කාව්‍යය, ගීතය, සංගීතය හා නාට්‍යය බඳු කලා මාධ්‍ය පිළිබඳ බෞද්ධ ආකල්පය අවබෝධ කර ගැනීමට අදාළ කරුණු රාශියක් පාලි ත්‍රිපිටකය පුරා විසිරී පැතිරී ඇත. පාලි ත්‍රිපිටකය ම ද සාහිත්‍ය කෘතියක් සේ ගත හැකි අතර, ඒ සාහිත්‍යයෙහි මුඛ්‍ය රචකයා බුදු රජාණන් වහන්සේ වන බැවින් උන් වහන්සේ ශාස්තෘවරයකු මතු නො ව, සාහිත්‍යධරයකු ද සේ ගත්ත ද වරදක් නැති. මේ ලිපියෙහිලා අපගේ අවධානය යොමු වන්නේ සාහිත්‍යකරණය හා විචාරය අරබයා බුදු රදුන් විසින් දෙසනු ලැබූ කරුණු කිහිපයකට පමණි.
බුදු රජාණන් වහන්සේගේ බ්‍රහ්මචර්යය – එනම්: උන් වහන්සේගේ සන්දේශය – නොයෙක් සූත්‍රවලදී විශේෂ කොට ඇත්තේ ‘සාත්ථං සව්‍යඤ්ජනං’ යන පද දෙකෙනි. එහි අර්ථය නම්: බුදු රජාණන් වහන්සේ ‘සාර්ථ සව්‍යඤ්ජන’ ක්‍රමයෙන් ධර්මය දෙසූ බවයි. අර්ථවලට අමතරව, බුදු රදුන් ඉදිරිපත් කළ ව්‍යංජන පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම මෙහිදී බෙහෙවින් අදාළ වේ.
බුදු රජාණන් වහන්සේ අර්ථ දෙකක් වෙන වෙන ම ප්‍රකාශ වන පරිදි ධර්මය දෙසූ බව අංගුත්තර නිකායේ දුක නිපාතයේ සඳහන් වේ. ඒ අර්ථ දෙකෙන් එකක් ‘නීත’ යන පදයෙන් ද, අනෙක ‘නෙය්‍ය’ යන පදයෙන් ද නම් කොට ඇත. ‘නීත’ යන්නෙන් ගම්‍ය වන්නේ එක එල්ලේ ප්‍රකාශ කරන අර්ථය වන අතර, ‘නෙය්‍ය’ යන්නෙන් අදහස් වන්නේ ගම්‍යමාන අර්ථයයි. ඒ අනුව, ‘මෙය දුක ය,’ යන ප්‍රකාශය නීතාර්ථය දනවන්නකි. දුක මිස සැප කියා දෙයක් සැබැවින් ම නැති බැවින්, එය යථාර්ථවාදි ප්‍රකාශයකි. ‘මෙය ගසකි,’ යන ප්‍රකාශය නෙය්‍යාර්ථය දනවන්නකි. ගැඹුරු ලෙස සලකා බලන විට ‘ගස’ කියා දෙයක් නැත; ඇත්තේ සතර මහා භූතයන්ගේ සංකලනයකි. එනිසා ‘ගස’ යන පදයෙන් ගම්‍ය වන්නේ සතර මහා භූතයන්ගේ සුවිශේෂ සංකලනයකි. මේ අර්ථ දෙක පටලවා ගත හොත් නොමඟ යන බවත්, එවන් තැනැත්තා තමන් වහන්සේට පරිභව කරන්නකු බවත් බුදුන් වහන්සේ දේශනා කරති. තමන් වහන්සේ අර්ථ සහිත (=සාත්ථං) ක්‍රමයෙන් ධර්මය දේශනා කරන බව පවසන විට බුදු රජාණන් වහන්සේ අදහස් කරන්නේ නීතාර්ථ සහ නෙය්‍යාර්ථ බව මේ අනුව සිතා ගත හැකි ය.
