Home » සමාජ විපරීතය සියුම්ව ගෙත්තම් කරන ෆීජි ලේඛිකා මේරි රොකන්ඩ්‍රාවු

සමාජ විපරීතය සියුම්ව ගෙත්තම් කරන ෆීජි ලේඛිකා මේරි රොකන්ඩ්‍රාවු

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

ශාන්තිකර (ෆැසිපික්) සාගරයේ කුඩා දූපත් සමූහයකින් ෆීජි රාජ්‍යය සමන්විතය. මනරම් වෙරළ තීරයන්ගෙන් සුසැදි චමත්කාරජනක පරිසර පද්ධතියකට උරුමකම් කියන නිසාම එය සංචාරකයන්ගේ මුවග නිතර රැවුදෙන නාමයකි. කෙසේ වුවද මේ කියන්න යන්නේ ෆීජි දූපත්වල අලංකාරය ගැන නම් නොවේ. මේ දූපත් රාජ්‍යයට අලංකාරයක් බඳු ලේඛිකාවක ගැනය. ඇය නමින් මේරි රොකන්ඩ්‍රාවු (Mary Rokonadravu) ය. ප්‍රකාශන කර්මාන්තයක් පවා නැති රටක හිඳිමින් පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගාවලියේදී දෙවතාවක්ම ශාන්තිකර කලාපයේ හොඳම කෙටිකතාවට පිදෙන සම්මානය ඇය හිමි කරගන්නේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි ප්‍රබල රටවල ලේඛක ලේඛිකාවන්ද අබිබවමිනි.

මේරි රොකන්ඩ්‍රාවු යනු ස්වදේශීය ෆීජි, ඉන්දීය සහ යුරෝපීය පදිංචිකරුවන්ගේ උරුමය සහිත මිශ්‍ර ෆීජියානු ලේඛිකාවකි. ඇය 2015දී පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගාවලියේ ශාන්තිකර කලාපය ජයග්‍රහණය කළ අතර, 2017දී කෙටි ලැයිස්තුගත වූවාය. 2022දී ඇය යළිත් ශාන්තිකර කලාපීය ජයග්‍රහණය අත් කරගත්තාය. ඇයගේ කෙටිකතා, ග්‍රන්ථ, ඇඩා (adda) යන ප්‍රමුඛ වෙබ් අඩවිවල මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මුද්‍රණාලයෙන් නිකුත් කළ කෙටිකතා සංග්‍රහයේද, නවසීලන්ත පෙන්ගුයින් රැන්ඩම් හවුස්හි කෙටිකතා සංග්‍රහවලද මුද්‍රණය වී තිබේ.

2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගය වෙනුවෙන් ඇය ඉදිරිපත් කළ කෙටිකතාව නම් වූයේ ‘රාත්‍රි වැඩමුරය’ නමිනි. ෆීජි දූපත්වල අගනුවර වන ‘සුවා’ වෙත පිටිසරින් පැමිණෙන තරුණයකු එහි නාගරික ජීවිතය තුළ ගොඩනැඟෙන ආකාරය මේ කෙටිකතාවේදී සාකච්ඡා වුවද එහි යටිපෙළින් ෆීජි දූපත්වල වර්තමානයේ පවතින දේශපාලනික අස්ථාවරත්වය සහ සමාජ ක්‍රමය මැනවින් නිරූපිතය. ඇය වාක්‍ය කිහිපයකින් තම පාඨකයන්ට එය කියාපාන්නේ මෙසේය:

‘පොළොවෙහි වූ ඒ සිදුර මඤ්ඤොක්කා වගා කරන දුප්පත් ගැමියකුගේ සිට ටොෂීබා රෙදි සෝදන යන්ත්‍රයක්, කොළපාට භූමිතෙල් ළිපක් සහ තහඩු නිවෙසක හිමිකරුවකු බවට ඔහු පත් කළ බොක්සයිට් පතලේ ආශ්චර්යය ගැන වසර ගණනාවකට පසුව පොආසා මතක් කළේය. ඔහුට බිරියක්ද ලැබිණි. එලිසි. ඉංග්‍රීසියෙන් නම් එය ඇලිස්ය; වීදියේ සිටි එලිස්ය. ඇය ජීවමාන ජලයේ දේවස්ථානයේ දිවැසිවරියක් වූවාය. ඇයට මිනිසුන්ගේ පිටෙහි එකැස් කුකුළකුගේ ස්වරූපයෙන් නපුරු ආත්ම දැකිය හැකිය. ඇය ඒ නපුරු ආත්ම පිදුරු බල්ලන් තුළ සිරගත කළාය. ඇය දැන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දහස් ගණනක් ජනී ජනයා හාස්කම් වෙනුවෙන් බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරන මහා ඩිජිටල් යාච්ඤා සඳහා විශේෂ දැනුමැති ටෙලිවැන්ජලිස්තවරුන් වන පෝලා වයිට් සහ ජෙසී ඩුප්ලාන්ටිස්ගේ අනුගාමිකාවක් වූවාය.’

