මේ දිනවල අය-වැය විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නිසා දේශපාලනමය වශයෙන් මැතිසබය උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ කටයුතු එසේ සිදු වෙද්දී ජනාධිපතිවරයා දැඩි ලෙස කාර්යබහුලව සිටින්නේ රටේ ගැටලු විසඳීමට සාකච්ඡා නිරන්තරයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදු වන නිසාය.
ප්‍රතිපාදන ඵලදායි ලෙස යොදවන ලෙස ජනපති දන්වයි
මෙවර අය-වැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 8 තුළ පූර්ණ හා ඵලදායී ලෙස ලෙස යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගතයුතු ඉදිරි පියවර සහ මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ පසුගියදා (6) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් දීමේ අරමුණින් මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ඒ ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති සඳහා ඵලදායීව යෙදවීම තුළින් මෙම වසරේ මෙරට අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය වූ 3% – 4%ක මට්ටමට පහසුවෙන් ළඟා විය හැකි බැවින් අදාළ ව්‍යාපෘති ඉතා සමීපව අධ්‍යයනය කරමින් ඵලදායී ලෙස ප්‍රතිපාදන යෙදවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
වගා හානි වන්දි දීම කඩිනමින් අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ඔහු මේ උපදෙස් දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා (6) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
2025 අය-වැය යෝජනා මඟින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබිණි. කෘෂි දත්තවල පවතින අසම්පූර්ණ බව හේතුවෙන්, තීරණ ගැනීමේදී සිදු වන දෝෂ පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ සාධාරණ මිලක් දෙමින් ගොවියා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණයක් සිදු වන පරිදි මිල ගණන් තීරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර, අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය, මිල්කෝ ආයතනයේ මෙහෙයුම් හා එහි ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
පොහොර දීම ගැන ජනපති තතු විමසයි
යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ පසුගියදා (6) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, අපහසුතාවකින් සහ බාධාවකින් තොරව ගොවීන්ට යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට හැකි පරිසරය සකස් කර දීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂි තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඩී. චිත්‍රානයනා, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහත්ම මහත්මීහුද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, පෞද්ගලික අංශයේ පොහොර සැපයුම් සමාගම්වල නියෝජිතයෝ පිරිසක්ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.
ඩැඩවර්ජන ලෙඩේට වෛද්‍ය නලින්දගෙන් බෙහෙත්
දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව පසුගියදා ප්‍රකාශ කළේය. බොහෝ දෙනකු සිතුවේ මේ වැඩවර්ජන ක්‍රියාත්මක වනු ඇතැයි කියාය. එසේ නමුත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. පසුගියදා (6) සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේදී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැවැත්වීම පිළිබඳවද අදහස් පළ විණි. මේ ගැන පාර්ලිමේන්තු ආලින්දයේ සහ ආපන ශාලාවේදී ජනතා නියෝජිතයන් කිහිප දෙනකුම කතාබස් කරන අවස්ථාවේ බොහෝ දෙනකු ප්‍රකාශ කර තිබුණේ ‘නලින්ද ඇමතිතුමා කොහොමත් ඩොක්ට නේ… වර්ජන ලෙඩ ගැන දන්න නිසා හොඳ බෙහෙතක් දෙන්න ඇති’ කියාය.
අල්ජසීරාවෙන් රනිල්ට කැපිල්ලක්ලු
රනිල්ගේ අල්ජසීරා සාකච්ඡාව දේශපාලන ලෝකයේ අලුත් ගිනි දලු අවුළුවන්නක් විය. රනිල් එංගලන්තයට ගොස් දුන් ඒ සාකච්ඡාව විකාශය කෙරුණේ බ්‍රහස්පතින්දා හවසය. සාකච්ඡාව විකාශය වීමත් සමග රනිල් හදිසි මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ අදාළ කරුණු ගැන තම පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කරන්නටය.
