Home » පිළිකාවට අතවනන දුම්වැටි කෝටි 120ක් පුලුස්සා අළු කරයි

පිළිකාවට අතවනන දුම්වැටි කෝටි 120ක් පුලුස්සා අළු කරයි

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
වජිර ලියනගේ

බොහෝ විට මත්පැන් නොහොත් මත්වතුරට ඇබ්බැහි නොවූ පුද්ගලයන් පවා සිගරැට්වලට ලොල් වීම අදහාගත නොහැකි කටයුත්තකි.

සිගරැට් ගැන අමුතුම ප්‍රවෘත්තියක් පසුගිය සතියේ දැනගන්නට ලැබිණි. ඒ, රේගුව භාරයේ තිබුණ නීති විරෝධිව ආනයනය කළ දුම්වැටි තොගයක් විනාශ කිරීම නිසාය. විනාශ කරන ලද සිගරැට් තොගයේ වටිනාකම සුළුපටු ගණනක් නොවේ. එහි වටිනාකම කෝටි 120ක් වූ අතර, ඒ දුම්වැටි තොගය විනාශ කෙරුණේ 4 වැනිදා අඟහරුවාදාය.

ලංකාවේ ගංජා වැටලීම්වලින් සොයාගත් ගංජා ගිනි තබන අතර ආයුර්වේද කටයුතු සඳහා ඉන්දියාවෙන් ගංජා ආනයනය කිරීම කොතරම් ප්‍රායෝගික ක්‍රියාවලියක්දැයි ප්‍රශ්නයක් ඇත. ඊට හරස් වී ඇත්තේ නීතියයි. මේ සිගරැට් තොගය විනාශ කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රූපමය අවවාද නැති වීමයි. මේ ඩිජිටල් ප්‍රින්ටින් යුගයේ ඔය කියන සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද මුද්‍රණය සුටුස් ගා කළ හැක්කකි. එහෙත් ඒ සිගරැට් තොගය රජයේ බදු මුදල් සහිතව වෙන්දේසි නොකළේ ලංකාවේ සිගරැට් ඒකාධිකාරයක් ඇති නිසා විය යුතුය. ඊටත් වඩා එම සිගරැට් තොගය විනාශ කිරීමට දුම්කොළ සමාගමට දීම ප්‍රශ්නකාරි කටයුත්තකි.

නීති විරෝධිව මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි 120ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් කොළඹ 15, ශ්‍රීමත් රාමනාදන් මාවතේ ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීම අරඹන ලදි. මේ දුම්වැටි තොගය ලංකාවේ අලෙවි වූවා නම් අහිමි වන බදු මුදල කෝටි 109ක් ලෙස ගණන් බලා තිබේ.

2024 දී මේ දුම්වැටි තොගය ඩුබායි, පාකිස්තානය හා චීනය යන රටවල්වලින් වරින් වර මෙරටට ගෙන්වා තිබේ. සෞඛ්‍ය අවවාද මුද්‍රණය නොකළ, විකිණීම තහනම් කර ඇති මෙම දුම්වැටි තොගය වෙළෙඳපොළට පැමිණියේ නම් රජයට හිමි වීමට ගිය තීරු බදු මුදල් රුපියල් කෝටි 109ක් අහිමි වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතාද මේ අවස්ථාවේ වැඩිදුරටත් තහවුරු කළේය. මෙවැනි ජාවාරම්කරුවන් කොටු කරගැනීමට කෘත්‍රිම බුද්ධිය යොදවා බහලුම් පරීක්ෂා කිරීමේ තාක්ෂණය රේගුවට හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත්, භාණ්ඩ හඳුනාගැනීමේ තාක්ෂණය ලබා ගැනීමට දැනටමත් අදාළ ස්කෑන් යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගම් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වංචා සහගත ලෙස බහලුම් තුනක් තුළ විදේශීය දුම්වැටි අසූහත් ලක්ෂ අසූදාහක් පවතින බවත් පසුගිය කාලයේදී නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් මේ තොගය අත්අඩංගුවට ගත් බවත් මෙහිදී හෙළිදරවු විය. ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගය රේගු විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීමට පියවර ගන්නා ලදි.

ඇත්තටම ප්‍රශ්නය වන්නේ රේගු නිලධාරින්ගේ ඇස් වසා මෙරට සාමාන්‍ය වෙළෙඳපළට ආනයනික සිගරැට් එක්වන්නේ කෙසේද යන පැනයයි.

