“නෝන වාට්ටුව බහින්න! නෝන වාට්ටුව බහින්න!”
මේ මා සැමදා කුතූහලයට පත් කරන අවස්ථාවකි. බොරැල්ල ළමා රෝහල අසලදී බස් කොන්දොස්තරවරුන් මෙසේ කෑගසනවා ඔබද ඕනෑ තරම් අසා ඇතුවාට සැකයක් නැත. එහි ඇත්තේ ‘ළමා රෝහල’ බව දන්නා ඕනෑම අයකුට මෙය ගැටලුවක් වනවා නොඅනුමානය. ගැටලුව එසේ තිබියදී පසුගියදා ළමා රෝහල දෙසින් අසන්නට ලැබුණේ වෙනස්ම පුවතකි.
‘ළමා රෝහල් භූමියේ තිබිල ඓතිහාසික ඵලකයක් හමු වෙලාලු. ඒකෙ තියෙන්නෙ වෙන නමක්ලු.’
රිජ්වේ ආර්යා ළමා රෝහලේද සැඟවුණු ඉතිහාසයක් ඇතැයි හැඟුණු නිසාම අපි ඒ ගැන පිරික්සීමට සිතුවෙමු.
සැබවින්ම ළමා රෝහලේ අතීතය ඵලකයේ සඳහන් අතීතයට නෑකම් කියන්නේද යන්න දැනගැනීමේ අදහසින් අපි එය සොයාගත් රෝහලේ තත්ත්ව පාලන අංශය භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමාරච්චි මහතා ඇමතීමු.
“හැම වසරකම ඩෙංගු මර්දන වැඩසටහනක් කරන අපේ කණ්ඩායමක් ඉන්නවා. 2023 වසරේ අග භාගයෙත් අපි ඩෙංගු මර්දන වැඩසටහනක් කළා. සතියකට සැරයක් රෝහල් භූමියේ මදුරු කීටයන් සොයමින් විනාශ කිරීමේ වැඩසටහනක් තියෙනවා. එහි අධීක්ෂණ කටයුතු භාරව ඉන්නේ මමයි, අපේ පරිපාලන නිලධාරී පී.ජී. විජේසිංහයි, පී.එච්.අයි. ඇතුළු කණ්ඩායමක්. රෝහල් බිමේ එක තැනක පස් අතරින් ඔය කියන ගල් ඵලකයේ තුන්හුලස් කෑල්ලක් එළියට මතු වෙලා යන එන අයගේ කකුලේ වදිමින් තමයි තිබිලා තියෙන්නේ. හැමෝම ඔය ගැන කතාවෙද්දි මාත් ගිහින් බැලුවා. ඒක දැක්ක ගමන් මට හිතුණා මොකක්හරි පෞරාණික දෙයක් වෙන්න ඇති කියලා. පොඩ්ඩක් පාදලා බලද්දි අකුරු වගයක් කොටලා තිබුණා. අපි හාරලා අරන් හොඳට සෝදලා බැලුවා. තොරතුරුවල හැටියට ඒ 1895දී මේ රෝහලට මුල්ගල තියද්දි සවි කරපු ඵලකය.