‘සාත්ථං සව්‍යඤ්ජනං’ යන යෙදුම දෙස බලන විට පෙනී යන්නේ අර්ථයට ඉහළින් ව්‍යඤ්ජනය තැබිය හැකි බවයි. ‘සාර්ථ’ යන පදයෙන් අදහස් වන්නේ නීතාර්ථ සහ නෙය්‍යාර්ථ නම්, ‘සව්‍යඤ්ජන’ යන පදයෙන් නිරුක්ත්‍යාර්ථ සහ ගම්‍යමානාර්ථය ඉක්මවූ අර්ථයක් ගත යුතු බව මින් පැහැදිලි වේ.
ආනන්දවර්ධන (ක්‍රි.ව. 820-890) නම් ආචාර්යවරයාට පෙර සංස්කෘත කාව්‍ය විචාර සම්ප්‍රදායේ පිළිගැනීම වූයේ පද කාව්‍යවල අර්ථ දෙකක් පමණක් ඇති බවයි. මේ අර්ථ දෙක ‘වාච්‍යාර්ථ’ සහ ‘ලක්ෂ්‍යාර්ථ’ යන පදවලින් නම් කොට ඇත. වාච්‍යාර්ථය නම් පදගතාර්ථයයි. නාමයෙන් නිරුක්තියෙන් පදයට අයිති අර්ථය ඉන් අදහස් කෙරේ. ලක්ෂ්‍යාර්ථය යන්නෙන් පදයෙන් හෝ වාක්‍යයෙන් ඇඟවෙන අර්ථය අදහස් කෙරේ. මේ අනුව බුදු රජාණන් වහන්සේ විසින් වදාළ නීතාර්ථය වාච්‍යාර්ථයටත්, න්‍යොර්ථය ලක්ෂ්‍යාර්ථයටත් සමාන කොට දැක්විය හැකි ය.
පද-වාක්‍යවල තෙවැනි අර්ථයක්ද ඇති බව පෙන්වා දුන්නේ ඉහත ද කී, ආනන්දවර්ධන ය. ඔහු එය ‘ව්‍යංග්‍යාර්ථ’ යන පදයෙන් හඳුන්වා ඇත. ආනන්දවර්ධනගේ ධ්වන්‍යාලෝකයෙන් කාව්‍ය විචාරයට කළ එක් මාහැඟි ප්‍රදානයක් නම් ව්‍යංග්‍යාර්ථය හඳුන්වා දීම ය. පදයට ව්‍යංග්‍යාර්ථ ලැබෙන්නේ භාෂා ව්‍යවහාරයේ ඇති ව්‍යඤ්ජනා නම් ශක්තිය නිසා බව ආනන්දවර්ධන ප්‍රකාශ කරයි. පාලි සූත්‍රවල ‘සාත්ථං සව්‍යඤ්ජන’ යන ප්‍රයෝගය යෙදෙන තැන ‘ව්‍යඤ්ජන’ යන පදයෙන් අදහස් වන්නේ ව්‍යංග්‍යාර්ථ බව සිතා ගැනීමට මේ විස්තරය පිටිවහල් වේ.
මේ අනුව, භාෂාවෙන් අර්ථ තුනක් ප්‍රකාශ වන බව ප්‍රකට කළ පළමු ආචාර්යවරයා හැටියට බුදු රජාණන් වහන්සේ හැඳින්විය හැකි ය. ඒ අර්ථ තුන නම්: නීතාර්ථ, නෙය්‍යාර්ථ සහ ව්‍යඤ්ජනාර්ථ ය. මින් කාව්‍යය ශෝභාවත් වීමට වඩාත් අවශ්‍ය වන්නේ මේ කියන තුන් වැනි අර්ථය බව සංස්කෘත කාව්‍ය විචාරයේ පිළිගැනීම ය.
කාව්‍යෝචිත භාෂාවක ශික්ෂණය සඳහා යොදා ගත හැකි සදුපදේශ රාශියක් පාලි ත්‍රිපිටකය පුරා විසිර ඇතත්, මෙහිදී ඒ සියල්ලට අවධානය යොමු කිරීමට අවකාශයක් නැත.
