Home » පාදෙණිය හරහා පඬුවස්නුවරට…

පාදෙණිය හරහා පඬුවස්නුවරට…

by Mahesh Lakehouse
March 9, 2025 12:29 am 0 comment

පාදෙණියත් පඬුවස්නුවරත් ඇත්තේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේය. පඬුවස්නුවර සිට පාදෙණියට ඇති දුර පිළිබඳ නිශ්චිත අදහසක් නැතත්, ඒ දුර කිලෝමීටර් 20ක් පමණ වනු ඇති බව මගේ විශ්වාසයයි. ප්‍රකට උන්මාදචිත්‍රා ජනප්‍රවාදය ජන්මය ලබන්නේ පඬුවස්නුවරිනි. පඬුවස් දෙව් රජුගේ දියණිය වූ උන්මාද චිත්‍රා එක්ටැම්ගෙයක සිර කර සිටි බව ජනප්‍රවාදයයි.

පාදෙණිය සඳහන් කරන විට මතකයට එන නමක් ඇත්නම් ඒ අනුරුද්ධ පාදෙණියයි. දැන් නම් ඉඳහිට වත් නොඇසෙන අනුරුද්ධ පාදෙණිය නම, කාලයකට ඉහත මෙරට ජනමාධ්‍ය තුළ අනිවාර්ය සඳහනක් වී තිබිණි. ඒ වෛද්‍යවරයකු ලෙස දැක්වූ දස්කම්, විස්කම් සහ කැප කිරීම් අරබයා නොවේ; ඔහු කාලාන්තරයක් මුළුල්ලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහෙයවූ වෘත්තීය සමිති නායකයා වීම හේතුවෙනි. රටේ මහජනතාවගේ අප්‍රසාදය නිතැතින්ම හිමි වූ සංගමයක් වූ පාදෙණියගේ සංගමය හරි නම් මනුෂ්‍ය ඝාතන පිළිබඳ චෝදනාවටද ලක් විය යුතුය. අසරණ රෝගීන් ඇපකරුවන් කරගෙන ඉල්ලීම් දිනාගැනීමට කරන ලද වර්ජන ප්‍රමාණය ගැන අදහසක් අවශ්‍ය නම් දශකයක් දෙකක් තුළ පරණ පත්තර පෙරළා බැලීම ප්‍රමාණවත්ය.

වරෙක රටට ද්‍රෝහීන් වන්නන් සොයාගැනීමට මනෝ විශ්ලේෂණය යොදාගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේද මේ වෛද්‍ය පාදෙණියමය. දැන් පාදෙණියගේ නම ඇසෙන්නේ පෞද්ගලික රෝහලක චැනලින් කවුන්ටරය හරහා වාතලයට මුසු වන මෙවන් වචන කිහිපයකිනි. ‘ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා හමු වීමට පැමිණි රෝගීන් කරුණාකර අංක … කාමරයට යන්න.’

මට පාදෙණිය සිහිපත් වූයේ ඔහු අනුත්තර නායකයා වූ වෛද්‍ය සංගමය කරන්නට තෙපරබෑ, වර්ජනය නොකෙ­‍ෙරන බවට ඇසුණු ප්‍රවෘත්තියයි.

මගේ නිරීක්ෂණයට අනුව රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩි වෙමින් පවතියි. කෙ‍හෙළියලා උලාකෑ රජයේ රෝහල් කරා රෝගීන් එන්නේ ඔවුන්ගේ ආර්ථිකය හැකිළී ඇති හේතුවෙනි; පෞද්ගලික රෝහල් හිතුමතේ අය කරන ගාස්තු දරාගන්න බැරි අපහසුව නිසාය.

