ප්‍රවීණ නර්තන වින්‍යාස ශිල්පි සහ මුද්‍රා නාට්‍යවේදී ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් නිර්මාණය කරන නවතම මුද්‍රානාට්‍ය රංගය “ද්‍රෞපදී “,අප්‍රේල් මස පළමු වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ “මාස් ඇරීනා”ප්‍රසංග ශාලාවේ දී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දියානු තානාපති කාර්යාලය හා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඇරයුමෙන් නිෂ්පාදනය කෙරෙන මෙම මුද්‍රානාට්‍යයේ තේමාව පදනම් කරගන්නේ මහා භාරත කාව්‍යයේ එන ප්‍රබල කාන්තා චරිතය වන ද්‍රෞපදී දේවිය ගේ ජීවන ඛේදාන්තයයි. ද්‍රෞපදී චරිතය තුළ ජීවත්වන සදාකාලික හා පීඩිත ගැහැනිය පිළිබඳ සමකාලීන අර්ථකථනයක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ වෙයි. මේ නිෂ්පාදනයේ එක් විශේෂත්වයක් වන්නේ මුද්‍රානාට්‍ය සංගීතය නිර්මාණය කිරීමේ සුලබ ක්‍රමය වන පටිගත,කරන ලද සංගීත රචනයක් යොදාගැනීම වෙනුවට සජීවී සංගීත කණ්ඩායමක් විසින්, ඒ අවස්ථාවේම පසුබිම් සංගීතය ලබාදීම සහ මහා භාරත කාව්‍යයේ කතුවරයා වන ව්‍යාසගේ චරිතය අද යුගයේ මිනිසකුගේ වේශයෙන් මුද්‍රා නාට්‍යයේ කථක චරිතයක් ලෙස ඉදිරිපත් කිරීම ය. රවිබන්දු විද්‍යාපති මුද්‍රානාට්‍යවේදීයාගේ නිර්මාණකරණය පිළිබඳ මේ විමර්ශන ලිපිය පළවන්නේ මේ නව මුද්‍රානාට්‍යය වේදිකා ගතවීම නිමිත්තෙනි .
උරුමය සමග ශිල්පය සොයා
සාම්ප්‍රදායික නර්තනය , බෙර වාදනය සහ විහාර බිතුසිතුවම් සිත්තරුන්ගෙන් සුසැදි පරම්පරා හතක් ඈතට දිවෙන පරපුරක අටවැනි පරපුර නියෝජනය කරන රවිබන්දු විද්‍යාපති නම් නව යෞවනයා ඒ සියලු උරුමයන් සමග ලාංකික නර්තනය සොයා යාමට ශිල්ප අත්පොත් තබන්නේ හැත්තෑව දශකයේ මැදභාගයේදී තමා සොළොස් විය සපුරන විටය. තම මවුපිය පරම්පරා දෙපාර්ශවය ඔස්සේ දැන හදුනාගත් සාම්ප්‍රදායික මෙන්ම නව කලා මාධ්‍යයන් පිළිබඳ ලද තියුණු නිරීක්ෂණය මුසු අවබෝධය හා ඒවා පිළිබඳ දල්වාගත් ලාලසාව ඔහු ශිල්පීය හා ප්‍රකාශන නිපුණත්වයක් වෙත රැගෙන ගිය මූල බීජය විය .
විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවේ එක් පුරෝගාමී දෘශ්‍ය කලාවේදියකු වූ සෝමබන්දු විද්‍යාපති , රවිබන්දු ගේ පියා ය. මෙරට පුරෝගාමී වේදිකා නර්තන ශිල්පියකු හා මුද්‍රානාට්‍ය නිර්මාපකයා වන “චිත්‍රසේනගේ සියලු මුද්‍රානාට්‍යවල මෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍ර , ප්‍රේමකුමාර එපිටවෙල, ඩබ්ලිව් ඩී මකුළොලුව,පණීභාරත, ශේෂා පලිහක්කාර ඇතුළු එවක නාට්‍ය හා නර්තනවේදින්ගේ නිර්මාණ සදහා ඔහු නිමවූ වේදිකා පසුතල හා රංග වස්ත්‍ර නිමැවුම්වල ගැබ්වූ පර්‍යේෂණාත්මක දායකත්වය ඒ කලා මධ්‍යයන් පිළිබඳ ඉහළ ප්‍රමිතියක් සලකුණු කර ඇත. මෙරට විසූ ප්‍රකට උඩරට නර්තන ශිල්පියකු හා ආචාර්යවරයකු වූ අල්ගම කිරිගණිත ගුරුතුමා ගේ දෙටු දියණිය වූ මාලතී අල්ගම රවිබන්දු ගේ මව වන අතර එයද සාම්ප්‍රදායික නර්තනය දීර්ඝ ලෙස හැදෑරීමට ඔහුට ,බලවත් උත්තේජනයක් වූ සෙයකි .එහෙත් ඔහු නර්තනය ක්‍රමිකව හැදෑරීම අරඹන්නේ (තම පියාගේම යොමුකිරීම මත) චිත්‍රසේන හා වජිරා ගුරු දෙපොළ වෙතිනි.
චිත්‍රසේනයන් හා වජිරාවන් යටතේ දස වසරක් පමණ ශිල්ප හදාළ ඔහු, ඒ දිගු කාලය ඇතුළත මුද්‍රා නාට්‍යකරණය, නර්තන වින්‍යාසය පිළිබඳ සියුම් ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලද්දා සේම චිත්‍රසේන හා වජිරාගේ බොහෝ නිර්මාණවල ප්‍රධාන භූමිකා කීපයක්ම නිරූපණය කරමින් එවක නර්තන ක්ෂේත්‍රයේ යම් ජනප්‍රියත්වයක් ද ලබාගත්තේ ය. පසුව වෘත්තිය නර්තන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පිළිපන් ඔහු ඉතාම කෙටිකලකින් ඉන්දියාවේ කේරළයේ “කේරළ කලා මණ්ඩලම්” නර්තන ආයතනයට ඇතුළු වී කථකලි නර්තනය හා අභිනය පිළිබඳ තෙවසරක පූර්ණකාලීන අධ්‍යයනයක් ලබාගනී.එය ඔහු ලද තවත් ප්‍රබල ප්‍රායෝගික අධ්‍යයනයක් වූ අතර ඔහුට තම පසුකාලීන මුද්‍රානාට්‍ය චරිත නිරූපණ මෙන්ම නර්තන වින්‍යාසයන් නිර්මාණය කිරීමේදී ත් මෙරට සම්ප්‍රදායයන් සේම, ප්‍රබල අනුප්‍රාණයක් හා ආභාසයක් වූයේ කථකලි නර්තනය පිළිබඳ මේ මනා පුහුණුව බව පෙනීයයි.
තාණ්ඩව නර්තන ශිල්පියකුගේ නාට්‍යමය රිද්මය
නර්තන ශිල්පියකු ලෙස රවිබන්දු වෙතින් පළමුකොටම ප්‍රකාශ වන්නේ සවිමත් ශිල්පීය කෘතහස්ත භාවයයි. සම්ප්‍රදායික උඩරට නර්තන අංගයක් හෝ කථකලි නර්තනයක් ඉදිරිපත් කිරීමේදී මෙන්ම යම් චරිතාංග නර්තනයක යෙදෙද්දී වුවද ඔහු තමාගේ නර්තන චලන පිළිබඳ ඇති ශිල්පීය නිපුණත්වය මනාව විශද කරයි.