මේ වනවිට ‘රාණි’ චිත්‍රපටය තිරගතවීමත් එය අපේ ප්‍රේක්ෂකයන් අතර උත්කර්ෂයක් හා ආන්දෝලනයක් බවට පත්වීමත් සමඟ බොහෝ රසික පිරිස් චරිතාපදාන චිත්‍රපට ප්‍රවර්ගය පිළිබඳත් සාර්ථක චරිතාපදාන චිත්‍රපටයක් යනු කුමක්ද යන්න පිළිබඳවත් විමසිලිමත් වනු දැකිය හැකිය.
ලොව පළමු මහජන චිත්‍රපට දර්ශනය ලෙස සැලකෙන්නේ 1895 දෙසැම්බර් 28 වැනිදා සවස ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ නම් ආපණශාලාවේ දී ප්‍රදර්ශනය කරන ලද දුම්රියක් දුම්රිය ස්ථානයට ළඟාවීමත්, මගීන් ඉන් බැස යාමත් දක්වන චිත්‍රපට දර්ශනයයි. එහි දක්නට තිබුණේ සැබෑ ජීවිතයේ දුම්රිය ස්ථානයේ සිදුවූ සිදුවීම එකම දුර රූපයක් මඟින් කැමරාවට නඟා නැවත සරල ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් මඟින් ප්‍රදර්ශනය කිරීමය. මේ පළමු වාණිජ චිත්‍රපට ප්‍රදර්ශනය අවස්ථාවේ සිටම සිනමාව නම් කලා මාධ්‍යයේ මූලික ගුණාංග දෙකක් පිළිබඳ මූල බීජ ස්ථාපිත වී තිබේ.
ඉන් එකක් වන්නේ චලන කැමරාව මඟින් අප ඉදිරියේ සිදුවන සිදුවීමක්, එතැන පවතින දෘශ්‍යමය යථාර්ථය එලෙසම දක්වන ලෙස වාර්තා කර දැක්වීමයි.
අනෙක් ගුණාංගය වන්නේ පසුකාලීනව වර්ධනය වූ වෘත්තාන්තරූපී සිනමා ආකෘතියට අදාළ මූලික ලක්ෂණයක් වූ යම් අනුක්‍රමික සිදුවීමක්, එකම දුර රූපයක් ඇතුළත දැක්වීමයි. මේ ලක්ෂණ දෙකම පසු කලෙක ක්‍රමිකව දිගහැරුණු සිනමා මාධ්‍යයේ ශාඛා දෙකක මූලාරම්භය කියාපායි. යථාර්ථය පවතින ආකාරයෙන් ම චිත්‍රපට රූප වාර්තාවකට නංවා අදාළ යථාර්ථය, එම පුද්ගලයා හෝ සමාජ ප්‍රවණතාව පිළිබඳ ඍජු තොරතුරු දැනුම ලබා දෙන වාර්තා චිත්‍රපටය (Documaentary Film) ඉන් එකකි.
යම් නිශ්චිත සමාජ, සංස්කෘතික පසුතලයක් පදනම් කරගෙන යථාර්ථයට සමීප ලෙස රචනා කරගත් ප්‍රබන්ධයක් රූප ශබ්ද මාධ්‍යයෙන් ප්‍රකාශ කරන ‘වෘත්තාන්ත චිත්‍රපටය’ (Narrative Film) එම ප්‍රධාන ශාඛාවන් ය. මෙම සිනමා ධාරාවන් දෙක විසිවැනි සියවස පුරාම ඉතා ප්‍රබල සන්නිවේදන මෙන්ම කලා මාධ්‍යයක් ලෙස ද වර්ධනය වූ අතර ඇතැම් අවස්ථාවලදී එකිනෙකට අදාළ ලක්ෂණ මුසු වී වැඩි වර්ධනය වූ බවද පෙනේ.
