Home » කැඩී හැලෙන කඩියන්ලෙන ඇල්ල

කැඩී හැලෙන කඩියන්ලෙන ඇල්ල

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

මෙරට බොහෝ දියඇලි පිහිටා ඇත්තේ ප්‍රධාන නගරවලින් මෙන්ම ප්‍රධාන මාර්ගයෙන් ඈතට වන්නටය. එහෙත් දියඇලි කිහිපයක් ප්‍රධාන මාර්ගය ආසන්නයේම පිහිටා තිබීම එම දියඇලි බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණයට හේතු වී ඇත. බදුල්ලේ දුන්හිඳ දියඇල්ල බදුල්ල මහියංගණය මාර්ගයේ සිට කිලෝමීටර් 2ක් 3ක් පමණ ඈතින් පිහිටියද රාවණා ඇල්ල ප්‍රධාන මාර්ගය අද්දරම පිහිටා තිබීම නිසා එය වඩාත් සංචාරක ආකර්ෂණයට හේතු වී ඇත. දියලුම ඇල්ලද එසේමය. මේ ලෙසින් මාර්ගය අද්දරම ඇති එහෙත් සංචාරකයන් වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවුණු දියඇල්ලක් කරා අද අපි ඔබ කැඳවාගෙන යන්නෙමු. ඒ නාවලපිටියේ කඩියන්ලෙන දියඇල්ලයි.

එය මහනුවර දිස්ත්‍රික්කය අවසානයේ නුවරඑළිය දිස්ත්‍රික්කය ආරම්භයේ නාවලපිටිය ආසන්නයේ ඇති ඉතා ආකර්ෂණීය දියඇල්ලකි. නාවලපිටිය –තලවකැලේ මාර්ගයේ කිලෝමීටර් 10ක පමණ දුරක් ගමන් කිරීමෙන් මෙම දිය ඇල්ල දැකගත හැකිය.

දියඇල්ල කොටස් තුනක් ලෙස පහළට කඩා හැලෙයි. කඩියන්ලෙන ඔය ලෙස නම් කර ඇති දිය දහර එක්වරම දෙකට බෙදී පහළට කඩා හැලෙයි. ඉන් පසුව යළිත් තවත් ඇල්ලක් ලෙස පාලමට යටින් යළිත් පහළට කඩා හැලෙයි. දිය ඇල්ලේ තුන්වන කොටසට ඉහළින් ආරුක්කු තුනක් සහිත පාලමක් ඇති අතර, ඒ මතින් නාවලපිටිය – තලවකැලේ මාර්ගය දිව යයි. එම නිසා මාර්ගයේ සිටින්නකුට දැකගත හැකි වන්නේ දිය ඇල්ලේ මාර්ගයෙන් ඉහළ කොටස් දියඇලි දෙක පමණකි. ප්‍රධාන මාර්ගයේ සිට පාලම අසලින් ඇති අඩි පාරක පහළට ගමන් කර මාර්ගයෙන් පහතට ගොස් දියඇල්ලේ සම්පූර්ණ දර්ශනය වන දියඇලි තුනම අලංකාර ලෙස කඩා හැලෙන අයුරු දැක බලාගත හැකිය.

දියඇල්ල පිහිටා ඇත්තේ කඩියන්ලෙන ගම්මානයේ හෙයින් ගමේ නමින්ම දියඇල්ල හඳුන්වන්නට ඇතැයි විශ්වාසයක් පවතී. එමෙන්ම ඇතැම් අය පවසන්නේ දියඇල්ල කොටස් 3කට කැඩී ඇද හැලෙන හෙයින් ‘කැඩී හැලෙන ඇල්ල‘ නැත්නම් ‘කැඩුණු ඇල්ල’ යන තේරුම ඇතිව කඩියන්ලෙන ඇල්ල නමින් එය හඳුන්වන්නට ඇති බවයි. එසේම දියඇල්ල අසලින් ඇති කැටබුලා තේ වත්ත නිසා කැටබුලා ඇල්ල නමින්ද මේ ඇල්ල ඇතැමුන් විසින් හඳුන්වනු ලැබේ.

කඩියන්ලෙන ඇල්ල හරහා ඉදිකළ ආරුක්කු තුනේ පාලම ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍යය සමයේදීය. එතරම් පැරැණි පාලමක් වුවද අදත් එය ඉතා ශක්තිමත් ලෙස සේවාව සපයයි.

බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදි කළ ආරුක්කු 3 මේ පාලමද ඉතිහාසගත වුවත් ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වා නැත. එම නිසා එම ආරුක්කු 3 පාලමද සංරක්ෂණය කළ යුතුය. පමණට වඩා බරවාහන ගමනාගමනයට සීමා පැනවිය යුතුය. එසේ නොවුණහොත් ඉදිරියේදී එම පාලමට හානි සිදුවීමට හැකිය. එයින් අපට වටිනා තවත් ආරුක්කු පාලමක් අහිමි වන්නට ඉඩ ඇත.

