මුහුණත් එක්ක තරහ වෙලා නහය කපාගන්න එපා!’ කියලා කියමනක් ඔබත් අහලා ඇති. ඒ කියමන කවුරු කුමන අර්ථයෙන් කියූවක්ද කියා පැහැදිලි නැති වුවත්, මුහුණේ ඇති වටිනාකම ඒ කියමනෙන් කියවෙන බව නම් සත්‍යයක්.
ඕනෑම පුද්ගලයකුගේ අනන්‍යතාව ප්‍රකාශ වන මූලිකම අංගය ලෙස එම පුද්ගලයාගේ මුහුණ හැඳින්විය හැකිය. ඊට හේතුව වන්නේ ඔබත් මමත් ඇතුළු සෑම පුද්ගලයකුම අදහස් ප්‍රකාශ කරන්නේත් සමාජ සබඳතාවලදී මූලික වශයෙන් භාවිත කරන්නේත් මුහුණ වන නිසාය. යම් පුද්ගලයකු දුටුමතින් තවෙකකු හඳුනාගන්නේද ඔහුගේ මුහුණෙනි. පුද්ගලයකුගේ පළමු හමු වීම, පළමු දැක්ම විශේෂිත ලෙස හඳුන්වන්නේද ඒ නිසාය.
එපමණක් ද නොවේ, මුහුණේ ඇති අනෙකුත් අංග ද එදිනෙදා ජීවිතයට විශේෂාකාරයෙන් වැදගත් වේ. ශ්වසනයට සහ ආහාරපාන ගැනීමේදී ද මුඛය වැදගත් වන්නා සේම දැකීමට උපකාරී වන දෑස් මෙන්ම ශ්‍රවණයට උපකාරී වන කන් ද අයත් වන්නේ මුහුණටයි.
මුහුණ එයාකාරයෙන් අපගේ ජිවිතයට වැදගත් වද්දී මුහුණ හා මුඛය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධවලින් වැළකී සිටීම ද ඉතා වැදගත් වේ. මුහුණ හා මුඛය ආශ්‍රිතව සිදු වන රෝගාබාධ අතර ප්‍රධාන වශයෙන් උපතින් ඇති වන ආබාධ සහ ගැටලු සුවිශේෂ වේ. උදාහරණයක් ලෙස: ඇතැම් දරුවන් උපතින්ම මුහුණ ආශ්‍රිත ගැටලුවලින් පෙළෙන අතර, ඇතැම් දරුවෝ තල්ල නැතිව හෝ විභේදනය වූ, ඛණ්ඩනය වූ උඩු තොලක් සහිතව උපත ලබති. එමෙන්ම කන්වල හැඩය වෙනස් ආකාරයෙන් පිහිටනුද දැකගත හැකිය. එවැනි අවස්ථාවල එවැනි ආබාධ සහිත දරුවන් සමාජයෙන් කොන් වන අවස්ථාද දැකිය හැකිය. එහෙත් එවැනි අස්වාභාවික පිහිටීම් සැත්කම් මඟින් සියයට සියයක්ම සාමාන්‍ය තත්ත්වයට පත් කරගත හැකි බව ඔබ මීට පෙර අසා තිබුණාද?
මුහුණ, මුඛය හා හනු පිළිබඳ විශේෂඥතාව යනු එවැනි රෝගාබාධ යථා තත්ත්වයට පත් කිරීමට ඉවහල් වන විශේෂඥතාවකි. එසේ කී විට ඇතැමකුට යම් නුහුරු බවක් දැනුණද මුහුණ, මුඛය හා හනු පිළිබඳ විශේෂඥතාව යනු අනෙකුත් විශේෂඥතා මෙන් මුහුණ, මුඛය සහ දත් රෝග ආශ්‍රිත රෝගබාධවලට ප්‍රතිකාර කරන විශේෂඥතාවකි. අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ මුඛ හනුක විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායකගෙන් වැඩිදුර තොරතුරු විමසුවෙමු:
“මුහුණ, මුඛය සහ හනු සම්බන්ධ රෝගාබාධ පිළිබඳ විමසීමේදී සාමාන්‍ය රෝගාබාධ මෙන්ම ඊට එහා ගිය සංකීර්ණ රෝග තත්ත්වයන් ද වනවා. ඒ අතුරින් මුඛ පිළිකා තත්ත්වය විශේෂයෙන් සඳහන් කළ හැකියි. අප දන්නවා, අපේ සිරුරේ සෑම කොටසක්ම දිනපතා වර්ධනය වනවා, වෙනස් වනවා. ඒ සියල්ලම සිදු වන්නේ සිරුරේ පාලනයට යටත්වයි. එහෙත් පිළිකා සෛලයක් කියන්නේ අපේ ශරීරයේ පාලනයෙන් ගිලිහී ස්වාධීනව වර්ධනය වන සෛල කොටසකටයි. එය එසේ වර්ධනය වනවා පමණක් නොව, එසේ වර්ධනය වන පටක සහ සෛල එය හට ගන්නා ස්ථානයේ හෝ වෙනත් ස්ථානවලටත් පැතිර යෑමේ අවදානමකුත් පවතිනවා.”