‘ප්‍රතිභා’ සංකල්පය මුල් වරට දක්නට ලැබෙන්නේ සංස්කෘත කාව්‍ය විචාර ග්‍රන්ථවල නොව, පාලි ත්‍රිපිටකයේ ය. ඊට හොඳ ම නිදසුන අංගුත්තර නිකායේ කවි සූත්‍රයයි. එහි, කවීන් සිව් දෙනකු සිටින බව බුදු රජාණන් වහන්සේ දේශනා කරති. ඔවුන් නම්: චින්තා කවි, සුත කවි, අත්ථ කවි සහ පටිභාන කවි ය. මේ සූත්‍රය කරුණු තුනක් හේතුවෙන් වැදගත් ය. ඒවා නම්: භාරතීය සම්ප්‍රදාය තුළ පුරාණතම කාව්‍ය වර්ගීකරණය එහි දක්නට ලැබීමත්, ඒ වර්ගීකරණය මඟින් කවියා පිළිබඳ බෞද්ධ අර්ථකථනයේ විස්තෘතභාවය ප්‍රකට වීමත්, ප්‍රතිභා සංකල්පයේ පුරෝගාමිත්වය බුදු රදුන්ට ආරෝපණය වීමත් ය.
කෙසේ වෙතත් උක්ත කවීන් සිව් ප්‍රවර්ගය පිළිබඳ කිසියම් අර්ථකථනයක් දැකිය හැක්කේ මනෝරථපූරණී අටුවාවේ ය. සිතා කවි කරන්නා චින්තා කවියා බවත්, අසා කවි කරන්නා සුත කවියා බවත්, එක් අර්ථයක් පිණිස කවි කරන්නා අත්ථ කවියා බවත්, ස්වකීය ප්‍රතිභානයෙන් කවි කරන්නා පටිභාන කවියා බවත් එහි දැක්වේ. ‘චින්තා’ යන පදය දර්ශනය, පරිකල්පිතය යන අදහස් ප්‍රකට කරයි. එනිසා දාර්ශනික කවියා හෝ ස්වභාවධර්මය හෝ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය වැනි ප්‍රස්තුත ගැන ලියන කියන ප්‍රේමාඛ්‍යාන කවියා ‘චින්තා කවි’’ යන පදයෙන් අදහස් කළා විය යුතු ය. ‘සුත’ යන පදයෙන් ශ්‍රැතිය හා පාණ්ඩිත්‍යය ප්‍රකට වේ. එබැවින්, අන් අයගේ දැනුම පෝෂණය කිරීම උදෙසා ප්‍රබන්ධකරණයෙහි යෙදෙන්නා ‘සුත කවි’ යන පදයෙන් අදහස් කළා විය යුතු ය. ‘අත්ථ’ යන පදයෙන් අදහස් වන්නේ පුරුෂාර්ථ ය. සංස්කෘත සම්ප්‍රදාය අනුව අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යනුවෙන් පුරුෂාර්ථ සතරක් ඇත. බෞද්ධ සම්ප්‍රදාය අනුව දාන, ප්‍රිය වචන, අර්ථචරියා, සමානාත්තා යන සතර සංග්‍රහ වස්තු පුරුෂාර්ථ හැටියට හඳුනා ගත හැකි ය. මේ කියන කරුණුවලින් එකක් ප්‍රකට කිරීමට කාව්‍යකරණයෙහි යෙදෙන තැනැත්තා ‘අත්ථ කවි’ යන පදයෙන් අදහස් කළා විය හැකි ය. ‘පටිභාන’ යන පදයෙන් අදහස් වන්නේ වහා වැටහෙන නුවණ ය. එවැනි නුවණකින් ප්‍රස්තුතය විනිවිද දැක ප්‍රබන්ධකරණයෙහි යෙදෙන්නා ‘පටිභාන කවි’ යන පදයෙන් අදහස් කළා විය හැකි ය.
කවි සූත්‍රය පිළිබඳ තියුණු විග්‍රහයක යෙදෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් කියා සිටින්නේ එහි ලා කවීන් සතර දෙනා නම් කොට ඇත්තේ ආරෝහණ ක්‍රමයෙන් බවයි. ඒ අනුව විශිෂ්ටතමයා පටිභාන කවියා ය. ඔහු තව දුරටත් කියා සිටින්නේ ‘චින්තා’ යන පදයෙන් අදහස් වන්නේ සැම කවියකුට ම තිබිය යුතු පරිකල්පන ශක්තිය ය කියා ය. ඒ අනුව චින්තා කවියාට ඇත්තේ පරිකල්පන ශක්තිය පමණකි. පරිකල්පන ශක්තියත්, පාණ්ඩිත්‍යයත් ඇති තැනැත්තා සුත කවියා ය. පරිකල්පන ශක්තියත්, නිශ්චිත පරමාර්ථයකුත් ඇති තැනැත්තා අත්ථ කවියා ය. පරිකල්පන ශක්තියත්, වහා වැටහෙන නුවණත් ඇති තැනැත්තා පටිභාන කවියා ය.
