ලංකාවේ විපක්ෂය හැදූ සන්ධාන බොහොමයක් වැදුම්ගෙයි සන්නියෙන්ම මිය ගියේය. එසේ වුණා කියා ‘ගේම’ අත්හරින්නට මෙරට දේශපාලනය උරුම කරගෙන සිටි කණ්ඩායම් සූදානම් නැත.
කවර තත්ත්වයක් යටතේ වුවත් ධනපතීන් ස්වකැමැත්තෙන් ඉතිහාසයේ වේදිකාවෙන් බැස නොයන බව මාක්ස් සහ එංගල්ස් 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් කර තිබේ. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පරාජිත දේශපාලන කණ්ඩායම් තමන්ට වැරදුණේ කොතනකදැයි ආපසු හැරී බලනවා වෙනුවට, ආණ්ඩුවට වරදින්නේ කොතැනකදීදැයි ඇඟිලි ගනිමින් සිටී.
මුදල් ඇමැති හැටියට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ 2025 අයවැය ලේඛනයේ සිදුරු සෙවීම ආණ්ඩුවට විරුද්ධව මේ මොහොතේ අල්ලාගත හැකි හොඳම තුරුම්පුවක් ලෙස විපක්ෂය කල්පනා කළ බව පෙනේ. තමන්ට හැකි සෑම ආකාරයකින්ම ගණන් ඉලක්කම් හරඹයක් කොට, වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදු කර ඇතැයි ප්‍රවාදයක් ගොඩනැඟීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමත් විය.
ඔවුන් පරාජිත විපක්ෂ නායකයන් සොයා පඬුරු පාක්කුඩම් රැගෙන වන්දනා ගමන් යන්නට පටන් ගත්තේ එයින් පසුවය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වන්නට ගිය වෛද්‍ය සංගම් නියෝජිතයෝ ‘ඔබතුමා වැනි බුද්ධිමත් නායකයකු නැවත පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයැ’යි ඉල්ලා සිටියයෝය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වන්නට පෙර වෛද්‍යවරුන් පාරට ගන්නට හැකි වූවා නම්, එය සෑහෙන ජයග්‍රහණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර හමු වීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දුවක් ගත් අතර, සංකේත වැඩවර්ජනයක් සඳහා දිනයද නියම කෙරිණි.
වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව සසල වූයේ නැත. වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමැතිවරයා 2025 අයවැය මඟින් වෛද්‍යවරුන් සඳහා වැටුප් වැඩි වී තිබෙන අන්දම පැහැදිලි කළේය.
“ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ රුපියල් 54,290ක මූලික වැටුපක් ඇති වෛද්‍යවරයකුගේ රු. 240,173ක් වූ සම්පූර්ණ වැටුප අප්‍රේල් මාසයේදී රු. 258,887ක් වෙනවා. 2027 ජනවාරි මාසයේදී එය රුපියල් 283,165ක් වෙනවා. රුපියල් 257,890ක පූර්ණ වැටුපක් ගත්තා නම් එය දළ වශයෙන් රු. 310,307ක් දක්වා වැඩි වෙනවා. දැන් කවුරු හරි රු. 350,740ක් වැටුපක් ගත්තා නම් එය රු. 444400 දක්වා වැඩි වෙනවා. උපයන විට බද්ද අපේ ආණ්ඩුවෙන් වෙනස් කළා. ඒ අනුව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එක හමාර දක්වා වැටුප් ගත්ත අය රුපියල් 35,000ක් 40,000ක් බදු ගෙවුවා. දැන් ඔවුන්ට සියයට සියයක බදු නිදහසක් ලැබී තිබෙනවා. අපි වෛද්‍යවරුන්ට ඇඟට දැනෙන වැටුප් වැඩි වීමක් ලබා දී තිබෙනවා.”
