Home » කළ යුත්තේ කුමක්ද? තීරණ ගත යුත්තේ ඔබයි

කළ යුත්තේ කුමක්ද? තීරණ ගත යුත්තේ ඔබයි

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment

කුමන දේශපාලන පක්ෂයකින් හෝ රටේ බලයට පත්වෙන රජයට, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය, නගර හා ග්‍රාමීය මට්ටමින් ඇති රජයේ කාර්යාලවල සේවය කරන සියලු නිලධාරීන් හා සේවකයින් දේශපාලන පක්ෂ භේද නොතකා රාජ්‍ය සේවයට කැප විය යුතුය. මෙහිදී සියලුම රාජ්‍ය නිලධාරීන් සේවකයින් රාජ්‍ය පාක්ෂික බවට දිවුරුම් දී ඇති බව සිහි කැඳවිය යුතුය.

විශේෂයෙන් පොදු ජන සේවය සඳහා සියලු නිලධාරීන් හා සේවකයින් කටයුතු කළ යුතුය. රජයේ කාර්යාල කෙරෙන් ජනතාව වෙනුවෙන් ඉටු කළ හැකි සේවාවන් කිරීමට ජනපති, අගමැති, ඇමැති හා ඊට අදාළ උසස් නිලධාරියකු නියෝග කරන තෙක් බලා නොසිටිය යුතුය. මන්ද එය රාජ්‍ය සේවයේ වගකීමය.

රජයක් යටතේ සියලුම රජයේ කාර්යාලවල කාර්යක්ෂම සේවය අනිවාර්යෙන්ම සිදු විය යුතුය. එවැනි කැපවීමකට නිලධාරීන් සේවකයින් අවතීර්ණ වන්නේ නම් පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය, නගර හා ගම් මට්ටමින් ජනතා මැසිවිලි අවම වෙනවාට කිසිදු සැකයක් නැත.

රජයක් බලයට පත්වීමෙන් පසු රට තුළ තිබෙන රජයේ කාර්යාලවල සියලුම නිලධාරීන් හා සේවකයින් පවතින රජයට නම්‍යශීලි විය යුතුය. මේ තුළ පෞද්ගලික දේශපාලන මතිමතාන්තර කිසිවක් ඉස්මතු නොවිය යුතුය. විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් හා සේවකයින් රාජ්‍ය සේවයට කැපවිය යුතුය. පවතින රජයට රටේ පවතින බලගතු ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ එවිටය.

මෙසේ කිරීමට ජනාධිපති, අගමැති හෝ ඇමැති අණ දෙන්නට ඕනෑද? මහජනතාවගේ ඕනෑ එපාකම් අනුව ගමේ නගරයේ කාර්යාලයේ හෝ පළාතේ දිස්ත්‍රිකයේ හෝ ප්‍රාදේශීය කාර්යාලයකින් කළ යුතු යමක් ඇත්නම් එයට ඉහළ තැන්වල නියෝග අවශ්‍ය වන්නේ නැත. මෙවන් කාර්යයක්වත් ජනතාව වෙනුවෙන් රාජ්‍ය පාක්ෂිකව කළ නොහැක්කේ නම් ඒ නිලධාරීන් රාජ්‍ය සේවකයින් කළ යුත්තේ කුමක් ද? යන්න තමන්ම කල්පනා කළ යුතුය. තීරණ ගත යුතුය.


අපේ ඉඩම අපට ඕනෑ

උන්ඩියා කුලම, මහකුඹුක්කඩවල පදිංචි ඩබ්ලිව්. ප්‍රේමරත්න විජේසේකර(69) වන මගේ නමට ඇති ජයභූමි ඔප්පුව, පත් ඉරුව, පිඹුර ඉවතලා යල් පැනගිය පිඹුරු ගෙන හැර දක්වමින්, මීගමුව කටුවපිටියේ පදිංචිකාරිනියක ගේ උවමනාවට ලබා දී තිබේ. මේ හේතුවෙන් මෙහි ස්ථීර පදිංචි අපට පදිංචි ඉඩමෙන් පිටමං වීමේ තත්ත්වයක් උදා වී තිබේ. රැකියා නොමැති මාහට මේ සඳහා නඩු කීමටද හැකියාවක් නොමැතිය. අස්වැසුම, සමෘද්ධි ඇතුළු කිසිදු දීමනා හෝ මා ඇතුළු අප පවුලේ කිසිවකුට නොලැබේ.