කඩියන්ලෙන ඇල්ල පෝෂණය වන්නේ ලිදුල හා කොටගල ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලින් නිර්මාණය වන කඩියන්ලෙන ඔයෙනි. කඩියන්ලෙන ඔය නාවලපිටිය ආසන්නයේදී හැටන් ඔයට එකතු වේ.

මෙම දියඇල්ල වැසි කාලයට මනරම් ලෙස පහළට කඩා හැලෙන අතර, එම කාලයේ දිය ඇල්ල නැරඹීමට යාම ඉතාම සුදුසුය. උසින් මීටර 24ක් 25ක් පමණ වන මේ කඩියන්ලෙන ඇල්ල අවට දිය නෑමට හැකි ආරක්ෂිත ස්ථාන කීපයක්ම වේ. නමුත් දියඇල්ලේ තුන්වන කොටස කඩා හැලෙන තැන අලංකාර දිය තටාකයක් ලෙසින් තිබුණද එහි දිය නෑම ඉතාම අනතුරුදායකය‍. එහෙත් ඒ දැකුම්කලු බවට රැවටෙන ඇතැමුන් අනතුරුදායක තත්ත්වය නොසලකා දිය නෑමට ගොස් අනතුරට පත්වුණු අවස්ථාද ඇත.

ජලාශය අසල කුඩා ජල විදුලි බලාගාර දෙකක්ද පිහිටා ඇත. එක් කුඩා බලාගාරයකින් කැටබුලා වතුයායට විදුලිය ලබාදීමට කටයුතු කර ඇත.

වැසි කාලයට දියඇල්ලේ අලංකාරත්වය වැඩි වන්නාක් මෙන්ම එහි අනතුරුදායක තත්ත්වයද වැඩි බව තේරුම් ගත යුතුය. වර්ෂා සමයේදී මේ කඩියන්ලෙන ඇල්ලෙන් නෑමට යන්නේ නම් ඉතා ප්‍රවේසම් විය යුතුය. ඒ එහි ගල් මතින් අනිවාර්යෙන්ම ලිස්සා යාමට ඉඩ ඇති බැවිනි. වර්ෂා රහිත කාලයන්හිදී වුවද ගල් මත ලිස්සා ගොස් අනතුරට පත්වූ අය සිටී. එම නිසා ප්‍රදේශවාසීන්ගේ දැනුමක් සහිතව ජලාශයට බැසීම නුවණට හුරුය.

කඩියන්ලෙන ඇල්ල නැරඹීමට පැමිණෙන්නේ නම් වඩාත් සුදුසු කාලයන් වන්නේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයයි. එමෙන්ම පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා වූ කාලය වඩාත් යෝග්‍ය වන්නේය. වර්ෂා කාලයට මීදුම කල් වේලා ඇතිව පැමිණෙන හෙයින් අලංකාරත්වය නැරඹීම මෙන්ම ඒ සඳහා වන කාලය ගැනද තේරුම් ගත යුතුය.

එසේම ඇල්ලේ ඉහළට යාමට ඇති පඩිපෙළක්ද තිබේ. ඒ පඩිපෙළ දිගේ ඉහළට ගොස් පහළින් ජලාශය පහළට ගලා හැලෙන ආකාරය හොඳින් නැරඹිය හැකිය. එහෙත් වැසි කාලයට නම් එම ගමනද ප්‍රවේසමෙන් කළ යුතු වන්නේය.

මෙරට දියඇලි අතර පැහැදිලි ලෙසින් කොටස් 3ක් ලෙසින් කඩා හැලෙන එකම දිය ඇල්ල වන්නේ කඩියන්ලෙන දියඇල්ලයි. ඒ අවට තවමත් සොබා සෞන්දර්යය රැකී ඇත්තේ පරිසරයට හානි නොකිරීම නිසාය. එහෙත් මේ වන විට හිස් ප්ලාස්ටික් වතුර බෝතල් ආදිය තැන් තැන්වල දමා යාමට ඇතැම් සංචාරකයන් විසින් කටයුතු කර ඇති බව පෙනේ. එම නිසා මේ පරිසරය රැක ගැන්ම පිණිස නම් පොලිතින් ප්ලාස්ටික් පමණක් නොව කැළි කසල දමා විනාශ නොකිරීමටද වග බලාගත යුතු වන්නේය.

