Home » හිතේ නොමැත බොබ් මාලේ ඇඟේ තිබේ රෙගේ

හිතේ නොමැත බොබ් මාලේ ඇඟේ තිබේ රෙගේ

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment
ෆවුස් මොහොමඩ්

විරෝධාකල්ප ගී තුළින් විප්ලවයක් සිදුකළ සංගීත ශිල්පියකුගේ 80 වැනි ගුණානුස්මරණය පසුගිය පෙබරවාරියේ යෙදී තිබිණි. මේ අන් කිසිවකු හෝ නොව 70 දශකයේ මුල් භාගයේදී විවිධ බලවේග විසින් දේශපාලන ප්‍රචණ්ඩත්වය වපුරනු ලැබූ ජැමෙයිකාවට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට සිය සටන්කාමී ගීපද රචනය සහ හඬ අපූරුවට භාවිත කළ බොබ් මාලේ ය.

මෙයිකාවෙන් බිහි වූ රෙගේ (reggae) සංගීත ශෛලිය ලොව පුරා ප්‍රචලිත කළ ගායකයා ඔහු ය. රෙගේ රජු ලෙස පසුකාලීනව ලොව පුරා ජනාදරයට පාත්‍ර වූ බොබ් මාලේ 1981 දී අකාලයේ මිය ගියේ අවුරුදු 36ක් තරම් ලාබාල වයසකදීය. බොබ් මාලේගේ මරණය පිළිකා රෝගයෙන් සිදුවූවාක් බවට වාර්තා වුවත් ලෝක ඉතිහාසයේ විවිධ හේතූන් මත ඝාතනයට ලක්වූ සහ අකාලයේ මරණය වැලඳගත් ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ ඉරණම පිළිබඳ පසුකාලීනව කුමන්ත්‍රණවාදී න්‍යායයන් (conspiracy theory) ගොඩ නැඟීමට පටන් ගැනීමත් සමඟ ඔහුට අත් වූ ඉරණම පිළිබඳ පසුකාලීනව ලොව පුරා දැඩි කතාබහට ලක්විය. බොබ් මාලේගේ මරණය ගැනත් අබිරහස් ගණනාවක් හෙළි දරවු වූයේ ඔහුගේ ගීතයට වසඟවී සිටි ලක්ෂ සංඛ්‍යාත ගීතලෝලීන් විමතියට පත් කරමිනි. එවකට ජැමෙයිකාවේ දරිද්‍රතාව අතින් අන්තිම පහළ මට්ටමක පසුවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර ආගමික සහ දේශපාලනික වශයෙන් වීරයකු බවට පත්වී සිටි මාලේ නිහඬ කරවීමට අදෘශමාන බලවේගයක් හේතු වූ බවට ඔහුගේ සමීපතමයන් අතර ඇති වූ දැඩි විශ්වාසය තහවුරු වූයේ ද කුමන්ත්‍රණවාදී න්‍යායයන් ගොඩ නැඟීමත් සමඟිනි.

‘Get up….Stand up….
Stand up for your right…
Get up….Stand up….
don’t give up the fight…’

අවදිවනු…. නැගී සිටිනු
නුඹේ අයිතීන් වෙනුවෙන්
නැගී සිටිනු….
අවදිවනු…. නැගී සිටිනු…
සටන අත් නොහරිනු…

ඔහු ගී ගැයුවේ නිර්ධන පංතියටය. එවකට ජැමෙයිකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිවය. 1974 වසරේ සිට ජැමෙයිකාවේ ව්‍යාප්ත වූ දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් තරුණ තරුණියන් ඝාතනයට ලක්වෙද්දීය. එරට ප්‍රධානතම දේශපාලන පක්ෂ ද්විත්වය වන ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජාතික පක්ෂය ((PNP) සහ කොන්සර්වේටිව් ජැමෙයිකානු කම්කරු පක්ෂය (JLP) සමඟ සම්බන්ධතා පැවැත්වූ ආයුධ සන්නද්ධ කල්ලි රට පුරා භීෂණය ව්‍යාප්ත කරද්දීය. ඔහුගේ ගීතවල ගැබ්වී තිබුණේ ‘සැඟවුණු‘ පණිවුඩමාලාවකි. ඒවා ඉතා නිවැරැදිව තරුණ මනසට කාවැද්දවීමට ඔහු සමත්වූ අතර, එය ග්‍රහණය කරගැනීමට ඔහුගේ ශ්‍රාවකයෝද සමත්වූහ. සන්නද්ධ කල්ලි අතර ගැටුම්, ඝාතන සහ පැහැරගෙන යෑම් ඇතුළු භීෂණයෙන් පිරුණු කාලයකදී ජැමෙයිකාවේ තරුණ පරපුර ගීතයෙන් ආමන්ත්‍රණය කළ බොබ් මාලේ ඔවුන් දිරිමත් කරනු ලැබුවේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින්නටය .

