ශ්‍රී ලංකාවේ කීර්තිමත් අගමැතිවරයකු වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1959 අවුරුද්දේ සැප්තැම්බර් 25 දා ස්වකීය නිවෙසේදී සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ගොදුරු විය. අගමැති ඝාතනය පිළිබඳ මහාධිකරණ නඩු විභාගයක් පවත්වා විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලදි. එහිදී, පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද සිව්වැනි විත්තිකරු වූ තල්දූවේ සෝමාරාම හිමිට මරණීය දණ්ඩනය නියම වූ අතර, දෙවැනි විත්තිකරු වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමිට සහ එච්.පී. ජයවර්ධනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.
ඒ අනුව, තල්දූවේ සෝමාරාම හිමියන් 1962 ජූලි 6 දින එල්ලා මරණු ලැබූ අතර, බුද්ධරක්ඛිත හිමියෝ බොහෝ කලක් සිර දඬුවම් විඳ සිර ගෙදරදීම මරණයට පත් වූහ. කතාව එතනින් අවසන් වේ නම්, මේ ගැන තවත් ලියන්න තිබෙන්නේ කුමක්දැයි කෙනකුට ප්‍රශ්නයක් මතු විය හැකිය. එහෙත් අගමැති බණ්ඩාරනායක ඝාතනය කළේ යට කී විත්තිකරුවන් නොවන බවට යථෝක්ත ඝාතනය සිදු වූ වකවානුවේ සිටම සමාජයේ වෙනත් මතයක් තිබේ.
එය සරල සැහැල්ලු සිදුවීමක් නොවේ. වෙඩි තබා ඝාතනය කරන ලද්දේ පෙරදිග රාජ්‍යයක රාජ්‍ය නායකයෙකි. ඔහු ඝාතනය වන්නේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතන්නට නියමිතව තිබූ දිනට දින දෙකකට පෙරය. බැලූ බැල්මට පැහැදිලි වන කරුණක් වූයේ විත්තිකරුවන් අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමට පෙලඹීමේ නිශ්චිත හේතුවක් දැක්වීමට නඩු විභාගයේදී පැමිණිල්ල අසමත් වීමය.

තල්දූවේ සෝමාරාම හිමියන්
තල්දූවේ සෝමාරාම හිමියන් අගමැතිට වෙඩි තැබූ බව සනාථ කරන්නට කරුණු ගෙනහැර පෑවාට, ඒ හිමියන්ට අගමැති ඝාතනය කරන්න තරම් හේතුවක් හෝ කාරණයක් තිබූ බවක් සමස්ත නඩු විභාගය තුළම හෙළි වූයේද නැත. අගමැතිවරයා ඝාතනය හා සම්බන්ධ කාරණා පිළිබඳ වසර ගණනාවක් විමර්ශන සිදු කළ පසු හෙළි කරගත් කරුණුවල සාරාංශය මෙහි සටහන් කර ඇත.