‘බහුතරයක් බෞද්ධ ජනතාව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායක මල්වතු මහනාහිමි බවට මම අල්ජසීරා සාකච්ඡාවේදී කිව්වා. නමුත් ඒ ප්‍රකාශය කපා දමලා. ඒ වගේම සාකච්ඡාවේදී ප්‍රශ්න අහන්න මට නොදන්නවා එල්ටීටීඊ සංවිධානයේ දෙදෙනකුම යොදවා සිටියා. මම අල්ජසීරා සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවේදී පෙනී සිටියේ රට වෙනුවෙන්,’ යැයි රනිල් එහිදී සඳහන් කළේය.
‘ලංකාවේ සම්මුඛ සාකච්ඡාවල සජීවීව පටිගත කොට හොඳ මෙන්ම නරක සියල්ලම විකාශය කරනවා. නමුත් මා සමග අල්ජසීරා මාධ්‍ය ආයතනය පැය දෙකක පමණ සම්මුඛ සාකච්ඡාවක් කොට විකාශය කොට ඇත්තේ පැයක පමණ කොටසක්. එහි ඇතැම් හොඳ අදහස් දැක්වීම් පළ කර නැහැ. ඒ සියල්ල විකාශය කළා නම් මීට වඩා පරිපූර්ණ අදහසක් ලබාගන්නට හැකියාව ලැබෙනවා,’ යනුවෙන්ද රනිල් ප්‍රකාශ කළේය.
කෙසේ වුවද රනිල් අල්ජසීරා සමඟ කැත්තට පොල්ල මෙන් සංවාදයට සහභාගි වී තිබිණි.
යළි පාර්ලිමේන්තුවට එන ලෙස රනිල්ට ඇරියුමක්
රනිල් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ හමුවක් බදාදා පැවැත්විණි. එජාප සභාපති වජිර අබේවර්ධනද ඊට සහභාගි විය. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීහු රනිල්ට අපූරු යෝජනාවක් කළහ.
‘ඔබතුමා වැනි පළපුරුදු නායකයෙක් මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළොත් හොඳයි…’
‘නෑ. මම දැන් විවේක සුවයෙන් ඉන්නේ. නමුත් ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් දෙන්න මම සූදානම්,’ යැයි රනිල් ඊට පිළිතුරු ලෙස පැවසීය.
එහිදී වජිර කීවේ ‘එතුමා වචනයක් කිවුවොත් ඒක වෙනස් කරන්නේ නැහැ නේ… අපි රට වෙනුවෙන් එතුමාගෙන් වැඩ ගනිමු,’ යනුවෙනි.
එජාප-සජබ සාකච්ඡා දිග්ගැස්සේ
එජාප-සජබ සාකච්ඡා තවදුරටත් දිග්ගැසෙමින් පවතී. ‘සමගි ජන බලවේගයට තීරණය දීමට අන්තිම අවස්ථාව ලබාදීලා තියෙනවා. ඒ අතර වාරයේ සෙසු පක්ෂ සමගත් කතා කරනවා. අනෙක් පක්ෂවල ප්‍රතිචාරය තිබෙන්නේ සජබට වඩා ඉදිරියෙන්,’ පක්ෂ එකතුවීමේ සාකච්ඡා ගැන රුවන් කීවේ එසේය. කෙසේ වුවද පළාත් පාලන මැතිවරණයට සුදුසු පරිදි එක්ව තරග කිරීමට රනිල් දැනටමත් එකඟතාවය පළ කර ඇත.
එකතු වුණොත් දිනන බව වජිර පෙන්වයි
පොදු සන්ධානයක් ලෙස තරග කළ හොත් පොහොට්ටුවට වාසි තැන්වල පොහොට්ටුව වෙනම තරග කිරීමටත් යෝජනා වී තිබේ.
