Home » රාජස්ථානයේ වියළි පොළොවට ජල උල්පත් මැවූ ආදරණීය මිනිසා ‘වෝටර් මෑන්’

රාජස්ථානයේ වියළි පොළොවට ජල උල්පත් මැවූ ආදරණීය මිනිසා ‘වෝටර් මෑන්’

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
පවිත්‍රා රූපසිංහ

පෘථිවිය වතුර ලීටර්වලින්, ට්‍රිලියන බිලියනයකට වඩා අඩංගු බව කියැවේ. වතුරේ පමණක් නොව, මහ පොළොවේ ජීවත් වන්නන්ටත් වතුර ප්‍රාණසම වස්තුවක් වේ. පෘථිවියේ ජලයෙන් සියයට අනූ හතකටත් වඩා ඇත්තේ ලුණු ජලයයි. ඒ නිසාම සෑම වසරකදීම ලෝක ජනගහනයෙන් මිලියන දෙකකට වඩා ජනතාවක් ආරක්ෂිත පානීය ජලය නැති වීම යන භයානක හේතුවෙන් මියයන බව වාර්තා වේ. පසුගිය අවුරුදු පහළොවක කාලයක් තුළ ලෝක ජනගහනයෙන් අඩක් ජීවත් වන්නේ‍්, අධික ජල හිඟයක පීඩනයකින් යුතු පළාත්වල බව කියැවේ.

ඉන්දියාවේ රාජේන්ද්‍ර සිං වැඩ අරඹන්නේ, ‘අපට දැන් ඉතිරිව තිබෙන්නේ ජල අර්බුදය විසඳන්නේ කෙසේද? කියන ප්‍රශ්නය මතු කරමිනි. ‘අද අපට තිබෙන ඉලක්කය ඉතා ප්‍රබලයි. එය සූරාකෑම, දූෂණය සහ ආක්‍රමණ පිරුණු සියවසක ඉලක්කයක්. මේ සියල්ල හමුවේ ජලයට එරෙහි යුද්ධය, සාමය බවට පරිවර්තනය කිරීම මගේ ජීවිතයේ ඒකායන පරමාර්ථයයි’ යනුවෙන් ඔහු ලොවට හඬ ගා කියයි.

සිං, සිය අධ්‍යාපනය සහ පුහුණුව ලබා ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙසින් වුවත් ඉන්දියාවේ ශුෂ්ක රාජස්ථානයේ ග්‍රාමීය ගම්මානයක රාජකාරියට වාර්තා කළ ඔහුට මුලින්ම දැනුණේ සෞඛ්‍ය ප්‍රශ්නයට යටින් ඇත්තේ ජල ප්‍රශ්නය බවය. එහිදී තද දුඹුරු පාට මහ පොළොව දැකීමෙන්, භූගත ජලය නැති වියළී ගිය භූමියේ ගොවීන් අතරමංවී සිටින ආකාරය දැකීමෙන් ඔහු කලබලයට පත් විය. ගමේ ගංගා, වනාන්තර, ගහකොළ සහ වනජීවීන් අතුරුදහන් වීම සමඟ ගම්මුන් ක්‍රමයෙන් නගරය කරා ඇදෙමින් සිටිනු ආකාරය ඔහු දැක ඇත්තේ මහත් භීතියකින් යුතුවය. සිං, වැසි ජලය එක්රැස් කිරීමේ පුරාණ ඉන්දියානු තාක්ෂණයේ නවීන අනුවාදනයක් භාවිත කරන්නේ ඒ අනුවය. තෙත් සමයේදී ජලය ගලායාම වළක්වා ගැනීමත්, අනාගතයේ ඒ ජලය භාවිත කිරීම සඳහා ජලය පොළොවට කාන්දුවීම සඳහා පහත් මට්ටමේ ඉවුරක් ඉදිකිරීමත් ඊට ඇතුළත්ය.

