Home » සමබිමක් නොතිබූ කිවියන් ඉන්දියාව සමඟ අවසන් සටනට
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025

සමබිමක් නොතිබූ කිවියන් ඉන්දියාව සමඟ අවසන් සටනට

අවසානයේදී පාකිස්තානයට සත්කාරකත්වයත් අහිමි වෙයි

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment
සිරිනාම රාජපක්ෂ

ව වැනි වරටත් පැවැත්වෙන අයිසීසී කුසලාන ශූරයන්ගේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා ගත් අතර මේ තරගාවලි ඉතිහාසයේ ඉන්දියාව 5 වැනි වතාවටත් නවසීලන්තය 3 වැනි වතාවටත් අවසන් සටනට අවස්ථාව උදා කර ගෙන ඇත. එහිදී අද (9) පැවැත්වෙන අවසන් මහා තරගයට පැමිණෙන්නට අවසන් පූර්ව තරගවලදී ඔස්ට්‍රේලියාව පරදා ඉන්දියාව කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර, දකුණු අප්‍රිකාව පරදා නවසීලන්ත කණ්ඩායම ලකුණු 50ක ජයග්‍රහණයක් හිමි කරගත්තේය.

පසුගිය පෙබරවාරි මස 19 දා සිට අද දක්වා තරගාවලියේ සත්කාරක රට ලෙස හැඳින්වූ පාකිස්තානයේ ක්‍රීඩාංගණ තුනක් සහ ඩුබායි ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් තරග 15ක් සඳහා කණ්ඩායම් 8ක් තරග වැදුණද; ඉන්දියාව තරගාවලිය පුරා ක්‍රීඩා කළ තරග 4ම ඩුබායි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට අවස්ථාව සලසා දී තිබිණි. එහෙත් සෙසු කණ්ඩායම් 7ටම පාකිස්තානයේ කරච්චි, රාවල්පිණ්ඩි හා ලාහෝර් ක්‍රීඩාංගණ තුනේත්, ඩුබායිහි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේත් වශයෙන් ක්‍රීඩාංගණ 4ක එහෙ මෙහෙ ගුවන් ගමන්වල යෙදෙමින් තරග සඳහා වැඩි ශ්‍රමයක් යෙදවීමට සිදු විය.

දේශපාලනික වශයෙන් පාකිස්තානය සමඟ ඇති පරම සතුරුකම ක්‍රීඩා පිටියටද යොදාගත් ඉන්දියාව මෙවන් තරගාවලියකට හෝ සත්කාරකත්වය දැරූ පාකිස්තානයට නොයෑම මඟින් සෙසු කණ්ඩායම් 7ටම අසාධාරණයක් සිදු වූවා පමණක් නොව; තරගාවලියෙන් වේලාසනින්ම ඉවත් වීමට සිදු වූ පාකිස්තානයට අවසානයේදී සත්කාරකත්වයත් අහිමි විය.

තවද ඉන්දියාව එකම හෝටලයක නවාතැන් ගෙන එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීම යනු සෙසු කණ්ඩායම්වලට එම පහසුකම් නොලැබීම මඟින් කාහටත් සමබිමක් තිබීමේ අයිතියද අහෝසි කිරීමකි. අනෙක් කරුණ නම්: ඩුබායිහි පැවැති කිසිදු තරගයකට වර්ෂාවෙන් බාධා සිදු නොවූ අතර, පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී පැවති තරග 2කටත් ලාහෝර් නුවර පැවති තරගයකටත් වර්ෂාව බාධා කළ නිසා ඒ තරග අත්හැර දැමීමට සිදු විය.

එවන් අයහපත් තරග දෙකකට මුහුණ දෙද්දීත් ඔස්ට්‍රේලියාවත්, එසේ එක් තරගයක් අහිමි වූ දකුණු අප්‍රිකාවත් අවසන් පූර්ව වටයට ඒමට සමත් වුවද සත්කාරක පාකිස්තානයට මෙන්ම බංග්ලාදේශයට හා ඇෆ්ගනිස්තානයටද වර්ෂාව විසින් ඇති කරන ලද බාධාව මේ තරගාවලිය තුළ ඔවුන්ගෙන් කුමන කණ්ඩායමක හෝ ඉදිරි ගමනට බලපෑමක් කළා විය හැකි නොවේද?