තමා ගේ නර්තන චලන පිළිබඳව ඔහු තුළ වන සවිමත් විශ්වාසය නරඹන ප්‍රේක්ෂකයා ට වහා හඳුනා ගත හැකිය. එමෙන්ම සම්ප්‍රදායික හෝ ශාස්ත්‍රීය නර්තනයකදී මෙන්ම නව නිර්මාණ නර්තනාංගයක් හෝ මුද්‍රානාට්‍ය චරිතාංගයක් ඉදිරිපත් කරනවිට ඊට තමාගේ සිරුරට අදාළ ස්වාධීන චලන අර්ථකථනයක් හා මුද්‍රාවක් එකතු කිරීම රවිබන්දු අතින් නිරායාසයෙන් මෙන්ම ඇතැම්විට දැනුම්වත්වම සිදුවෙයි . (මේ ලක්ෂණය චිත්‍රසේන හා වජිරා දෙටු නර්තන ශිල්පි යුවල මෙන්ම උපේඛා චිත්‍රසේන ,කුලසිරි බුදවත්ත, සුමේධ ශිල්පාධිපති, චන්න විජේවර්ධන වැනි ප්‍රවීන නර්තන ශිල්පීන් ඔස්සේ ද අඩුවැඩි වශයෙන් විශද වූ බව කිවයුතුය.) එසේම මුද්‍රානාට්‍ය චරිත නිරූපණය පිළිබඳ රවිබන්දු ඉදිරිපත් කළ ඉහළ ප්‍රමිතිය වෙසෙසින් ප්‍රශංසා කටයුතු ය. නර්තන චලන සමග චරිතයට අදාල රිද්මය පවත්වා ගැනීම , භාව ප්‍රකාශනය ,නිසි අභිනය ලක්ෂණ , අනෙක් චරිතවලට රංගන ප්‍රතිචාර සමග මුසුවීම වැනි ගුණාංග ඔහු මනාව කළමනාකරණය කරන්නට සමත් වේ. “නලදමයන්ති,”ශිව රංග,”චණ්ඩාලිකා”,”රෂොමොන්”, “මැක්බත්,” ඊඩිපස්,ජුදාස් වැනි මුද්‍රානාට්‍යවල චරිතාංග නර්තන මීට මනා උදාහරණ වේ.මෙරට මුද්‍රානාට්‍ය චරිතාංග නර්තන ඉතිහාසය පිළිබඳ අවදියක් හා විමසුමක් ඇති රසිකයන්ට මුල් යුගයේ චිත්‍රසේනයන් ගෙන් පසුව මෙරට නර්තන වේදිකාවේ හමුවූ වඩාත් නාට්‍යමය හා පරිනත චරිතාංග නර්තන අවස්ථා බිහිවූයේ රවිබන්දු අතින් බව මතකයට නැගෙනු ඇත.රවිබන්දු විද්‍යාපති මෙරට වේදිකා නර්තනයේ වඩාත් නාට්‍යමය හා තම සිරුර ඉක්මවා යන ස්වාධීන තාණ්ඩව නර්තන ලීලාවක් සනිටුහන් කරන්නට සමත් වී ඇති සෙයකි.
මුද්‍රා නාට්‍ය ගවේෂකයකුගේ නර්තන වින්‍යාස භූමිකාව
දහසය වන සියවසේ පමණ ප්‍රංශයේ උපත ලබා ලොව විවිධ සංස්කෘතික කලාප ඔස්සේ ව්‍යාප්ත වූ ප්‍රබල කලා මාධ්‍යයක් ලෙස සැලකෙන මුද්‍රානාට්‍ය නැතහොත් නෘත්‍ය නාට්‍ය කලාව, නර්තන චලන මගින් ප්‍රකාශ කෙරෙන නාට්‍ය ප්‍රවර්ගයක් ලෙස හඳුනා ගැනීම වඩාත් උචිතය. අදාළ තේමාව හෝ කථා සංකල්පය ප්‍රකාශ කිරීම සදහා නිර්මිත සංගීත රචනාවක් ප්‍රධාන පදනම ලෙස ගෙන නර්තන වින්‍යාස ශිල්පියකු විසින් නර්තන චලන හා ස්වභාවික ශාරිරික චලන, නාට්‍යමය අභිනය මෙන්ම සමූහ කණ්ඩායම් චලන රටා , වෘතාන්තයක් හෝ නාට්‍යමය සංකල්පයක් දිගහැරෙන භාව ප්‍රකාශනයක් ලෙස සැලසුම් කොට වේදිකාවේ එළිදැක්වීම මුද්‍රානාට්‍යයේ මූලික ක්‍රියාවලිය යි. මුද්‍රානාට්‍යය සැලකෙන්නේ නර්තන වින්‍යාස නිර්මාණකරුවාගේ කලා මාධ්‍යය ලෙස ය.රිද්මයානුකූල සහ ප්‍රකාශනාත්මක මිනිස් ශරීර චලන මගින් ඉදිරිපත් කැරෙන ඉතා ඉසියුම් කලා මාධ්‍යයක් ලෙස ලොව පුරා ප්‍රේක්ෂක විචාරක ආකර්ෂණය දිනූ මුද්‍රානාට්‍ය කලාව අද වන විට තවත් කලා මාධ්‍ය ලක්ෂණ ද උකහා ගනිමින් විවිධ දිශාවන් වෙත ද විවිධ උප ශානරයන් ලෙස ද වර්ධනය වී ඇත.