අද වන විට වාර්තා චිත්‍රපට කලාව එහි මූලික ආකෘතීන් ඉක්මවා ඉතා අඩු වියදම් සහිත සරල කැමරා ආම්පන්නවලින් නිපදවන මූලික තිරනාටක වැඩිදියුණු වී ඇති අතර වෘත්තාන්ත චිත්‍රපටය, වත්මන් සමාජ දේශපාලන තත්ත්වයන් එලෙසම පිළිබිඹු කරන කැඩපතක් සේ ක්‍රියාකරයි. එසේම මිනිස් සංකීර්ණතා මෙන්ම විවිධ නව විනෝදාත්මක මාන ප්‍රකාශ කිරීම උදෙසා චිත්‍ර කලාව, නාට්‍ය කලාව, නවකතාව හා කෙටිකතාව, කාව්‍යය, සංගීතය, නර්තන චලන, අභිරූපණ රංගනය හා කාටූන්, පුවත්පත හා රූපවාහිනී ප්‍රවෘත්ති ලක්ෂණ වැනි වෙනත් කලා මාධ්‍යවලින් අදාළ ආභාසය, අනුප්‍රාණ ලබා ගනිමින් අතිශය පුළුල් විශ්වීයකලාවක් ලෙස වර්ධනය වී පවතී. විශේෂයෙන් සිනමා මාධ්‍යය, වත්මන් සමාජ සංස්කෘතික තත්ත්වයන් සහ පුද්ගල ජීවිත හා පුද්ගල ආකල්ප පිළිබිඹු කිරීමෙන් මෙන්ම ඒවා වෙනස් කිරීමට ද උත්පාදනය කිරීමට ද බලවත් දායකත්වයක් දක්වන කලා මාධ්‍යයක් බවට පත්ව ඇත්තේ ඊටම ආවේණික නව ආකෘතික ස්වරූප හා නව චිත්‍රපට ප්‍රවර්ග උපදවා ගැනීමෙනි. මෙහිදී අප අවධානය යොමු කරන්නේ සිනමාව කලා මාධ්‍යයක් හා විනෝදාස්වාදී මාධ්‍යයක් මෙන්ම කර්මාන්තයක් ලෙස වර්ධනය වෙමින් තිබියදී විසිවන සියවසේ බටහිර සිනමාවේ උපත ලද එක් චිත්‍රපට ශානරයක් නැත්නම් ප්‍රවර්ගයක් වන “චරිතාපදාන චිත්‍රපටය” (Biographical Film දෙසට ය.
‘චරිතාපදන චලන චිත්‍රයක් (Biopic) නැතහොත් චරිතාපදාන චිත්‍රපටයක් ලෙස හඳුනා ගැනෙන්නේ ඓතිහාසික හෝ සමාජ දේශපාලන වැදගත්කමක් ඇති සැබෑ පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ ජීවිත කතාව හෝ පුද්ගල දිවියෙන් විශේෂ කොටසක් නාට්‍යමය ලෙස ප්‍රකාශ කරනු ලබන වෘත්තාන්ත චිත්‍රපටයකි. මුල් අවධියේ මෙවැනි චරිතාපදාන චිත්‍රපටයක කථානායක ලෙස තෝරා ගැනෙන්නේ චිරප්‍රසිද්ධ අධිරාජ්‍යයකු, රාජ්‍ය පාලකයකු, ආගමික හා දේශපාලන නායකයකු හෝ ප්‍රකට සාහිත්‍යකරුවකු, කලාකරුවකු පමණි. ප්‍රකට පුද්ගලයකුගේ පෞද්ගලික හා සමාජ ජීවිතය අතර ගැටුම හෝ ප්‍රතිවිරෝධය වඩාත් සත්‍ය තත්වයන්ට සමීප ලෙස මතුකොට දැක්වීම එවක මේ වර්ගයේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ විය. කෙසේ වුව මුල්ම යුගයේ ඉතිහාසයේ මෙවැනි විශේෂිත සැබෑ චරිත පදනම් කරගෙන චිත්‍රපට තනන්නට එවක චිත්‍රපටකරුවන් උත්සාහ කළේ වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය ලබාගැනීමේ සහ නව කලා මාධ්‍යයක් ජනප්‍රිය කර ගැනීමේ අරමුණෙන් විය යුතුය.