මාලේගේ ‘get up, stand up‘ අදටත් ලෝක සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට ගීතයක් ලෙස සැලකේ. එහි පද රචනයත් මාලේගේමය. එම ගීතයට ඇතුළත් ‘You can fool some people sometimes but you can’t fool all the people all the time.‘ පද පෙළ එවකට ජැමෙයිකාවේ තරුණ පරපුර උද්දීපනය කළ උදාන වැකියක් බවට පත්වූ අතර, එරට දේශපාලන පොර පිටියේ බොබ් මාලේ සතුරකු බවට පත්වීමට ද එය හේතු විය. ඔහුගේ ගී පද රචනා එරට තරුණ පරපුර අතර අතිශය වේගයෙන් ප්‍රචලිත වීම තවත් හේතුවක් විය. විශේෂයෙන් 1974 වසරේදී ඔහු නිකුත් කළ Revolution ගීතයත්, 1976 දී එළි දැක්වූ War ගීතයත් එරට තරුණ පරපුර විප්ලවයක් සඳහා තල්ලු කිරීමක් ලෙස හුවා දැක්වූ ඇතැම් බලවේගවලට මේ අසහාය ගායකයා නිහඬ කිරීමේ දැඩි අවශ්‍යතාවක් දැනී තිබිණි. ඔහු Revolution ගීතයෙන් කියා සිටියේ විසඳුමකට විප්ලවයක් අවශ්‍ය බවය. War ගීතයේ අරුත වූයේ මානව අයිතීන් සහ සමානාත්මකතාව තහවුරු කරන තුරු යුද්ධය නොනවතින බවය.

බොබ් මාලේගේ විමුක්ති ගී හඬ ජැමෙයිකාවේ තරුණ පරපුර අවදි කිරීමත් සමඟ දේශපාලන බල අරගලය තුළ ඔහු නිශ්චිත ඉලක්කයක් බවට පත්විය. සතුරු බලවේග ඔහුට එරෙහිව කඳවුරු බඳිමින් සිටි අතර, ඔහුට ආදරය කළ එරට දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් මාලේගේ ආරක්ෂාව වෙනුවෙන් ඒකරාශී වන්නට වූහ. එහෙත් 1976 වසරේදී කිංග්ස්ටන් නුවරින් පිටත පිහිටි සිය නිවෙසේදී ඔහු ඝාතනය කිරීමට කිසිවකු උත්සාහ කළේය. එම නාඳුනන තුවක්කුකරුවාගේ වෙඩි ප්‍රහාරයෙන් ඔහු ජීවිතය බේරා ගත්තේ අන්තිම නූලෙනි. දේශපාලන අවශ්‍යතාව මත සිදුවූ එම ඝාතන ප්‍රයත්නයට වගකිව යුතු පාර්ශ්ව අතර අමෙරිකාව ද විය. බොබ් මාලේ ඝාතන ප්‍රයත්නය සිදුවූයේ ඔහු රාජ්‍ය හා ප්‍රතිවාදී නායකයන් ඒකරාශී කරමින් ජැමෙයිකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා smile jamaica නමින් ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කරමින් සිටින අතරතුරදීය. මේ සාම ක්‍රියාදාමය කඩාකප්පල් කිරීම ඝාතකයන්ගේ අරමුණ වූ බවට සහතික ය.