මේ සැලසුමට අනුව පොදු විපක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් පළාත් පාලන මැතිවරණයේදී ලබා ගන්නට හැකි වුව හොත් එය විකල්ප ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
‘ආර්ථික අර්බුද කාලේ රට හරි පාරට ගන්න කටයුතු කරපු බලවේග පළාත් පාලන ඡන්දයෙන් ඇරඹුම ගත්තොත් පළාත් සභා ඡන්දෙදි එකට එකතු වෙලා වැඩි බලයක් ගන්න පුළුවන් යන පණිවිඩය රටට දෙන්න පුළුවන් වෙනවා.’ වජිර එසේ කීවේ පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් අමතමිනි.
ප්‍රධාන මහ නගර සභාවලට තරග කරන ආකාරය ගැන එජාපය මේ වන විට සාකච්ඡා කරමින් සිටින අතර නුවරඑළිය, මහනුවර, කොළඹ මහා නගර සභා සඳහා අලියා ලකුණින් තරග කිරීම එජාපයේ අරමුණ වී තිබේ.
Ferrari රනිල්ට බිමල්ගෙන් ෂොට් එකක්
රනිල් එල්බෝඩ් යනුවෙන් මාලිමා ආණ්ඩුවට චෝදනා නඟද්දී මාලිමා ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පිළිතුරු දීමට අමතක නොකළේය. ඒ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදීය. ෆෙරාරි ලයිසන් තියෙන කෙනා අල්ජසීරා එක්ක හැප්පිලා කුඩු පට්ටම් වෙලා තියෙන්නේ. මං හිතන්නේ එතුමාගේ මොළේට සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා. එතුමා මේ දවස්වල විකාර කියවනවා. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විවාදයේදී ෆෙරාරි ලයිසන් එක තියනවා කියලා කියන කෙනාට කනගාටුව පළ කරන්න කැමතියි සිදු වූ අකරතැබ්බයට,’ යනුවෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසීය.
මහින්ද රහසේ රනිල් හමු වුණේ ඇයි?
මේ අතර හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර හදිසි හමුවක් සිදු වූයේ මැල්සිරිපුර උමන්දාව අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදීය. ඒ සමන්තභද්‍ර හිමියන්ගේ උපන්දිනය වෙනුවෙන් පැවති පින්කමේදීය. පින්කමෙන් පසු හිටපු ජනාධිපතිවරු දෙදෙනා විශේෂ කාමරයක විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. අමුත්තන් කිසිවකු හෝ මේ සාකච්ඡාවට එක් නොවූ අතර, කතාබහ කළ දේ කුමක්ද යන්න අනාවරණය වුයේ නැත.‘ ඒක නිකං කතා බහක්…’ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කීවේ සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදීය.
සමඟියට බාධා කරන ‘ල-යනු’ දෙකක් හෙළි වේ
එක්සත් ජාතික පක්ෂ සංවිධායක දිනේෂ් විදානපතිරණගේ ගෙට ගෙවැදීමේ උත්සවය නිමිති කොට පිරිත් පින්කමක් පසුගියදා පැවැත්විණි. ඊට එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, සමන් රත්නප්‍රිය වැනි කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන්ද එජාප හා සජබ බිම්මට්ටමේ නායකයන්ද දිනේෂ්ගේ දේශපාලන හිතවතුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිනු දක්නට හැකි විය. දන් පින්කම ආරම්භ වීමට පෙර සාගල ඇතුළු පිරිසක් එළඹෙන පළාත් පාලන මැතිවරණය හා එජාප හා සජබ සාකච්ඡා පිළිබඳ කතාබහක නිරතව සිටියෝය.