‘අන්තර්ජාතික ත්‍රස්තවාදය සහ සීඅයිඒ ’යනුවෙන් 1982දී සෝවියට් රුසියාව විමර්ශන වාර්තාවක් නිකුත් කර ඇති අතර, 1988දී ඒ වාර්තාව මොස්කව්හි ප්‍රගති ප්‍රකාශක මන්දිරය විසින් ග්‍රන්ථයක් ලෙස එළිදක්වා ඇත. ඒ ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ:
‘රාජ්‍ය ත්‍රස්තවාදය එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ විදේශ ප්‍රතිපත්තිය බවට පත් වී බොහෝ කල්ය. ත්‍රස්තවාදය ජාතික විමුක්ති ව්‍යාපාරවලට එරෙහි අරගලයේ ප්‍රධාන ආයුධය බවට පත්ව තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල සීඅයිඒ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ දැනට තිබෙන සාක්ෂි ගැන අවධානය යොමු කරමු. 1955-1965 වසර දහයේ කුමන්ත්‍රණ මඟින් ඝාතනය කළ තුන්වැනි ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ ලැයිස්තුව මෙසේය:
1955 පැනමා ජනාධිපති කාලෝස් කැස්ටිරෝස්, 1956 නිකරගුවා ජනාධිපති ඇනස්ටාසියෝ ගාර්ශියෝ, 1957 ගෝතමාලා ජනාධිපති කාලෝස් කැස්ටිරෝස්, 1959 ලංකාවේ අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, 1960 ඇල්ජීරියාවේ ජනාධිපති එස්තර්ජෝන්, 1961 කොංගෝ අගමැති පැට්‍රිස් ලුමුම්බා, 1962 මොසැම්බික් විමුක්ති පෙරමුණේ නායක මැන්ඩලේන්, 1963 ඇල්ජීරියාවේ අගමැති මොහොමඩ් කෙමිස්ට්, 1964 භූතාන අගමැති ජග්මේ පල්දෙන්, 1965 බුරුන්ඩි අගමැති පියරේ නගෙණ්ඩු.’
අගමැති බණ්ඩාරනායකට වෙඩි තබන ලද්දේ ප්‍රභූ පෙළැන්තියේ දක්ෂිණාංශික පිරිසක් හා සම්බන්ධ ඔසී කොරයා නමැති දාමරිකයා යැයි බොහෝ දෙනා විශ්වාස කරති. අගමැතිට වෙඩි තැබූ පිස්තෝලයේ අයිතිකරු ලෙස පොලීසිය හඳුනාගත් ඔසී කොරයා නඩුවේ විත්තිකරුවකු නොවී පැමිණිලිකරුවකු වූයේ කෙසේද යන්න ප්‍රශ්න සහගතය. නඩු භාණ්ඩයක් ලෙස පවතින රිවෝල්වරය තමාගේ බව ඔසී කොරයා සාක්කි කූඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.
අගමැති නිවෙසේ සිදු වූ මේ බිහිසුණු සිදුවීම කුරුඳුවත්ත පොලීසියට දැනුම් දී තිබෙන්නේ කොටහේනේ සිටි කැබ් ආයතනයේ වර්ලියානු මිත්‍රසේන නමැති 45 හැවිරිදි රියැදුරු විසිනි. 1959 සැප්තැම්බර් 25 දා උදෑසන 9.55ට පමණ කොළඹ 7, රොස්මිඩ් පෙදෙස ඔස්සේ ඔහු සී.වී. 6170 දරන වෑන් රථය පදවාගෙන ගොස් තිබේ. අගමැති නිවෙස පසු කර යන අවස්ථාවේ ඔහුට නිවෙස තුළින් විශාල කලබලයක් ඇසී ඇත. ඒ සමඟම වෙඩි හඬවල් කිහිපයක්ද ඇසුණු අතර, සුදු පැහැති ජාතික ඇඳුමක් හැඳි තැනැත්තකු නිවෙස තුළ සිට එළියට දිව එන අන්දමද ඔහු දැක තිබේ. කුරුඳුවත්ත පොලීසියට රිය පැදවූ මිත්‍රසේන තමා දුටු සිදුවීම පොලීසියට දැනුම් දී ඇත. කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අදාළ දින සටහන් පොතට අනුව පොලීසිය එහි යන විටත් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා විසින් අගමැති නිවෙසට පැමිණ සිටි, සිද්ධිය ඇසින් දුටු පිරිස පලවා හැර තිබිණි.
එකල මෙකල මෙන් අගමැතිවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සිට නැති අතර, එක් පොලිස් නිලධාරියෙක් පමණක් නිවෙසේ ගේට්ටුවේ සේවය කර ඇත. ඔහුට පැවරී තිබූ රාජකාරිය වන්නේ අගමැති නිවෙසට පිස්සන් සහ බීමත් රස්තියාදුකාරයන් ඇතුළු වීම වැළැක්වීමය. එදින උදෑසන ඒ රාජකාරිය සඳහා වාර්තා කර තිබුණේ එස්.ආර්. සමරකෝන් නමැති පොලිස් කොස්තාපල්වරයාය.