ඔහු සංවේදී වූයේ මහපොළොවත් ඒ මත සියලු ජීවීනුත් ඉදිරියේදී මුහුණ දෙන්නට නියමිතව තිබෙන අර්බුදය කල්තියා දැකීමෙනි. ජල හිඟය නිසා තම ගම් බිම් හැර ගිය මිනිසුන් නැවත කැඳවීමට ඔහුගේ සංග්‍රාමය ඉවහල් වූවා කිවහොත් නිවැරදිය. තවත් ඉන්දීය තරුණ සංවිධානයක් සමඟ එකතුව පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කළ සිං, තම ගම්බිම් හැර ගිය ජනකොටස් නැවත කැඳෙව්වේ පොළව සරුසාර කර ඔවුන්ගේ ගොවිකම්වලට සරු පොළොවක් සහ කොළපාට පරිසරයක් දායාද කරමිනි. විනාශ වී ගිය ජලාශ ප්‍රතිසංස්කරණය කිරීමත් ළිං, වගා ළිං නැවත පිළිසකර කිරීමත් ඔහු සිදු කළේය.

ලෝකය ඔහු ඇගයුවත් ඔහුට අවැසිව තිබුණේ,කොළපාට ගම්පළාතක් ස්ථාපිත කිරීම පමණි. ඒ ඉලක්කයට යාම ගැන තුටු වෙමින් සිං පැවසුවේ, ලෝකය ආරම්භ වුණේ ජලයෙන්. ජලය නොමැති වීමෙන් ලෝකය අවසන් වීමට ඉඩහැරිය නොහැකිය යන ඒකායන පැතුම තමාගේ ජීවන පැතුම වන බවය.

දැඩි ජල හිඟයකින් පෙළෙන රටක, ඒ මිනිසාගේ නොපසුබට උත්සාහය නිසා ඔහුට ‘ඉන්දියාවේ වෝටර් මෑන්’යන උදාර නාමය හිමි විය. සම්ප්‍රදායික ජල එකතු කිරීමේ ශිල්පීය ක්‍රම පුනර්ජීවනය කිරීම සහ ශුෂ්ක භූ දර්ශන සශ්‍රික, ජලයෙන් පොහොසත් ප්‍රදේශ බවට පරිවර්තනය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ දූරදර්ශී රාජේන්ද්‍ර සිං ආසියානුවන්ට සැබෑ ආදරවන්තයෙක් යැයි කීම නිසැකවම සුදුසුය.

‘වෝටර් මෑන්’නාමය ඔහුට ලැබෙන්නේ කෙසේද? ඒ සඳහා ඔහුගේ මැදිහත්වීම මෙතරම් අසාමාන්‍ය වන්නේ ඇයි? සිංගේ ප්‍රවේශය අවධානය යොමු කරන්නේ ජොහාඩ්, වැසි ජලය අල්ලාගෙන ගබඩා කරන සාම්ප්‍රදායික මැටි වේලි පුනර්ජීවනය කිරීම කෙරෙහිය. පළාතේ මිනිසුන් සම්බන්ධ කර ගනිමින් සහ ස්වදේශික දැනුම උපයෝගී කර ගනිමින්, ඔහු රාජස්ථාන් පුරා ජෝහාඩ් දහසකට අධික සංඛ්‍යාවක් අති සාර්ථකව ප්‍රතිෂ්ඨාපනය කිරීම පුදුම සහගත බව ඉන්දියානුවන්ගේ ද මතයයි. මේ හරහා ගම්මාන දහසකට වැඩි ගණනකට වතුර රැගෙන යාම ඇදහිය නොහැකියි යනුවෙන් ඉන්දියානුවන් පවසයි.

ඔබ සාහිත්‍යය සහ ආයුර්වේදය හදාරා තිබුණත් ජලය සහ ඒ සම්බන්ධ දේ ගැන වැඩ ඇරඹීමට හේතුව කුමක්දැයි දිනක් ඔහුගෙන් ඉන්දීය මාධ්‍යවේදිනියක් ඇසූ විට, රාජේන්ද්‍ර සිං උත්තර දෙන්නේ මෙසේය.