දේශපාලන වශයෙන් ආරෝපිත බොබ් මාලේගේ ගී පද මාලා අතර One love ගීතයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ජැමෙයිකාවේ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ඔහු 1976 දී ගත් උත්සාහය ව්‍යවර්ථ වුවද 1978දී එය ඉටු කරගැනීමට ඔහු සමත් වූයේ One love ගීතයත් සමඟ ආරම්භ කළ සාම ව්‍යාපාරය තුළිනි. ඒ සඳහා ඔහු දිරිගන්වනු ලැබුවේ ‘රස්තාෆාරියන්‘ ආගමික නිකාය විසිනි. එවකට අප්‍රිකාවේ විශිෂ්ට නායකයකු ලෙස ප්‍රචලිත වී සිටි ඉතියෝපියානු ආධිරාජයා හේලි සෙලාසි විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ මේ ආගමික නිකායට ඒ වෙද්දී ලොව පුරා මිලියනයකට අධික පිරිසක් එක්වී සිටි අතර, කැපී පෙනෙන චරිතය බවට පත්වූයේ බොබ් මාලේ ය.

ඔහුගේ සාම ව්‍යාපාරය යථාර්ථයක් බවට පත් වූයේ One love සංගීත ප්‍රසංගයෙනි. දශකයකට ආසන්න කාලයක් ප්‍රතිවාදීන්ව සිටි ජැමෙයිකාවේ ප්‍රධාන පක්ෂ නායකයන් එකට එක් කිරීමට ඔහු සමත් විය. One love ප්‍රසංගයේදී ගී ගයමින් සිටින අතරතුරදීම ඔහු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජාතික පක්ෂයේ නායක අගමැති මයිකල් මැන්ලි සහ ඔහුගේ ප්‍රතිවාදීයා වූ කොන්සර්වේටිව් ජැමෙයිකානු කම්කරු පක්ෂයේ නායක එඩ්වඩ් සීගා වේදිකාවට කැඳවා ගත්තේය. දෙදෙනාගේ දෑත් අල්ලා ඉහළට ඔසවා ජැමෙයිකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය අවසන් කරන බවට ප්‍රතිඥා ලබා ගත්තේය. එය අදටත් ජැමෙයිකානු දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි.

බොබ් මාලේගේ ඓතිහාසික ප්‍රසංගය ජැමෙයිකාවේ නව දේශපාලන සංස්කෘතියක් ඇරඹීමට හේතු විය. එහෙත් ජැමෙයිකාවේ දේශපාලනය ව්‍යාකූල කරමින් රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කළ අමෙරිකාව ඇතුළු විවිධ බලවේගවලට එය නොරිස්සූ බව පසුකාලීනව කුමන්ත්‍රණවාදී න්‍යායයන් සම්බන්ධව පර්යේෂණ සිදු කළ විද්වත්හු විසින් අනාවරණය කරනු ලැබූහ

බොබ් මාලේ ඝාතනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් අමෙරිකාවට තිබිණි. සීඅයිඒ සංවිධානය යනු අමෙරිකානු රජයේ අවශ්‍යතාව මත එවකට ලතින් අමෙරිකානු රටවල රැල්ලක් මෙන් ව්‍යාප්ත වූ තරුණයන්ගේ නැඟිටීම මැඬ පැවැත්වීමේ කොන්ත්‍රාත්කරු ය. සීඅයිඒ සංවිධානයේ ඝාතන ලැයිස්තුවට බොබ් මාලේ ද ඇතුළත්ව සිටි බව පර්යේෂණ විශේෂඥවරයකු වූ ජොනතන් වැන්කින් පසුකාලීනව ප්‍රකාශ කර තිබිණි. ඔහු එම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ වසර ගණනාවක් පුරා කුමන්ත්‍රණවාදී න්‍යයායන් අධ්‍යයනය කරමිනි. බොහෝ රටවල පවතින රජයන්ට අභියෝගයක් වන පුද්ගලයන් රැසක් එලෙස හදිසියේම පිළිකා රෝගීන් බවට පත්වී පසුව මිය ගොස් ඇතැයි කියමින් ඔහු බොබ් මාලේගේ මරණයේ පළමු වෙඩිල්ල තැබුවේය.

බොබ් මාලේ ඝාතනයේ කුමන්ත්‍රණවාදී න්‍යයයන් පිළිබඳ මීට කලෙකට පෙර අමෙරිකාවේ ස්ට්‍රේන්ජ් යුනිවර්ස් (strange universe) වෙබ් අඩවියෙන් හෙළිදරවු කරනු ලැබූ වාර්තාවකින් ද එය තහවුරු කර තිබිණි. ලොව පුරා අසාමාන්‍ය හා නොවිසඳුණු සිදුවීම් පිළිබඳ සාකච්ඡාවකට ලක් කරන එම වෙබ් අඩවියේ වාර්තාවට අනුව බොබ් මාලේගේ මරණය ඝාතනයකි. මාලේගේ මරණය පිළිබඳ එතෙක් ලොව කතාබහට ලක් නොවූ වෙනත් මතයක් ගොඩ නඟනු ලැබුවේ ස්ට්‍රේන්ජ් යුනිවර්ස් වෙබ් අඩවිය විසිනි.