ආරුක්කු තුනේ පාලම

ආරුක්කු තුනේ පාලම

බොහෝ දියඇලි නැරඹීමේදී කූඩැල්ලන්ගේ කරදර විදින්නට සිදු වුවද අධික වර්ෂා කාලයේදී හැරෙන්නට මෙහිදී කූඩැල්ලන්ගේ කරදරයක් නොමැත.

දියඇල්ලක සුන්දරත්වය ඇත්තේ ඊට ළඟාවීමට ඇති පහසුව මෙන්ම ඒ අවට ඇති සුන්දරත්වය නිසාය. එම නිසා කඩියන්ලෙන ඇල්ල අවට සොබා සුන්දරත්වය රැක ගැනීමට කටයුතු කළ යුත්තාක් මෙන්ම එහි සුන්දරත්වය වර්ධනයට කටයුතු කළ යුතුය. දියඇල්ල අවට ගස් ගල්වල නම් ගම් කොටා නොයෑමට කටයුතු කරන්නේ නම් එයද එක් අතකින් සංරක්ෂණයක් වන්නේය.

කඩියන්ලෙන ඇල්ලට ගමන් කළ හැකි ඉක්මන් පොදු ගමන් මාර්ගය වන්නේ දුම්රියයි. නාවලපිටිය දක්වා දුම්රියෙන් ගොස් එතැන් සිට බස් රථයෙන් කඩියන්ලෙන ඇල්ලට ගමන් කළ හැකිය. පෙරවරු 5.55ට කොළඹින් බදුල්ල බලා ගමන් කරන පොඩි මැණිකේ දුම්රිය පෙරවරු 10.00ට පමණ නාවලපිටියට ළඟා වනු ඇත.

නාවලපිටිය සිට මාර්ග අංක 728/1 තලවකැලේ, බස් රථයෙන් කඩියන්ලෙන ඇල්ලට ළඟා විය හැකිය. ඒ සඳහා පැයකට අධික කාලයක් ගත කර කඩියන්ලෙන ඇල්ලට ළඟා විය හැකිය.

කඩියන්ලෙන ඇල්ල අසල පැයක් හෝ දෙකක් සිට ආපසු පැමිණ පස්වරු දුම්රියන්ගෙන් කොළඹ බලා පැමිණිය හැකිය.

එමෙන්ම නුවරඑළියේ සිට පැමිණෙන්නේ නම් තලවකැලේ දක්වා ගොස් එතැන් සිට කොත්මලේ මාර්ගයේ පැමිණ කැටබුලා නගරය හරහා නාවලපිටිය දෙසට පැමිණ දියඇල්ලට ළඟා විය හැකිය.

දියඇල්ලට ආසන්නම නගරය වන්නේ “කඩියන්ලෙන” කුඩා කඩමණ්ඩියයි. ඇල්ල දක්වා දිවෙන තේ වතු පිරි මාර්ගයද ඉතා අලංකාරය. කලකට පෙර නම් කඳුකර කොටියන් සිටියද දැන් එවන් අනතුරක් දක්නට නැත.

දියඇල්ල නැරඹීමට කොළඹ සිට වාහනයකින් යන්නේ නම් එක් දිනක් තුළ මේ දියඇල්ලට අමතරව ගල්බොඩ දියඇල්ලත්, අඹගමුව සෙල් ලිපියත් ගම්පොළ අම්බළුවාවත් නරඹා ආපසු යා හැකිය.

එසේම වාහනයකින් කිතුල්ගල මාර්ගයෙන් ගිනිගත්හේන හරහා පැමිණෙන්නේ නම් මේ දිය ඇලිවලට අමතරව ලක්ෂපාන මෙන්ම ඇබර්ඩීන් දියඇල්ලද නැරඹිය හැකිය.

දියඇල්ල අවට ඒ ප්‍රදේශයටම මෙන්ම උඩරටට ආවේණික ශාක රැසක්ම දක්නට ඇත. කලකට පෙර නම් එම ගස්වලට හානි කර තිබුණද මේ වන විට නම් එවන් බරපතළ හානි දක්නට නැත. එම නිසා පෙර කී ලෙසින් පරිසරය රැක ගන්මට කටයුතු යොදන්නේ නම් එයත් මහඟු සේවාවක් වනු ඇත. ඇතැම් අය ආරුක්කු පාලම යටින් අනෙක් පසට යාමට උත්සාහ දරති. එයද අවදානම් බව සිහි තබාගත යුතුය.

කඩියන්ලෙන ඇල්ල අවටින් ආහාර පාන ලබාගත හැකි සැලකිය යුතු ස්ථාන නොමැති හෙයින් දියඇල්ල නැරඹීමට යන සංචාරයකයන් ඒ ගැනද අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

ඡායාරූප – අන්තර්ජාලයෙනි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division