“මම 1985දී අල්වාර්හි ගෝපාල්පුර ගම්මානයට පැමිණියා. ඒ වන විට මේ පළාතේ මන්දපෝෂණය නිසා රතුන්ඩි (රාත්‍රී අන්ධභාවය) නම් රෝගයක් ව්‍යාප්ත වෙමින් තිබුණේ. එනිසාම ඒ රෝගයට සත්කාර කිරීම වහ වහාම ඇරඹුවා. ටික කාලයයි ගත වුණේ. මට වැටහුණා මේ මිනිස්සු උගත්කමට බොහෝ දුරින් ජීවත් වන අය බව. නැත්නම් මේ ප්‍රජාවට යන්තම් හෝ උගත්කමක් නැති බව මම ටිකින් ටික පසක් කර ගත්තා. ඒ නිසාම මම මේ පළාතේ පාසලක් පටන් ගත්තා. වෛද්‍ය විද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳ මගේ වැඩකටයුතු මාස හතක් තිස්සේ අඛණ්ඩවම සිදු කළා. ඒක මට බොහොම සතුට දනවන දෙයක් වුණා.

එක දවසක් මංගුමීනා කියලා ඉතා මහලු ගොවියෙක් මට ඔහු අසලට කතා කළා. ඔහු මට කිව්වා “මහත්තයෝ, අපිට ඕනෙ ඇති බෙහෙතක් නෑ, ඔය කියන අධ්‍යාපනයත් අපට ඕනෑ නෑ. අපිට ඕනෑ වතුර…” කියලා. ගෝපාල්පුර ජනතාව අල්වාර්හි අනෙකුත් සෑම ගම්මානයකටම වඩා දැඩි ජල හිඟයකට මුහුණ දී සිටි බව මා ඒ වන විටත් දැන සිටියා. ඒ මහ පොළොව වුණත් මුළුමනින්ම වගේ නිසරු හා පාළුවෙලා තිබුණු බව මා කලින්ම දුටුවා.

ඉතින් මම ඔහුට කිව්වා, “මම ජල සංරක්ෂණය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ”කියලා. ඔහු කොක්හඬලා සිනා සුණා. “මම ඔබට උගන්වන්නම්”කියා ඔහු සිනාව මැඬගෙන වගේ ක්ෂණයෙන් කිව්වා. මටත් ඒ ගැන හිනා ගියා. නමුත් වහාම මම ඔහුගෙන් ඇහුවා.”ඔයාට මට උගන්වන්න පුළුවන් නම්, ඇයි ඔයාම ඒක කරන්නේ නැත්තේ?”කියලා. මොහොතක් ඔහු මා දෙස බලා සිටියා. කඳුළු පිරි දෑසින් ඔහු මට කියා සිටියේ,”ඉස්සර අපිම තමයි ඒ දේවල් කළේ, ඒත් අපේ ගම්වල ඡන්ද පටන් ගත්ත දවසේ ඉඳලා ගමේ අය පක්ෂ අනුව මිනිස්සු බෙදිලා ඉන්නේ. ඒ අය තවදුරටත් එකට එකතු වෙලා වැඩ කරන්නේවත්, පොදු අනාගතයක් ගැන සිතන්නේවත් නැහැ. ඒ ගැන මට පුදුමයි. ඒත් ඔබ මේ එක පැත්තකටවත් අයිති කෙනෙක් නෙමෙයි. ඔබ කාටත් පොදුයි. ඔබට පුළුවන් මේ දේ කරන්න.”

මට එයින් යමක් නිශ්චිතවම වැටහුණා. මට සැබෑවටම තේරුණා ඒ මහලු ගොවියා කියන සහ ඉල්ලන දේ කුමක්ද කියලා. ඔහු උගත් නොවූවත්, ඔහු සැබෑ බුද්ධිමත් කෙනෙක්. මම ඔහු සමඟ එකට එක්වී ජල සංරක්ෂණය ගැන වැඩ කරන්න එතැන් පටන් කටයුතු කළා.