වෙඩි තැබීම සිදු වූ දින උදෑසන එහි පැමිණ සිටි පිරිස අතර භික්ෂූහු දෙනමක් ද වූහ. එයින් එක් භික්ෂුවක් තල්දූවේ සෝමාරාම හිමියෝ වූහ. උදෑසනම ටින්ටජල් නිවෙසට පැමිණි අමෙරිකා එක්සත් ජනපද තානාපති බර්නාඩ් ගල්පර් සමඟ කතාබහක නියැළී සිටි අගමැතිවරයා ඔහුට සමු දී භික්ෂූන් වෙත පැමිණ නමස්කාර කරන අවස්ථාවේ වෙඩි තැබීම සිදු වී ඇත. වෙඩි පහරට ලක් වූ අගමැති නිවෙස තුළට දිව ගොස් තිබේ.
මේ කියන තල්දූවේ සෝමාරාම හිමියෝ රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ ඇස් වෙදකම පිළිබඳ කථිකාචාර්යවරයෙකි. උන් වහන්සේ බණ්ඩාරනායක අගමැති හොඳින් දන්නා, දේශපාලනික වශයෙන් අගමැතිට හිතවත් හිමිනමකි. සිය කථිකාචාර්ය ධුරයෙහි කාලය අවසන්ව තිබුණු නිසා පසු දින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය සඳහා ලිපියක් ඉල්ලා ගැනීමට උන් වහන්සේ අගමැතිවරයා හමුවීමට පැමිණ ඇත.
වෙඩි වැදීමත් සමඟ නිවෙස තුළට දිව ගිය අගමැතිවරයා පසුපස ගමන් කළ සෝමාරාම හිමිට නිවෙස තුළ සිටි අය පහර දී තිබෙන්නේ වෙඩික්කරුවා උන්වහන්සේ යැයි වරදවා වටහාගැනීමෙනි. අගමැතිට වෙඩි තැබීමේ ආරංචිය අසා දිවගෙන පැමිණි ගේට්ටුවේ පොලිස් නිලධාරියාද බිම වැටී සිටි සෝමාරාම හිමියන්ට වෙඩි තබා තිබේ.
අගමැති බණ්ඩාරනායක වහා රෝහල්ගත කරනු ලැබූ අතර, වෙඩි වැදුණු සෝමාරාම හිමියන්ද රෝහල්ගත කර තිබේ. ‘අගමැතිතුමාට භික්ෂූන් වහන්සේ නමක් වෙඩි තිබ්බා. ඒ භික්ෂුවට පොලීසිය වෙඩි තිබ්බා,’ යනුවෙන් රට පුරා සිදුවීම ප්‍රචාරය වී ගියේය.
රොස්මිඩ් පෙදෙසේ, අංක 65 දරන අගමැති බණ්ඩාරනායකගේ ‘ටින්ටජල්’ මන්දිරය පිහිටා තිබෙන්නේ රොස්මීඩ් පාර විජේරාම මාවතට වැටෙන හතරමං හන්දියේය. රොස්මිඩ් වලව්ව රොස්මිඩ් පාරට හා විජේරාම පාරට මායිම් වේ. විජේරාම පාර එකල හැඳින්වූයේ ‘මැකාර්ති පාර’ යනුවෙනි. විජේරාම පාරට ඔබ්බෙන් වූ නිවෙසෙහි සේවිකාවක වූ රොසලින් නමැත්තිය බණ්ඩාරනායක වලව්ව දෙසින් ඇසුණු වෙඩි ශබ්ද අසා නිවෙසේ ගේට්ටුව අසලට පැමිණ, සිදු වන්නේ කුමක්දැයි විමතියෙන් බලා සිට ඇත. පොලීසියට ප්‍රකාශයක් කරමින් ඇය පවසා තිබුණේ කොට කලිසමක් සහ
ටී ෂර්ට් එකක් ඇඳ සිටි හිස බූ ගෑ මිනිසකු බණ්ඩාරනායක වලව්ව දෙස සිට වත්ත හරහා පැමිණ තාප්පයෙන් විජේරාම පාරට පනිනු තමා දුටු බවයි. එහි නවත්වා තිබූ සුදු පැහැති මෝටර් රථයකට නැඟගත් ඔහු ‘හරි මචං යමං’ කියනු තමාට ඇසුණු බවත්, ඒ සමඟම මෝටර් රථය පිටත්ව ගිය බවත් ඇයගේ ප්‍රකාශයේ සටහන්ව තිබිණි.