එජාප හා සජබ අතර සංහිඳියාවට ප්‍රබලතම බාධකය වී ඇත්තේ ජලනි ප්‍රේමදාස හා ලක්‍ෂ්මන් ෆොන්සේකා බව සජබ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මේ වන විට එජාප හා සාකච්ඡාවට වාඩි වූ මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාරට මෙන්ම තිස්ස අත්තනායකටද අභ්‍යන්තර කැපිල්ලකට මුහුණ දෙන්න සිදු වී ඇති බවද මෙහිදී පිරිස අතර කතාබහ විය. මේ හේතුව නිසා සජබ මේ පළාත් පාලන ඡන්දයෙන් පසු තවත් දිය වී යන බවත් දක්ෂිණාංශික කඳවුර එකතු නොවුණොත් ශ්‍රී ලංකාවට අනාගතයක් ඉතිරි නොවන බවත් එහිදී වැඩිදුරටත් කතාබහට ලක් විය.
විදේශ ඇමැති විජිත හේරත් සහ නෙදර්ලන්ත තානාපති අතර විශේෂ හමුවක්
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Horbach Bonnie මහත්මිය අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණ. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වර්ධනය කරගැනීම අරමුණු කරගෙන මේ සාකච්ඡාව පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පාර්ලිමේන්තුවේ කෑම ගණන් වැඩි බව දයාසිරි කියයි
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කීවේය. ‘පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් මට නම් කන්න බෑ ගාන වැඩියි. අපට ගෙදරින් කෑම ගේන්න අවසර දෙන්න. ඉස්සර ඒ අවසරය තිබුණා. ජේවීපීඑක පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවට පස්සේ තමයි පිටින් කෑම ගේන එක නතර කළේ…’ දයාසිරි කී දෙයට මාලිමාවේ කිසිවකු හෝ උත්තර දීමට ඉදිරිපත් වූයේ නැත.
රනිල් – සජිත් හමුවක්
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන්ගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ඉකුත්දා වැල්ලවත්තේ පැවැත්විණි. හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, ඩලස් අලහපෙරුම ආදි දේශපාලනඥයෝ මේ අවස්ථාවට එක් වී සිටියහ.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අසුන් ගෙන සිටියේ එක ළඟ අසුන් දෙකකය. ‘ඔබතුමා ආපහු පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් යනවා?’ ඩලස් එහෙම ඇහුවේ රනිල් වික්‍රමසිංහගෙනි.
‘ෆෙරාරි ලයිසන් තියන කෙනෙක් එල්බෝඩ්කාරයෝ එක්ක කාර් පදින්නේ නැහැ නේ…’ රනිල් සිනාවෙන්ම උත්තර දුන්නේ එහෙමයි.
මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එතැනට පැමිණ සිටියේ නැත. එක්වරම ආරක්ෂක නිලධාරියකු පැමිණ කීවේ ‘නායකතුමා එනවා, පුටුවක් ඕනෑ’ කියායි. සමඟි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක හා වී. රාධා ක්‍රිෂ්ණන් එතන අසුන්ගෙන සිටියද සජිත්ට පුටුව දීමට නැඟී සිටියේ වී. රාධා ක්‍රිෂ්ණන්ය.
‘කොහොමද පක්ෂ දෙකේ සාකච්ඡා?’ රනිල් වික්‍රමසිංහ එහෙම ඇහුවේ තිස්ස අත්තනායකගෙනි. තිස්ස නිශ්ශබ්දව හිටියා මිස උත්තරයක් දීමට ගියේ නැත. හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන ඒ ප්‍රශ්නය විපක්ෂ නායක සජිත්ගෙන් විමසුවේය. ‘අපි එකතු වෙලා කතා කරමු, ඒක හොඳ වැඩක්,’ සජිත් කීවේය.
පක්ෂ දෙක එකතු නොවුණොත් නව සන්ධානයක්
එජාප හා සජබ අතර සමඟයක් ඇති නොවුණ හොත් එකී පක්‍ෂ දෙකම බෝඩ් ලෑලි දෙකකට පමණක් සීමා කර දෙපිලේම සිටින සාමාජිකයන් වෙනම සන්ධානයක් ඇති කරගැනීමේ සූදානමක් ගැනද මෙහිදී අදහස් පළ විය. ජාතික සංවිධායක සාගල රත්නායක හමුවේ එම අදහස පළ කළේ එජාප හෝමාගම ආසන සංවිධායක රංග අබේසිංහයි.
