ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් සමරු සංවත්සරය හා ශ්‍රී ලංකා සිංගප්පූරු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරැඹී 55 වසරක් සපිරීම නිමිත්තෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සංවිධාන කළ සංස්කෘතික සන්ධ්‍යාවක් උත්කර්ෂවත් අන්දමින් සිංගප්පූරුවේදී පැවැත්විණි.
මහ කොමසාරිස් සෙනරත් දිසානායකගේ ආරාධනයෙන් මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සිංගප්පූරුවේ තොරතුරු, ඩිජිටල් සංවර්ධන හා සෞඛ්‍යය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, ජනිල් පුත්තුච්චේරි එක් විය. ඔහු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලිම් බිආව් චුවාන් සහ ඊ යාවෝ ක්වාන් යන මහත්වරුද එක්ව සිටියහ. එරට විදේශ දූත මණ්ඩල රැසක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවද,රාජ්‍ය නිලධාරීහුද, ව්‍යාපාරික හා ව්‍යවසායක ප්‍රජාවද, සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව හා සිංගප්පූරු ප්‍රජාවද ශ්‍රී ලංකාවට සහ ලක්වාසී ජනතාවට සුබපැතීම සඳහා මේ අවස්ථාවට එක්ව සිටියහ. එම නියෝජනය මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මෙන්ම ආයෝජන ඉඩ ප්‍රස්තා සඳහා ඇති විභවයද, අභිමානවත් සංස්කෘතික උරුමයද ප්‍රවර්ධනය වෙනුවෙන් පුළුල් ප්‍රවේශයක් සලසන අතරම දෙරට අතර සමීප මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කෙරිණි.
ශ්‍රී ලාංකේය සංස්කෘතිය, ප්‍රෞඪත්වය හා කලා ප්‍රතිභාව පිළිබිඹු කරන්නා වූ අභිමානවත් සංස්කෘතික සන්ධ්‍යාවක ආශ්වාදය තිළිණ කරමින් චන්න-උපුලි රංගායතනය හා ශ්‍රී ලාංකික සම්භවයෙන් යුතු කීර්තිමත් කලාශිල්පියකු විසින් බිහි කරන ලද සිංගප්පූරුවේ අප්සරාස් නර්තන ඇකඩමිය ඉදිරිපත් කළ නර්තනාංග ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් විය. මේ, එහි එක් නර්තනයකි. රැස්ව සිටි සියල්ලන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය ආහාර-පාන සංග්‍රහයක්ද පිළිගැන්විණි.