ජල සංරක්ෂණය පිළිබඳ මගේ පුහුණුව අඛණ්ඩවම සිදු වුණා. මංගුමිනා ගොවි මාමා මාව ගමේ වියළි ළිං විසි පහකට වඩා වැඩි ගණනකට ගෙන ගියා. මම ඒ ළිංවල අඩියට බැස්සා. ඒවා අඩි අසූවක් නැත්නම් එකසිය පණහක් පමණ හෝ ඊටත් වඩා ගැඹුරුයි. අපි ඒ ගැඹුරට බැස්සා. ඔහු කිව්වා, මට මහ පොළොවේ බඩ බලන්න පහළට බහින්න ඕනෑය කියලා. මම ළිංවල විවිධ වර්ගයේ අස්ථි බිඳීම් දෙස බලා සිටියා. අහසේ වැඩ සිටින හිරු දෙවියන් විසින් කරන මහ පොළොවේ වතුර සොරකම් කිරීම මට වැටහුණා. හිරුගෙන් මහ පොළොවේ වතුර බේරාගන්නේ කොහොමද කියා මම හොඳින් තේරුම් ගත්තා. රාජස්ථාන්හි අපට වර්ෂාපතනය හෝ ජලය ලබාදෙන්නේ සූර්යයා බව ඇත්ත තමයි. එසේ වුණත්,වාෂ්පීකරණය හරහා ඒවා නැවත තමන් වෙත ලබා ගන්නා දැවැන්තම හොරා ද වන්නේ සූර්යයායි. අපේ විශාලතම ජල සොරා ඔහුම තමයි. මගේ රාජකාරිය වූයේ ජලය එකතු කර එය වාෂ්ප නොවන පරිදි පෘථිවියේ බඩට ළඟාවීමට මාදිලි හඳුනා ගැනීමයි.

මේක තමයි මම ගෝපාල් පුරේදි ඇත්තටම සිදු කළේ. එක් මෝසමකින් පසු, ළිං සහ භූගත ජලධර නැවත ආරෝපණය කරවීමට අපි කටයුතු කළා. මම සහ අපි වියළී ගිය කුඩා උල්පත් පුනර්ජීවනය කළා. අපිට කරන්න තිබුණේ භූගත ජලධර නැවත ආරෝපණය කිරීම පමණයි කිව්වොත් නිවැරදියි. මෙම ආකාරයේ වැඩ වෙනත් ගම්මාන සහ ප්‍රාන්තවලට ව්‍යාප්ත වීමත් සමඟ ගංගා දොළහක් පුනර්ජීවනය කෙරුණා. අහන්න සතුටුයි, කියන්නත් සතුටුයි, දැන් පළාත බහුවාර්ෂිකයි.

වතුර නැති නිසාම ගමේ ජීවත් වෙන්න විදියක් නැතිව ගම අත­්හැර ගිය ගම්මුන් පසුව ටිකින් ටික ගමට එන්න පටන් ගත්තා. ඔවුන් ගොවිතැන් කරන්න පටන් ගත්තා. ගම අතැර ගොස් සිටි අනෙක් ඥාතීන්ටත් මේ පුවත ආරංචි වුණාම ඔවුනුත් ගමට ආවා. නගරයේ කැටි වී සිටි ජන සමූහය විසුරුණා. සමාජයේ පැහැදිලි සමතුලිතතාවක් ටිකින් ටික ඇති වුණා.

