Home » ඔබේ කේන්දරේ ගුරු ග්‍රහයාගේ පිහිටීම ගෙන දෙන සුබ-අසුබ පල

ඔබේ කේන්දරේ ගුරු ග්‍රහයාගේ පිහිටීම ගෙන දෙන සුබ-අසුබ පල

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

– ගුරු අපලය දුරු කරන වත් පිළිවෙත් ගැනත් දැනගන්න
– ගුරු ග්‍රහයා පළමු වන කොටුවේ නම් ඉතාම සුබයි

ධනය, කීර්තිය, යස ඉසුරු ගෙනෙන ඉතාම බලවන්ත ග්‍රහයා ‘ගුරු’ ය. ආත්ම ගණන් පින් දහම් කුසල් රැස් කර ගත් අයගේ කේන්ද්‍රයේ ගුරු ඉතාම බලවත්ය.

කේන්ද්‍රයේ උච්ච, මුල, ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍රව මිතුරු, සම රාශිගතව ගුරු ග්‍රහයා පිහිටා ඇත්නම් ඔබ වාසනාවන්තයෙකි. රාශි දොළහ තුල බලවත් ගුරු ශුභ රාශිගත නම් පෙර පින් බහුලය. මෙසේ බලවත් ගුරු ග්‍රහයාම අශුභ රාශියක බල දිෂ්ටි රහිතව නීච, වක්‍ර, සතුරුව ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇත්නම් එය දුක් කඳුළු වලින් පිරි දිවියක් කේන්ද්‍ර හිමියාට අත්කරයි. ගුරු දශාව ලැබූ විට තවත් දුකකට පත්වේ. එහෙත් ගුරු ග්‍රහයා බලවත් කරන පිළිවෙත් නිසි පරිදි ඉටු කිරීමෙන් සියලු අපල උපද්‍රව අවම කර ගත හැකිය.

පෘෂ්ඨිමත්, ප්‍රියමනාප බැබළෙන සමක් ශරීරයක් ඇතිව කෙනෙක් උත්පත්තිය ලබන්නේ ගුරු බලවත්ව ඇත්නම්ය. “යුක්තිය පසිඳලන්නා” නම් විරුදාවලිය ලත් ගුරු ග්‍රහයා සෞම්‍ය ගතිය, ලෞකික දේ ගැන, පතල ඥානය, දුකට පත් අයට පිහිටවීම, විශ්වාසවන්තකම, මධ්‍යස්ථ යුක්තියෙහි පිහිටුවීම, කලබල නොවීම, දියුණුව, සමාජයට ප්‍රියවීම, ස්ථිර වචනය, රාජ්‍ය නීතියට ගරු බුහුමන් කිරීම, සියලු ගුණ ධර්ම රකින උසස් දිවියක් ගත කරන ඇගයීමට ලක්වන ගෞරවනීය ජන්මියෙකු මෙලොවට දායාද කර ඇත. ගුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ පිහිටීම අනුව ජන්මියාට ලැබෙන සුබ අසුබ පල මෙසේය.

* ජන්ම කේන්ද්‍රයේ ලග්නගතව එනම් පළමුවන කොටුවේ සිටී නම් බලවත් ගුරු ග්‍රහයා ඔබගේ සියලු දෝෂ (අරිෂ්ට) යෝග භංග කරයි. ප්‍රභූන් බිහිවන පිහිටුමෙකි. මෙම රාශිය ගුරුට බලවත්ම දීර්ඝායුෂ, ධනය, නීරෝගි බව, ගෞරවය, ඥානය ලැබෙන්නකි.

*  ගුරු දෙවැන්නේ බලවත් නම් ශුභ දිෂ්ටි සහිත නම් ධනයෝගයකි. ධනය, බලය අඩු වුවද මේ අය දෙවැනි වර නැඟිටින්නේ තවත් බලවත් ලෙසය. මෙවන් අය තුළ තර්කානුකූල ඥානය, පවුලට හිතවන්ත බව ද උසස් ගෞරවනීය දිවියකින් සමන්විත වනු ඇත.

*  ගුරු තෙවැන්නට එතරම් බලවත් නැත. ගුරුගේ දශාව ඉගෙනුම ඇති කාලයේ ලැබුවොත් යහපත් වේ. බලවත් ගුරු තුන්වැන්නේ නම් තමාට ලැදි සහෝදර සහෝදරියන් ලැබෙනු ඇත.

* හතර වැන්නට ගුරු බලවත් නම් ඉතාම වාසනාවන්ත දිවියක් හිමිවනු ඇත. අසීමිත වස්තුව ඉඩකඩම් ගේ දොර ඇතිව උපදී.