“Lady Havelock Hospital For Women & Childrens නමින් 1895 දී මෙය ආරම්භ කළ බව තමයි එහි සඳහන් වෙලා තිබුණේ. 2000 වසරේ රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය තියෙන ගොඩනැඟිල්ල විවෘත කරන අවස්ථාවේ රෝහල් අතීතය ගැන ලියවුණු පොතේ රෝහලේ ආරම්භය සම්බන්ධයෙන් ‘ලක් රිවි කිරණ’ පුවත්පතේ පළ වුණු ලිපියක ඡායාරූපයක් තිබුණා කියල මතක් වෙලා මං ඒ පොත හොයාගෙන කියෙවුවා. ඒ අනුව: කාන්තාවන් හා ළමයින් සඳහා මේ රෝහල පටන්ගෙන තියෙන්නේ හැව්ලොක් ආණ්ඩුකාරවරයාගේ ආර්යාව වන ලේඩි හැව්ලොක් විසින්. ඒ කාලෙ හිටපු තේ වැවිලිකරුවන් ඇතුළු දානපතීන්ගේ ආධාරයෙන් ඇය මුල්ගල් තියලා රෝහල හදන්න පටන් අරන් තියෙන්නේ 1895 ජනවාරි 18 වැනිදා. එය ඇඳන් 50කින් යුත්තයි. එය අවසන් කරන්න කලින් හැව්ලොක් ආණ්ඩුකාරවරයාට මාරු වීමක් ලැබිලා. ඊට පස්සේ එන්නේ රිජ්වේ කියන ආණ්ඩුකාරවරයා. ඔහුගේ ආර්යාව ලේඩි රිජ්වේ මේක විවෘත කරලා තියෙන්නේ 1896 ඔක්තෝබර් 12 වැනිදා. හිටපු ආර්යාවට උපහාරයක් විදිහට ඒක ‘හැව්ලොක් ආර්යාවගේ කාන්තා හා ළමා රෝහල’ කියලා නම් කරලා තියෙනවා. පස්සේ කාලෙක රිජ්වේ ආර්යාවටත් පොඩි කැමැත්තක් ඇති වෙලා ඒකටම ළමයින් සඳහා පමණක් තව අලුත් කොටසක් එකතු කරලා ඒක ‘රිජ්වේ ආර්යා වින්’ කියලා නම් කරලා. 1954දී කාසල් වීදියේ කාන්තා රෝහල ඉදි වීමත් එක්ක මේ රෝහලෙන් කාන්තා කොටස සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ළමයින් සඳහා පමණක් වන ‘රිජ්වේ ආර්යා ළමා රෝහල’ බවට පත් වෙලා.
“අපට හමුවුණු ඵලකය ගැන මං අපේ අධ්‍යක්ෂතුමාට කිවුවා. මේක ගොඩක් වටින බව දැනගත් ඔහු මෙය සංරක්ෂණය කරන්න ඕනෑ කියන අදහසින් මරදාන පැත්තෙ ඉඳන් එද්දි තියෙන මහල් 9 ගොඩනැඟිල්ලේ ඉදිරිපස සවි කරන්න කටයුතු කළා. පහුගිය කාලෙ චාල්ස් කුමාරයාගේ සොහොයුරිය වන ඈන් කුමරිය ලංකාවට ආව වෙලාවේ ඇය අතින් මෙය නැවත විවෘත කළා.”
එය එදා ‘නෝනා වාට්ටුව’ ලෙස ව්‍යවහාර වීමට හේතුවද ඔහු අප හා පැවසුවේය:
“ළමා රෝහලට ‘නෝන වාට්ටුව’ කියන්න හේතුව: ඒ කාලේ බාහිර රෝගි අංශය භාරව ඉඳල තියෙන්නේ ‘පුංචි නෝනා ෆිසේ’ කියලා හරිම කරුණාවන්ත වෛද්‍යවරියක්. ඇයගේ නම පුංචි නෝනා නිසා ඇයට තියෙන ආදරේට ඒ කාලෙ මිනිස්සු ළමා රෝහලටත් කියලා තියෙන්නේ නෝනගෙ වාට්ටුවල කියලා. අදටත් එහෙම කියන මිනිස්සු ඉන්නවා. අදටත් මේක රිජ්වේ ආර්යා ළමා රෝහල කියල ව්‍යවහාර වුණාට ඇත්තටම මේක හදල තියෙන්නේ රිජ්වේ ආර්යාව නෙවෙයි හැව්ලොක් ආර්යාව. දැන් වත් එය නිවැරැදි විය යුතුයි කියන තැන මං ඉන්නවා. එහෙම නැත් නම් ඒ කාටවත් නැතුව ශ්‍රී ලංකා ජාතික ළමා රෝහල කියලා නම් කළා නම් මීට වැඩිය පහසුකම් ලබාගන්නත් තිබුණා.”
මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහල ආසියාවේ විශාලතම ළමා රෝහල බවට පත් වී තිබීම මේ පුංචි රටට ආඩම්බරයකි. රෝහලේ වත්මන් තත්ත්වය දැනගැනීමේ අරමුණින් අපි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඇමතුවෙමු.