රවිබන්දු සිය පළමු මුද්‍රා නාට්‍යය වූ “තුන්වැන්නා” නිර්මාණය කරන්නේ 1984 දී ය. එතැන් සිට වසර හතළිහක් ඉක්මවා ගිය ඔහුගේ කීර්තිමත් නර්තන දිවියේ පැන නැගෙන ප්‍රධාන කලා ප්‍රකාශන මාධ්‍යය කුමක්දැයි විමසා බලන විද්‍යාර්ථීයකුට හෝ විද්වත් රසිකයකුට වහා අවධානයට ලක්වන්නේ නර්තන වින්‍යාසය හා මුද්‍රානාට්‍ය අධ්‍යක්ෂණය යි. සම්ප්‍රදායික නර්තනය වේදිකාව සකස් කිරීමේදී ඔහු දක්වන ප්‍රමිතිගත කුසලතාව වඩාත් ජනප්‍රිය වී ඇතත් ඔහුගේ වඩා නිර්මාණාත්මක සහ පුළුල් සංස්කෘතික දායකත්වයක් ප්‍රකට කළ කලා භාවිතාව වන්නේ මුද්‍රානාට්‍ය හා කෙටි නව නර්තනාංගවල රංග වින්‍යාසය යි.
මෙරට මුද්‍රානාට්‍ය කලාවේ චිත්‍රසේනයන් විසින් මනා ප්‍රමිතියක් ඇතිව ස්ථාපිත කරන ලද වෘතාන්ත මූලික මුද්‍රානාට්‍ය ආකෘතිය තවදුරටත් විවිධ දිශාවන් කරා වර්ධනය කිරීමේ යම් දැනුම්වත් උත්සාහයක් ගනු ලැබුවේ රවිබන්දු විසින් බව පැහැදිලිය. පසුගිය දශක තුන ඉක්මවන කාලයක් තිස්සේ රවිබන්දු විසින් නිර්මිත විස්සකට අධික මුද්‍රානාට්‍ය හා කෙටි මුද්‍රානාට්‍ය ප්‍රමාණය විමසා බැලුවහොත් එය හඳුනා ගැනීමට හැකිය. ලාංකේය මුද්‍රානාට්‍යය හුදෙක් නර්තන චලන මගින් සරල කතාන්දරයක් කියාපාන මාධ්‍යයකට සීමා නොකොට එය ප්‍රබල ප්‍රකාශනාත්මක කලාවක් බවට පත්කර ලීම සඳහා ඔහු ගත් එක් වටිනා ප්‍රවේශයක් වන්නේ සිය මුද්‍රානාට්‍ය සඳහා කතා තේමාවන් හා සංකල්ප සඳහා විශ්ව සාහිත්‍යය හා බටහිර නාට්‍ය කලාව පාදක කරගැනීම යි.
