උතුරුමැද පළාතේ ප්‍රධාන රෝහල වූ අනුරාධපුර මහ රෝහල සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කිරීමට සිදු වීම එක්තරා අන්දමක ඛේදවාචකයකි. කෙටියෙන් කිව හොත්: රට කරවන බලවතුන්ගේ ඇස්වලින් ඈත් වී අනුරාධපුර රෝහල වසර 15කට ආසන්න කාලයක් පැවත තිබෙන්නේ මුදා නොගත් ප්‍රදේශයක් වශයෙනි. අවසානයේ ඊට වන්දි ගෙවීමට සිදු වූයේ ජාතියට මිණි පහනක් වූ අහිංසක වෛද්‍යවරියකට ය. ඇය මුහුණ පෑ ශෝචනීය තත්ත්වය වළක්වා ගත නොහැකි වීම පිළිබඳ අප ලජ්ජාවට පත් විය යුතු ය.
වෛද්‍යවරියට වූ අපරාධය සමඟ පුපුරා ගියේ අනුරාධපුර රෝහල පසුබිම් කර ගනිමින් වසර ගණනාවක සිට වර්ධනය වූ රාජ්‍ය පාලනයෙන් ගිලිහුණු අරාජික තත්ත්වයකි. පසුගිය කාලයේ රෝහල් පරිශ්‍රය පැවතී තිබෙන්නේ කිසිදු විනයක්, පාලනයක් නැතිව, විවිධාකාර පිරිස් හිතුමතේ හැසිරෙන පොදු ස්ථානයක් වශයෙනි. එක පැත්තකින් රෝහල නිශාචරයන්ගේ රජදහනක්ව ඇති අතර, රෝගියකුට පහසුවෙන් ළඟා විය නොහැකි වන පරිදි අනවසර ඉදිකිරීම්, වෙළෙඳසල් කිසිදු සැලසුමකින් තොරව හිතුමතේ ඉදි කරගන්නට රෝහල් බලධාරියා ඉඩ දී තිබේ.
වෛද්‍යවරුන්ගේ නිල නිවාස පිහිටි භූමිය මේ සිදුවීම වන අවස්ථාව වන විට පැවතී තිබෙන්නේ නීති විරෝධි කටයුතුවල යෙදෙන විවිධාකාර පිරිස්වලට පහසුකම් සපයන කැලෑ මණ්ඩියක් වශයෙනි. මේ තත්ත්වය වළක්වා ගැනීමට අනුරාධපුර නගරයේ දේශපාලන බලධාරීන්ට කිසිදු වුවමනාවක් තිබී නැත. රෝහල තුළ පවා ත්‍රීවීල් පාර්ක්, වෙළෙඳ කුටි සිත් සේ ඉදි කර ගැනීමට පහසුකම් සලසා තිබෙන්නේ ද රෝහල් බලධාරීන් විසිනි. අනුරාධපුර රෝහල් පරිශ්‍රයේ පැවත ඇත්තේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් කිසි ම රෝහලක දක්නට නොලැබෙන, අතිශය භයානක තත්ත්වයකි.
ඊට පාර කැපී තිබෙන්නේ පසුගිය ආණ්ඩු විසින් රෝහල් පාලනය පිළිබඳ අවශ්‍ය පරිපාලන සුදුසුකම් සපුරා නැති අධ්‍යක්ෂවරයකු පත් කිරීම නිසා ය.
2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ පත් කළ මේ අධ්‍යක්ෂවරයා පසුව ඉවත් කරන ලද නමුත්, 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු නැවතත් අනුරාධපුර රෝහලට ම පත් කර තිබේ.
රෝහලේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව, සේවකයන්ගේ ආරක්ෂාව, රෝගීන්ගේ ආරක්ෂාව පමණක් නොව, රෝහල තුළ විනය පවත්වා ගත යුත්තේ ද අධ්‍යක්ෂවරයා විසිනි. ඒ සඳහා ජනතාව අධ්‍යක්ෂවරයාට වැටුප් ගෙවා තිබේ. ඒ වගකීම වර්තමාන අධ්‍යක්ෂවරයා විසින් ඉටු කර නැති බව මේ සිදුවීමත් සමඟ ලෝකය ම දැනුවත් විය. අපට තිබෙන ප්‍රශ්නය: මේ අවාසනාවන්ත තත්ත්වය අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් සහ සේවකයන් විසින් මෙපමණ කලක් දරා ගත්තේ කෙලෙස ද යන්න ය. අපරාධකරුවා නිල නිවාස පරිශ්‍රයේ රිසි සේ ඇවිද ගියේ අපරාධයකට උචිත පරිසරය එහි නිර්මාණය වී තිබූ නිසා ය.
එවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රථම කොට ම වග කිව යුත්තේ රෝහල් අධ්‍යක්ෂවරයා ය. අධ්‍යක්ෂවරයාගේ පත් කිරීමට දේශපාලන බලපුළුවන්කාරකම හේතු වී ඇති බව පෙනේ. වෛද්‍යවරිය අපයෝජනය කිරීම පාදක කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජනයක් කිරීම කිසිවකුට තේරුම් ගත නොහැකි අපභ්‍රංශයකි. ඊට හේතුව: වරද කර තිබෙන්නේ රජය නොව, වෛද්‍ය සංගමයේ සාමාජිකයකු විසින් වන බැවිනි. ඔවුන් ඒ බව ජනතාවගෙන් වසන් කර, වැඩවර්ජනය මඟින් රජයත්, ජනතාවත් අපහසුතාවට පත් කිරීමට කටයුතු කළ බව ඉතා පැහැදිලි ය.
වෘත්තීය ප්‍රශ්නයක් පදනම් කර ගෙන නොව, කිසියම් බළල් අතක වුවමනාව පරිදි මේ අවස්ථාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන බව සාමාන්‍ය ජනතාවට වැටහෙන කරුණක් වී තිබේ. අපරාධකාරයා දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. තමාට පැවරුණු රාජකාරි හරියාකාරයෙන් ඉටු නොකොට, රෝහල අපරාධකරුවන්ගේ ගොදුරු බිමක් බවට පත් කළ රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.