රජයේ රෝහල්වලට දිනපතා එන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අතිබහුතරයක් වෛද්‍ය වෘත්තිකයන් දක්වන කැප කිරීම, ඉවසීම අගය කළ යුතු බවද සඳහන් කරමි. දැන් නලින්ද ජයතිස්ස නම් වූ සමාජවාදි චින්තනයෙන් හැඩගැසුණු තරුණ වෛද්‍යවරයාට රටේ සෞඛ්‍ය සේවාව පිළිබඳ වගකීම පැවරී ඇත. වෛද්‍ය වර්ජනය නො‍ෙක‍ෙරන තැනට පත් කිරීම හොඳ දෙයකි. ඉතිහාසයේ ප්‍රථම වරට රටින් පලා ගිය විධායක ජනාධිපති ලෙස සටහන්ව ඇති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු මෙන්ම උපදේශක මට්ටමින් කටයුතු කළ අයකු ලෙසද වෛද්‍ය පාදෙණිය හැඳින්වීම සාවද්‍ය නිරූපණයක් නොවන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තම සිතීම් කලාපය පුළුල් කරගැනීමටද, අතීතාවර්ජනයකට යෑමටද හොඳම අවස්ථාව මෙය බව මගේ අදහසයි. අනුරාධපුර, පොලොන්නරුව, මහනුවර යුග තුනම ගැන අදහසක් ගත හැකි පඬුවස්නුවර මගේ මතකයට එන්නේ, අප හිතවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ බලප්‍රදේශයද පඬුවස්දෙව් රාජ්‍යය වීමයි. මහා පරාක්‍රමබාහු මෙන්ම පළමුවැනි විජයබාහුද පඬුවස්නුවර සමඟ බැඳී සිටින පෙර නරයෝ වෙති. දයාසිරි වයඹ මහ ඇමැතිවරයා ලෙසද කටයුතු කළ තරුණ දේශපාලනඥයෙකි. ඔහු ඒ ජනපදයේදී ගත් මනාප සංඛ්‍යාව වාර්තාගත එකකි. එක්සත් ජාතික පක්ෂය හැරදා රාජපක්ෂ කඳවුරට අඩිය තැබීම නිසා ලැබෙන තුටු පඬුරක් ලෙසද මහ ඇමැතිකම කෙනකුට අර්ථ ගැන්විය හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළම තැනින් දේශපාලනයට පිවිසි ජයසේකර කැඩී බිඳී ගිය ශ්‍රීලනිපයේ ලේකම්වරයාද විය. සිරිසේන ජනාධිපති වීමට කලින් සිරිසේන හාස්‍යයට ලක් කළ ජයසේකර ජනාධිපති වූ සිරිසේනගේ සමීපතමයකුද වී, ආරක්ෂක කවුන්සිලයටද වාඩි වූ බව එකල කියවිණි. ජයසේකර පිළිබඳ මගේ මතකයේ නොමැකෙන චිත්‍රයක් වී ඇත්තේ එක් මැයි දින පෙළපාළියක ඔහු දැක්වූ කදිම සංදර්ශනාත්මක හරඹයයි. දේශපාලන ප්‍රතිවාදියෝ එය රිළා සිරි නැටුම් යැයි සමච්චලයට ලක් කළද මගේ අදහස නම් එදා දයාසිරි ජයසේකර දැක්වූ හරඹය වයඹ පමණක් නොව, මෙසිරිලක කිසිම දේශපාලකයකුට කළ නොහැකි බවයි. ජාතික ජන බලවේගයේ මැති ඇමැතිවරුන් අතර එවන් හරඹ හැකියාවක් ඇති අය වෙත්දැයි නොදනිමි.

දයාසිරි ජයසේකර හොඳ හඬක් ඇති ගායකයෙකි; එසේම නීතිඥයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් සිල්වා දෘශ්‍යාබාධිත නියෝජනයකි, මීට පෙර කිසිදු විටෙක විශේෂ අවශ්‍යතා සහිත මහජන නියෝජනයක් පාර්ලිමේන්තුවේ තිබුණේ නැත. මේ දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා සම්බන්ධ කරගෙන දයාසිරි කර තිබූ ප්‍රකාශයක් මාධ්‍ය තුළ කතාබහකට සහ දැඩි විවේචනයකට ලක් විය. දයාගේ සහෝදරයා වන ගායක කිත්සිරි ජයසේකරද තම සහෝදරයාගේ ප්‍රකාශයට එරෙහිව සටහනක් තබා තිබිණි. ඉතා ඉක්මනින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද දෘශ්‍යාබාධිත මන්ත්‍රී සහෝදරයාට කනගාටුව ප්‍රකාශ කර සමාවද ඉල්ලා තිබිණි. එය අගය කළ යුතුය.

වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ විපක්ෂ නායකයාගේ භූමිකාව වැදගත් වන අතර, මේ වර්තමාන පියාණෝ විපක්ෂ නායක මීට පෙරද විපක්ෂ නායකයාව සිටියේය. ඒ කාලයේ නිල විපක්ෂ නායකවරයාට වඩා කැපීපෙනෙන විපක්ෂ භූමිකාව නියෝජනය කළේ අනුර කුමාර දිසානායකය.

මෙහිදී දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරුන්ට පැවරෙන වගකීම තේරුම් ගැනීමට ඔහුට ඇති හැකියාවද වැදගත්ය. කවටයකු වීමට වඩා අර්ථවත් දේශපාලනඥයකු වීම අමාරුය. කැමැති නම් ඔහුට නිල විපක්ෂ නායකගේ පරාසයද අධ්‍යයනය කළ හැකිය.

You may also like

Leave a Comment