එක් දින වැඩ වර්ජනයක් සහ දෙවනුව මහා වැඩවර්ජනයකට යන බවට මාධ්‍ය හමු පවත්වා රටට ප්‍රකාශ කළ වෛද්‍යවරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයාගේ දීර්ඝ පැහැදිලි කිරීමෙන් පසු වැඩවර්ජන කතාව අකුළාගත්හ. වෛද්‍යවරුන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ දේශපාලන කණ්ඩායම්වල රූකඩ බවට පත් නොවිය යුතු බව රටේ ජනතාවගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාවේ ඡන්දදායකයෝ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ලක්ෂ 68ක ඓතිහාසික ජනවරමක් දී තිබේ. වර්තමාන ආණ්ඩුව රට ආණ්ඩු කර තිබෙන්නේ මාස 3කට ආසන්න කාලයකි. ඒ කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එන්නත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නත්, ජනතාවට සංස්කෘතික නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න ඉඩහසර විවර කර දෙන්නත් ආණ්ඩුව සමත් වී තිබේ. එපමණක් නොව, වැරදෙන තැන් හා වැරදුණු තැන් වහා නිවැරදි කිරීමෙන් ආණ්ඩුවේ අවංකභාවය ජනතාවට පෙන්වා ඇත. කෙසේ වුවද රනිල්ගේත් සජිත්ගේත් මල්වට්ටිවලට අතගසන්න හිතන අයට බාධාවක්ද නැත.
ශ්‍රී ලංකාවේ බොහෝ ජනාධිපතිවරුන් කටයුතු කළේ වෙස්සන්තර රජ්ජුරුවන් නැවත ඉපදුණු පරිද්දෙන් බව බොහෝ දෙනාට අමතකය. වෙස්සන්තර රජු ඉල්ලන ඕනෑම දෙයක් දන් දුන්නේය; රජ මාලිගයේ පිත්තල පඩික්කම් පවා දන් දුන්නේය; ජූජක බමුණා ජාලිය, ක්‍රිෂ්ණජිනා දරුවන් ඉල්ලූ විට දරුවන්ද දන් දුන්නේය. එලෙස දන් දුන්නේ රටේ ජනතාවටය. පසුගිය සමයේ රට පාලනය කළ පාලකයෝද ඊට දෙවැනි නොවූහ. රටේ සම්පත් ඉල්ලන ඕනෑම විදේශ සමාගමකට ‘ලෝස් නැතුව’ දන් දෙන්නට ඔවුහු මැළි නොවූහ.
වරාය, ගුවන්තොටුපොළ, ඛනිජ සම්පත් පමණක් නොව, අහසද දන් දුන්නේය. ප්‍රශ්නය තිබෙන්නේ එතන නොව, මෙසේ දන් දෙන ‘වෙස්සන්තරලා’ එකකුවත් තපසට යන්නේ නැති වීමේය. ඔවුන් තපසට යෑම ගැන හීනෙකින්වත් හිතන්නේ නැත. ඔවුන්ගේ ඉලක්කය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා කොමිස් මුදල් සාක්කුවේ දාගැනීමය; එසේ නැති නම්, උපයාගත් අනීතක ධනය රහසිගත අන්තර්ජාතික මුල්‍ය ආයතනවල සැඟවීමය.
චීනය ඉල්ලන ඉල්ලන දේ දන් දුන්නෝය. අමෙරිකාව ඉල්ලා සිටි හැම දේමත් දන් දුන්නෝය. ඔවුන් රටේ සම්පත් දන් දුන්නේ අම්මා අප්පාගේ බූදලය දන් දෙන ගානටය. රටේ පුරවැසියන්ගෙන් ඇසුවේ නැත; පාර්ලිමේන්තුවෙන් ඇසුවෙත් නැත. දන් දෙන්න වෙලාවක් කලාවක්ද නැත. හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අමෙරිකන් සමාගමක් සමග කෙළවරපිටියේ එල්.එම්.ජී. බලාගාර ගිවිසුම ගැසුවේ ‘යකුන් ගස් නඟින වේලාවේ’ හෙවත් රාත්‍රී 12.00ටය. සංගීත පුටු තරගයක වාගේ පුටුවේ වාඩි වෙන වාඩි වෙන නායකයා බැලුවේ රටේ දේපොළ දන් දෙන්නය. අනුප්‍රාප්තික හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කීවේ රජයට අනුබද්ධ සියලු ආයතන විකුණා දැමිය යුතු බවය; රජය ව්‍යාපාරවලින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතු බවය. පෞද්ගලික අංශයට විකිණීමේදී ලාභ ලබන ආයතන ලාභ නොලබන ආයතන වශයෙන් දෙකක් නැති බව හෙතෙම පැවසීය.