විශේෂයෙන් මෙවැනි සැබෑ චරිත කතා ඇසුරෙන් චිත්‍රපට නිෂ්පාදනය කිරීම ශීඝ්‍ර වර්ධනයක් ලබාගත්තේ ද වාණිජ ආකර්ෂණයක් ලෙස ඒවා යොදාගනු ලැබුවේ ද විසිවැනි සියවසේ මුල් භාගයේ නැඟී එමින් සිටි හොලිවුඩ් සිනමා කර්මාන්තය විසිනි. ලෝකයේ වෙනත් සිනමා සංස්කෘතීන් සහ චිත්‍රපට කර්මාන්තවලට ද ඒ හොලිවුඩ් චරිත කතා සිනමා ප්‍රවණතාව බෙහෙවින් බලපෑම් සහගත වූ බව පැහැදිලිව කිව හැකිය.
ලොව පළමු චරිතාපදාන චිත්‍රපට උදාහරණ ලෙස අද පිළිගැනේනනේ, මුල්ම නිහඬ යුගයේ නිපදවන ලද “ජොආන් ඔෆ් ආර්ක්” (1900) බඳු චිත්‍රපට යි. එය චිත්‍රපට කලාවේ පුරෝගාමී ප්‍රංශ නිහඬ සිනමාකරුවකු වන ජෝර්ජ් මේලීස්ගේ මුල්කාලීන කෘතියක් වූ අතර ඊට පදනම් වූයේ ප්‍රංශ ඉතිහාසයේ කීර්තිමත් කාන්තා යුද නිලධාරිනියකගේ ඛේදජනක ජීවිත පුවතයි.
ඉන් පසුව කෙටි කලකින් අමෙරිකානු හොලිවුඩ් චිත්‍රාගාර චරිතාපදාන චිත්‍රපට නිෂ්පාදනය කිරීමට තවතවත් උනන්දු වූ අතර ප්‍රංශ, ඉතාලි සහ බ්‍රිතාන්‍ය සිනමාකරුවන් හා කර්මාන්ත ද මේ ගණයේ චිත්‍රපට නිර්මාණය කිරීමට පෙලඹුණු බවට ප්‍රකටය. මෙසේ ප්‍රකට හෝ අසම්මත චරිත ලක්ෂණවලින් හෙබි ඓතිහාසික චරිත පසුබිම් කරගත් චරිතාපදාන චිත්‍රපට රැල්ලක් කෙමෙන් මතු වී ආ අතර විසිවැනි සියවසේ තුන්වැනි දශකය වන විට චරිතාපදාන සිනමාව, යුරෝපයේ ජනප්‍රිය චිත්‍රපට ප්‍රවර්ගයක් බවට පත්ව සිනමා රසිකයන් වඩ වඩාත් ආකර්ෂණීය කරගන්නට විය.
මේ හා සමගාමීව විශේෂයෙන් හොලිවුඩ් සිනමා සංස්කෘතිය පුරා තිහේ දශකය පුරා ජනප්‍රියත්වයට පත් සිනමා ප්‍රවර්ගය වූයේ “භීම” චිත්‍රපටයයි. තිහේ දශකයට ඇතුළුවී දිගු චරිතාපදාන චිත්‍රපට රැල්ලක් බිහිවීමට පූර්වාදර්ශයක් වූ සිනමා කෘතිය වූයේ 1927දී සිනමාකරු අබෙල් ගාන්ස් විසින් නිර්මාණය කළ “නැපෝලියන්” ය. නැපෝලියන් යුද සේනාධිපතිවරයාගේ මුල්කාලීන බලකාමී යුද මෙහෙයුම සහ ඔහුගේ අධිෂ්ඨානශීලී චරිතය සුපරීක්ෂාකාරීව විමසා බලන “නැපෝලියන්” පැය පහක දීර්ඝ ධාවන කාලයකින් යුතු සිනමා භාෂාව වඩාත් ප්‍රබලව භාවිතා කළ නිහඬ චිත්‍රපටයකි.
