Home » ලෝකයේ වඩාත්ම පවුල් හිතකාමී ගමනාන්තය තෝරයි

ලෝකයේ වඩාත්ම පවුල් හිතකාමී ගමනාන්තය තෝරයි

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
සුභාෂිණි ජයරත්න

මේ වසර ආරම්භයේ සිට ලොව විවිධ ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාවට ලැබුණේ සුවිශේෂ රන් සලකුණු කිහිපයකි. 2025 සඳහා ලොව හොඳම පවුල් හිතකාමී ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත. මීදුම සහිත අතිසුන්දර කඳු මුදුන්, තේ වගාවන් සහිත කඳු පන්තීන් අතරින් යන ගමනාන්ත, ආසියාවේ වන අසිරිය කැන්දන වනජීවීන් මෙන්ම අලි ඇතුන් කොටි වලසුන්ගෙන් සුසැදි වනජීවී පරිසරය, අතීත උරුමයන් කැන්දන පුරාණ විහාරස්ථාන ඇතුළු ලාංකීය නටබුන් මෙන්ම සංචාරකයින්ට සුන්දර අත්දැකීම් උරුම කරවන්නා වූ රෝලිං සර්ෆ් ඇතුළු ක්‍රීඩාවන්ට තෝතැන්නක් වූ ආගන්තුක සත්කාරය මනාව අත්විඳින්ට හැකි ලොව ඉහළ පිළිගැනීමේ රටක් ලෙස සංචාරක අත්දැකීම් රාශියක් ලබා ගත හැකි හෙයින් BBC Travel හි ආරම්භක මාර්ගෝපදේශය මඟින් 2025 දී සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වූයේ පසුගිය ජනවාරියේ ය.

යළිත් දෙමසක් ඉක්ම යන්නටත් මත්තෙන් ලොව කීර්තිමත් ප්‍රසිද්ධියක් උසුලන සංචාරක සඟරාවක් වන Condé Nast Traveler විසින් පසුගියදා තවත් අභිමානයක් ලංකාවට ගෙන දෙමින් 2025 වසරේ ශ්‍රී ලංකාව ඉහළම පවුල් හිතකාමී ගමනාන්තය ලෙස කිරුළු පැලඳුවේය (Sri Lanka Ranked the World’s Top Family – Friendly Destina tion for 2025). සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක් දකින මේ අවස්ථාවේ ‘ශ්‍රී ලංකාව පවුලේ නිවාඩු සඳහා නැරඹිය යුතුම ගමනාන්තයක්’ ලෙස ලබාදුන් මෙම ගෝලීය පිළිගැනීම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා දක්වන්නේ සුවිශේෂ දායකත්වයකි.

ශ්‍රී ලංකාව මේ ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණියේ ලොව බලවත් රටවල් රැසක් අභිබවමිනි. මෙම ශ්‍රේණිගත කිරීමේදී ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්වීඩනයයි. නෝර්වේ රාජ්‍යය තුන්වැනි තැනටත්, නවසීලන්තය හතරවැනි ස්ථානයටත්, අයිස්ලන්තය පස්වැනි ස්ථානයටත්, ජර්මනිය හයවැනි ස්ථානයටත්, පින්ලන්තය හත්වැනි ස්ථානයටත්, ඩෙන්මාර්කය අටවැනි ස්ථානයටත්, ඔස්ට්‍රේලියාව නමවැනි ස්ථානයටත්, ඇමරිකා එක්සත් ජනපදය දස වැනි ස්ථානයටත් පත්ව ඇත.

ලංකාව වටේ පිහිටි විශ්මයජනක වෙරළ තීරයන්, විවිධ වනජීවීන්ගේ සිට ප්‍රෞඩත්වයෙන් පොහොසත් ඉතිහාසයක් උරුම, උණුසුම් ආගන්තුක සත්කාර ලබාගත හැකි, අපූරු වින්දනයක් ලබා ගත හැකි රටක් ලෙස මෙහි හඳුන්වා දී ඇත. එසේම දැරිය හැකි මිලකට ගමන් ලබාගත හැකිවීම, එළිමහන් ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලැබීම සහ උසස් තත්ත්වයේ අධ්‍යාපන පද්ධතියක් ලබාගත හැකි ඉලක්ක රාශියක් සම්පූර්ණ කර ඇති රටෙක් ලෙස මෙම සඟරාව ලංකාව හඳුන්වා දී ඇත.

මෙම Condé Nast Traveler සඟරාවේ රටවල් ශ්‍රේණිගත කිරීමේදී ඒ ඒ රටවල සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය, ආර්ථික ශක්තිය වැනි දේ සිට ආරක්ෂක මිනුම් මෙන්ම ඩිජිටල් සම්බන්ධතාවයන්ද අවධානයට ලක්කර ඇති අතර, සාධක 24ක් හරහා රටවල් 82ක් ශ්‍රේණිගත කර ඇත. ඒ සෑම එකක්ම මුළු ලකුණු 100ක් ලබා දීම විශේෂත්වයකි. තමන් විදේශ රටකට යාමේදී සලකා බැලිය යුතු නිමක් නැති දේ මොනවාද, ඒ රටවල සංස්කෘතිය කෙබඳු ද, රැකියාවක් සොයා ගැනීම කොතරම් පහසුද, ප්‍රවාහන සම්බන්ධතා කෙසේද, ප්‍රදේශවාසීන් කොතරම් සතුටු වෙනවාද ආදී අනෙකුත් කරුණුද මෙහිලා දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ කරුණු සියල්ලන්ගෙන්ම ලොව අතිප්‍රබල රටවල් සියල්ල පරයමින් ලංකාව ශ්‍රේණිගත කිරී­‍ෙමහි මුලට පැමිණීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සතුටු විය යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division