කළු සල්ලිකාරයන් කලබල වූයේ ආණ්ඩුවේ ලාභ ලබන ආයතන තමන් අල්ලා ගැනීමටය. එසේ නොවේ නම් ආණ්ඩුවේ දේපොළ විකිණීමෙන් කොමිස් කුට්ටිය ඩැහැගන්නය. වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රාජ්‍ය අංශය තව තවත් ශක්තිමත් කරන අතරම පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට අතදීමය. රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම උදෙසා 30,000ක් අලුතින් බඳවාගන්නා බව ජනාධිපතිවරයා ස්වකීය අයවැය කතාවේදී සඳහන් කළේය.
ආණ්ඩුව රට නිවැරදි දිශානතියට මෙහෙයවීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති අතර, එය ඉඳුරාම ජනතාවගේ සම්මුතියෙන් ක්‍රියාත්මක වන්නකි. අන්තර්ජාතික මූල්‍ය ආරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ විස්තීරණ ණය මුදලේ සිව්වැනි වාරිකය නිදහස් කරන බව ප්‍රකාශ කර තිබේ. මූල්‍ය අරමුදලේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් විශ්වාසය තබා තිබේ. ඒ විශ්වාසය බිඳදැමීමට ආණ්ඩුව ක්‍රියා කර නැත.
බොහෝ දෙනා මහා ඉහළින් වර්ණනා කළ 1970 සිරිමා බණ්ඩාරනායක රජය බලයට පත් වී කෙටි කලක් තුළ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප්‍රකාශ කළේ තමාට සමාජවාදයේ අරුණාලෝකය ඈතින් පෙනෙන බවය. සමාජවාදය කෙසේ වෙතත් අන්තිමට රට ඇදීගියේ දුර්භික්‍ෂය වෙතය.
අමෙරිකාව සහ යුරෝපය ප්‍රමුඛ දක්ෂිණාංශික කඳවුරු සමඟත්, චීනය ප්‍රමුඛ සමාජවාදි කඳවුර සමඟත්, මැදපෙරදිග රාජ්‍යයන් සමඟත් එක හා සමාන යහපත් අන්තර්ජාතික සබඳතා ගොඩනඟාගන්නට ආණ්ඩුව සමත් වී තිබේ. එමඟින් අත්පත් කරගන්නා ප්‍රතිලාභ රටේ ජනතාවටය. එකී ප්‍රතිලාභ අත්පත් කරගැනීම සඳහා ආණ්ඩුව රටේ එකද බිම් අඟලක් හෝ වෙන්දේසියේ දමා නැත.
ආණ්ඩුව ශක්තිමත්ය; ස්ථාවරය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවූ බහුතරයක් ආණ්ඩුවට තිබේ. විපක්ෂයට පැමිණ තිබෙන්නේ වාරකන් කාලයයි. ආණ්ඩුව පෙරළෙන තුරු බලා සිටීම එළුවාගේ මොකක්දෝ වැටෙනකල් බලාසිටි නරියාගේ කතාව මතකයට නංවන්නකි.