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ පුරුෂ පාර්ශ්වය අතර බහුලව දැකිය හැකි පිළිකාව වන්නේ මුඛ පිළිකාව බවයි:
“එය කෙතරම් බරපතළ තත්ත්වයක්ද කියනවා නම්, මෙරටින් වාර්ෂිකව 2000-3000 අතර නව මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගන්නවා. එපමණක් නොවෙයි, මෙහි ඇති වඩාත් ඛේදජනකම තත්ත්වය ලංකාවේ පමණක් දිනකට රෝගීන් 3-4 අතර සංඛ්‍යාවක් මුඛ පිළිකාවලින් පමණක් මිය යෑමයි. එම නිසා විශේෂයෙන් අප ජනතාව දැනුම්වත් කළ යුතු කරුණක් තිබෙනවා. ඒ කියන්නේ මුඛ පිළිකාවලට ප්‍රධාන හේතුකාරක වන සාධක අප ඉතා පැහැදිලිව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම බොහොමයක් මුඛ පිළිකා හට ගැනීමට පෙර පූර්ව පිළිකා ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ නිසා මුඛ පිළිකාවක් සෙසු පිළිකාවලට සාපේක්ෂව මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මුඛ පිළිකාවන් 90%ක්ම කලින් වළක්වාගැනීමේ හැකියාව තිබෙනවා. එනිසා මුඛ පිළිකාවක් සඳහා හේතුකාරක වන සාධක ඉවත් කිරීමෙන් වාර්ෂිකව වැඩිවන නව මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව වගේම දිනපතා මිය යන රෝගීන් සංඛ්‍යාවක් අඩු කරගත හැකියි.”
විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සඳහන් කළ පරිදි මුඛ පිළිකා වැලඳීම සඳහා ප්‍රධාන හේතුකාරක වන්නේ දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මත්පැන් සහ මත්පැන් ආශ්‍රිත නිෂ්පාදන සහ පුවක් සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදනන්ය. ඊට අමතරව වයිරස් වැනි වෙනත් හේතුකාරකද ඉවහල් වන අතර, පළමු හේතු තුන විශේෂයෙන් හේතු වේ. ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක වැඩිදුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය:
“දුම්කොළ සහ මත්පැන් පිළිකාකාරකයක් කියලා බොහෝ දෙනකු දන්නවා. ඒත් අප බොහෝ දෙනෙක් විශ්වාස නොකරන සහ බොහෝ දෙනකු තවමත් නොදන්න කරුණ, පුවක් කියන්නෙත් පිළිකාකාරකයක් බව. විශේෂයෙන් සාම්ප්‍රදායික පුවක්වලටත් වඩා වර්තමානයේ වෙළෙඳපොළේ තිබෙන විවිධ ක්‍රමවලට සකස් කළ පුවක් නිෂ්පාදන ඉතා ඉක්මනින් පිළිකාකාරකයක් ලෙස ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය වනවා. විශේෂයෙන් වඩා බරපතළම කරුණ පිළිකාකාරක එවැනි පුවක් ආශ්‍රිත නිෂ්පාදන පාසල් දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් තිබීමයි. එනිසා මේ පිළිබඳ ජනතාවගේ දැනුම්වත් වීම ඉතා වැදගත්.”
ඊට අමතරව රිය අනතුරුවලින් මුහුණ ආශ්‍රිතව සිදු වන තුවාල මුහුණේ විවිධ විකෘතිතා ඇති කරන බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. රිය අනතුරක් සිදු වූ වහාම ඇතැම් මිනිසුන් මරණයට පත් වන්නේ මුහුණ ආශ්‍රිතව සිදු වන අනතුරකදී ක්ෂණිකව ඇති වන හුස්ම ගැනීමේ අපහසුතා නිසාය.