කවිත්වය උපරිම වශයෙන් මල් පල දරන්නේ ප්‍රතිභානය ඇසුරෙන් බව හඳුනා ගැනීමට පාලි ත්‍රිපිටකය පුරෝගාමි මෙහෙවරක් ඉටු කොට ඇති බව පෙනේ. සංස්කෘත කාව්‍ය විචාරයට ද ගුරු වී යැයි සැලකිය හැකි ප්‍රතිභා සංකල්පයක් පාලි සම්ප්‍රදාය තුළ වූ බව පැහැදිලි වේ.
පටිභාන කවියා නම් වංගීස තෙරුන් මෙන් ස්ව ප්‍රතිභාවෙන් කවි කරන්නා යැයි ‘මනෝරථපූරණියෙහි’ සඳහන් වේ. එබැවින් වංගීස තෙරුන්ගේ ශක්ති විශේෂතා හඳුනා ගැනීම බෞද්ධ ප්‍රතිභා සංකල්පය අවබෝධ කර ගැනීමට සප්‍රයෝජනවත් වේ. උන් වහන්සේ වහා වැටහෙන නුවණ ඇති අය අතුරින් අග්‍ර වූ බව අංගුත්තර නිකායේ ඒතදග්ග පාළියේ සඳහන් වේ. වංගීස හිමියන්ට ඒ නාමය ලැබුණේ එක්කෝ උන් වහන්සේ වංග දේශයේ උපන් නිසා ය; නැති නම් භාෂා ව්‍යවහාරයෙහි නිපුණත්වය නිසා යැයි අපදානපාළියේ සඳහන් වේ. එවිට ‘වංගීස’ යන පදය භින්න වන්නේ ‘වාගීස’ යන පදයෙනි. බුදු රදුන් ‘සුභාෂිත යනු කුමක් දැ’ යි නම් කළ විට ‘ස්වාමීනි, ඒ මට මනාව වැටහේ’ යනුවෙන් ප්‍රකාශ කළ වංගීස හිමියන් සුභාෂිතය පැහැදිලි කරමින් ක්ෂණිකව කළ මනහර විස්තරයක් සුත්ත නිපාතයේ සුභාසිත සූත්‍රයේ දක්නට ලැබේ. සංයුත්ත නිකායේ එක් තැනක එසේ ක්ෂණිකව තමන් වහන්සේ ප්‍රකාශ කළ ගාථා සමුදායක් ගැන වංගීස හිමියන් සඳහන් කරන්නේ ‘ස්වාමීනි, මේ ගාථා මවිසින් පෙර කල්පනා කරන ලද ඒවා නොවේ, හිටිවන ම මට වැටහුණු ඒවා ය,’ කියා ය. මේ ප්‍රකාශයේ එන ‘න පුබ්බේ පරිවිතක්කිතා සහඨානසෝ’ යන පද ප්‍රතිභානය පිළිබඳ බෞද්ධ අර්ථකථනය මොනවට ප්‍රකාශ කරයි. මේ කරුණු අනුව, ප්‍රතිභාවය ප්‍රකට වන සාධක තුනක් බුදු සමය හඳුනා ගෙන ඇත. ඒවා නම්: භාෂා කෞශල්‍යය, වහා වැටහෙන නුවණ සහ හදවත උතුරා පිටාර ගැලීම ය.
සූත්‍ර සාහිත්‍යයේ නොයෙක තැන ‘පටිභාති’, ‘පටිභන්ති’, ‘පටිභංසු’ යන ක්‍රියා රූප දක්නට ලැබේ. ‘පටිභා’ හෝ ‘පටිභාන’ යනු ඒවායේ නාම ප්‍රකාශනයයි. එහි නිරුක්තිය ‘පටි’ පූර්ව ‘භා’ ධාතුව යි. ‘භා’ ධාතුවේ අර්ථය ‘හදිසියේ දැල්වීම’ යි. සිත තුළ හදිසියේ ඇති වන අති ප්‍රශස්ත අදහස් ධාරාවක ආලෝකය භාෂානුසාරයෙන් ප්‍රකට කිරීමට හැකියාව ඇති තැනැත්තා ‘පටිභාන කවි’ යන වදනින් අදහස් කොට ඇති බව මින් පෙනේ.