‘ ඔහු තමයි 70 දශකයේදී ජීවත්වූ ලොව වඩාත්ම බලවත් කළු ජාතික දේශපාලන ප්‍රතිරූපය. ඔහු රෙගේ රජු ලෙස හැඳින්වූවත් සැබැවින්ම ඔහු ඉන් ඔබ්බට ගොස් තිබුණා. බොබ්ගේ ගායන ශෛලිය ඔහුව ඇවිදින දේශපාලන අවියක් (Walking Political Weapon) බවට පත් කළා. ඒ වගේම සතුරන්ගේ විශාලතම ඉලක්ක බවටත් පත් කළා. වාර්තාවලට අනුව බොබ් මාලේ එක් වතාවක් ඝාතන උත්සාහයකින් ජීවිතය ගලවා ගත් පුද්ගලයෙක්. නමුත් දැන් මිනිස්සු කියනවා පිළිකා රෝගයෙන් ඔහුගේ මරණය සිදුවීමත් එක්තරා අන්දමකින් ඔහු ඝාතනය කිරීමක් කියලා.‘ බොබ් මාලේගේ සංගිත දිවියේ ආරම්භයේ සිටම දැඩි අවධානයෙන් හා උනන්දුවෙන් අධ්‍යයනය කළ ඉතිහාසඥ රොජර් ස්ටෙෆන්ස් ඊට කරුණු සපයා තිබිණි.

‘ඔහු සී.අයි.ඒ. ඉලක්කයක් බවට පත්වී තිබූ බව ප්‍රකට කරුණක්. එහෙම වුණේ ඔහු නිර්ධන පන්තිය වෙනුවෙන් පෙරමුණ ගත් පුද්ගලයෙක් වූ නිසයි. බොබ් මාලේගේ සිය සංගීත ශෛලියෙන් ජීවිතය ගැන කතා කළා. මරණය ගැන කතා කළා. එහි දේශපාලනය ගැබ්වී තිබුණා. එහි ආධ්‍යාත්මිකතාව ගැබ්වී තිබුණා. එහි ඒකාධිපති වියරුව එරෙහි විරෝධාකල්ප ගැබ්වී තිබුණා. එහි බලාපොරොත්තු ගැබ්ව තිබුණා. එහි කල්ලන්ගේ පීඩිතභාවය රැඳී තිබුණා. ඒ නිසා ඔහුගේ මරණය දැකීමට ඔවුන්ට අවශ්‍ය වීම පුදුමයකුත් නෙවෙයි. ‘ ස්ටෙෆන්ස්ගේ අදහස වූයේ එයයි

‘1976 දෙසැම්බරයේ දී අවිගත් පුද්ගලයෙක් ඔහුගේ නිවෙසට ඇතුළු වී ඔහුට වෙඩි තැබුවා. ඒ වෙද්දී සී.අයි.ඒ. සංවිධානය ඔහු ගැන දැඩි විමසිල්ලෙනුයි පසුවුණේ. ඔවුන්ට මාලේ ගැන පුදුමාකාර උනන්දුවක් තිබුණා. ඒ නිසාම බොබ් මාලේ ගැන වෙනම ලිපි ගොනුවක් පවා නඩත්තු කළා. ඔහුගේ එම ඝාතන ප්‍රයත්නයට සී.අයි.ඒ. සංවිධානය සම්බන්ධ බවට එය පැහැදිලි කරුණක්.‘ ස්ටෙෆාන්ස් එහිදී වැඩිදුරටත් එසේ සඳහන් කර තිබිණි.