“මුහුණ ආශ්‍රිතව තුවාල සිදු වීමට බලපාන්නේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලින් සිදු වන අනතුරුය. විශේෂයෙන්ම යතුරුපැදිකරුවන් ආරක්ෂිත හෙල්මට් පාවිච්චි නොකිරීම, අනාරක්ෂිත අයුරින් රිය ධාවනය වගේම මාර්ග නීති නොපැලඳීමත් ඊට හේතු වනවා. ඒ වගේම තමා පදවන වාහනය නිසි පරිදි තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වනවාද යන්න සහ රථයේ තිබෙන අඩුපාඩු ගැනත් රිය ධාවනය කිරීමට පෙර පරීක්ෂා කර බැලිය යුතුයි. රිය අනතුරු නිසා මුහුණට හානි සිදු වූ රෝගීන් ඉතා විශාල සංඛ්‍යාවක් අපට හමු වනවා. ඔවුන් ප්‍රතිකාර සැත්කම් මඟින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ආ හැකි වුවත්, රිය අනතුරුද සැලකෙන්නේ වළක්වාගත හැකි තත්ත්වයක් ලෙස නිසා මේ පිළිබඳද මහජනතාවගේ සැලකිල්ල අත්‍යවශ්‍යයි. ඊට අමතරව මුහුණ ආශ්‍රිතව සිදු වන ආසාදන තත්ත්වයන් නිසාද මුහුණේ යම් යම් රෝගී තත්ත්වයන් ඇති විය හැකියි. එසේ වුවත් ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ලංකාවේ සෑම දිස්ත්‍රික් මහ රෝහලකම සහ ශික්ෂණ රෝහලකම මුහුණ, මුඛය හා හනු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු සිටිනවා. එනිසා මුහුණ, මුඛය සහ හනු පිළිබඳ කිසියම් ගැටලුවක් තිබෙනවා නම් ඔබට එම වෛද්‍යවරයා වෙත යොමු වී උපදෙස් සහ අදාළ ප්‍රතිකාර ගත හැකියි.”
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ මුඛ හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක පැවසූ එකී කරුණ, කොළඹ ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය මොහොමඩ් අෂ්රොප් ද සනාථ කළේය.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික් සහ ශික්ෂණ රෝහල්වලට අමතරව කොළඹ ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල සහ පේරාදෙණිය ජාතික දන්ත ශික්ෂණ රෝහල මේ සම්බන්ධ විශේෂ රෝහල් දෙකක් ලෙස කටයුතු කරනවා. මගේ අදහස නම් ඒ රෝහල් දෙක මෙරට පමණක් නොව, දැනට ලෝකයේම තිබෙන ඉතා හොඳ තාක්ෂණික පහසුකම් සහ ඉහළම මට්ටමේ ප්‍රතිකාරක්‍රමලින් ඉහළම මට්ටමක තිබෙන බවයි.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය මොහොමඩ් අෂ්රොප් මුහුණ හා ඒ ආශ්‍රිත වැදගත්කම පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් මෙසේ පැවසීය:
“මුහුණ මුහුණ ආශ්‍රිත ප්‍රදේශය ඉතාම සංවේදියි. මුහුණේ කුඩා වෙනසක් වුණත් අනිත් අයට ඉතා හොඳින් පේනවා. ඒ වගේම මුහුණේ අනිත් අවයව වන ඇස්, කන් හා නාසයට සම්බන්ධ ස්ථානවල කෙරෙන සැත්කම් ඉතා පරිස්සමෙන් කළ යුතුයි. ඒවා සඳහා රජයට විශාල කාලයක්, වියදමක් වැය වෙනවා. ඒ නිසා අපි ඉතාමත් සැලකිලිමත් විය යුතුයි, මූලික අවස්ථාවේදීම රෝගය හඳුනාගෙන කුඩා ප්‍රතිකාරයකින් එය සුව කර