රෙද්දක් මත ඇඳුණු පැන්සල් ඉරි රේඛා මත, රත් වූ ඉටි දැමූ ෆනලයෙන් හෝ ජැන්ටිනයෙන් හෝ ඉටි රටා ඇඳේ. නෙක විසිතුරු සායම් වර්ණ ඒ මත යෙදේ. අවසන ගොජ ගොජ ගා පෙණ බුබුළු විහිදුවමින් නටන උණු වතුරේ වර්ණ දැමූ රෙදි ගිලේ. නැවත ඇල් දියෙන් සේදෙමින් මද පවනේ වේලී වර්ණ රෙදි, හොඳින් මැදී, සොඳුරු රටා ඇඳි රෙද්දක් ලෙස නිමැවේ. බතික් නිමැවුමක් කෙරෙන්නේ මේ ආකාරයටය. අතින් නිමැවෙන බතික් රටා, වෙහෙසකර සහ සංකීර්ණ කාර්යයක අවසන් ප්‍රතිඵලය වේ.
අනාදිමත් කලක සිට ම මෙරට වැසියෝ සිතුවම් මැවුමට සීගිරි සිතුවම් ඇතුළු නෙක සිද්ධස්ථානවල ඇඳි බිතුසිතුවම් සනාථ කරයි. ඒ සඳහා කොළ, මුල්, ගෙඩි, පොතු වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන වර්ණ සකසා ගත් බවත් පොතපතේ දැක්වේ.
සිවුරු පඬු පෙවීම එයට කදිම සාක්ෂ්‍යයකි. මේ අනුව රෙදි විවීම හා ඒවා වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් ද මෙරට වැසියන් දක්ෂ වූ බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.නැඟෙනහිර පළාතේ; ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බතික් නිමැවුම්කරුවෝ අතීතයේදී කපු රෙදි මත වර්ණ රටා මැවීම සඳහා අර්තාපල්, රාජාල, කැරට්, නිවිති, වට්ටක්කා වැනි අල හා එළවළු වර්ග යොදා ගත්හ.
රෙදි විවීම, සම්බන්ධයෙන් ද අපට එබඳුම දීර්ඝ ඉතිහාසයක් පවතී. එම ඉතිහාසය ක්‍රි.පූ. 6 වැනි සියවස තරම් ඈතට දිව යයි. විජය රජු මෙරටට ගොඩබසින විට කුවේණිය කපු කටිමින් සිටි බව දැක්වෙන මහාවංස සාක්ෂ්‍ය එක් නිදසුනකි. මෙරට වැසියන් කපුවලින් රෙදි වියූ බව ඉන් දැක්වේ.
අද වන විට සාර්ථක අයුරින් සිදු කෙරෙන සළුපිලි මත වර්ණ ගන්වා හැඩ කරන බතික් කලාව මෙරටේ ස්ථාපිත වීමට ද මෙරට වැසියන් සතු මේ කුසලතාව මහෝපකාරී වී ඇත.
බතික් සළුපිළි කිහිපයක් හය වැනි සියවසේදී පමණ චීනයෙන් සොයාගෙන තිබේ.ඒ නිසා, බතික් කලාවේ ඉතිහාස කතාව ආසියාවේ ගිනිකොණ දෙසට ද සම්බන්ධව පැවතී ඇති බව පෙනේ. එය වඩාත් තහවුරු වන්නේ හත්වැනි සියවසේ චීන, ඉන්දුනීසියා වැසියන් මෙන්ම ජපන් ජාතිකයන් ද බතික් නිර්මාණකරණයේ නිරත වූ බවට සාක්ෂ්‍ය ලැබීමෙනි. එම යුගයේ බතික් සළු යනු සමාජ තත්ත්වයේම පිළිබිඹුවකි. ජාවා දූපත් වැසියන්ගේ බතික් කලාව එයට කදිම නිදසුනකි.
මල්, පලතුරු, මාළු, සමනලුන්, කුරුල්ලන් ආදි රූප ඇඳ නිමවන ජාවා බතික්, ලොව පුරා ධනවතුන්ගේ ආකර්ෂණය දිනූවකි. අද ද බතික් ශිල්පය දියුණු ජාවා දූපත් වැසියන් එය හඳුන්වන්නේ ‘තික්‍රික්’ සහ ‘ටැරිතික්’ යන නම්වලිනි. එහි අදහස ‘තිත්වලින් සිතුවම් කරන ලද රෙදි’ යන්නයි. ජාවා දූපත් වැසියන්ගේ මෙන්ම ඉන්දුනීසියා ජාතිකයන්ගේ සංස්කෘතිෙය් බතික් යනු ප්‍රමුඛතම නිමැවුමකි. එම රටවල අද වුව ප්‍රමුඛ ආදායම් බවට බතික් කර්මාන්තය පත්ව තිබේ.