ඉතිහාසය පුරා ලංකාවේ ආණ්ඩු පෙරළුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීමෙනි. ආණ්ඩුවක ජනප්‍රසාදය හීන වන අවස්ථාවේ ප්‍රධාන පක්ෂ දෙක අතර මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීම නිතර සිදුව තිබේ. 1956 අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙන් කැබිනට් ඇමැතිවරුන් වූ පිලිප් ගුණවර්ධන සහ විලියම් සිල්වා ඉවත් වීම නිසා ඊනියා 56 විප්ලවය අර්බුදයට ගියේය.
අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව 1964දී සමසමාජ පක්ෂය සමඟ සභාගයකට එක් විය. සමසමාජ නායක ඇන්.ඇම්. මුදල් ඇමැති තනතුරට පත් විය. කෙටි කලකින් එජාපය ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවේය. සභාගයට බහුතරය තිබු නිසා ආණ්ඩුවට සැකයක් තිබුණේ නැත. එහෙත් ඡන්දය ගණන් කිරීමේදී වාරිමාර්ග ඇමැති සී.පී. ද සිල්වා සහ මහානාම සමරවීර ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නේය. ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණය සංවිධානය කළ කණ්ඩායම ඇතැම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි වන සේ මෝටර් රථ ටයර්වල හුළං ඇරියේය. ආණ්ඩුව පෙරළුණි. සි.පී. ද සිල්වා අලුත් පක්ෂයක් පිහිටුවා ගත් අතර, එය හැඳින්වූයේ ‘පිහිපාටිය’ නමිනි. දේශපාලන ලෝකයේ කතා කළේ සී.පී. මැතිනියට පිටුපසින් පිහියෙන් ඇන්නා කියාය.
අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ 1970 ආණ්ඩුවටද හෙනහුරා පාත් විය. එදා තිබුණේ ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් හවුල් ආණ්ඩුවකි. ‘සමඟි පෙරමුණ’ නමින් එය හැඳින්විණි. රටේ අර්බුදය උත්සන්න වූ විට ඇන්ඇම්ලා, කේනමන්ලා ආණ්ඩුවෙන් එළියට පැන්නෝය. ජේ.ආර්. ජයවර්ධන 1977දී 6න් 5ක බලයක් හිමි කරගත්තේ සමඟි පෙරමුණේ පිහිටෙනි. ජයවර්ධන බලයට පැමිණි වහාම කළේ පනින්න බැරි වන ලෙස සියලු එජාප මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි රැගෙන තමන්ගේ ලාච්චුවේ දමාගැනීමය.
ඒ උදාහරණ කිහිපයෙන් පැහැදිලි වන්නේ මන්ත්‍රීවරුන් බිළීබාගැනීමෙන් ආණ්ඩු පෙරළිය හැකි බවය. එහෙත් වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් ඒ උපක්‍රමය වලංගු වන්නේ නැත. ජාතික ජන බලවේග ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159ක් දේශපාලන අරමුණක් හා දර්ශනයක් ඇතිව හෘදයසාක්ෂියෙන් බැඳී සිටිති. එහිදී ඉල්ලා අස්වීමේ ලිපි අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුව මතවාදි වශයෙන් ශක්තිමත් ආස්ථානයක සිටී. වැඩවර්ජන සඳහා කම්කරු පන්තිය උසිගැන්වීමෙන් ආණ්ඩුව පෙරළා දැමිය හැකි වේයැයි සිතනවා නම් එයද මුළාවකි.
රටේ ජනතාව වර්තමාන ආණ්ඩුවට බලය දුන්නේ සෑම ක්ෂේත්‍රයකම කැපීපෙනෙන වෙනසක් අපේක්ෂාවෙනි. ඒ වෙනස සාක්ෂාත් කරගැනීම සඳහා ජනතාව අත්වැල් බැඳගත යුතුය. මන්ද යත්: සැබෑ ලෙසම වෙනස් විය යුත්තේ ජනතාව වන ඔබ හා අප බැවිනි.