Home » අපි ඩාලි හමුවෙමු

අපි ඩාලි හමුවෙමු

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
ධම්මික සෙනෙවිරත්න

විසිවෙනි සියවසේ බිහිවූ පුරෝගාමි චිත්‍ර ශිල්පියෙක් ලෙස පිළිගැනීමට ලක්වන සැල්වදෝර් ඩාලි ගේ අධිතාත්වික ලෝකයේ සරන්නට ඔබට මාර්තු 13 වැනිදා සිට 23 වැනිදා තෙක් පෙ.ව. 10 සිට ප.ව. 6 දක්වා අවස්ථාව ලැබී තිබේ. ඒ, කොළඹ, නාරාහේන්පිට Sky Gallery හිදී පැවැත්වෙන DREAMSCAPES -The Surreal World of Salvador Daly චිත්‍ර ප්‍රදර්ශනයේ දීය. මෙම ප්‍රදර්ශනය ” ෆරීඩ් උදුමාන් කලා පර්ෂදයේ” ඉදිරිපත් කිරීමකි. මුල්කෘතිවල ලක්ෂණ හැකි උපරිමයෙන් රැකගනිමින් එම සිතුවම් කැන්වස මත මුද්‍රණය කර ඇත්තේ විදේශයක දී ය. ඩාලි ගේ නිර්මාණවල හිමිකම් ඇති VEGAP අවසරය සහිතව මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

ඩාලිගේ සිතුවම් මූර්තිරූපී ලක්ෂණවලින් මෙන්ම ගුප්තමය බවින් ද යුතුය. එමෙන්ම ඒවා තාත්වික ලෝකයෙන් දුරස්ථය.ඩාලිගේ සිතුවම් සාමාන්‍යයේ සිට අසාමාන්‍ය කරා යොමු වූ මෙන්ම නරඹන්නාට එම නිර්මාණ තුළ කිමිදී ස්වකීය උපවිඥානය දකින්නට ඉඩ සලසන්නා වූ නිර්මාණ බව කලා විචාරකයන්ගේ අදහසය. පුනරුද යුගයේ සිත්තරුන්ගේ ආභාසය ලැබුව ද ඩාලි තමාට ආවේණික ශෛලියක් ගොඩනඟා ගැනීම කෙරෙහි යොමු විය. සමකාලීන විද්‍යාත්මක සොයාගැනීම් වලින් ආභාසය ලැබූ ඔහු, මනෝවිශ්ලේෂණය කෙරෙහි ද උනන්දු වූයේය. එහි ප්‍රතිඵල ඔහුගේ නිර්මාණවලින් පිළිබිඹු වේ. නිර්මාණ ලෝකයේ දී පමණක් නොව සැබෑ ලෝකයේ දී ඔහුගේ ජීවිතයෙන් ද එකී බලපෑම් දෘෂ්‍යමාන වේ. නොයෙක් ක්ෂේත්‍ර කරා යොමු වූ ඔහු, ආගමික තේමාවන් ඔස්සේ යමින් ද යම් ශික්ෂණයක් ලැබීය. මිනිසා සහ දෙවියන් අතර යම් අන්තර් ජේදනයක් ඔහුගේ නිර්මාණ ලෝකයේ දී දැකිය හැකිවන්නේ එහෙයිනි.

සැල්වදෝර් ඩොමින්ගෝ ෆෙලිප් ජසින්ටෝ ඩාලි, 1904 මැයි 11 වැනිදා උපත ලැබුවේ ස්පාඤ්ඤයේ වෙරළාසන්න ගම්මානයකය . කුඩා කල පටන්ම බුද්ධිමත් දරුවෙක් වූ ඔහු තුළ චිත්‍ර ශිල්පයට තිබූ ඇල්ම හා දක්ෂතාව වටහා ගනිමින් ඉදිරියටම යාමට ඔහු දිරිගැන්වූයේ මවය. ඩාලිගේ වැඩිමල් සොයුරා කුඩා කාලයේම රෝගී වී මිය ගියේය. එසේ තිබිය දී සිදුවූ ඩාලිගේ උපත මවුපියන් සැලකුවේ අහිමි වූ දරුවාගේ පුනරුත්පත්තියක් වශයෙනි.

මැඩ්රිඩ් නුවර කලා ඇකඩමියෙන් අධ්‍යාපනය ලබන සමයේ වුවද ඔහු දස්කම් කැපී පෙනිණ . ක්‍රමයෙන් පියාගේ සහාය ද ඔහුට ලැබුණු අතර,උසස් අධ්‍යාපනය ලැබීමටත් පෙරදීම ඔහුට කුඩා කලාගාරයක් තනා දීමට ද මවුපියෝ කටයුතු කළහ. පන්ති කාමරයේ දී ඔහු අපිළිවෙළ ශිෂ්‍යයෙකි. නිතර දවල් හීන දකින්නෙකි. කොණ්ඩය දිගට වවා සිටි ඔහුගේ ඇඳුම් පවා අපිළිවෙළය.