‘මේ පක්ෂ දෙක එකතු වුණේ නැති නම් අපේ සහ සජබ කොට්ඨාසවල ඉන්න ප්‍රබලයන් එකතු කරලා අපි හෝමාගමට ස්වාධීනව ඉල්ලනවා.’ පසුගිය අඟහරුවාදා සාගල මුණගැසීමට මාධ්‍යවදියකු ගිය අවස්ථාවේදී රංගගේ අදහස සාගල ඔහුගේ වචනවලින් පැවසීය. එජාප හා සජබ එකතු නොවුණ හොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කුමක් සිදු වේදැයි මාධ්‍යවේදියා විමසූ පැනයට සාගල පිළිතුරු දුන්නේ ‘මේ පක්ෂ දෙක එකතු නොවුණොත් පක්ෂ දෙකේම ඉන්න මිනිස්සු එකතු වෙයි,’ යනුවෙනි.
රනිල් රට ගොඩගත් හැටි කියන්න යයි
ආර්ථික ප්‍රපාතයට ඇද වැටුණු මොහොතේ ලිබරල් ආර්ථික කළමනාකරණය කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ දැනුම්වත් කිරීමට වන්ටේක්ස් ආයතනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ. හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගි වීමට එකඟතාවය පළ කර ඇති අතර මේ මාසයේ එය සිදු වීමට නියමිතය. සාකච්ඡාව මෙහෙයවීම නීතිඥ ශිරාල් ලක්තිලක හා කථිකාචාර්ය ආචාර්ය ධම්ම දිසානායක විසින් සිදු කරන අතර වන්ටේක්ස් පොඩ්කාස්ට් එක හරහා එය මුළු ලෝකයටම විවර වනු ඇත. සාකච්ඡාවේ අරමුණු පැහැදිලි කරමින් නීතිඥ ශිරාල් ලක්තිලක පැවසුවේ ‘ලංකාවේ මේ වෙලාවේ වෙන දේවල් දිහා බැලුවහම ලංකාවේ මිනිස්සු දන්නේ නෑ ලිබරල් ආර්ථිකයක් කළමනාකරණය කරපු හින්දා තමයි ලංකාව මෙහෙම බේරුණේ කියලා. ඒක කළේ රනිල්. එහෙම නැතුව වෙන කවුරුවත් නෙවෙයි නේ. කළේ කොහොමද කියලා දේශපාලනයෙන් තොරව මේ දිහා බලන ආකාරය ඉගැන්වීම තමයි සාකච්ඡාවේ අරමුණ,’ යනුවෙනි.
වජිරට ප්‍රශ්න වැළක්
ගාල්ල, කරාගොඩ ශ්‍රී පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහර මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන විශේෂ ගුණසමරු පින්කමක් සහ දානමය පින්කමක් එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නරාවල සිරිවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගිය ඉරිදා උදෑසන එම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම පින්කමෙහි දායකත්වය එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් දැරූ අතර මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
මල්, පහන් පූජා කිරීමෙන් අනතුරුව වජිර දානමය පින්කම සඳහා සම්බන්ධ වූ අතර මහා සංඝරත්නය සඳහා දානය පූජා කිරීමේ කටයුතු සඳහාද වජිර සම්බන්ධ විය.
කෙසේ වෙතත් වජිර මේ අවස්ථාවට සහභාගි වන බව දැනගත් මාධ්‍යවේදීන්ද මේ දානමය පින්කම ආවරණය කිරීම සඳහා එක්ව සිටි අතර, දානමය කටයුතු අවසන් වූ පසු ඔවුහු වජිර මුණගැසී, රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන ලෙස ප්‍රකාශ කර සිටියහ. ඒ වන විට පින්කමෙහි වැඩ කටයුතු සියල්ලම වාගේ අවසන් වී තිබු නිසා වජිර එයට එකඟ වී තිබෙන ප්‍රශ්න විමසන ලෙස මාධ්‍යවේදීන්ට ඇරියුම් කළේය.