බොක්සයිට් යනු ඇලුමිනියම් ලෝහය නිස්සාරණය කරගත හැකි අවසාදිත පාෂාණ වර්ගයකි. බොක්සයිට් පතල හරහා දුප්පත් ගැමියකුගේ සිට පොආසාට තහඩු ගෙයක සහ රෙදි සෝදන යන්ත්‍රයක හිමිකරුවකු වීමට හැකියාව අත් කර දුන් බව කියවේ. එනිසා ෆීජිහි යම් ප්‍රමාණයක සමාජ තත්ත්වය කෙසේදැයි අපට පැහැදිලිය. එමෙන්ම ඔහුගේ බිරිය ශ්‍රී ලංකාවේද කලින් කලට මතු වන හාස්කම් සහිත පුද්ගලයන්ගේ පන්තිය නිරූපණය කරන්නියකි; මිථ්‍යාව තුළින් සමාජ බලයක් ආරෝපණය කරගත්තියකි.

කතාවේ දෙවැනි අර්ධයේදී පොආසා බැලීමට ඇයගේ මව ගම්මානයේ සිට පැමිණෙන්නීය. පොආසා විවාහ වී ඇත්තේ වීදි ගණිකාවක සමඟ බවට ආරංචියක් මවගේ සවනතට ළඟා විය.

‘සෙනසුරාදා ඔහුගේ මව උදෑසන කිරි ට්‍රක් රථයෙන් සුවා වෙත යන්නට පිටත් වූවාය. ඇය ගියේ පොළෙහි විකිණීමට ගං ඉස්සන් හෝ නැතිවය. ඇය තම පුතුට රොව්රොව් හෝ කුස්සියට යාබදව තිබුණ වත්තෙන් ඔහුගේ ප්‍රියතම ආහාරය වූ බාගෙට ඉදුණු කෙසෙල් ගෙඩි හෝ රැගෙන නොගියාය; එපමණක් නොව, ඔවුන්ගේ බතල වගාව අද්දර තිබුණු ඉදුණු අන්නාසි පවා ඇය රැගෙන නොගියාය. ඇයගේ කෝපය කර්මාන්තශාලාවක ඔතන ලද ගැල්වනයිස් කළ දඟරයක් මෙන්, ආමාශයේ පතුලේ තිබිණි.’

ගැමි කාන්තාවක වූ ඔහුගේ මව සිය කෝපය ප්‍රකාශ කරන්නේ ඔහු කැමැති කිසිවක් ගෙනයෑම වළක්වාගනිමින් වීම ඇයගේ මානසික තත්ත්වය අපට එක්වරම පෙන්වන සාධකයකි. ලේඛිකාව ඉතා සියුම් කාරණා වෙත පවා අවධානය යොමු කර ඇති බව ඉන් ගම්‍ය වේ.

මුදල් මූලික කරගත් සමාජයක නන්විධ විපරීත මුහුණුවර අපට දක්නට පිළිවන. වේගයෙන් ධාවනය වන ලෝකයේ අපි අනවරත ධාවනයක යෙදී සිටින්නෙමු. මේ තරගය කෙළවර හිමි වන්නේ අරාජිකත්වයම බැව් කතුවරිය අපට පෙන්වීමට උත්සාහ කරන්නීය:

“ප්‍රකෝපකාරීන් රංචුවක් නගරය දෙසට ගමන් කරමින් සිටියහ. උන් පාර්ලිමේන්තුවට ගිහින් බලය අල්ලගන්න හදන්නේ! කොල්ලෝ කළ යුතු දෙය පුරුද්දෙන් දැන සිටි බැවින් ඉක්මන් වූහ. ඔවුහු වහා පිටතට දිවගොස්, කටු ගේට්ටු ඇද වසා, එය අගුළු දැමීමට විශාල ඉබියතුරු දැමූහ. එය පළමු හමුදා කුමන්ත්‍රණය නොවීය. අගනුවර වේගයෙන් හිස් වෙමින් පැවතිණි. දැවැන්ත කොල්ලකෑම් ඒ වන විටත් ආරම්භ වී තිබිණි. ඉහළ වයිමානු පාරේ පිහිටි ආර්.බී. පටෙල් සුපිරි වෙළෙඳසල සිවිල් වැසියන් විසින් කොල්ලකනු ලැබීය. කරත්ත ගණන් මත්පැන්, ශීත කළ කුකුළු මස් සහ බැටළු මස් පෙති එහි ඉදිරිපස ගොඩගසා තිබිණි.’

මෙය නම් ඕනෑම මානව ජනාවාසයක, ඕනෑම මොහොතක උද්ගත විය නොහැකි තත්ත්වයක් නොවන බවට අපට අමුතුවෙන් කිව යුතු නැත. මේරි රොකන්ඩ්‍රාවු ස්පර්ශ කරන්නේ මේ සමාජ විපරීතයයි.

රෂ්මික මණ්ඩාවල 
පරිවර්තක/ සාහිත්‍ය ගවේෂක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division