සෝමාරාම හිමියන් වෙනුවෙන් පෙනී සිටි රාජ නීතිඥ ලූෂන් ජී. වීරමන්ත්‍රී සිය දේශනයේදී සඳහන් කළේ තාප්පයෙන් පැනගිය මිනිසා කවුද?, ඔහුගේ තට්ටය තිබුණාද?, ඒ මිනිසා උසද?, මිටිද? ආදී වශයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ චිට්ටි මහතා ප්‍රශ්න නොකළ බවයි. ඒ මිනිසාගේ හැඩහුරුකම ගැන වචනයක්වත් සාක්ෂිකාරියගෙන් නොඅසන්නට චිට්ටි මහතා පරිස්සම් වූ බවයි. පොලීසිය මහාධිකරණ නඩු විභාගය සඳහා රොසලින් සාක්ෂිකාරියක ලෙස ඉදිරිපත් කළේද නැත. තාප්පයෙන් පැන ගිය මිනිසා ඔසී කොරයා බවට නීතිඥවරු තර්ක කළහ.
රෝහල්ගත කළ බණ්ඩාරනායක මහතාගේ ශල්‍යකර්මය සිදු කරන ලද්දේ එවකට ප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරයකු වූ දොස්තර ඇන්තනීස් විසිනි.

කන්තෝරු කාමරය තුළ සිවුර සහ අඳනකඩය ගලවා දමා තිබූ අයුරු
“සර්, මොකද වුණේ…?” යනුවෙන් දොස්තර ඇන්තනීස් ශල්‍යකර්මය ආරම්භ කිරීමට මත්තෙන් තුන් වරක්ම අගමැතිගෙන් විමසා ඇත.
“අර කළු බඩුව සිවුර අස්සෙන් එළියට ගන්නා තෙක් මොකද වෙන්න යන්නේ කියා මට තේරුණේ නැහැ නොවැ…” යනුවෙන් බණ්ඩාරනායක මහතා පිළිතුරු දී ඇත.
“මොන සිවුරක් ද?” ශල්‍ය වෛද්‍ය ඇන්තනීස් අසා ඇත.
“භික්‍ෂුවකගේ සිවුර…” යැයි බණ්ඩාරනායක මහතා ඊට පිළිතුරු දී තිබේ. අගමැතිවරයා පවසා තිබෙන්නේ සිවුරක් හැඳි පුද්ගලයකු තමාට වෙඩි තැබූ බවයි. ඉන් ගම්‍ය වන්නේ මරණකරු වෙඩික්කරු නොහඳුනන බවයි. සෝමාරාම හිමි බණ්ඩාරනායක මහතා ඉතා හොඳින් හඳුනන්නෙකි. එහෙත්,
‘තල්දූවේ සෝමාරාම හාමුදුරුවෝ මට වෙඩි තිබ්බා,’ යැයි අගමැතිවරයා කියා නැත. වඩාත් නිශ්චිත කට උත්තරයක් ගැනීමට පොලීසිය ක්‍රියා කළේද නැත.