තිහේ දශකයේ නිපදවුණු බොහෝ චරිතාපදාන චිත්‍රපට විවිධ දේශපාලන හා ආගමික නායකයන්, සාහිත්‍යකරුවන් හා කලාකරුවන්ගේ චරිත ලක්ෂණ හා ජීවිතය වඩාත් නාට්‍යමය හා උත්කර්ෂයට නැංවූ චිත්‍රපට විය. ඔවුන්ගේ සමාජ ජීවිතය විනා පෞද්ගලික දිවියේ බිඳ වැටීම් හෝ ප්‍රතිවිරෝධතා මේ යුගයේ චිත්‍රපටවල එතරම් මතුකර පෙන්වීමක් සිදු නොවීය. “යං මිස්ටර් ලින්කන්”, “ස්ටෝරි ඔෆ් ලුවී පාස්චර්”, “ලයිෆ් ඔෆ් එමිල්සෝලා”, “රෙම්බ්‍රාන්ට්”, “අෆෙයාර්ස් ඔෆ් මෝපසා”, “ප්‍රයිවෙට් ලයිෆ් ඔෆ්. හෙන්රි ද එයිට්ත්”, “ජෙසී ජේම්ස්” වැනි චිත්‍රපට මීට මනා නිදසුන්ය. මෙවැනි බොහෝ චරිතාපදාන චිත්‍රපට එවක ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගත් අතර ඒ චිත්‍රපටවල චරිත රංගනයට එක්වූ “පෝල් මුනි” චාල්ස් ලව්ටන් වැනි රංගවේදීන් ප්‍රේක්ෂක විචාරක ප්‍රශංසාවට එක්විය.
හතළිහ දශකයේ සිට දෙහස් විසිගණන් දක්වා ලොව පුරා ම චරිතාපදාන චිත්‍රපට සියගණනක් බිහි වූ අතර ඒවා ක්‍රමයෙන් මනා පර්යේෂණයටත් පූර්ව නිෂ්පාදන විමර්ශනයන්ටත් ලක්කරන ලදුව විවිධ ඓතිහාසික හා සමකාලීන පුද්ගල චරිත හා චරිත කීපයක ගේ ජීවිතය ඉසියුම් ලෙස නිරූපණය කළ ජීවන හා සමාජ විවරණයන් දක්වා වර්ධනය වූ බව පෙනීයයි. විවිධ සිනමාකරුවන් තමාට ආවේණික ප්‍රවේශ හෝ ශෛලීන් අනුගමනය කරමින් සිදුකළ මෙම නාට්‍යමය සිනමා කලා ප්‍රකාශන ධාරාව එක් අතෙකින් විවිධ සැබෑ චරිත ඔස්සේ මිනිස් ජීවිතය උත්කර්ෂයට නැංවූ අතර අනෙක් අතින් මිනිස් ජීවිතය විවිධ ප්‍රතිවිරෝධතා හා මිනිස් සිතේ අඳුරු අහුමුලු වෙත විසල් අලෝකයක් පතිත කරමින් ඒවා ප්‍රේක්ෂකයන්ට හෙළිකරන්නට ද සමත් වූ බව නොරහසකි.
