Home » 61 වැනි ආසියා පැසිෆික් සිනමා සම්මාන උලෙළේ හොඳම කැමරාකරණයට සම්මානය විශ්ව බාලසූරියට

61 වැනි ආසියා පැසිෆික් සිනමා සම්මාන උලෙළේ හොඳම කැමරාකරණයට සම්මානය විශ්ව බාලසූරියට

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment
නාමලී ගමගේ

– ඉලක්කය අපේ සිනමාව හැට හැත්තෑව දශකයේ තිබුණු සුන්දර තැනටම ගේන එක
– සම්මානය ලැබුණේ මට වුණාට මෙය ආසු කණ්ඩායමටම ලැබුණ ජයක්

පසුගියදා චීනයේ පැවැති 61 වැනි ආසියා පැසිෆික් සිනමා සම්මාන උලෙළේ හොඳම කැමරාකරණයට හිමි සම්මානය දිනා ගැනීමට විශ්ව බාලසූරිය සමත් විය. ඒ ලංකා සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය සංජය පුෂ්පකුමාරගේ ආසු සිනමාපටයේ කැමරාකරණය වෙනුවෙනි. බලවත් රටවල් හා තරග කරමින් සම්මානය මෙරටට රැගෙන ඒමට හැකිවීම විශ්වගේ හැකියාව අගය කෙරුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. මෙය ඔහුගේ සිවුවැනි ජාත්‍යන්තර සම්මානය වන අතර 2014 වසරේදී නිව්යෝර්ක්හි පැවැති ලේක් චැම්ප්ලේන් සිනමා සම්මාන උලෙළේදී සෙවණැලි සිනමාපටය සඳහා පළමු වතාවට සම්මාන හිමිකර ගනු ලැබුවේ ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් ළාබාලතම ශ්‍රී ලාංකේය සිනමා කැමරා අධ්‍යක්ෂවරයා ලෙස වාර්තාවක් ද තබමිනි. මෙතෙක් ඔහු ලැබූ සම්මාන අතරින් වටිනාකමින් ඉහළම සම්මානය මෙය වීමද විශේෂත්වයකි. ඒ ගැන විමසීමේ අදහසින් අපි විශ්ව හා කතාබහට එක්වීමු.

නැවත වතාවක් ඔබට ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ තබන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?

මෙවර 61 වැනි ආසියා පැසිෆික් සිනමා සම්මාන උලෙළේ සංජය පුෂ්පකුමාරගේ ආසු සිනමාපටයේ කැමරාකරණය වෙනුවෙන් මට සම්මාන හිමිවුණා. මේ මට ලැබුණු හතර වැනි ජාත්‍යන්තර සම්මානය. ඒ වගේම වටිනාකමින් ඉහළම සම්මානයත් මේක. මීට පෙර 2014 වසරේ නිව්යෝර්ක්වල පැවැති ලේක් චැම්ප්ලේන් සිනමා සම්මාන උලෙළේ සෙවණැලි සිනමාපටයට තමයි මං පළමුවතාවට ජාත්‍යන්තර සම්මානයක් හිමිකර ගන්නේ. ඒ ජාත්‍යන්තර සම්මානයක් දිනූ ළාබාලතම සිනමා කැමරා අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා වාර්තා අතරට එක්වෙමින්. ඊට පස්සේ ඩර්ක් ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ හොඳම කැමරාකරණයට සම්මානය හිමිවුණේ සුනාමි චිත්‍රපටයට. බේලීෆ් ජාත්‍යන්තර සම්මාන උලෙළේ දී සිංහබාහු චිත්‍රපටයට සම්මානය හිමිවීම තෙවැනි අවස්ථාව. සිවුවැනි ජාත්‍යන්තර සම්මානය මේක. ඊට අමතරව සරිගම චිත්‍රපටයට සරසවිය සම්මානය හිමි වුණා.

මෙවර ඔබව ඉහළම වටිනාකමකින් සම්මානිත කළේ ආසු චිත්‍රපටය. ඒ ගැන කතා කළොත්?

ආසු කියන්නේ සංජය පුෂ්පකුමාරගේ නිර්මාණයක්. එය නිර්මාණය වුණේ සත්‍ය සිදුවීමක් ඇසුරින්. සංජය පුෂ්පකුමාර කියන්නෙත් සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අධ්‍යක්ෂවරයෙක්. ඔහුත් එක්ක වැඩ කරන්න ලැබීමම සතුටක්. ඔහුගේ සිනමාවේ කියවීම රූපයකට ගෙන ඒම තමයි මට පැවරුණේ. ඒක සාර්ථක වුණා කියලා හිතෙන්නේ මේ වගේ ඇගැයීම්වලින්. මේක මගේ නමට ලැබුණු සම්මානයක් වුණාට මේක ආසු කණ්ඩායමට අයිති දෙයක්. මේ රූප රාමු හරි විදිහට තිරය ඉදිරියට ගේන්න සියලු දෙනාම එකවිදිහටම කැප වුණා. කැමරාව ඉදිරියේ විතරක් නෙවෙයි කැමරාව පිටුපස ඉන්න පිරිසත් මේකෙ කොටස්කරුවෝ.

විශ්වගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?