අපේ රටේ සිගරැට් ඉතිහාසය සොයා යන විට පෙනී යන්නේ මුලින්ම මෙම සිගරැට් පුරුදු කොට ඇත්තේ හන්දි ගානේ නොමිලේ බෙදා හැරීමෙන් පසු බවය. නිකං දුන්නොත් පිළිකාවක්, හෘදයාබාධයක් වුවත් ගන්නා අපේ උන්නාන්සේලා සිගරැට් බී ඇත්තේ මිටිපිටිනි. එහි ඇති නිකොටින්වලට මෙරට ජනතාව පුරුදු වූ විට සල්ලිවලට අලෙවි කරන සිගරැට් පැකට් වෙළෙඳපොළට නිකුත් කොට ඇත. මුල් කාලයේ පීකොක් වැනි සිගරැට්ටුවක මිල වී ඇත්තේ සත 1කි. ඩී.බී. ධනපාලගේ ජීවිත කතාවේ ලේඛකයා වන ගුණදාස ලියනගේ ලියා ඇත්තේ රටේ බරපතළ ප්‍රශ්නයක් ඇති වූ විටක ඩී.බී. ධනපාලයන් පීකොක් සිගරැට්ටුවක් විනාඩියට අඟලක් පිච්චෙන වේගයෙන් උරා ලංකාදීපයේ ඩමිය ඇඳි බවයි.

ශ්‍රී ලංකාවේ මුල් යුගයේ නිදහස ලැබුණු පසු ‘පාර්ලිමන්ට්’ නමින් සිගරැට්ටුවක් තිබී ඇත. එමෙන්ම මොනරා, එලිෆන්ට් සහ මයිනා වැනි සිගරැට් කොම්පැනි ව්‍යාපාරිකව නැගී ආවත් එම කොම්පැනි පසුව ලංකා දුම්කොළ සමාගම විසින් මිල දී ගන්නා ලද අතර ඊළඟට බිහි වන්නේ සිගරැට් ඒකාධිකාරියකි. ඔය කියන සන්ධියේ තහඩු පෙට්ටිවල සිගරැට් 10 බැගින් ඇසිරූ ආනයනික අධිමිල සිගරැට් මිල දී ගත හැකි වූයේ කාර්ගීල්ස් වැනි සුපිරි සාප්පුවලින් පමණි. බොහෝ විට කොළඹ වරායෙන් පැය කීපයකට ෂොපින් යෑමට කොළඹ නගරයේ සැරිසරන විදේශිකයන් මේ පැකට්ටු කීපයක් මිල දී ගනී. ඒත් පසු කලෙක දුම්කොළ සමාගමේම ත්‍රීරෝසස්, ෆෝරේසස්, නැවිකට්, බ්‍රිස්ටල් වැනි සිගරැට් වර්ග ද දැන් පෙනෙන්නට නැත. ඇතැම් බීඩි වර්ග සුදු කඩදාසියෙන් දවටා සිගරැට් හැඩයටම වෙළෙඳපොළේ ඇති විට එයද පොලීසිය වටලන්නේ සුදු පැහැති කඩදාසියෙන් දුම්වැටියක් ආවරණය කිරීමේ ඒකාධිකාරි බලය ඇත්තේ දුම්කොළ සමාගමට පමණක් වන නිසාය. දොස්තර රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති වූ යුගයේ තනි සිගරැට් අලෙවිය තහනමට නීතියෙන් ගෙන එන ලදි. එහෙත් එය පලදැරුවේ නැත. එයින් අදහස් කරන ලද්දේ සිගරැට් පැකැට්ටුවක් එකවර මිල දී ගැනීමට අපහසු නිසා සිගරැට් අලෙවිය අධෛර්යවත් කිරීමය.

අද මෙන් නොව, කලකට ඉහත මෙරට සිගරැට්-අරක්කු බදු සංශෝධන සිදු වූයේ වාර්ෂිකව අය-වැය ඉදිරිපත් කිරීමේදීය. වරක් ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමැති යුගයේ අය-වැයට පෙර සිගරැට් තොග වෙළෙඳුන් සිගරැට් හැංගුවේ ඊට පෙර කීප වරක්ම අය-වැයෙන් සිගරැට් මිල වැඩි වූ නිසාය. සිගරැට් හැංගූ මුදලාලිලාට ඇන්.ඇම්. කදිම පාඩමක් ඉගැන්වූයේ අය-වැයෙන් සිගරැට් මිල අඩු කිරීමෙනි. අන්තිමට සිගරැට් හැංගූ සිගරැට් මුදලාලිලාට සිදු වූ අලාභය කෝටි ගණනකි.

