූරියට අදාළ කාරණාවක් නිසා එය සිදුවූ අතර, දෙවන වර ලැව්ගින්න හේතුවෙනි. එසේ වුව, ඉකුත් වසරට වඩා සතියකට කලින් උළෙල පැවැත්වීමට සංවිධායකයන් වන සිනමා කලා හා විද්‍යා ඇකඩමියට (AMPAS) හැකිවිය. 2002 වසරේ පටන් එය පැවැත්වෙන හොලිවුඩයේ ඩොල්බි රඟහලේ දීමය.
සම්ප්රදායක් ලෙස ඔස්කා සම්මාන උළෙල පෙබරවාරි අග සතියේ වුව අන් බොහෝ දේ මෙන්ම එකී සම්ප්රදාය ද කොවිඩ් වසංගතයත් සමඟ වෙනසට ලක්විය. වසංගත සමයෙන් පසු එය පැවැත්වීමට මාර්තු මාසය යොදාගැනේ.
සම්මාන උළෙලට පෙර පැවැත්වෙන සාදය මෙවර නොපැවැත්වූ අතර ඊට වැය වන මුදල ලැව්ගින්නෙන් වූ බලපෑම් සමනය කරගැනීමේ සේවා කටයුතු වෙනුවෙන් යෙදවෙනු ඇත.
මේ පසුබිම මෙන්ම මෑත භාගයේ දී පැවැති ආන්දෝළනයට තුඩු දුන් හා වෙනස් සම්මාන උළෙලක් ලෙස ද ඒ ගැන වැඩි අවධානයක් තිබිණි.
ඔස්කා සම්මානය අතට ගැනීම යනු සිනමා කලා ශිල්පියෙක් ජීවිතයේ සැබෑ කරගන්නා ලොකුම සිහිනය ද විය හැකිය.එසේ තිබියදී මෙවර සම්මාන වේදිකාවේ දී දෑතින් ඔස්කා සම්මාන 4 ක් දරන්නට තරම් වාසනාවන්තයෙක් ද සිටියේය.ඔහු ANORA චිත්‍රපටයේ අධ්යක්ෂ ෂීන් බේකර් ය.ඒ සම්මාන 4 ම මෙවර හොඳම චිත්‍රපටය වූ ANORA වෙනුවෙනි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරපිටපත හා හොඳම සංස්කරණය වශයෙනි. මෙතෙක් ඔස්කා සම්මාන ඉතිහාසයේ එවැනි අවස්ථාවක් තිබී නැත. හොඳම නිළිය ලෙස මිකී මැඩිසන් ලැබූ සම්මානයත් සමඟ ගත්විට එම චිත්‍රපටය ලැබූ සම්මාන ගණන 5 කි. මෙතෙක් ඔස්කා ඉතිහාසයේ වැඩිම සම්මාන ගණනක් හිමිකර ගෙන ඇත්තේ වෝල්ට් ඩිස්නිය. ගණනින් එය 22 කි. ඉන් එක් සම්මානයක් පිරුනැමුණේ අභාවයෙන් පසුවය. දෙවැනි තැන සිටින්නේ ඩෙනිස් මුවර් ය. සම්මාන 9 කි. එහෙයින්, ඩිස්නිගේ සම්මාන වාර්තාව පහසුවෙන් බිඳ වැටෙනු නැත. EMILIA PEREZ චිත්‍රපටය මෙවර සම්මාන 13 කටම නිර්දේශ විය.ඉතිහාසයේ THE LORD OF THE RING:THE RETURN OF THE KING,TITANIC සහ BEN-HUR චිත්‍රපට සම්මාන 11 බැගින් දිනා ඇත.
හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ,ඒඩ්‍රියන් බෘඩි ය. ඒ THE BRUTALIST හි රංගනය වෙනුවෙනි.හොඳම සහාය නළුවා කීරන් කුල්කින්ය,ඒ A REAL PAIN චිත්‍රපටයේ රංගනය උදෙසාය. හොඳම නිළිය ANORA හි මිකී මැඩිසන්ය. හොඳම සහාය නිළිය ෂෝ සැල්ඩානාය. ඒ,EMILIA PEREZ හි රංගනය වෙනුවෙනි.
මෙවර හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වූ EMILIA PEREZ, THE BRUTALIST, WICKED, A COMPLEX UNKNOWN ,CONCLAVE සහ ANORA චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය සඳහා සම්මානය දිනාගත් ANORA Comedy Drama ගනයට අයත් නිර්මාණයක් වන අතර ලිංගික ශ්‍රමිකයන් (Sex Workers)තේමා කොට ගත්තකි. සම්මානය අතට ගනිමින් අධ්යක්ෂ කීවේ, එහි ගෞරවය ලිංගික ශ්‍රමිකයන් වෙත පුද කරන බවය. ඔහු චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කිසිවක් කීවේ නැත. ඇ.ඩො.මිලියන 6 ක වියදමකින් නිෂ්පාදනය කළ එය අඩු පිරිවැයක් දරා කළ චිත්‍රපටයක් ද වේ.එය දිගහැරෙන්නේ රාත්‍රී සමාජ ශාලා නලඟනක හා රුසියානු දානපතියෙකුගේ පුතෙක් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය ඔස්සේය.ANORA පසුගිය වසරේ හොලිවුඩ් රසිකයන්ගේ මෙන්ම සිනමා විචාරකයන්ගේ ද පුළුල් ප්‍රතිචාරවලට ලක්වනු දැකිය හැකිවිය. එය 70′ දශකය සිහිපත් කරන නිර්මාණයකි. 1971 දී තිරගත වූ ජේන් ෆොන්ඩා ගේ KLUTE නිර්මාණය වූයේ ද Call Girl චරිතයක් වටාය.