ඒ විතරක් නෙමෙයි, තවත් වැදගත් දෙයක් සිදු වුණා. කැලේ වතුර නැති නිසා කෑමබීම හොයාගෙන ගමට නගරයට ඇඳුණු වන සතුන් බොහෝමයි. ඔවුන් මිනිසුන්ගේ ජන ජීවිතයට තදින් එදිරි වී සිටියා. නමුත් කැලෑ සරුසාර වන විට වනාන්තර කෑමෙන් බීමෙන් සරු වන විට වන සතුන් ගම නගරය හැර දා වන වැඳුණා. ඒක ආශ්චර්යයක් වගේ දෙයක්. ගමේ නගරයේ ජනයා හා මාරාන්තිකව ගැටෙමින් දිවි ගෙවූ සතුන්ට සිය වාසභවන ලැබුණ බව දැණුන සැණින් ඔවුන් ඒ රජදහන කරා පිටව ගොස් තිබුණා. හැමෝටම සොබාදහම විසින් පවරා තිබුණු දේ නැවත ලැබුණා වගෙයි.

“ජලය යනු දේශගුණයයි, දේශගුණය යනු ජලයයි…” එය ඉන්දියාවේ වෝටර් මෑන් නාමය දරන රාජේන්ද්‍ර සිං ලෝකයට තහවුරු කළ අපූර්ව සත්‍යයකි. ඒ ගැන තහවුරු කරමින් වෝටර් මෑන් මෙසේ පවසන්නේය.

“ජලය සහ මහ පොළොව මේ විශ්වයේ පැවැත්මෙහි අත්තිවාරමයි. පංච මහාභූත ඔබ දන්නවා ඇති. ඒ කියන්නේ, ‘වතුර, පස, සූර්යයා, වාතය සහ අහස’යන මේවා සාම්ප්‍රදායිකව ඉන්දියානු සංස්කෘතිය තුළ මහත් සේ ගෞරවයටත් ආදරයටත් සහ වන්දනාවටත් පාත්‍ර වූ ඒවායි. ඉන්දියාවේ දේශගුණික අර්බුදය සහ පාරිසරික අසමතුලිතාවන් පැන නඟින්නේ මිනිසුන් මෙන්න මේ පැවැත්මේ උත්තරීතර අංග පහ අතර සම්බන්ධතාව බිඳ දැමීම නිසායි. මේ අංග සමඟ අපගේ බැඳීම නැවත පණ ගන්වා ගත යුතුයි. ගංගා කෙරෙහි ජනතාවගේ ශ්‍රද්ධාව වර්ධනය වනු ඇත්තේ,ඔවුන් ජලය තමන්ගේ සහ තම සන­ුහරේ ජීව ශක්තියේ ප්‍රභවයක් ලෙස අගයන්නට සහ ගරු කරන්නට ඉටා ගත් විට පමණයි. ඒ ඔහුගේ සොබාදහම් හිතැති හැඟීමයි.

සිං කියන්නේ, එවිට වචනාර්ථයෙන්ම ගංගා පිරිසිදු වී, බාධාවකින් තොරව ගංගා ඉදිරියට නොනවත්වා රැලි නංවා ගලා යනු ඇති බවය. වටපිටාවේ හරිත ආවරණය පැතිරෙනු ඇති. ඒ හරිතය වඩා හොඳ වැස්සක් මහ පොළොවට පතිත කරනු ඇති. එනයින් ගොවිතැන, ගොවියා සහ මිනිසුන් ද සත්ව ලෝකය ද සමෘද්ධිය කරා ගෙන යනු ඇති. අවසන තිරසර අනාගතයක් කරා මිනිසා සමඟ පෘතුවිය ගමන් කරනු ඇති බවය.

සොබාදහම මතු කරන අභියෝගයන්හිඳී ඒවාට සොබාදහම මත පදනම් වූ විසඳුම් ඉදිරිපත් කිරීමෙන් පමණක් අපට අපගේ පැවැත්ම තහවුරු කර ගත හැකි බව රාජේන්ද්‍ර සිංගේ මැදිහත්වීමෙන් උගන්වනු ඇත. ‘දේශගුණය යනු වතුරයි, වතුර යනු දේශගුණයයි’ යන්න අප සිත් වශී කරන ඒ චින්තනය අපගේ ජීවන ගමනේ චින්තනය ද කර ගැන්මට කාලය උදා වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division