සිය පළමු මුද්‍රානාට්‍යය වූ “තුන්වැන්නා” සඳහා ඔහු පාදක කරගත්තේ බයිබලයේ එන ආදම් ,ඊවා හා සාතන් පිළිබඳ පුවතයි. ඔහුගේ රෝමියෝ ජුලියට්, මැක්බත් හා ඔතෙලෝ මුද්‍රානාට්‍යවලට පදනම් වූයේ ශේක්ස්පියර්ගේ එනමින් යුතු නාට්‍යවල කතා පුවත් හා චරිත ය. ඊඩිපස් හා බන්ධනය නම් මුද්‍රානාට්‍ය යුගල සඳහා තේමා වූයේ ඊඩිපස් හා ප්‍රොමිතියස් නම් ග්‍රීක නාට්‍යවල මූලික කතා තේමාවන් ය. තෙවැනි ව්‍යසනය නෘත්‍ය නාට්‍යය, රාජ්‍යත්වය හා බලය පිළිබඳ චීන උපමා කථාවක් මත පදනම් වූවකි. තෘෂ්ණා මුද්‍රානාට්‍යය, දොජෝ විහාරය නම් ජපන් නෝ නාට්‍යය මුද්‍රානාට්‍ය මාධ්‍යයට නැංවීමකි. ජුදාස් , හා සැලෝමි යන කෙටි මුද්‍රානාට්‍ය යුගල ශුද්ධ බයිබලයේ එන චරිත කීපයක් පිළිබඳ නාට්‍යමය ප්‍රතිනිර්මාණය කිරීමකි .යුද්දෙන් මිහිදන් වූ දරුවෝ කෙටි මුද්‍රානාට්‍යයට පදනම් වූයේ ග්‍රීසියේ ජාතික කවියා ලෙස සැලකෙන නූතන කවියකු වූ ඩයිනෝසියස් සොලොමෝස් ගේ යුද විරෝධී කාව්‍යයකින් කොටසකි.මෙසේ රවිබන්දු විසින් ගත් අභියෝගාත්මක නිර්මාණ ප්‍රවේශය නිසා ලාංකික මුද්‍රානාට්‍යයේ තේමාව හා විෂය ක්ෂේත්‍රය සරල පැරණි ගැමිකතා ,මිථ්‍යා කතා හෝ ලංකා ඉතිහාසය දිගහැරීමේ කතාන්දර ඉක්මවා වඩාත් පුළුල් වූ බව පැහැදිලිය. මේ තත්ත්වයන් මේ නිර්මාණ නරඹා මෙරට වේදිකා නර්තන ඉතිහාසය පිළිබඳ සංදර්භයක තබා වැඩිදුරටත් විමසා බැලිය යුතුය.
අපේ මුද්‍රානාට්‍ය හා නිර්මාණ නර්තනවල ආකෘතිය වෙනස් කිරීමටත් වෙනත් ප්‍රකාශන මානයන් වෙත ඔසවාලීමටත් රවිබන්දු විද්‍යාපති කළ නිර්මාණාත්මක මෙහෙය දැන හදුනාගැනීමට නම් ඔහුගේ නිර්මාණවල ආකෘති විමසා බැලිය යුතුය .”තුන්වැන්නා “,රෝමියෝ ජුලියට් “ වැනි ඔහුගේ මුල්කාලීන නිර්මාණ වැඩිමනත් ලෙස දක්නට ලැබුණේ යම් රේඛීය ආඛ්‍යානයක් අනුගමනය කළ මුද්‍රානාට්‍ය ආකෘතියකි.