බතික් කර්මාන්තයේ උපත පිළිබඳ විවිධ මතිමතාන්තර පවතී. ඒ අනුව, එහි ඉතිහාසය ආසියාවට පමණක් සීමා නොවේ. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව ඉපැරැණි බතික් නිර්මාණ කලාව ඇරැඹී ඇත්තේ ඊජිප්තුවෙනි. නයිල් නිම්න ශිෂ්ටාචාරයේ වැසියන් ඉටි භාවිත කරමින් රෙදි මත රටා මවන්නට උත්සාහ ගත් බව ඔවුන්ගේ මතය වේ. පර්සියානු සහ මිසර වැසියන් කැඳ හා ඉටි බින්දු තැවරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන් බව කියවේ. එමඟින් කියැවෙන්නේ, වසර 2000කට පමණ ඉහතදී පර්සියානුවන් බතික් නිර්මාණවල නිරත වූ බවය. මේ මතය නිවැරැදි නම්, පර්සියානු වෙළෙඳුන් ඔස්සේ බතික් කලාව ලොව පුරා ප්‍රචලිත වන්න ඇතැයි සිතිය හැකිය.
ඉතිහාසයේ කුමන හෝ යුගයක, කුමන හෝ රටක බිහිවුණු විසිතුරු බතික් කලාව, 2009 වසරේදී යුනෙස්කෝ සංවිධානය මඟින් අස්පෘශ්‍ය ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කළේය.වර්තමානය වන විට ඉන්දුනීසියාව ලෝකයේ ප්‍රධානතම බතික් නිෂ්පාදකයා මෙන්ම අපනයනකරුවා බවට පත්ව ඇත.එරට සංස්කෘතියේ ප්‍රමුඛස්ථානයක් බතික් කලාවට හිමිවේ. ඔවුන්, 2009 ඔක්තෝබර් 02 වැනිදා ජාතික බතික් දිනයක් ප්‍රකාශයට පත් කළේය. සෑම වසරකදීම එදිනට එරට රාජ්‍ය නායකයා මෙන්ම රටේ සියලු ජනතාව බතික් සළුවලින් සැරසේ. එපමණක් නොව, සෑම සිකුරාදා දිනකම බතික් ඇඳුමින් සැරසීමට ඉන්දුනීසියා වැසියෝ සිරිතක් කර ගෙන සිටිති.
ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, ජපානය, පිලිපීනය,ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ වියට්නාමය වැනි ආසියාතික රටවල් වර්තමානය වන විට මේ කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යයි.යුරෝපය සහ අමෙරිකාව ඔවුන්ගේ ප්‍රධාන වෙළෙඳපොළ වී ඇත.
ශ්‍රී ලාංකේය බතික් කලාව
බතික් අපේ සංස්කෘතිය තුළ උත්පත්තිය ලද කලාවක් නොවේ. වෙනත් රටවලින් අපට ලැබුණු මාහැඟි දායාදයකි. එසේ ම, සාම්ප්‍රදායික අකාරයට රෙදිපිළි වර්ණ ගැන්වීමේ කලාවකි. අපේ සංස්කෘතියේ ගැඹුරින් මුල් බැසගත් කලාවක් වන බතික්, මීට අවුරුදු දහස් ගණනට පෙර ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල ජීවත් වූ ගෝත්‍රික ජනතාව සහ ගැමි ජනතාව විසූ ගම්මාන ආශ්‍රය කර ගෙන බිහිවූවක් සේ සැලකේ.
‘බතික්’ යන නාමය අපට හිමි වූයේ ජපන් බසින් ය. ජපන් භාෂාවෙන් ‘බතික්’ යනු ‘ඉටිවලින් ලිවීම’ය.ජර්මන් බසට අනුව බතික් යනු උණුසුම් ඉටි (‘Ba – කපු රෙදි, ‘tik’ – තිතක්)බිඳුවක් ඇදීම ලෙස හඳුන්වයි. බතික් යන්න ‘බටේ’(ඉටියෙන් කළ සිත්තම) යන ජාවා වචනයෙන් බිඳී ආ බව පැවසේ. එවක ඕලන්දයේ යටත් විජිතයක්ව තිබූ ජාවා දූපතේ පැවැති මේ මාහැඟි නිර්මාණ කලාව, ඕලන්ද යුගයේ දී ඕලන්දක්කාරයන් මඟින් අපට ලැබිණි.
