පියෙස් අහුගොඩ‘ මේ නම කියු පමණින් කෙනෙකුට ඔහු මතකයට නොනැගෙනු ඇත. නමුදු මහා වටිනාකමක් ඇති අහුගොඩ නාමය නම් අපට ලෙහෙසියෙන් අමතක කළ නොහැක. වසර තිහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශිෂ්ට සේවයක් කළ පී. බී අහුගොඩ මෙරට නර්තන ක්ෂේත්රයේ නොමැකෙන සටහන් තැබුවෙකි.
1945 වසරේ මාර්තු 24 දින උපත ලද පී. බී අහුගොඩ කලාව උපතින්ම උරුම කරගත් අයෙකි. පිය පරම්පරාවෙන් උරුමවූ නර්තනය සහ බෙර වාදනය ප්‍රගුණ කිරීමෙන් පරම්පරාවේ නම බැබළ වීමට ඔහුට හැකි විය. මේ වන විට ජීවන මගෙහි 81 වැනි වියේ පසුවන අහුගොඩ සූරින් සිය අතීතය සිහිකරන්නේ මෙලෙසිනි.
“මගේ තාත්තා ටිකිරා හෙවත් සුද්ධනා අහුගොඩ. මගෙ අම්මා හපු අම්මා. පුංචි කාලේ පටන්ම මේ නර්තන කලාව මට අමුත්තක් වුණේ නැහැ. මම මුලින්ම අකුරු කළේ අහුගොඩ විහාරස්ථානයෙන්. පසුව මහපිටිය බෞද්ධ මිශ්රපාසලට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උසස් අධ්‍යාපනය හදාරන්න පොතුහැර චන්ද්‍රසේල විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් යන අතරේ මට අපේ ගෙදරින් වගේම අවට පරිසරයෙනුත් නර්තන අත්දැකීම් ලැබුණා. මුලින්ම නර්තනය කරන්න එනවිට මගෙ වයස අවුරුදු පහක් විතර ඇති. සුරඹා ගුරුන්නාන්සේ යටතේ මම ඉතාම ආසාවෙන් නර්තනය පුහුණු වුණේ. ඒ වගේම මගේ ගුරුවරුන්ට දෙමාපියන්ට බොහෝම ගරු කළා. මට ශිල්පය පිහිටන්න එයත් බලපාන්න ඇති කියලා විශ්වාස කරනවා.
1968 වසරේදී මම සාමාන්‍ය සෙබළෙක් විදිහට රාජකීය ලංකා නාවික හමුදාවට බැඳුණේ. නාවික හමුදාවේ දේශිය අනන්‍යතාව ඇති වන අයුරින් තම්මැට්ටම, ගැටබෙරය, යක්බෙරය, එක්කරලා වාද්‍ය ශිල්පි කණ්ඩායක් හැදුවා.“
අතීතය සිහිකරමින් ඔහු පවසන්නේ බොහෝ සතුටිනි. මේ වන විට අහුගොඩ පරපුරේ සිටින ජ්‍යෙෂ්ඨතම නර්තන ශිල්පියා ඔහුය. එමෙන්ම නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම බිහිකිරිමට පුරෝගාමියා වූ අහුගොඩ දක්ෂතම බෑග් පයිප් වාදන ශිල්පියා ද වේ.
1980 වසරේ එංගලන්තයේ කළ සංචාරකයකදී ඔහුට විදේශීය බෑග්පයිප් කණ්ඩායමක් සමඟ එක්ව තම දක්ෂතාවන් පෙන්වීමට අවස්ථාව උදාවිය. ඒ වන විටත් ඔහු සැරසි සිටියේ උඩරට වෙස් ඇඳුමෙනි. එම ඇඳුමෙන් සැරසීගෙනම විදේශීය බෑග්පයි කණ්ඩායම සමඟ බටහිර ගීතයක් වන Scotland the Brawe – Brother Three ජනප්‍රිය ගීතනුව වැයිමට ඔහුට හැකි විය. අවට සිටි කාටත් එය අපූරු ගී අනුවාදනයක් විය. නොදන්නා දේශයකදි ඔහුට ලැබුණ පිළිගැනීම විශිෂ්ටය.
එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දුනීසියාව, මාලදිවයින, සිංගප්පූරුව, තායිලන්තය, යන රටවල සංචාරය කරන්නට හැකි වූයේ දක්ෂ නර්තන ශිල්පියෙකු වීම නිසාය.
වසර තිහකට වැඩි කාලයක් නාවික හමුදාවේ සේවය කළ ඔහු තම පරමිපරාවෙන් ආ, තමන් උගත් කලාවෙන් වෘත්තීය ජීවිතය එළිය කරන්නට සමත් විය.
“මම හැමදාම මගේ රාජකාරිය අකුරට කළ කෙනෙක්. මම මගෙන් පස්සෙත් මේ ශිල්පය මේ රටේ තියෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක්. මම තවමත් නර්තන ගුරුවරයෙක් විදිහට මගේ සේවය ලබාදෙනවා. තවමත් මම නර්තනයේ යෙදෙනවා. මේ තරම් දුර එන්න මට මේ ශිල්පය ඉගැන්නවූ ගුරුවරුන්ට වගේම මගේ අම්මා තාත්තට පින් දෙනවා. මේ වන විට පොත් කිහිපයක් ලියා තිබෙනවා. ඉන් එක පොතක් “අහුගොඩ දොරටියාව පැරණි බෙර වහර“. අනෙක් පොත “අහුගොඩ දොරටියාව යක්කම් පහ“. අතීතය දෙස ආපසු හැරිලා බලද්දි අද මම ඉන්න තැන ගැන බොහෝම නිහතමානි සතුටක් දැනෙනවා. මම හැම විටම හිතන දෙයක් තමයි මම මගෙන් ඉටුවිය යුතු සේවය මගේ රට වෙනුවෙන් කෙරුවා කියන එක. මගේ දරුවෝ, බිරිඳ මට මේ දේවල් කරන්නට ශක්තියක් වුණා. “
එදා මෙදා තුර ඔහු ලැබු සම්මාන පදක්කම් බෙහෝය. දැන් ඔහු පසුවන්නේ අසූ එක්වැනි වියේ වන නමුත් තවමත් තරුණයකු මෙන් කාර්යශූරය. තමන් දන්නා ශිල්පය තවත් කෙනෙකුට ලබාදෙමින් හෙට දවස ගැන අලුත් බලාපොරොත්තු පෙරදැරිව ජීවිතය ගෙන යන බී. පී අහුගොඩ නම් වූ සම්මානනීය කලාකරුවාට සුබපතමු!
ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප – චින්තක කුමාරසිංහ