Home » නිවෙසක ජල පොකුණකට සුබම දිශාව ගැන දැනගන්න

නිවෙසක ජල පොකුණකට සුබම දිශාව ගැන දැනගන්න

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

මානව ශිෂ්ටාචාරය ආරම්භ වී ඇත්තේ ජලය කේන්ද්‍ර කරගෙනය. ජලය මේ ලෝකයේ සියලු ජීව වස්තූන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. මෙම ජල සම්පත නිවැසියන්ට වාසනාව ගෙනෙන ආකාරයට පරිහරණය කිරීම පිළිබඳව උපදෙස් වාස්තු විද්‍යාවේ සඳහන් වේ. ඒ සඳහා නිවෙස ආසන්නයේ ජලය රඳවා ගැනීම නිවැරදි පිළිවෙළට කළ යුතුය. බොහෝ නිවෙස් අසල අලංකාරයට තනනු ලබන පොකුණු වාස්තු විද්‍යාවට අනුකූලව නිවැසියන්ට වාසනාව ගෙනෙන ආකාරයෙන් සකස් කර ගැනීම පිළිබඳව අද ලිපියෙන් සාකච්ඡා කැරේ.

නිවෙසේ ජල පොකුණු ඉදිකිරීමේදී විශේෂයෙන්ම දිශාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. කිසි විටෙක ගිනිකොන, දකුණු, නිරිත, වයඹ දිශාවල ජල පොකුණු නිර්මාණය නොකළ යුතු අතර උතුරු, ඊශාන, නැ‌ෙඟනහිර, බටහිර දිසාවල ජල පොකුණු ඉදි කිරීම නිවෙසට ඉතා සුබදායකය. මෙම දිශාව තීරණය කළ යුත්තේ හැම විටම නිවෙසේ බ්‍රහ්ම පාදයේ සිටය. මෙම පොකුණු ඇතැම් අවස්ථාවල නිවෙසින් පිටත හෝ නිවෙස තුළද ඉදි කර තිබෙනු දක්නා ලැබේ. නිවෙසේ මුහුණත දකුණු දිශාවට ඇති නිවෙස්වල නිවස අභ්‍යන්තරයේ පොකුණක් ඉදිකිරීම සුදුසු නැත. නැඟෙනහිර, බස්නාහිර හෝ උතුරු දිශාවට නිවෙසේ මුහුණත ඇත්නම් එබඳු නිවෙස්වල අභ්‍යන්තරයේ ජල පොකුණක් ඉදි කිරීමෙන් නිවෙසට වාසනාව ළඟා කර ගත හැකිය. එහෙත් නිවෙසක ඇතුළත පොකුණු ඉදිකිරීමේදී මර්මස්ථාන රේඛා සහ මධ්‍ය ලක්ෂයන්ට සම්බන්ධ නොවන ලෙස එය සිදු කළ යුතුය.

එසේ වීමෙන් ගෘහ මූලිකයා ඇතුළු නිවැසියන්ට දැඩි විපත් කරදරවලට මුහුණපෑමට සිදු වේ. අසුබ ස්ථානයන්ට සම්බන්ධ කර ස්ථානගත කර ඇති පොකුණු සහ දිය ඇලි ඇති නිවැසියන්ට සුව නොවන රෝගාබාධ ඇති කරයි.

ජල පොකුණු ඉදි කිරීමේදී කිසි විටෙක එය මංගල ද්වාරයට ඉදිරියෙන්ද ඉදි නොකළ යුතුය. එවිට එය වේධ දෝෂයක් බවට පත් වේ.

නිවෙසේ සිට අවම වශයෙන් අඩි නවයකට වඩා ඈතින් පොකුණු ඉදි කළ යුතු අතර ඒවා නිවෙසේ මුළුවලට හසු නොවන ලෙස ඉදි කළ යුතුය. නිවෙසේ බ්‍රහ්ම පාදය මත හෝ පඩි පෙළ යටද ජල පොකුණු ඉදිකිරීම අසුබය. ඔබේ නිවෙස අභ්‍යන්තරයේ උස්ම ස්ථානයට වඩා ඉහළින් ජල පොකුණ ඉදිකිරීමද අසුබ වන නිවෙස තුළ පහළම ස්ථානයට සමාන්තරව එය ස්ථානගත කළ යුතුය.

නිවෙසේ ප්‍රවේශ මාර්ගය පිහිටා ඇත්තේ නිරිත දිශාවෙන් නම් එබඳු නිවෙස්වල ජල පොකුණක් ඉදි කිරීම සුදුසු නොවන අතර ඊශාන දිශාවෙන් ප්‍රවේශය යෙදී ඇති නිවෙසක ජල පොකුණක් ඉදි කිරීමෙන් එම දෝෂය අවම වේ.

ඔබේ ඉඩමේ හැඩය වාස්තු විද්‍යානුකූලව නිවැරදි නොවන අවස්ථාවල සුබදායක අයුරින් පොකුණක් ඉදි කිරීමෙන් එම වාස්තු දෝෂයද නිවාරණය කර ගත හැකිය. එමෙන්ම ඔබේ ඉඩමට යාබදව ඇති අනෙකුත් ඉඩම්වලින් ඇති විය හැකි අහිතකර ලක්ෂණ දුරු කර ගැනීමටද පොකුණු ඉදි කර ගැනීම තුළින් හැකියාව තිබේ.

ජ්‍යොතීර්වේදී වාස්තු විද්‍යා විශාරද 
දැරණියගල කපිල ඉන්ද්‍රික

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division