බොබ් මාලේගේ ඉරණම තීන්දු කළ පිළිකා මාරයා ඔහු සොයා පැමිණියේ එක්තරා දිනයක ඔහු සිය සමීපතම මිතුරන් හා එක්ව පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටියදී පාදයක සිදුවූ තැල්මකින් පසුව ය. මේ හේතුවෙන් ඔහුට දැඩි ලෙස පීඩා විඳීමට සිදුවී තිබිණි. ඔහුගේ ආබාධය සුව කිරීමට එක්තරා ප්‍රංශ වෛද්‍යවරයකු විසින් ඔහුට එන්නතක් ලබා දී ඉන් පසුව ඔහු ජීවත්වුණේ කෙටි කාලයයි. පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව අනාවරණය වීමෙන් දින කිහිපයකට පසුව ඔහු ජීවිතක්ෂයට පත්විය. ඇතැමුන් අනුමාන කරන්නේ ඔහුට පිළිකාව එන්නත් කර ඇති බවය. එය මිථ්‍යවක් ලෙසත් බැහැර කර තිබිණි. එහෙත් බොබ් මාලේට එන්නත ලබා දුන් ජෝශප් යූසුප් නමැති ප්‍රංශ වෛද්‍යවරයා නාසි හමුදාවේ හිටපු වෛද්‍යවරයකු බව ඒ වනවිට කිසිවකු දැන සිටියේ නැත.

‘කොහොමවුණත් අවසානයේ දේශපාලනයෙන් සංගීතය ඈත් කිරීමට සී.අයි.ඒ. සංවිධානයට තිබූ බලාපොරොත්තුව සහ ඔවුන් උත්සාහ කළ දේ ඒ අයුරින්ම සිද්ධවුණා. බොබ් මාලේ අකාලයේ මිය ගියා. ‘ රොජර් ස්ටෙෆන්ස්ගේ අදහස වූයේ එයයි.

‘බොහෝ දෙනකුට නොතේරෙන වෙනත් මානයන් කරා සංගීතය ඔබ රැගෙන යයි‘

ඔහු වරින් වර මාධ්‍ය වෙත ලබා දෙන සම්මුඛ සාකච්ඡාවල පවා ගැබ්වූයේ එවැනි ආකාරයේ අරුත් ය. could you be loved, no women no cry, buffalo soldier, get up stand up සහ one love ආදි සියලු ගීත නිර්මාණවලින් ඔහු ආමන්ත්‍රණය කළේ පීඩිතයන්ටය. බොබ් මාලේ සංගීතයෙන් කළ විප්ලවය ජැමෙයිකාවේ තරුණයන්ට දැනෙන්නට ඇත. එහෙත් සිය ගීත තුළින් මතු කිරීමට ඔහු උත්සාහ කළ සමාජයීය යථාර්ථය බොහෝ රටවල තරුණ පරපුරට නම් නොදැනෙන්නට ඇත. සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පීඩිතයන්ට ඔහුගේ ගීත උත්ප්‍රේරකයක් වුවත් බොහෝ රටවල තරුණ තරුණියන් ආදරයෙන් වැලඳගත්තේ ද, අනුකරණය කරනු ලැබුවේ ද ඔහුගේ රෙගේ ශෛලියත්, බාහිර පෙනුමත් පමණි. උග්‍ර රස්තාෆාරියන් මතධාරියකු ලෙස කිසිදාක හිසකේ නොකැපූ මාලේගේ Dreadlocks හිසකේ විලාසිතාව අනුකරණය කරන ශ්‍රී ලාංකික තරුණයෝ ද අපමණ වෙති. ඔහුගේ රෙගේ ශෛලිය අනුගමනය කරන ශ්‍රී ලාංකික ගායකයෝ ද අපමණය. එහෙත් මෙරට තරුණ පරපුර මාලේගේ සංගීත භාවිතයේ සැබෑ අරුත හඳුනා ගත්තේදැයි සැක සහිතය.

විප්ලව කළ හැකි ක්‍රමවේද රැසක් තිබේ. ඇතැම් විප්ලවවාදින් තුවක්කුවෙන් විප්ලව කරද්දී තවත් සමහරු ආගමික දේශනයෙන් එය සිදුකරනු ලැබූහ. නමුත් බොබ් මාලේ ගායනයෙන් සිදු කළ විප්ලවය ඒ සියල්ලට ඉහළින් කැපී පෙනිණි. ඔහු ජැමෙයිකාවේ පුරාවෘත්තයක් වූයේ එනිසාය.

‘One Love! One Heart!
Let’s get together and
feel all right

එකම ප්‍රේමයක් එකම හදවතක්
අප එකට එක්වෙමු…
සියල්ල යහපත් බව දැනේවි…

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division