මං උපන්නේ හද්දා පිටිසර ගමක. මගේ පවුලෙ සහෝදර සහෝදරියො හත් දෙනයි. අම්මා තාත්තා අපි වෙනුවෙන් අපමණ දුක් වින්දා. අක්කලා අයියලා තමයි බාලයෝ ගැන බැලුවේ. ගොවිතැන්බත් කරලා අපේ කුසගින්න නිවන්න තාත්තා එක්කලා අයියලත් එකතු වුණා. අක්කලත් අම්මට උදවු කළා. පවුලේ බාලයා වෙච්ච මට තිබුණ එකම දේ තමයි ඉගෙනගන්න එක. මම උසස් පෙළ කරන කාලේ වෙන කොට අක්කලා අයියලා විවාහ වෙලා. එයාලට දරුවොත් ඉන්නවා. අදටත් මගෙ වැඩිමල්ම අයියා අක්කා විවාහ වෙලා නැහැ. එයාලා ඉන්නේ මහ ගෙදර. අම්මා තාත්තා දැන් නැති වුණත් ඒ අක්කයි අයියයි තමයි මගෙ අම්මා තාත්තා වගේ ඉන්නේ.
‘ඇයි ලොකු ඔයා විවාහ වුණේ නැත්තේ?’ මම ඉස්සර ලොකු අක්කගෙන් එහෙම අහනවා.
ලොකු අක්කා බුලත්විට කහට පිරුණ දත් පෙන්නලා හිනාවෙනවා.
‘මම විවාහ වුණා නම් අද පොඩ්ඩියෙක් නැහැ අපට…’ අක්කා එහෙම කියන්නෙ ඇගේ උකුළෙ ඔළුව තියාගෙන ඉන්න මගෙ හිස අතගාන ගමන්.
‘අපේ අම්මට ඒ කාලේ දරුවෙක් ලැබුණම මහා සීතලක් අල්ලනවා. ඒකට බෙහෙත් කරලා හෙම්බත් වෙනවා. ඊට පස්සේ ආච්චි අම්මා තොවිල් කරනවා. තාත්තා ඒවා ගැන හොයලා බලන්නත් ඕනෑ, දරුවෝ ගැන බලන්නත් ඕනෑ. මට හිතෙන්නේ ඒ කාලේ තාත්තා හම්බ කරපුවැයින් භාගයක්ම යන්න ඇත්තේ තොවිල් කරන්න. අන්තිමට අම්මා බාල මල්ලි ලැබෙන්න ඉන්දැද්දි අම්මත් එක්ක ඒ දරුවත් මැරුණා. ඔයාගේ වයස අවුරුදු දෙකයි. අම්මා නැති වෙච්චදා ඉඳන් මම ඔයාව හදාගත්තා. ගෙදර අනිත් අය නම් විවාහ වුණා. ඒත් ලොකු අයියත් විවාහ වෙන්න බැහැ කිවුවා. මමයි අයියයි නංගිලා දෙන්නවයි මල්ලිලා දෙන්නවයි බන්දලා දුන්නා. දැන් ඒ අය මෙහෙ එන්නෙත් නෑ. ඒත් ඔයා තවමත් අපි එක්ක ඉන්නවනේ… ඒක ගැන සතුටුයි.’ අක්කා මං ගැන සතුටු වුණේ එහෙමයි.
අදටත් මං අම්මා-තාත්තා කියන්නේ මගෙ ලොකු අක්කටයි-අයියටයි. මට මගෙ අම්මගේ මූණවත් මතක නෑ. අම්මා මැරුණට පස්සේ තාත්තා මං ගැන උනන්දුවක් දක්වලා නෑ. කාටත් වැඩක් නැති මාව හදාවඩාගත්තේ මගෙ ලොකු අක්කා. අක්කා මාව බලාගත්තට මට අද ඉන්න තැනට එන්න පාර පෙන්නුවෙ මගෙ ගුරුවරු. දුෂ්කර ගම්මානෙක හිටියට අපේ පුංචි පාසලේ ගුරුවරු අපට මඟ කියා දුන්නා. ඒ නිසා මට ලෝකය ජය ගන්න ලැබුණා. අද මම දිනුම්.”
මගේ යෙහෙළිය එහෙම කියන්නේ අපමණ සතුටකින්. යෙහෙළියගේ ඒ කතාව ගැන ලියැවුණු ගීතයක් පසුගිය මට දවසක අහන්න ලැබුණා. ඒ ගීතයේ ලියැවුණේ කොහොමද කියලා ඇහුවාම ගී පද රචිකාව ඉන්ද්‍රා ප්‍රනාන්දු කිවුවේ මෙහෙම කතාවක්:
“මේ අත්දැකීමට මගේ ජීවිතයේ සමහර දේවලුත් ඇතුළත්. අපි ගම්වලින් ආව අය. අපි යමක්-කමක් තිබුණ පවුල්වල අය නෙමෙයි. අම්මා තාත්තා හේන් ගොවිතැන් කළේ. පවුලේ අගහිඟකම් තිබුණා. ඒවත් සමඟ තමයි මේ ගමන ආවේ. අපේ ගම්වල මිනිස්සුන්ගේ දුෂ්කරතා දැක්කාම, අගහිඟකම් තියෙන පවුල්වල දරුවෝ ඉගෙනීමේ ඉදිරියට එන්න විඳින දුක දැක්කාම, එවැනි දරුවන්ට බෝසත්වරුන් වගේ උදවු කරන ගුරුවරුන් දැක්කාම මගෙ හිතේ කාලයක් තිස්සේ මේ අදහස තිබුණා. කොතරම් දරිද්‍රතාව තිබුණත්, ජීවිතය ගොඩගන්න එහෙම තිබුණ අදහස තමයි අවසානයේ ගී පද විදිහට ලියැවුණේ. මාලක රත්නායක සොහොයුරා තමයි මේ ගීය සංගීතවත් කළේ. එය ගායනා කරන්නේ සුරංජන් මහේෂ්. ඒ දෙදෙනාම මගේ පද රචනාවට සාධාරණය ඉටු කළා.”
නියං සායට දැවුණු ගැටපිච්ච මල් කැකුළු
මැලවුණත් ඒ සුවඳ හමනවා
සඳුන් කැටයක් නැතත්
දහදුකම අතට ගත්
නයනලා සිප්හලේ තැවෙනවා…
ඉඩෝරෙත් දලුලාන
පතොක් අත්තක වුණත්
වසන්තය අරන් මල් පිපෙනවා
එතෙක් ඉවසා ඉන්ට
නුඹ පොහොණි කරලන්න
වාරුවක් වී ළඟම ඉන්නවා…
ගුරු සිතත් හෙම්බත්ය සෝ ගී අසා නුඹගෙ
ළය පැළී – දිනෙක මියෙනවා
මාව පසු කර යන්න
සඳ තරුව බැබැළෙන්න
ගුරු පඬුරු ලෙසට පිළිගන්නවා
ගායනය – සුරංජන් මහේෂ්
පද රචනය – ඉන්ද්‍රා ප්‍රනාන්දු
සංගීතය – මාලක රත්නායක