අගමැතිවරයා මියෙන්නට පෙර ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ ප්‍රකාශයේ මෙසේද සඳහන් විය:
“භික්‍ෂු චීවරයෙන් සැරසුණු අඥාන මිනිසෙක් අද උදේ මට වෙඩි තැබුවේය. මේ මනුෂ්‍යයාට අනුකම්පාව දක්වන ලෙසත්, ඔහුගෙන් පළි ගැනීමට කිසිවක් නොකරන ලෙසත් මම සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි.”
ඒ ප්‍රකාශයෙහිද ‘සෝමාරාම හාමුදුරුවෝ මට වෙඩි තිබ්බා’ කියා සඳහන් වී නැත. එසේ වුවද ජූරි සභාව තීරණය කර තිබෙන්නේ ‘සිවුරු පෙරවාගත් අඥාන මිනිසා’ තල්දූවේ සෝමාරාම හිමි බවයි. ඒ අනුව උන් වහන්සේ එල්ලුම් ගස් ගියහ.
විත්තියේ නීතිඥ රාජමන්ත්‍රී ස්වකීය දේශනයේදී ප්‍රකාශ කර තිබුණේ අගමැති බණ්ඩාරනායක ඝාතනයේ විමර්ශන අමුතුම මුහුණුවරක් ගෙන තිබූ බවයි. පොලීසිය අගමැතිගෙන් කටඋත්තරයක් ගෙන නැත. මෘත ශරීරය කපා පරීක්ෂණයක් පවත්වා නැත. වෙඩි තැබීම දුටු හොඳම සාක්ෂිකරු වන ගුණරත්න සාක්ෂි දීමට කැඳවූවේ නැත. වෙඩි තැබීම සිදු කළ බව කියන පිස්තෝලයේ ඇඟිලි සටහන් පරීක්ෂා කර නැත. වෙඩි තැබීම සියැසින් දුටු කිසිවකු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් නොකරන්නට පොලීසිය වග බලාගෙන තිබිණි. අගමැති ඝාතනයේ නියම කුමන්ත්‍රණකාරයන් පිරිස නඩුවෙන් හැකි තාක් ඈත් කොට තැබීමට පරීක්ෂණ අංශ විශේෂ උනන්දුවක් ගත් බවට සැකයක් නැත.
වෙඩි තැබීම සිදු වී ස්වල්ප වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා ඒ ස්ථානයට පැමිණේ. ඔහු පැමිණෙන්නේම ‘කවුරුත් අහකට පලයල්ලා!’ යැයි ගෝරනාඩුවක් කරමිනි. නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ අවස්ථාවේ පැමිණෙන්න විශේෂ හේතුවක් නැත. ඔහු ප්‍රදේශයේ පොලිස් බලධරයෙක්ද නොවේ. ඔහු සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ එදින ඒ වෙලාවට පැමිණෙන ලෙස අගමැතිවරයා දැනුම් දුන් නිසා තමා පැමිණි බවයි. තමා සිඩ්නි සොයිසාට පැමිණෙන්න නොකී බව කියන්න අගමැතිවරයා ජීවතුන් අතර නැත. සිදුවීමෙන් පසු රොස්මිඩ් වලව්වේ ආලින්දයේ සිවුරු දෙකක් සහ අඳනකඩක් තිබූ බව රහස් පරීක්ෂකවරුන් පවසා ඇත. වෙඩි වැදුණු සෝමාරාම හිමියන් අඳනකඩ පිටින් රෝහලට ගෙන ගියා නම්, වැටී තිබූ අනෙක් සිවුරු දෙක හා අඳනකඩ කාගේද?
තාප්පෙන් පැනගිය මිනිසා ගැන හෝ ආලින්දයේ තිබූ සිවුරු දෙක ගැන අවධානය යොමු නොකළ අධිකරණය නඩුවට කිසිදු අදාළත්වයක් නැති පී. මලල්ගොඩගේ ශෘංගාරාත්මක සාක්ෂියට දින 17ක් වෙන් කළේය. මේ නඩුවේ බොරු ‘ටොන් ගණනක් තිබෙන නමුත් ඇත්ත අවුන්සයක්වත් නැතැයි’ විත්තිය වෙනුවෙන් පෙනී සිටි රාජ නීතිඥ පීනියස් ක්වාස් කියා ඇත.