1941දී තිරගත වූ ඕසන්වේල්ස් නිර්මාණය කළ “සිටිසන්කේන්” චිත්‍රපටය ද එකල සිටි පුවත්පත් හිමිකරුවකු හා ධනකුවේරයකු වූ “විලියම් හර්ට්ස්” ගේ චරිතය පසුබිම් කරගෙන නාට්‍යමය ලෙස ප්‍රබන්ධ කළ ප්‍රබල සිනමා කෘතියක් විය. විශේෂයෙන් එම සිනමා මාධ්‍යය හා රූප ශබ්ද භාෂාව මුළුමනින් නව තියුණු ප්‍රකාශනයක් බවට පත්කළ කෘතියක් වූ අතර පසුගිය දෙදහස් විස්ස දශකය දක්වාම බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය විසින් සිදුකළ විමර්ශනයේදී ලොව හොඳම චිත්‍රපට අතර පළමු ස්ථානයට පත්වූ සිනමා කෘතිය විය. එතැන් සිට ලොව විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරුන් ගණනාවක් විවිධ චරිතාපදාන චිත්‍රපට ගණනාවක් ප්‍රේක්ෂකයින්ට දායාද කළහ. ඒ අතර ස්ටීවන් ස්පිල්බර්ග්, ඔලිවර් ස්ටෝන්, අන්ද්‍රෙ තර්කොව්ස්කි, රෝමන් පොලන්ස්කි, ස්පයික් ලී, මයිලොස් ෆෝමෑන්, රිඩ්ලි ස්කොට්, ඩේවිඩ්ලීන්, ක්ලීන්ට් ඊස්ට්වුඩ් මෙන්ම ක්‍රිස්ටෝපර් නොලාන් ද පෙරමුණ ගනිති. ඇතැම් සිනමාකරුවෝ චරිතාපදාන චිත්‍රපට කිහිපයක්ම නිපදවන්නට සමත් වූහ. ස්ටීවන් ස්පිල්බර්ග් චරිතාපදාන චිත්‍රපට ඉතිහාසයේ වඩාත් ප්‍රබලම නිර්මාණ ද්විත්වයක් දායාද කළ සිනමාකරුවෙකි. ඒ “ෂින්ඩ්ලර්ස් ලිස්ට්” හා “ලින්කන්” ය. මෙම චිත්‍රපට දෙකම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද අතර “ලින්කන්” චිත්‍රපටයේ එබ්‍රහම් ලින්කන්ගේ චරිතය උදෙසා ප්‍රකට බ්‍රිතාන්‍ය රංගන ශිල්පි ඩැනියෙල්ඩේ ලුයිස් දැක්වූ රංගනය සිනමා ඉතිහාසයේ ඉදිරිපත් වූ ප්‍රබලම රංගනයක් ලෙස ප්‍රේක්ෂක විචාරක බුහුමනට ලක්විය.
ප්‍රකට රංගන ශිල්පියකු වූ මෙල් ගිබ්සන්ගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වූ “බ්‍රේව් හාර්ට්” චිත්‍රපටය අයර්ලන්තයේ විසූ බලවත් දේශප්‍රේමී නායකයකු පිළිබඳ තියුණු චරිතාපදාන චිත්‍රපටයක් වූ අතර එය ද ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන උලෙළ කීපයකින් ම සම්මානයට බඳුන් විය. ඉතා කීර්තිමත් බ්‍රිතාන්‍ය සිනමාකරුවකු වූ රිඩ්ලි ස්කොට් චරිතාපදාන චිත්‍රපට කීපයක් නිර්මාණය කළ අතර ඒවා අතරින් වඩාත් සංවාදයට හා සම්මානයට ලක්වූයේ “ඇමරිකන් ගැන්ග්ස්ටර්” (2007) සහ “නැපෝලියන්” (2015) යන කෘතීන්ය. ස්කොට්ගේ “නැපෝලියන්” චිත්‍රපටය නැපෝලියන් චරිතය හා පසුබිම මනාව අධ්‍යයනය නොකළ අසාර්ථක එහෙත් ශිල්පීය සත්කාරයෙන් ඉහළ චිත්‍රපටයක් බව ඇතැම් විචාරකයන්ගේ මතය විය. මෑතකාලීනව 2023 වසරේ තිරගත වූ ක්‍රිස්ටෝපර් නොලාන් ගේ “ඔපෙන්හයිරේ” විචාරක අගැයීමටත් සම්මානයටත් බඳුන් වූ අතර මෙතෙක් ලොව වැඩිම ආදායමක් ලද (ඩොලර් මිලියන 948) චරිතාපදාන චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්විය. “ඇමඩියෙස්”, “ගාන්ධි”, “ලෝරන්ස් ඔෆ් ඇරේබියා”, “මැල්කම් එක්ස්”, “රේජිං බුල්”, “සෝෂල් නෙට්වර්ක්”, “ද පියානිස්ට්”, “නික්සන්”, “අ බියුටිෆුල් මයින්ඩ්”, ගුඩ්ෆෙලාස්”, “මඑස්ට්‍රෝ” වැනි ප්‍රබල චරිතාපදාන චිත්‍රපට ගණනාවක් පසුගිය දශක හතරක් පමණ කාලය තුළ සිනමා ප්‍රේක්ෂකයන්ට වින්දනයක් අවබෝධයක් ලබාදෙන්නට හැකිවූ කෘතීන් අතර වේ.