* ත්‍රිකෝණ රාශියක් වූ පස්වැන්න තුළ ගුරු බලවත් නම් ඉගෙනුමට දක්ෂතා වාසනාව ඇති අයෙකු වේ.

*ගුරු හයවැන්නේ නම් යම් යම් රෝගී තත්ව ඇති කරනු ඇත. හොඳ මෙහෙකරුවන් හිමිවන යෝගයකි.

*  ගුරු හත්වැන්නේ බලවන්ත නම් පළමුවන රාශිය සේම දිවි දිනන රජෙකු‍, රැජිනක හා සමාන විවාහයක් හිමි විවාහයෙන් පසු උසස් දියුණුවකට පත් වන ඉතා බලවන්තයෙකු වෙයි. රටේ තොටේ ප්‍රසිද්ධ නිලතල දරන අයකු බවට පත්වේ.

*  ගුරු අටවැන්නේ නම් පහත සඳහන් වත්පිළිවෙත්වල නිරතව කේන්ද්‍රයේ ගුරු බලවත් කරගන්න.

* නව වැන්නේ ගුරු බලවත් නම් උසස් අධ්‍යාපනය ජයගත හැකි අයෙකු වේ.

*  දහවැන්න තුළ බලවත් වන ගුරු දක්ෂ විදුහල්පතිවරු, කථිකාචාර්යවරු, විවිධ විෂයයන් තුළින් කැපි පෙනෙන දක්ෂතා ඇති රජයේ උසස් නිලධාරීන් වීමට වාසනාව ලබයි.

*  කේන්ද්‍රයේ එකොළොස්වැන්න නියෝජනය කරනු ලබන ගුරු බලවත් නම් දෙවැන්න සේම ප්‍රබල ධනයෝගයකි. කොහෙන් හෝ ධනය ගලා එනු ඇත.

*  දොළොස්වැන්න තුළ පතිත ගුරු ග්‍රහයා වෙනුවෙන් ඔබ අනිවාර්යයෙන් පහත පිළිවෙත් දිවිය පුරා නොඅඩුව කරන්න. බන්ධනාගාරගත වීම්, පිටරට ඇවිද්දවන ග්‍රහයෝග ඇති බැවින් ගුරු ග්‍රහයා බලවත් වන සියලු වත්පිළිවෙත්වල නිරත වන්න. දොළොස් වැන්න බලවත් රාශියක්ව බලවත් සඳුට, රවිට පෙනේ නම් අපල අඩුවේ.

ගුරු මහ දශාව වසර 16කි. ගුරු ග්‍රහයා උච්චව, ස්වක්ෂේත්‍රව, මූල ත්‍රිකෝණව, මිතුරුව නම් ශුභ රාශියක නම් ඔබ පින් දහම්හි යෙදෙන්නෙකි. මෙහිදී ගුරු අපල දුරු කර ගැනිමට හැකි පුද පූජා මෙසේ පවත්වන්න.

උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේ උදෙසා උදෑසන කිරිආහාර ගිතෙල් මිශ්‍ර කර පිරිසිදුව සුවඳවත්ව පූජා කරන්න.

කහපාට කොඩිවැල්, මල්මාලා පලඳවන්න. උතුම් බෝධීන් වහන්සේ සුවඳ පැනින් නහවන්න. අටවිසි බුදුන්ට බුද්ධෝපස්ථාන කර පින් දහම්හි නිරත වන්න. බෝමළු, විහාර මළු පිරිසිදු කර උතුම් පුලින (වැලි) පූජාව ඉටුකරන්න.

ගෙවත්තේ වවා ගත් කහමල්, සුදු ඉන්දියන් පිච්ච උදය සවස බුදුන්ට පූජා කරන්න. දෙමවුපියන්ට, ගිලනුන්ට, වැඩිහිටියන්ට සත්කාර කරන්න.

ගුරු බලවත් අය පමණක් ජ්‍යෙතිෂ්‍ය උපදෙස් මත පුෂ්පරාග මැණිකක් පලඳින්න. (රන් අබරණයක ඔබ්බවා) බෝධි පූජා, නිවසේ පූජා පැවැත්වීමෙන් අනතුරුව රත්න සූත්‍රය, අභිසම්භිධාන, ධජග්ග, ජින පඤ්ජරය පිරිත් කියන්න.

අනතුරුව විෂ්ණු, ශිව, කතරගම දෙවියන් ඇතුළු මතු බුදු වන දෙවියන්ට පින් දී පිහිට ඉල්ලන්න. විශේෂිත අපල ඇති අය අභිසම්භිධාන, නරසිංහ යන්ත්‍රයක් නිවැරැදිව ජීවම් කර පලඳින්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division