මේ නඩුවට අදාළ තවත් අමුතු කතාවක් ලියුම්කරුට අසන්නට ලැබිණි. කොළඹ 7, සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ පහළ පන්තියක ඉගෙනුම ලැබූ දැරියක විසින් ඒ කතාව පවසා ඇත. 1959 සැප්තැම්බර් 25 දා උදෑසන 8.00ට බ්‍රිජට් කන්‍යාරාමයේ පන්ති කාමරයට ගිය ඇයට ඇය අසල අසුන් ගන්නා මිතුරිය මෙසේ පවසා තිබේ:
“මම ඔයාට බඩුවක් කියන්නද? ඔයා දන්නවද වැඩක්? අද බණ්ඩාරනායක අගමැතිට වෙඩි තියනවා…”
කතාවේ බරපතළකම කුඩා දැරියට ඒ අවස්ථාවේ වැටහී නැත. හරියටම පැයකට පසු අගමැතිට වෙඩි තබන ලද පුවත විද්‍යාලයට ලැබී ඇත. මේ ගැන කිසිවක් කතා නොකරන ලෙස මවුපියන් ඇයට උපදෙස් දී තිබේ. නම් ගම් හෙළි කරනවාට අකැමැති ඇය මේ වන විට 65 හැවිරිදි තැනැත්තියකි.
බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමට ඉවහල් වූ සමාජ දේශපාලන පසුබිම මෙහිදී සලකා බැලිය යුතුය. අගමැති තනතුරට පැමිණීමේ බලවත් වුවමනාව නිසාම බන්ඩාරනායක මහතා දක්ෂිණාංශික හා වාමාංශික බලවේග දෙපාර්ශ්වයෙන්ම පිහිට පැතුවේය. බුද්ධරක්ඛිත හිමි, එච්.පී. ජයවර්ධන ඇතුළු සඟ පෙරමුණට අයත් බෞද්ධ යැයි කියූ බලවේගය එකකි. අවශ්‍ය නම් ඇමැති විජයානන්ද දහනායක දක්වා, සෞඛ්‍ය ඇමැතිනි විමලා විජේවර්ධන දක්වා එය පුළුල් කරගත හැකිය. දේශපාලනය වනාහි බෝම්බ ගසන, වෙඩි තබන, මිනිසුන් මරා දමන සංකීර්ණ ක්‍රියාවලියක් බව ප්‍රභූ පෙළැන්තියේ අහිංසක වැදගතකු වූ බණ්ඩාරනායක දැන සිටියේ නැත.
දෙවැනි බලවේගය වූයේ තවදුරටත් අධිරාජ්‍යවාදීන් සමඟ ඍජු සම්බන්ධතා පවත්වාගෙන ගිය අධිරාජ්‍ය ගැති ධනේශ්වරය නියෝජනය කළ සමාජ කණ්ඩායමයි. බණ්ඩාරනායකගේ අධිරාජ්‍ය විරෝධී පියවර නිසා සිත් තැවුලට පත්ව සිටි මේ බලවේගය හසුරවන ලද්දේ අන්තර්ජාතික තලයේ සිටි ඔවුන්ගේ හාම්පුතුන් විසිනි. ඒ පිරිස බණ්ඩාරනායක අගමැතිගේ ආණ්ඩුවේ මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා, ඔහුගේ සොහොයුරු ව්‍යාපාරිකයකු වූ ඩිකී සොයිසා, හිටපු පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, පොලිස් පරීක්ෂක නිව්ටන් පෙරේරා සහ ඔසී කොරයා මේ දෙවැනි බලවේගයේ හෙළිදරවු වූ පිරිසය. ඔවුන් ක්‍රියාකාරි වූයේ ආසියානු කලාපයේ දාම්පෙත තුළ ඉත්තන් ඇදීම, කපාදැමීම ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ පොදු අපේක්‍ෂාවට සාපේක්ෂකවය. බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණ නඩුවේදී, මේ දෙවැනි කණ්ඩායම හෙළිදරවු වූයේ නැත. බණ්ඩාරනායක මරාදැමීමේ මූලික අවශ්‍යතාව තිබුණේ මේ දෙවැනි කණ්ඩායමටය.
