80 දසකයේ අපි මොනරතැන්න, මුවන්පැලැස්ස වගේ චිත්‍රපටි බලන කාලේ රෑ නමයයි තිහේ දර්ශනයත් තිබුණා. ඒ විතරක් නෙවෙයි එක සිනමා ශාලාවක දර්ශන වාර හතරක්ම පෙන්නුවේ එකම චිත්‍රපටියක්. සමහර චිත්‍රපටි මේ විදිහට දින පනහේ, සියයේ සීමාව පහසුවෙන් පසු කළා. දර්ශන වාර හතරටම ප්‍රේක්ෂකයෝ හිටියා. දහයයි තිහේ හිටියේ කෙල්ලො කොල්ලො. තුනයි තිහටත් වැඩි හරියක් ඒ අය. හයයි තිහට ටිකක් සම්භාව්‍ය මට්ටමේ ප්‍රේක්ෂකයෝ ආවා. නමයයි තිහට වැඩිපුරම ආවේ නාගරිකව දවසෙම මහන්සි වෙන කම්කරු පන්තියේ මිනිස්සු. රෑ දොළහට අවසන් වෙන ඒ දර්ශන වාරය අසූව දශකය අවසන් වෙනවාත් එක්කම අහෝසි වෙලා ගියා. ඒකට හේතු අඩු වැඩි වශයෙන් කවුරුත් වගේ දන්නවා.
එදායින් වසර තිස් පහකට හතළිහකට විතර පස්සේ දවසක් තමයි මේ එළඹිලා තියෙන්නේ.
අද වෙන කොට එදා බලපු මි.මී 35 තිරයට බර බර ගාලා සද්දෙ දාලා සෙලෝලයිඩ් පටිය ප්‍රොජෙක්ට් කරන වැඩපිළිවෙළ ඉවර වෙලා. දැන් අපි ඩිජිටල් තාක්ෂණයෙන් චිත්‍රපටි බලනවා. හැබැයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ මොන චිත්‍රපටියක්වත් දවසට දර්ශන වාර තුනක් දුවන්නේ නෑ. ඉස්සර වගේ කජු කිරි කොල්ලෝ පෝලිමේ ඇවිත් ගැලරිය ආක්‍රමණය කරන්නෙත් නෑ. හොරෙන් ගහන සිගරට් එකක සුවඳක් ගැලරිය පැත්තෙන් මතු වෙන්නෙත් නැහැ.
මූලික හේතුව වුණේ චිත්‍රපටි බලපු ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩුවීම. ඒකට තදින්ම බලපෑවේ මුළු රටම ගිලී ගිය ආර්ථික අර්බුදය. ගිලුනේ සාමූහිකව උනාට ගොඩ එන්න වෙලා තියෙන්නේ තනියම නිසා කාටත් ඒක හරි අමාරු වෙලා තියෙනවා. වෙළඳපළ ආර්ථිකයේ බලපෑමත් එක්ක අපේ රටේ මිනිස්සුන්ගේ නිස්කලංක දිවි පැවැත්ම අහෝසි වුණා. ඇත්තටම මුළු පවුලටම එකට ගිහින් චිත්‍රපටයක් නරඹන්න වත්කමක් නෑ. අසුව දශකයේ මුල හරියේදී තාත්තලාට පුළුවන්කම තිබුණා. කලාතුරකින් හරි දවසක චිත්‍රපටියක් පෙන්නන්න තමන්ගේ දරු පවුල අරගෙන යන්න. අසූව දසකයේ මැද හා අග වෙද්දී ඒ සංස්කෘතිය ඉවරෙටම ඉවර වුණා. හැමෝටම ජීවත් වෙන්න ලොකු තරඟයක් දෙන්න වුනා. ලොකු තරඟයක් දීලා සල්ලි ටිකක් හම්බ කළත් ඒක චිත්‍රපටි බලන්න වැය කරන එක නාස්තිකාරී ක්‍රියාවක් හැටියට දකින සමාජයක් කෙමෙන් ඇතිවුණා. ඉතින් ආදරය කළ සංස්කෘතික විඳීම කෲර විදිහට මරා දැමුණා.
හීනියට අඩියකුත් ගහලා ටෙලි නාට්‍යයක් බලලා බුදිය ගන්නවා කියලා බහුතරයක් පිරිමි හිතන්න පටන් ගත්තා. අන්තිමට චිත්‍රපට ශාලාවලට දර්ශන වාර තුනකටත් ප්‍රේක්ෂකයෝ නැතිවුණා. ඒ විදිහට චිත්‍රපටි ශාලා පවත්වාගෙන යන්න බැරි වුණා. සිනමා ශාලා හිමියෝ ඒකට ගත්තු විකල්ප ක්‍රියාමාර්ගයක් තමයි දවසේ දර්ශන තුන වෙනුවෙන් චිත්‍රපටි දෙකක් හෝ තුනක් යොදා ගැනීම. ඒ අනුව උදේ දහයයි තිහේ ෂෝ එක නෙවෙයි දෙකයි තිහට දාන්නේ.හයයි තිහට තවත් එකක්. මේ උපක්‍රමය නිසා සිනමාශාලා තරමක් දුරට හෝ පණ ගහලා පවත්වගෙන යන්න පුළුවන් වුණා. මොකද පෙන්නන්නෙ චිත්‍රපටි දෙකක් හෝ තුනක් නිසා වෙනස් වෙනස් ප්‍රේක්ෂකයෝ ආවා. ඒත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට නම් තමන්ගේ චිත්‍රපටිය දින 50ක් එක දිගට දර්ශන වාර තුනම දිව්වයි කියන ප්‍රීති ජනක හැඟීම නැතිවුණා. ඒ ගොල්ලෝ දැන් තමන්ගේ චිත්‍රපටය දවසකට එක වාරයක් හෝ දෙවාරයක් බැගින් දින 50ක් දුවවලා ප්‍රීතියක් අත්විඳිනවා. ඉතින් මේ ක්‍රියාමාර්ගය කරා සිනමා ශාලා පසුබැසීම ගැන චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු කැමති නෑ. ඒත් කරන්න දෙයකුත් නැහැ.