ඔස්කා ඉතිහාසය දෙස බලන විට එය කොතැනින් හෝ දේශපාලනය සමඟ ද සම්බන්ධවේ.දශක දෙකකටත් එපිටදී නිර්මාණය වූ FARANHITE 9/11 චිත්‍රපටය හා ඒ ආශ්රිත කතිකාව මෑත ,2021 වසරේ දී “කළු විඥානය” එවැනි ඇතැම් ප්‍රකට අවස්ථා සඳහා නිදසුන් ය.බොහෝ අය අපේක්ෂා නොකළ පරිදි මෙවර සම්මාන වේදිකාවේ ජනාධිපති ට්‍රම්ප් හෝ යුක්රේන යුද්ධය වැනි කාරණා මාතෘකා වූයේ නැත.දේශපාලන කාරණාවලට වඩා වැඩි අවධානයක් හේල් බෙරි ගෙන්, හොඳම නළුවා වූ බෘඩි ලද හාදුවට තිබූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.එහි යම් විශේෂත්වයක් ද තිබේ.ඒ, මීට දශක දෙකකටත් එපිට දී බෘඩි හොඳම නළුවා ලෙස මුල් වරට සම්මාන ලද අවස්ථාවේ වේදිකාව මතදීම හේල්ට දුන් හාදුව ආන්දෝළනයක් ඇති කළ බැවිනි. මෙවර එය තුලනය වූ සෙයකි.දේශපාලනයෙන් දුරස් වුවද ANORA චිත්‍රපටයේ රුසියානු චරිතමය සම්බන්ධය නම් සිත්ගන්නාසුලු කාරණයක් විය. එය හොඳම චිත්‍රපටය වූ විට අමෙරිකානුවෝ වික්ෂිප්ත වනු ඇතැයි ඇතැම් අය කීහ.
හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය මෙවර දිනාගත්තේ “පලස්තීන යුද්ධය” පසුබිම් කරගත් “No Other Land” චිත්‍රපටයයි. එහි සම අධ්යක්ෂ වූ යුවාල් ඒබ්‍රහම් යුදෙව් ජාතිකයෙක් වූ අතර සම අධ්යක්ෂ බැසල්, පලස්තීන ජාතිකයෙකි.මේ චිත්‍රපටය අමෙරිකාවේ ප්‍රදර්ශනය සඳහා අවසර ලැබී නැත. සම්මානය ලබා ගනිමින් යුවාල් කීවේ, මේ චිත්‍රපටය අප දෙගොල්ලන්ම එක්ව නිර්මාණය කළ බවය.”එවිටයි අපේ හඬ බලවත්” යැයි පැවසූ ඔහු, ඊශ්‍රායෙල් ජාතිකයන් වන තමන් ආරක්ෂිතව සිටිය ද පලස්තීනුවන් අනාරක්ෂිත බව ද ඔවුන්ට නිදහස අහිමි වී ඇති බව කීවේ දෙපාර්ශ්වයටම නිදහස ආරක්ෂාව උරුම විය යුතු බව පෙන්වා දෙමිනි.
ඔස්කා සහ දේශපාලනය ගැන වැදගත් ප්‍රකාශයක් එලොන් මස්ක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබිණි.ඉන් ඔහු කීවේ, සම්මාන සඳහා පදනම් කරගත යුතු වන්නේ දක්ෂතා මිස නියෝජනය නොවන බවය.
සම්මාන වේදිකාවේ දී සංගීත කාණ්ඩායමෙන් වාදනය ද මඳකට නතර කරන්නැයි ඒඩ්‍රියන් බෲඩි ඉල්ලමින් කළ විනාඩි 5 කුත් තත්පර 40 ක් වූ කතාව ඔස්කා සම්මාන ඉතිහාසයේ දිගම කතාව ලෙස වාර්තාවක් ද තැබීය. ඔහු බිඳ දැමුවේ දශක 8 කටත් පෙර ග්‍රියර් ගාර්සන් 1943 දී තැබූ විනාඩි 5 තත්පර 30 වාර්තාවය.
හොඳම සහාය නිළිය ලෙස සම්මාන ලැබූ ෂෝ සැල්ඩානා කළ කතාව අවධානයට ලක්වූයේ,ඇය සිය සංක්‍රමණික පසුබිම සිහිකරමින්,”මම සංක්‍රමණික මව්පිය යුවළකගේ සාඩම්බර දරුවෙක්. ඔවුන් ගෞරවාන්විතව සහ දුක්මහන්සියෙන් වැඩ කළා” යනුවෙන් පැවසීමත් සමඟය.
97 වැනි ඔස්කා සම්මාන උළෙල පිළිබඳ බොහෝ කතිකා ඉදිරි දිනවල දී දිගහැරෙනු ඇත.
ධම්මික සෙනෙවිරත්න