මීට වසර හාරසියයකට පමණ පෙර ශ්‍රී වික්‍රම රාජසිංහ, රාජාධිරාජසිංහ යන රජවරුන්,ඔවුන්ගේ රජ ඇඳුම් සඳහා බතික් කලාව ප්‍රථම වතාවට උපයෝගී කර ගත් බව පැවසේ. අතීතයේදී බතික් කලාව සඳහා යොදාගෙන ඇත්තේ ශාක සාරය. එලෙස පැවතුණු බතික් කලාව, නැවත වතාවක් කරළියට පිවිසෙන්නේ, එක්දහස් නවසිය පනහ, හැට වැනි දශකවලදීය. ඒ, මෙරට සිටි අති දක්ෂ නර්තන ශිල්පියෙකු වූ ප්‍රේමකුමාර එපිටවල මහතාගේ බිරිය, සෝමා උඩබාගේ මහත්මියගේ මැදිහත් වීම නිසාය. ඇය, ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අධ්‍යයන කටයුතුවල නියැළෙමින් සිටියදී, ඒ ප්‍රදේශයේ ජනතාව ගෘහස්ථව කර ගෙන ආ මේ කර්මාන්තයට ඇගේ හිත ගිය බව පැවසේ. තම සැමියාගේ මුද්‍රා නාටකයක් සඳහා ඇඳුම් නිර්මාණය කිරීමට, උඩබාගේ මැතිනිය ‘වයිති’ නමින් රෙදි වර්ගයක් ඉන්දියාවෙන් ගෙන්වූ බව ද සඳහන්වේ.
සංචාරක කර්මාන්තයත් සමඟම මෙරට බතික් කර්මාන්තය දියුණු විය. බතික් කලාවට දේශීය අනන්‍යතාව එක් කරමින් කළ නිර්මාණ, විදේශිකයන් අතර ජනප්‍රිය විය. ඇත් රූප, ලියවැල ඇසුරින් නිර්මාණ කිරීමට මෙරට බතික් නිර්මාණ ශිල්පීහු රුචිකත්වයක් දැක්වූහ. දේශීය අනන්‍ය ගුණාංග නිසා මෙරට බතික් කලාව ලොව පතළ විය.
මේ ආකාරයට මෙරට ඇරැඹි බතික් කලාව කලින් කලට ජනප්‍රිය වෙමින් ද, තවත් වරෙක ජනතාවගෙන් ඈත් වෙමින් ද පැවතුණි. 1969 වසර පමණ වන විට බතික් නිර්මාණ ශිල්පී හා චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන ශ්‍රී ලංකාවේ බතික් ප්‍රචලිත කිරීමට දායක විය. 1970 දශකය වන විට දේශීය වශයෙන් බතික් කලාව ව්‍යාප්තව පැවතුණි. එකල මෙය ජනප්‍රිය වූයේ මහිලා සමිති සහ සර්වෝදය වැනි ස්වේච්ඡා සංවිධාන ඔස්සේය. මෙරට බතික් කලාවට කලාත්මක හැඩයක් ගෙන දුන් කලාකරුවකු ලෙස විපුල ධර්මවර්ධන සහ සෝමබන්දුල හැඳින්විය හැකිය.
1980වසරේදී විදේශීය බතික් ප්‍රදර්ශනයක් පැවැත්වීමට සුමිත්ත කුලරත්න කටයුතු කර තිබේ.1982 වසරේදී බතික් කම්හලක් ගිනිගත් පුවතක් ප්‍රකට විය. එම සිදුවීමෙන් අනතුරුව එම කම්හලේ හිමිකරු, චිත්‍රපට නිෂ්පාදක හෙන්රිකස් පීරිස් සහ තවත් තිදෙනෙක් පිලිස්සුම් තුවාල හේතුවෙන් මිය ගියහ.1998 වසරේදී මෙරට ප්‍රථම වතාවට කිතු චරිතය ඇසුරින් බතික් ප්‍රදර්ශනයක් පැවැත්වීමට රත්මලානේ දේවනාත් පීරිස් කටයුතු කළේය. අසූව දශකය පමණ වන විට ධනවත් පිරිසක් අතර ප්‍රචලිත කර්මාන්තයක් වූ බතික්, මේ වන විට ගෘහස්ත කර්මාන්තයක් බවට පත්ව ඇත.
ඉරෝෂිණී දීපිකා