වෙළඳපොළ ආර්ථිකයත් එක්ක පාරිභෝගික සමාජය රසවින්දනය වෙනත් විදිහකට ලබන්න පටන් ගත්තා. සමහරු රසවින්දනය රෑ තිස්සේ කරන වීඩියෝ ගේම් වලට සීමා කළා. දැන් නම් බොහෝ දුරට විනෝදයත් youtube වල නතර වෙලා. ආත්තම්මලා කතා කරන්නෙත් youtube බණ ගැන. ආධ්‍යාත්මික සැපතයි, ලෞකික ආශ්වාදයයි දෙකම දෙන්නේ youtube එක.
අනෙක් අතට සිනමා සාක්ෂරතාව සහිත ප්‍රේක්ෂකයා තම තමන්ගේ නිදන කාමරවලම මිනි තියටර් හදාගත්තා. සමහරු කෝච්චියේ දුර ගමනක් යමින් ගමනුත් පෙන් ඩ්‍රයිව් එකේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන චිත්‍රපටි ලැප් එකේ බල බලා යනවා. එහෙම බලනකොට උසස් සිනමා රසිකයාට සිනමාව අද වන විට ලොකු දෙයක් නෙවෙයි.එයාට සිනමාව සුලභයි.
හැබැයි සිනමා ශාලා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන්නේ විදග්ධයාට වඩා පොදු රසිකයා බව පැහැදිලියි. ඒ කියන්නේ විජයට ගාමිණීට විසිල් ගහපු මට්ටමේ අය. විජයට කවුරුහරි පිටිපස්සෙන් ගහන්න හදනකොට
විජේ ඔන්න මචං පිටිපස්සෙන් එකෙක් ගහපං කියලා, හෝල් එකේ කොතැනක හෝ ඉඳන් ඇත්තටම කෑගහන ප්‍රේක්ෂකයෝ ඉන්න කාලේ තමයි චිත්‍රපටි දුවපු කාලේ කියන්නේ. අද තියෙන්නේ චිත්‍රපටි අයිතිකාරයෝ චිත්‍රපටි අරන් දුවන කාලයක්.
ඉතිං විජය කුමාරතුංග සහ හෝල් එකේ ඉන්න ඉහත කී ප්‍රේක්ෂකයා අතර අන්තර් සම්බන්ධය හරිම අපූරු එකක්. පුදුම වැඩේ කියන්නේ ප්‍රේක්ෂකයා කියපු එක ඇහිලා වගේ එසැණින්ම විජේ පිටිපස්සෙන් එන එකාට තරු විසිවෙන්න එකක් දෙනවා. විජයට පණිවිඩය දුන්නු එකා කමෝන් විජේ කියලා දකුණතේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි කටට දාලා ළඟ ඉන්න එකාගෙ කන කීං ගාන්න විසිල් එකකුත් ගහනවා. ඉතින් මේ විදියේ සිනමා ශාලා අත්දැකීම් සමග පණ යනකම් හිනාවෙවී චිත්‍රපටි බලපු කාලෙ ඉවරයි. උදේට දුවන චිත්‍රපටිය නෙවෙයි හවසට දුවන්නේ ඒවාට විසිල් ගහන්න තරම් සෙනඟක් හෝල් වලට එන්නේ නැහැ.විජය, ගාමිණී, ජෝති, මිල්ටන් ආදී කවුරුවත් ඇත්තෙත් නැහැ.ඉතින් මොකටද අපි චිත්‍රපටි බලන්න යන්නේ කියලා හිතන වැඩිහිටි ප්‍රේක්ෂක පිරිසකුත් රටේ ඇති.
ඒත් දවසට චිත්‍රපට දෙක තුනක් ප්‍රදර්ශනය කරන හෝල් වල චිත්‍රපටි බලන්න තරුණයෝ තාමත් එනවා. උන් විසිල් ගහන්නේ නෑ. සමහරු අයිස් ගහලා එනවා. විජයට ගාමිණීට විසිල් වදින කාලේ හෝල් එකේ හිටපු ගැටවරයෝ දැන් දරු පවුල් එක්ක ඇවිත් තැන්පත් වෙලා චිත්‍රපටි බලලා රෑට එළියෙන්ම මොනවාහරි කාලා අමාරුවෙන් ගත්තු “වැගන් ආර්” එකේ නැගලා ගෙදර යනවා.
අපිට අතීතයට යන්න ඕනෙ නැහැ. එහෙම යන්නත් බැහැ. ඒත් චිත්‍රපටි රසවින්දනය පිළිබඳව අලුත් කවුළුවක් ඇරගන්න තියෙනවා නම් හොඳයි.
විමලනාත් වීරරත්න