ඉන්දීය සිනමාව ද චරිතාපදාන සිනමා කෘතීන් ගණනාවක් මඟින් ඉන්දීය සැබෑ චරිත හා සිදුවීම් කිහිපයක් ම නිරූපණය කරන්නට සමත් වූ බව පෙනේ. ඒ අතර “මංගල් පාන්ඩේ”, “බැන්ඩිට් ක්වීන්”, “යාත්‍රා”, “සංජු”, “ගංගුබායි කත්වාදී”, “පෑඩ් මෑන්”, “මන්ජි”, “මන්තෝ”, “සර්දාර් උතුම් සිං” වැනි සිනමා කෘතීන් ගණනාවක් ප්‍රේක්ෂක විචාරක අගැයීමට ලක්විය. මේ වසරේ තිරයට ආ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ “කන්ගනා රනුත්” විසින් ප්‍රධාන චරිතයට එළඹෙමින් අධ්‍යක්ෂණය කළ “එමර්ජන්සි (Emergancy) චිත්‍රපටයට පදනම් වූයේ ඉන්දියාවේ සිටි ප්‍රබලම කාන්තා දේශපාලන නායිකාවක වූ “ඉන්දිරා ගාන්ධි” ගේ ජීවිතයේ පසුකාලීන අවස්ථාය. තවමත් විචාරකයන් අතරත් මාධ්‍යවලත් තදබල සංවාදයට බඳුන් වෙමින් ඇති “එමර්ජන්සි” ඉහළ ආදායම් ලබා ගැනීමේදී යම් දුර්වලතා දැක්වූ කෘතියක් වී තිබේ.
කෙසේ වුවද චරිතාපදාන චිත්‍රපට නම් මේ ප්‍රවර්ගය සිනමාකරුවන් හා තිරනාටක රචකයන්ගේ නිර්මාණ හැකියාව, සමාජ දේශපාලන සංවේදීතාව හා අවබෝධය මෙන්ම මානව ජීවිත විවරණය වෙනුවෙන් ඇති කැපවීම ද පරීක්ෂාවට ලක්කෙරෙන භාවිතාවක් බව සිනමා ඉතිහාසයේ සනිටුහන් වී ඇත. සිනමාකරුවන්ට මෙම ප්‍රබන්ධය හා සත්‍යය මුසු චිත්‍රපට ප්‍රවර්ගයේදී ඉහළ නිර්මාණ බලපත්‍රයක් සතුව ඇතත් මෙම චිත්‍රපටවලට පසුබිම වන චරිත හා සිදුවීම් වල පැවති යථාර්ථය සහ සත්‍යානුරූපී බව වෙත දක්වන ඉහළ සංවේදීතාව හා කැපවීම අතිශයින් වැදගත් බව මේ චිත්‍රපට ප්‍රවර්ගය ගැන විමර්ශනය කරන පර්යේෂකයන්ගේ අදහස වී තිබේ.
මනුබන්දු විද්‍යාපති