එසේම අප කිසිවෙකුට වෙනත් කිසිදු හවුහරණක් නැත. අපගේ උරුමය දැන් ඡන්ද හිමි නාමලේඛනයට පමණක් සීමාවී තිබේ.

වසර ගණනාවක සිට භුක්ති විඳි අක්කර 02ක් පමණ වු මාගේ මෙම ඉඩම උරුමය වැඩසටහන යටතේ ලියාපදිංචි කර ගැනීමට ඉඩම් අංශයට ගියද ඉන් පිළිසරණක් නොවූ බැවින් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත හා ග්‍රාම නිලධාරී මහතා වෙත මේ බව දැනුම් දුනිමි. එහෙත් ඔවුන් නෑසූ කන් ඇතිව ක්‍රියාකරමින් ඒ හා සම්බන්ධ සියලු ලියකියවිලි පවා අපහට ලබා නොදෙන තත්ත්වයක් උදා වී තිබේ.

ඒ පිළිබඳ විමසූ විට ජයභූමි ඔප්පුව සිස්ටම් එකට ඇතුළත් කළ බවත්, මේ වන විට ඒවා අවලංගු කර 2015 ගැසට් පත්‍රයේ පළ කර ඇති බවත් පවසයි.

පදිංචිකරුවන් සිටියදී ඔවුන්ගෙන් නොවිමසා එබඳු තීන්දුවක් උසාවියෙන් ගත හැකිද ? නීතිය පොහොසතාගේ මුදලට යටත් වී දුප්පතාගේ දරු මුනුපුරන් පවා අසරණ කිරීමට දුන් තීන්දුව අපහට සාධාරණ වනුයේ කෙසේද ?

මේ පිළිබඳව අවධානය යොමු කර අසරණ වූ අපට සාධාරණයක් කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

– මහකුඹුක්කඩවල 
ඩබ්. ප්‍රේමරත්න විජේසේකර


මැණික් ගඟේ කිඹුල් බිය නිමා කර දෙන්න

නාගහවීදිය පාලම අසල මැණික් ගඟේ නිතර ගැවසෙන දැවැන්ත කිඹුලෙකු නිසා ගම්වාසී ජනතාව මහත් භීතියට පත්ව සිටිති.

මැණික් ගඟ අංක 2ක හා 3න පාලම් ආශ්‍රිතව ගැවසෙන මෙම දැවැන්ත කිඹුලා අඩි 09ත් 12ත් අතර දිගකින් යුතු වන අතර මෙම කිඹුලා මේ වන විටත් අවට ගම්මානයේ සිටි සුනඛයන් රැසක් කා දමා ඇත. මැණික් ගඟේ ද විවිධ වූ ස්ථාන තුළ නිතර දැකිය හැකි මෙම කිඹුලා නිසා මැණික් ගඟේ දිය නෑමට හා රෙදි සේදීමට යෑම භයානක අත්දැකීමක් බවට පත්ව තිබේ.

ගඟට යන සෑම විටකම මෙම කිඹුලා උඩ මතු වෙන බැවින් දිය නෑම ජීවිතය හා මරණය අතර සටනක් බවට පත් ව ඇති බවයි ගම්මුන් පවසන්නේ.

කතරගම දෙවියන් වන්දනා කිරීම සඳහා පැමිණේන බැතිමතුන් බොහෝදෙනා මැණික් ගඟ පරිහරණය කරන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා වන ජීවී නිලධාරින් යොදවා ජනතාව දිය ලබා ගන්නා ස්ථාන තුළ සිටින කිඹුලන් ඇල්ලීමට පියවර ගෙන තිබුණද 2015 වසරින් පසුව මේ දක්වා එය ඇල්මැරුණු තත්ත්වයකට පත් තිබේ.

කතරගම වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ. යූ.ඩී. ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් කරනු ලැබුවොත් ඇල්ලීමට කියා නියෝග කළ හැකි බවයි. එනිසා පාඨක හඬට මෙය යොමු කිරීමට පියවර ගත්තේ අදාළ බලධාරීන්ගේ ඇස මේ සඳහා යොමුවනු ඇතැයි යන විශ්වාසයෙනි.

 කතරගම 
එල්.බී. විමලසේන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division