මේ ශක්තිය ඇති ශ්‍රාවකයන් බුදු රදුන් දවස බොහෝ සිටින්න ඇති බව ඒ අය අතර අග්‍ර නිලය වංගීස තෙරුන්ට පිරිනැමීමෙන් පැහැදිලි වේ. ‘ථේර ථේරි ගාථා’ සහ ‘ථේර ථේරි අපදාන’ යන ග්‍රන්ථවල දක්නට ලැබෙන ඇතැම් ප්‍රබන්ධ ප්‍රතිභානය නිරූපණය වන කාව්‍ය හැටියට අගය කළ හැකි ය. බුදු රදුන් කෙරෙහි පැවති ඒ ශක්තිය දහස් සංඛ්‍යාත සූත්‍ර පිරික්සීමෙන් පැහැදිලි වේ. එහිදී, මහාවග්ගපාළියේ ප්‍රථම පරිච්ඡේදය සහ මජ්ඣිම නිකායේ අරියපරියේසන සූත්‍රයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ‘තමන් වහන්සේ අවබෝධ කළ ගැඹුරු ධර්මය කෙලෙස් භරිත මිනිසුන්ට වටහා ගැනීම දුෂ්කර බව මෙනෙහි කරත් ම බුදු රදුන්ට පෙර නොඇසූ විරූ ගාථා කිහිපයක් ප්‍රතිභානය වූ’ බව එහි සඳහන් වේ (අපිස්සු භගවන්තං ඉමා අනච්ඡරියා ගාථායෝ පටිභංසු පුබ්බේ අස්සුතපුබ්බා). ධර්මය පටිසෝතගාමි බව කියවෙන සුප්‍රකට ප්‍රකාශය ඇත්තේ මේ ප්‍රතිභානය තුළ ය. ඒ ගාථා පෙර නොඇසූ විරූ ඒවා පමණක් නොව, අසුරු සැණක් ඉක්ම යෑමට මත්තෙන් (අනච්ඡරියා) කියවුණු ඒවා බව ද එහි දැක්වේ. ප්‍රතිභානය අනපේක්ෂික්තව පිටාර ගලා යන්නක් බව ඉන් හැඟවේ. වංගීස හිමියන්ගේ ප්‍රකාශයේ දක්නට ලැබෙන ‘කල් ඇතිව කල්පනාවට නොගත්’ (න පුබ්බේ පටිවිතක්කිතා) යන ප්‍රයෝගයත්, ඉහත දැක්වෙන පාඨයේ එන පෙර නොඇසූ විරූ (පුබ්බේ අස්සුතපුබ්බා) යන ප්‍රයෝගයත් සමානාර්ථවත් ය. එමෙන් ම, වංගීස හිමියන්ගේ ප්‍රකාශයේ එන ‘හිටිවන ම’ (ඨානසෝ) යන ප්‍රයෝගයත්, බුදු රදුන්ගේ ප්‍රතිභානය කියවෙන තැන එන ‘අසුරු සැණින්’ (අනච්ඡරියා) යන ප්‍රකාශයත් සමානාර්ථවත් ය.
මෙයින් පෙනී යන්නේ ප්‍රතිභානය පෙර සූදානමක් නැතිව, ඇසිල්ලකින් ක්‍රියාත්මක වන ශක්ති විශේෂයක් බවයි. අපූර්වත්වය (න පුබ්බ හෝ අපුබ්බ) එහි විශේෂ ලක්ෂණ ය. අපූර්ව වස්තු නිර්මාණය ප්‍රතිභානය ලෙස හඳුනා ගැනීමට සංස්කෘත විචාර සම්ප්‍රදාය ඉදිරිපත් වූයේ උක්ත ප්‍රකාශවලින් බොහෝ කලක් ඉක්ම ගිය පසු ය.
මහාචාර්ය ඔලිවර් අබේනායක