අනෙක් වැදගත්ම සාධකය නම්: මෙවර ශූරයන්ගේ තරගාවලියේ තරග සටහනයි. එනම්: කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකකට වෙන් කර පළමු වටයේ තරග පැවැත්වීම නිසා එක් කණ්ඩායමකට අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් 3ක් හමු වූයේ නැත. උදාහරණයක් ලෙස සඳහන් කළ හොත්: ‘ඒ’ කාණ්ඩය යටතේ තරගවැදුණ ඉන්දියාවට ‘බී’ කාණ්ඩයේ සිටි දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය හා එංගලන්තය යන කණ්ඩායම් තුන මේ තරගාවලියේදී හමු වූයේ නැත.

මෙය සියලු කණ්ඩායම්වලට පොදු සාධකයක් වූ අතර, යම් ලෝක මට්ටමේ කණ්ඩායම් 8ක් සහභාගි වන තරගාවලියකදී යමකු ඉදිරියේ ඇති ප්‍රතිවාදි කණ්ඩායම් 7න් 4ක් පමණක් සමඟ තරග කොට ශූරයන් බවට පත් වන්නේ කෙසේදැයි ප්‍රශ්නාර්ථයකි. ඒ වරද නොවන්නට නම්, අදාළ බලධාරීන් කළ යුත්තේ පසුගිය 2019 පන්දුවාර 50 අයිසීසී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙන් සෑම කණ්ඩායමක්ම අනෙකා හමු වීමේ රවුන්ඩ්-රොබින් ක්‍රමයට හෝ මූලික වටයේ තරගවත් පැවැත්වීමය. එසේ නැතත්, කෙසේ හෝ මූලික වටයේදී එකම කාණ්ඩය තුළ තරගයකදී එක් වරක් හමු වූ ඉන්දියා-නවසීලන්ත කණ්ඩායම් දෙක නැවතත් අද අවසන් තරගයේදී හමු වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මහා ජයමල්ල ඩැහැගැනීමේ අරමුණෙනි.

අයිසීසී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මින් පෙර ඉන්දියාව හා නවසීලන්තය අවසන් මහා තරගයකදී හමු වී ඇත්තේ 2000 වසරේදීය. දෙවැනි වරට පැවති ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදා නවසීලන්ත කණ්ඩායම අයිසීසී ශූරයන් බවට පත් වූ අතර, මෙවරත් ඒ දස්කම කරන්නට හොඳ වටපිටාවක් ඔවුන්ට නැතැයි සිතිය නොහැකිය. හේතුව: ඉන්දියාව මෙවර එකම තැන සිට වැඩ පෙන්වා ඇතත්, ප්‍රතිවාදී නවසීලන්තයටද ඕනෑ තැනක සිට වැඩ පෙන්වන්න හැකි බවද ඔවුන් පෙන්වා ඇති බැවිනි.

ඒ අනුව සැලකුව හොත් තරගාවලියේ මේ වන විට ශතකලාභීන් 4ක් නවසීලන්තය සතු වෙද්දී ඉන්දියාව පැත්තෙන් ශතක 2ක් වාර්තා වූයේ විරාත් කෝලිගෙන් හා සුබ්මාන් ගිල්ගෙන් පමණකි. ඒ නිසා ඉන්දියාවට අවසන් සටනේදී නවසීලන්තයේ රචින් රවීන්ද්ර , ටොම් ලේතම්, කේන් විලියම්සන් හා විල් යං යන අයගේ පිත්තෙන් වැඩි බලපෑම් සිදු විය හැකි අතර, කෝලි සමඟ සටනේ පෙරමුණ ගන්නට මිචෙල් සැන්ට්නර් ඉදිරියට එනු දැකගන්නටද පුළුවන.

කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රීඩාංගණවල තණතීරුවලට සාපේක්ෂව ඩුබායි ක්‍රීඩාංගණයේ තණතීරුව දඟපන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙන බැවින් මේ අවසන් මහා තරගයේදී කණ්ඩායම් දෙකම අවම වශයෙන් නිත්‍ය දඟපන්දු යවන්නන් තිදෙනකු බැගින් ස්ථිරවම යොදාගනු ඇත. එනම්: අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාවට සැලකූ ආකාරයෙන් අවසන් මහා තරගයේදී නවසීලන්තයට එරෙහිව සැලසුමක් දියත් කිරීම රෝහිත් ෂර්මාගේ බළඇණියේ අදහස විය හැකි අතර, රවීන්ද්‍ර සහ විලියම්සන් ඒ සැලසුමට කොටුවේද-නැද්ද යන සාධකය මත නවසීලන්තයේ ඉරණම විසඳෙනු ඇත.

අනෙක් අතට ගත් විට: ලකුණු හඹා යෑමේ තැනට ඉන්දියාව පත් වුව හොත් කෝලිට ලකුණු 50 සීමාව ඉක්මවා යෑමට ඉඩ දීම නවසීලන්තයේ පරාජයට මාවත හෙළි වීමක් වන අතර, කෝලි යනු තම කණ්ඩායම ඇදගෙන යන ගමන් ශතකයක්ද තම සාක්කුවට දමාගත හැකි දක්ෂ පිතිකරුවෙකි.

තවද: ඉන්දියාවේ පා දඟ පන්දු යවන වරුන් චක්රුවර්ති හා නවසීලන්තයේ වමත් පිට දඟ පන්දු යවන මිචෙල් සැන්ට්නර් ‌යන දෙදෙනා ප්‍රතිවාදි පිතිකරුවන්ගේ ප්‍රශ්න විසඳන ආකාරය අනුව බොහෝ දුරට අවසන් ප්‍රතිඵලය ලැබෙනු ඇති අතර, මොහොමඩ් ෂාමි හා මැට් හෙන්රි දෙදෙනාද දෙපිලේම සිටින හොඳ වේග පන්දු තුරුම්පු දෙකකි. මේ අතර, මෙවර තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලදී ඉන්දියාව තරග 4කට සහභාගි වී අපරාජිත එකම කණ්ඩායම බවට පත් වී ඇති අතර, නවසීලන්තය තරග 4කට සහභාගි වී ඉන් තරග 3ක් ජය ගෙන අවසන් සටනට සුදුසුකම් ලැබීය. බංග්ලාදේශය, පාකිස්තානය හා එංගලන්ත යන කණ්ඩායම් මූලික වටයේ තරග 3ම පරාජයට පත් වූ අතර, දකුණු අප්‍රිකාව තරග 4න් 2කුත් ඔස්ට්‍රේලියාව තරග 4න් 1කුත් ජයග්‍රහණ වාර්තා කළහ.

එසේම සත්කාරක පාකිස්තානයත්, බංග්ලාදේශයත්, ඇෆ්ගනිස්ථානයත් වැස්ස ඉදිරියේ අවාසනාවන්ත වූ අතර මෙවර කෝඩුකාරයන් ලෙස තරගාවලියට පැමිණි ඇෆ්ගන්ලා එංගලන්තයද පරාජය කරමින් ඉදිරියට යන්න උත්සාහ කළද ඊට බාධා එල්ල විය. මේ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයට පැමිණ ඉවත් වීමත් සමඟ යම් කම්පනයකට පත් වූ වැඩ බැලූ නායක ස්ටීවන් ස්මිත් අන්තර්ජාතික එක්දින පිටියෙන් ඉවත් වූ බව නැවත ගෙදර යන්නට පෙර හදිසියේම ඩුබායි හිදී නිවේදනය කළ අතර, එහෙත් ටෙස්ට් හා විසිසයි20 තරග රටාවේ තවදුරටත් රැඳී සිටින බවද කියා සිටියේය.

ඒ කෙසේ වෙතත් අයිසීසී ශූරයන් කවුරුන්දැයි අදින් විසඳුණ පසු, මේ තරගාවලියේ 10 වැනි අදියර 2029 වසරේදී ඉන්දියාවේදී පැවැත්වීමට අයිසීසීය දැනටමත් තීරණය කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division