“ඇත්තටම මේක විශේෂිත රෝහලක්. ඒකට හේතුව: වෙනත් රෝහල්වල කරන්න බැරි පරීක්ෂණ මෙහි කළ හැකි වීම වගේම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මෙහි සිටීම. ළමා රෝගවලට අදාළ සියලු අංශ තියෙනවා. ආසියාවේ විශාලතම ළමා රෝහල මෙය කියන එකත් අපිට ආඩම්බරයක්. එදා හැව්ලොක් ආර්යාව ඇඳන් 50කින් පටන් ගත් රෝහල අද වෙද්දි ඇඳන් 1,050 දක්වා ඉහළ ගිහින්. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් 80ක්, වෛද්‍ය නිලධාරීන් 360ක්, හෙද නිලධාරින් 900ක් ඇතුළුව මුළු සේවක පිරිස 2,500ක් පමණ ඉන්නවා.
“මං මේ රෝහලේ අධ්‍යක්ෂ වෙලා එන්නේ 2019 වසරේ. ඒ දකුණු පළාත් අධ්‍යක්ෂ කියන ඉහළ තනතුරක ඉඳන්. මං මෙහේට එන්න විශේෂම හේතුව වුණෙත් දරුවන් එක්ක කටයුතු කරන්න ඇති කැමැත්තයි. ඒක ලොකු සතුටක්. කාර්ය මණ්ඩලයත් ඉතා සතුටුදායකයි. ඔවුන් කවදාවත් වැඩවර්ජන, ඉල්ලීම්, උද්ඝෝෂණවලට යන්නේ නැහැ. දරුවන් එක්කම ඉඳලා ඔවුනුත් හරියට දරුවන් වගේ වෙලා. මොළයයි, හදවතයි දෙකම එකතු කරලා වැඩ කරන සේවක පිරිසක් මට ඉන්නේ. ඒ ගැන හරිම ආඩම්බරයි. බාහිර රෝගි අංශයට දිනකට රෝගීන් 1,500ක් විතර එනවා. 200ක් විතර දිනකට නේවාසිකව ප්‍රතිකාර ලබනවා; වාර්ෂිකව ගත්තොත් 75,000-80,000ක් විතර.
“තැලසීමියා වැනි රෝගීන් සඳහා ඇටමිදුලු බද්ධය කළ ප්‍රථම ළමා රෝහලත් මේක. ඒ වගේම මොළයේ, හදවතේ සැත්කම් කෙරෙනවා. දිනකට ඉපදෙන දරුවන්ගෙන් 80-90කට එක් අයකු ඕටිසම් රෝගියකු වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඔවුන්ට ප්‍රතිකාර කරන්න නිසි ක්‍රමවේදයක් තිබුණෙ නැහැ. මේ ඉන්න කාර්ය මණ්ඩලයෙන්ම තියෙන පහසුකම්වලින්ම තමයි ඔවුන්ට මෙහි ප්‍රතිකාර කෙරෙන්නේ. ඒ ගැන විශේෂයෙන්ම සැලකිල්ලට ලක් කරලා 2025 අයවැයෙන් මිලියන 200ක් ඕටිසම් දරුවන් වෙනුවෙන් දෙන්න රජය කටයුතු කර තිබීම අප ලද විශාල ජයග්‍රහණයක්. අපේ සේවය අනෙක් ආයතනවලටත් ආදර්ශයක් වේවි කියල හිතනවා. රෝහලේ ‘ආදර්ශ ඕටිසම් මධ්‍යස්ථානයක්’ හදන්නත් බලාපොරොත්තු වෙනවා. අවුරුදු 129ක් ගිහිල්ලත් එදා වගේම අදටත් මේ ආයතනයට ආධාර කරන මිනිස්සු ඉන්නවා. ප්‍රමාණාත්මක වශයෙන් බැලුවත් එය 2%-3%ක් වගේ වුණත්, එහි ලොකු වටිනාකමක් තියෙනවා. ඉදිරියේදී ජාන පිළිබඳ අධ්‍යයනය හා විශ්ලේෂණය වගේ කටයුතුත් කරන්න බලාපොරොත්තු වෙනවා.”