ඒ සඳහා ඔවුන් පිඹුරුපත් සකස් කරන්නේ 1956 ජයග්‍රහණය කළ තැන් සිටය. බණ්ඩාරනායක ඝාතනයට මාසයකට පෙර විදේශ රටකදී බණ්ඩාරනායක අගමැති පිළිබඳ සිදු කළ මිනිත්තු 20ක සාකච්ඡාවක් පිළිබඳ නිව්ස් වීක් සඟරාවේ පළ වූවද එය සොයාගත නොහැකි විය.
දෙවැනි කණ්ඩායමට පළමු කණ්ඩායම අගමැති හා උරණ වී සිටින බව දැනගැනීමට ලැබේ. එතැන් සිට ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස කටයුතු කළේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකුම හෙළා ගැනීමේ න්‍යායෙනි. ඒ මෙහෙයුම ඉතා සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි වන්නේ රජයේ ප්‍රධාන මර්මස්ථාන තුළ ඔවුන්ගේ බලාධිකාරිය තහවුරුව පැවති නිසාය.
අගමැති ඝාතනය තුළ යට කී පිරිස සිටින බව යන්තමින් හෝ හඳුනාගත්තේ රාජ නීතිඥ ලූෂන් වීරමන්ත්‍රී සහ එංගලන්තයේ රාජ නීතිඥ පීනියස් ක්වාස් මහතා විසිනි. එහෙත් නඩු විභාගය තුළට අපරාධ පරීක්ෂකයන් ලෙස ඇතුළු වී සැඟවී සිට අගමැති ඝාතනය කරන අතරම මේ ඝාතනයට සම්බන්ධ සුජාත පරීක්ෂකයන් ලෙස නඩුව ගොනු කොට පළමුවැනි කණ්ඩායම විත්තිකූඩුවට නංවා පෝරකය දක්වාම ගෙන ගොස් අත පිසදාගන්නට දෙවැනි කණ්ඩායම සමත් වේ. අභාග්‍යයකට මෙන් බණ්ඩාරනායක පවුලේ ඇත්තන් මේ දෙවැනි කණ්ඩායම හඳුනා ගත්තේ නැත. මේ පිරිස අපට නැවත හමු වන්නේ 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදීය.
මේ ගවේෂණයේ අතිශය වැදගත් අවස්ථාව වූයේ 1959 සැප්තැම්බර් 25 දා අත්අඩංගුවට ගන්නා ලද තල්දූවේ සෝමාරාම හිමියන් 1962දී එල්ලා මරණ අවස්ථාව දක්වා මරණ මංචකයේ හිඳිමින් තල්දූවේ පන්සලට එවන ලද ලිපි සියල්ල සොයාගත හැකි වීමය. වර්තමානයේ ඒ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන එල්ලාවල නන්ද හිමියන්ට එහි ගෞරවය හිමි වේ. අවුරුදු 65ක් ආරක්ෂා වූ මේ ලිපි මරණය අබියස පසුවන්නකුගේ ආධ්‍යාත්මය විවරණය කරන්නකි.
“සෙත්වේවා!
පෙර කර්මයක් විපාක දෙන්නයි යන්නේ. එය ප්‍රීතියෙන් පිළිගනිමි. මේ අපරාධය මා කළ දෙයක් නොවේ. ඒ නිසා මගේ සිත පිරිසිදුයි. ස්ථානයේ දියුණුවට වැඩ කරන්න කල්පනා කළ යුතුයි. සමගි සම්පන්නව සිටිය යුතුයි.”