මුද්‍රා නාට්‍ය ආකෘති
එහෙත් “මැක්බත්”, “ ඔතෙලෝ “ මුද්‍රානාට්‍ය දෙකම රේඛීය ආඛ්‍යානයක් ලෙස ගොඩනගා නැත. මැක්බත් මුද්‍රානාට්‍යය, නූතන හමුදා නිලධාරියකු හා මායාකාරියන් තිදෙනා අතර හමුවීමක් ලෙස ගොඩනගාගත් පූර්ව රංගයක් සමග ආරම්භ වී අවසානයේ මැක්බත් ගේ මරණයෙන් පසුව නැවත මායාකාරියන් හා හමුදා නිලධාරියා අතර හමුවීමක් සළකුණු කරන අපර රංගයක් සහිත ආකෘතියක් දිගහැරේ. ඔතෙලෝ මුද්‍රානාට්‍යය ආරම්භ වන්නේ වේදිකා පසුතලයේ සෙවනැලි චිත්‍ර ලෙස සිතුවම් කර ඇති ප්‍රධාන චරිත හතර සජීවී රංගනයට එක්වෙමින් ඔතෙලෝ කතාව වේදිකාවේ රගදැක්වෙන අන්දමේ නර්තන ආකෘතියක් සමග ය. “ඊඩිපස් “ හා “ජුදාස්” කෙටි මුද්‍රානාට්‍යයන් ප්‍රධාන චරිතවල අතීතාවර්ජන යොදාගනිමින් පදනම් කරගත් නාට්‍යමය සංගීත රචනා වලට සංවේදී වෙමින් යොදාගත් නර්තන වින්‍යාසයන් සහිත නාට්‍යාකාර ආකෘතියක් දක්වයි. වසන්තයේ යාගය(rite of spring ) මුද්‍රානාට්‍යය ප්‍රතිනිර්මාණය කරන්නේ ඉගෝර් ස්ට්‍රැවින්ස්කි රුසියානු සංගීතවේදියා පූර්වයෙන් නිර්මාණය කළ මුද්‍රානාට්‍ය සංගීත රචනයක් හා එම පුවතට සංවේදී වෙමින් එය කිසියම් බටහිර පෙරදිග ප්‍රකාශණ හා රංග වින්‍යාසයන් මුසුකිරීමේ ආකෘතියකි. (වසන්තයේ යාගය කෘතිය 1913 පළමුවරට වේදිකාගතවූයේ රුසියානු නර්තනවේදී වස්ලාව් නිජින්ස්කි ගේ මූල රංග වින්‍යාසය සමග ප්‍රංශයේ දීය. ලොව නූතන මුද්‍රානාට්‍ය කලාවේ මුල්පොතක් බදු කෘතියක් වූ rite of spring ,පසුකාලීනව ලියොනාඩ් මැසින්, කෙනත් මැක්මිලන් ,මොරිස් බෙජා, මාර්තා ග්‍රැහැම්, පිනා බවුච්, උවෙ ශෝල්ට්ස් සහ අක්‍රම් ඛාන් වැනි ලොව විශිෂ්ට නර්තන වින්‍යාස ශිල්පීන් විසින් ප්‍රතිනිර්මාණය වූ ප්‍රබල මුද්‍රානාට්‍ය කෘතියකි.) රවිබන්දු ගේ තවත් ඇතැම් නර්තන අංග හා කෙටිමුද්‍රානාට්‍යවල ඇත්තේ සංධ්වනි සංගීත රචනා දෘශ්‍යගත කිරීමක් වැනි ආකෘතියකි.මෙවැනි නර්තන හා නාට්‍යමය රංග වින්‍යාසයන් නිරතුරුව භාවිත කිරීමෙන් රවිබන්දු මෙරට මුද්‍රානාට්‍යයේ ආකෘතිය ප්‍රබල භාව ප්‍රකාශනයක් දක්වා ඔසවා ලීමට ප්‍රශස්ත දායකත්වයක් දක්වා ඇති බව තවමත් විද්‍යමාන ය. මේ ප්‍රබල සංස්කෘතික දායකත්වය හනාගත හැකි වන්නේ පැතිර ගිය නර්තන හා මුද්‍රානාට්‍ය ප්‍රේක්ෂක සංස්කෘතියක් බිහිවන ස්ථාපිත වන දිනයක ය., රවිබන්දු විද්‍යාපති ගේ පමණක් පමණක් නොව මෙරට බොහෝ පැරණි මෙන්ම වර්තමාන නර්තන කලාරුවන්ගේ නිර්මාණ හා සංස්කෘතික දායකත්වය ගැඹුරින් කියවිය හැකි වර්තමාන සංදර්භයක තබා විමසිය හැකි විචාරවේදයක් හා භාවිතාවක් ගොඩනැගීමට අද මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින විචාරක සුළුතරය ට නම් හැකි වනු ඇත.