ගැනීමට. උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙකුගේ තොලේ කුඩා තුවාලයක් හැදෙනවා. එහෙත් එය නොසලකා හැරීමෙන් කාලයක් යද්දි පිළිකාවක් බවට පත්වුණොත්, සෙන්ටිමීටරයක පමණ පිළිකාවක් තිබුණොත් අපට ඒකේ දෙපැත්තෙන් සෙන්ටිමීටර එකහමාරක් විතර ඉවත් කරන්න සිද්ධ වනවා. ඒකට හේතුව යම් විදිහකට එතැන පිළිකා සෛල රැඳී තිබීම වළක්වා ගැනීමට අවශ්‍ය වන නිසයි. එහෙත් ඒ ආකාරයට සෙන්ටිමීටර් 4-5ක් කැපුවොත් ඇති වන තත්ත්වය මොකක්ද? ඔහුට තොල අවශ්‍යයයි, කතා කරන්න වගේම කෑමබීම ගන්න වගේම මුහුණේ පෙනුම සඳහාත්. නැවත එය යථා තත්ත්වයට ගන්නවා කියන්නේ ඒ වෙනුවෙන් සෑහෙන වියදමක් දරන්න වෙනවා. ඒ වගේම අනතුරු නිසා සිදු වන තුවාල සිරුරේ අනිත් අවයවවලට සාපේක්ෂව මුහුණේ සිදු වන තුවාල යථා තත්ත්වයට පත් කළ යුත්තේ ඉතා සියුම්වයි. ඒ සඳහා සැත්කම කරන වෛද්‍යවරුන් වගේම පහසුකම්ද අපේ රටේ අඩුයි. ඒ නිසා රජයට ඒ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට සිදු වනවා. මෙවැනි කරුණු නිසා, මේ සම්බන්ධ තත්ත්වයන් මුලින් හඳුනාගෙන මුල් අවස්ථාවේදිම ප්‍රතිකාර සඳහා යොමු වීමටත් ඒවා වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීමටත් පොදුවේ මහජනතාවටත් වගකීමක් පැවරෙනවා.”
මුඛ හා හනුක පිළිබඳ ශල්‍යකර්ම පිළිබඳ තත්ත්වය එසේ වද්දී, දත් දිරායෑම නිසා ඇති වන ප්‍රශ්න මෙරට ජනතාව අතර මුල් තැනක් ගන්නා බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශානිකා මුතුතන්ත්‍රි පවසන්නීය:
“එහෙත් වැදගත්ම කරුණ අනෙක් රෝගවලට වඩා දත් රෝග පහසුවෙන් වළක්වාගත හැකි වීමයි. ඒ සඳහා ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කළ යුතුයි. අප දන්නවා දත් බෙහෙත්වල විවිධ සංඝටක අඩංගු වනවා. ඒ කුමන සංඝටක තිබුණත් ෆ්ලෝරයිඩ් අඩංගු වීම අනිවාර්යයි. එයින් දත් රෝග සහ ඒවායින් ඇති වන සංකුලතා බොහෝ දුරට අඩු කරගත හැකියි. ඒ වගේම දත් රෝග වළක්වාගැනීම ඉතා පහසුවෙන් කළ හැකියි. එයට හේතුව අපේ ශරීරයේ තිබෙන බොහෝ අවයවවල ඇති රෝගාබාධ අපට පිටතට පෙනෙන්නේ නැහැ. හෘදය, මොළය, පෙණහලු මේ හැම දෙයක්ම තියෙන්නේ ශරීර අභ්‍යන්තරයේ. එහෙත් මුඛය තිබෙන්නේ මුහුණේ නිතර පේන, ස්පර්ශ වන තැනක. ඒ නිසා කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා තමන්ගේ මුඛය පිරිසුදු කරගැනීමේ හැකියාව තිබෙනවා. වැඩිහිටියන් තමන්ගේ දත් පිරිසුදු කරගන්නවා වගේම කුඩා දරුවන්ගේ දත් පිරිසුදුව තබාගැනීමත් කළ යුතුයි. මුඛ රෝග කල්තියා හඳුනාගැනීමට වගේම ඉක්මනින් ප්‍රතිකාර කිරීමෙන් දත් ආරක්ෂා කරගැනීමටත් පුළුවන්. විශේෂයෙන් විදුරුමස්වල වෙනසක් තිබෙනවා නම් ඉක්මනින් හඳුනාගත හැකියි. දත් මදින හැම අවස්ථාවකදීම ස්වයං මුඛ පරීක්ෂාවක නිරත වීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි.”