කලක් මෙරට බස් නැවතුම් සියල්ල අරක්ගෙන සිටියේ සිගරැට් දුම්වැටි රූපවලිනි. එහෙත් බස් රථවල දුම්බීම තහනම්ය. අන්තිමේදී දුම්වැටි දැන්වීම් සහිත බස් නැවතුම්වලට විරෝධතා එල්ල වීම නිසා බස් රථ නැවතුමේ සිගරැට් දැන්වීම්වලින් සැරසීම තහනමට ලක් විය.

සිගරැට් දැන්වීම් පුවත්පත් දැන්වීම් කලක් සරුවට කෙරුණි. එම නිසා පුවත්පත්වලට අතදිග හැර සිගරැට් දැන්වීම් දීමට දුම්කොළ සමාගම නිර්ලෝභී විය. ඊට කෘතගුණ සැලකීමක් ලෙස දුම්පානයේ ශාරීරික හානිය ගැන මෙලෝ ලිපියක් මෙරට පත්තරවල පළවූයේ නැත. දුම්පානයෙන් පිළිකා රෝහලට දක්කන රෝගීන් ගැන ඒ කාලේ පත්තර හිටියේ නෑසූ කන් ඇතිවය. ඒත් පසු කලෙක දුම්කොළ සමාගමේ ඇතැම් පුවත්පත්වලට දැන්වීම් නැවැත්වූ විට එම පුවත්පත් කළේ දුම්කොළ වවන පළාත්වලට ගොස් දුම්කොළ වගාවෙන් සිදුවන පාංශු ඛාදනය ඇතුළු පරිසර දූෂණය ගැන පිටු ගණන් ලිපි පළකිරීමය. තත්ත්වය වඩාත් දරුණු වූ විට එම පුවත්පත් කට වසා තිබුණේ සිගරැට් දැන්වීම් ලබා දීමෙනි. ඊට පසු ඒ පත්තරේ දුම්කොළ වගාවේ පරිසර විනාශය ගැන ලිපි පළ වූයේ නැත.

පසුගියදා ගිනි තැබූ සිගරැට් තොගයට එල්ල වූ ප්‍රධානම චෝදනාව එහි රූපමය අවවාද ඇතුළත් නොවීමය. ලංකාවේ සිගරැට් පෙට්ටිවල රූපමය අවවාද ප්‍රතිශතය ලෝකයේ වැඩිම ප්‍රතිශතයයි. එය 80%කි. ලොව වෙන කිසිම රටක එවැනි ප්‍රතිශතයක් නැත. එය දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවට පමණි.

කැනඩාව 75%ක් ලෙස මෙය ක්‍රියාවට නඟා තිබේ. අග්නිදිග ආසියානු කලාපයෙන් මැලේසියාව, බෲනයි, සිංගප්පූරුව හා තායිලන්තය රූපමය අවවාද සිගරැට් පැකට්ටු මත සලකුණු කර තිබේ. තායිලන්තය සිගරැට් පැකට්ටුව මත සනිටුහන් කර ඇති රූපමය අවවාදයේ ප්‍රමාණය 55%ක් වන අතර එය 85% දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවට තායිලන්ත සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගනිමින් සිටී.

2003දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද දුම්කොළ පාලනය සඳහා වන අන්තර්ජාතික සම්මුතියට ලෝකයේ දෙවැනි රට හා ආසියාවේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව අත්සන් තැබීය. ඒ සම්මුතික බැඳීම 2006 වසරේ සම්මත කරගෙන තිබෙන දුම්කොළ හා මද්‍යසාර පාලන පනත යටතේ දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදි. ඒ ගැසට් නිවේදනයට අනුව 2013 මාර්තු මස සිට මුඛ පිළිකා දැක්වෙන රූප සටහන් දුම්කොළ නිෂ්පාදන ඇසුරුම මත, එම ඇසුරුමෙන් 80%ක් ආවරණය වන පරිදි ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබුණු අතර පසුගියදා විනාශ කළ කෝටි 120ක සිගරැට් සඳහා බලපෑවේද ඒ නීතියයි.

සිගරැට් යනු ජීවිතය අළු කරන බව කිවුවත්, අවසානයේ සිදු වී ඇත්තේ කෝටි 120ක එම දුම්වැටි ගිනි තබා අළු බවට පත් කිරීම බව අවසානයේ සඳහන් කිරීමට සිදු වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division