ඒ අනුව මාධ්‍යවේදීන් විමසා සිටියේ:
‘අද වන විට අන්තර්ජාල ඉපයීම් සඳහා බදු පනවන්න රජය තීරණය කරලා තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?’
මෙයට පිළිතුරු ලෙස වජිර ප්‍රකාශ කළේ:
‘ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් දහස් ගණනක් ලෝකයත් සමග එකට වැඩ කරලා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් උත්පාදනය කර දෙනවා. ඒ අයට විශ්‍රාම වැටුප් හෝ වෙනත් අවශ්‍ය කරන දේවල් රාජය තුළින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි කණ්ඩායමක් කර ක්‍රියාවලිය සඳහා බදු පැනවීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු ආදායම අහිමිවීම පමණක් නෙමෙයි. ඒ මුදල් වෙනත් ආකාරයකට හැසිරවීම සඳහා තරුණ තරුණියන් යොමු වීමයි. මෙය නෙමෙයි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් බලාපොරොත්තුවුනේ. නමුත් මම නම් දකින්නේ මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් කියලයි. ඒ නිසා මම නම් හිතන්නේ මේ දේවල් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි කියලා.’
ඉන් අනතුරුව නැවතත් මාධ්‍යවේදීහු හාල්, පොල්, තෙල් ඇතුළු තවත් ප්‍රශ්න වැළක්ම වජිරට යොමු කර සිටියහ.
නාමල් සුදත්තගේ ගෙදරට
පොහොට්ටුවේ ගමින් ගමට වැඩසටහනට ඉකුත්දා නාමල් මතුගමට ගියේය. උදේ තේ බොන තැනට නාමල්ව රැගෙන ගියේ යතුරුපැදි පෙරහරකිනි. රැස්වීම් ටික අවසන් වී වැලිපැන්නෙන් හයිවේ එකට ආවේ හොරණ ඔලබොඩුව පන්සලට යෑමටය. නාමල්ගේ ජිප් එකේ නාමලුයි සංජීව එදිරිමාන්නයි ලලිත් වර්ණකුමාරයි හිටියහ. ගමන අතරමැද නාමල්ට එස්එම්එස් එකක් ආවේය.
‘සංජීව අයියා, සුදත්ත තිලකසිරිගේ තාත්තා නැති වෙලාලු. මළගේ තියෙන්නේ හොරණ ටවුන් එක කිට්ටුවේලු. යමු අපි ගිහින් එන්න. අපේ මිනිස්සු අවුල් වෙයිද අපි ගියා කියලා?’ සංජීව එදිරිමාන්න නාමල්ගෙන් ඇසුවේය. ‘අපි පොඩ්ඩකට ගොඩ වෙලා එමු.’ එහෙම කීවේ නාමල්ය. ‘අයියේ, තාත්තගෙ මළ ගෙවල් පැත්තට අපි එන්න හදන්නේ නාමල් මහත්තයා එක්ක. මට ලොකේෂන් එක කියන්න.’ සංජීව එදිරිමාන්න සුදාගෙන් මළගේ ගැන දුරකතනයෙන් විමසුවේය.
‘හරි හරි, වරෙන් මල්ලි ලොක්කත් එක්ක,’ සූදා කීවේය. ‘දැන් එයා අපි එනකම් බලන් ඉඳී. යමු එහෙනම්,’ සංජීව කීවේය. නාමල් මළගෙදර ගේට්ටුවෙන් ඇතුළු වෙද්දීම සුදත්ත ගේට්ටුව ළඟටම ඇවිත් ‘කොහොමද නාමල් මල්ලි?’ කියල වැලඳගත්තේය.