ඇත්තම කිව්වොත් මට කලා පවුල් පසුබිමක් තිබුණා. 2013 වසරේ මං කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට සිනමාවට සම්බන්ධ වුණාට මුලින්ම මං සරෝජා චිත්‍රපටයේ ඇසිස්ටන් ටී බෝයි විදිහට තමයි ක්ෂේත්‍රය හඳුන ගන්නේ. ඒ තමයි පටන්ගැන්ම. ඊට පස්සේ සමනල තටු චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ තෙවැනි සහාය අධ්‍යක්ෂවරයා විදිහට. ඒත් එක්කම මට අවස්ථාවක් ලැබුණා ඔස්ට්‍රේලියාවට ගිහින් ඒ ගැන ඉගෙන ගන්න. ලංකාවට ඇවිත් මං ආයෙම හොලිවුඩ් යන්නේ රෙඩ් කැමරාව ගැන හදාරන්න. ඒක තමයි දැනට ලංකාවේ සිනමාවේ වැඩිපුරම භාවිත කරන ඩිජිටල් කැමරාව. පළමු වතාවට ලංකාවට රෙඩ් කැමරාවක් ගෙන ඒමේ වාසනාවත් හිමිවෙන්නේ මට.

විශ්ව කැමරාවත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්ත විදිහත් කියමු?

ලංකාවට රෙඩ් කැමරාව ගෙන ඒමත් එක්ක තමයි මගේ ගමන පැහැදිලි වුණේ කිවුවත් හරි. මුලින්ම එය පාවිච්චි කරන්න ලැබෙන්නේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛශ්නාවී චිත්‍රපටයට. ඊට පස්සේ චිත්‍රපට කිහිපයකටම මට ඩිජිටල් කන්සල්ටර් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ වෙද්දි ලංකාවේ තිබුණේ 33mm සිනමාවක්. ඩිජිටල් වෙනව කියන්නේ ඒ ප්‍රමාණය වෙනස් වෙනවා. මං ඒ ගැන අධ්‍යයනය කරල තිබුණ නිසා එය නිසියාකාරව භාවිත වන විදිහ ගැන දැනුවත් කිරීමේ වගකීම පැවරුණා. වෛශ්නාවී, සිද්ධාර්ථ, සිරි පැරකුම් වගේ චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා. 2013 සෙවණැලි චිත්‍රපටයත් එක්ක තමයි මං සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට එළියට එන්නේ. එහි නිෂ්පාදක විදිහටත් කටයුතු කළා. ඒ වගේම ප්‍රසන්න ජයකොඩිගේ සංසාරයේ දඩයක්කාරයා කියන්නේ මගේ ජීවිතේ තවත් එක් කඩඉමක්. ලංකාවේ පවතින ආලෝකයෙන් චිත්‍රපටයක් ෂූට් කළ එකම අවස්ථාව විදිහට ඒක ඉතිහාසයට එකතු වෙනවා. ඒක මට ලොකු අභියෝගයක් වුණා.

ඔබ ලංකා සිනමාවේ බොහෝ කඩඉම් සලකුණු තියන්න දායක වුණු කෙනෙක්. ඉදිරියේදී මොන වගේ නිර්මාණවලින්ද දකින්න ලැබෙන්නේ?

මං මේ වෙද්දිත් චිත්‍රපට අධ්‍යක්ෂණය පැත්තට අතගහලා ඉන්නේ. චන්න විජේවර්ධනගේ සඳකඩ බැලේ එක චිත්‍රපටයක් ලෙසින් සිනමාවට ගේන්න කටයුතු කළා. ඒක මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. පසුගියදා එහි විශේෂ ප්‍රදර්ශනයක් තිබුණා. එහිදී ලැබුණු ප්‍රතිචාරවලින් පැහැදිලි වුණා මං දකින රූප යම්තාක් දුරට සාධාරණයි කියලා. කිසිම දෙබසක් නැතුව භාවයන්ගෙන් විතරක් චිත්‍රපටයක් කරනවා කියන එක ලොකු අභියෝගයක්. සමහරු කිව්වා කිසිම වචනයක් කතා නොකළත් ඔවුන් සංවේදී කළා කියලා. පසුතලය වුණෙත් වේදිකාව විතරමයි. එය ලාංකේය සිනමාවට අලුත් අත්දැකීමක් වේවි කියලා හිතනවා. තවත් තිරපිටපත් දෙකක් තියෙනවා. නිෂ්පාදකවරුන්ගේ සහයෝගයක් ලැබුණොත් ඒවා ඉක්මනින්ම ප්‍රේක්ෂකයින් අතරට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනාගතේ මෙහෙම කෙනෙක් වෙනව කියන බලාපොරොත්තුවක් තියෙනවද?

මගේ අන්තිම ගෝල් එක හොඳ නිෂ්පාදකයෙක් වීම. ඒකට තමයි මං මේ පාර හදමින් ඉන්නේ. මගේ බලාපොරොත්තුව හැමෝටම සතුටින් වැඩකරන්න පුළුවන් සිනමා කර්මාන්තයක් හදන එක. ඒ වගේම මගේ ඉලක්කය අපේ සිනමාව හැට හැත්තෑව දශකයේ තිබුණු සුන්දර තැනටම ගේන එක.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division