ඩාලිගේ පළමු සිතුවම් දැක්ම පැවැත්වුණේ ද ඔවුන් ජීවත් වූ නිවසේමය. ගල්අඟුරුවලින් කළ නිර්මාණ දැක්මක් වූ එය සංවිධාන කළේ ඔහුගේ පියා විසිනි. පළමු ප්‍රසිද්ධ සිතුවම් දැක්ම ඔහු පැවැත්වූයේ, ෆිගරෙස් රඟහලේදී ය. 16 හැවිරිදි වියේ දී මවගේ අභාවය සිදුවීම ඩාලි කම්පනයට පත්කළ සිදුවීමකි. අනතුරුව පියා ,බිරිඳගේ සහෝදරිය විවාහ කරගත් අතර පිය-පුතු සබැඳියාව දුරස් විය. එසේ වුවද, මවගේ සොයුරිය කෙරෙහි ඩාලි තුළ ගෞරවයක් තිබිණි.

මෙවැනි පසුබිමක යොවුන් වියේදීම ඔහු පැරිසිය බලා පිටත් වූයේ, වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙනි. පැරිසියේදී පැබ්ලෝ පිකාසෝ, රෙනේ මගිරෙට් වැනි සිත්තරුන්ගේ ඇසුර ලබන්නට ඔහු වාසනාවන්ත විය. අධිතාත්විකවාදී සිත්තරෙක් ලෙස ඔහු ඉදිරියට එන්නේ එකී ආභාසය ද සමඟය. ඩාලිගේ විශිෂ්ට නිර්මාණ බොහොමයක් අයත්වන්නේ ද එම මුල් අවදියටය. ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ පාලනය අධිතාත්විකවාදී ශෛලියෙන් බැහැර වීමට නිර්මාණකරුවන් පොලඹවන ලද්දේ වුවද, සිය සිත්තර ජීවිතය ඒ ඔස්සේම ඉදිරියට ගෙනයාමට ඩාලි පසුබට වූයේ නැත. අධිතාත්වික වාදය, ගතිකවාදය, පාරභෞතික විද්‍යාව වැනි විවිධ විෂයය ක්ෂේත්‍ර හා කලා සම්ප්‍රදායන් ඔස්සේ ඩාලි චිත්‍ර කලාව ගැඹුරින් හැදෑරීය. 19 වැනි සියවසේ බිහිවූ සිත්තරුන්ගේ ආභාසය ඔහුට තදින් බලපෑ අතර, ඔහුගේ ජීවන ශෛලිය පවා ඊට සමීප වූවකි. ඇවන්ගාඩ් ගුරුකුලයේ නිර්මාණ මෙන්ම ඩාඩාවාදය ද ඔහුගේ නිර්මාණ ජීවිතයට වඩාත් බලපෑවේය.

ඩාලිගේ සිතුවම් ප්‍රධාන අංශ 3 ක් යටතේ වර්ගීකරණය කළ හැකි බව විචාරක මතයයි. පළමුවැන්න, මිනිසාගේ ලෝකය හා සංවේදනයන්‍ ය. දෙවැන්න, ලිංගික සංකේත වන අතර තෙවැන්න, භාවාත්මක ප්‍රතිරූප ය. චිත්‍ර කලා ක්ෂේත්‍රයේ ඩාලි බොහෝ පර්යේෂණාත්මක වූයේ, 1920 ගණන් වල එනම්, තුරුණු අවදියේමය. සිග්මන් ප්‍රොයිඩ් ගේ කෘති ද ඔහුගේ නිර්මාණ ලෝකයට විශාල වශයෙන් බලපා තිබේ. ලුවී බ්‍රනීල සමඟ සිනමාකරණයට ද ඔහු යොමු වූයේය.

මේ අතර, තමන්ට වඩා වයසින් වසර 10 ක් වැඩිමල් රුසියානු සංක්‍රමණික කතක වූ එලිනා ඩියකොනොවා සමඟ ඇතිවූ ගැඹුරු සම්බන්ධය කෙළවර වූයේ විවාහයෙනි. ඒ වනවිටත් එලිනා විවාහක කතක් වූ අතර ඇයගේ සැමියා, අධිතාත්විකවාදී ලේඛකයෙක් වූ පෝල් එඩුවාඩ් ය. ඩාලිගේ නිර්මාණ ජීවිතයට ද එලිනාගෙන් ලද සහාය විශාල පිටුබලයකි.

ඇවන්ට්ගාඩ් සම්ප්‍රදාය පෙරට ගෙනයාමට ඔවුන් දෙපළම සිය හැකියාවන් මෙන්ම කාලය හා ධනය ද වැය කළහ. ඩාලිගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස ඉහළින් ඇති The Persistence of Memory සිතුවම නිර්මාණය වූයේ ද මේ අවදියේදීය.

කෙසේවුවද, යුද්ධයේ බලපෑම යුරෝපයට ද දැඩිවෙද්දී ඩාලි සහ අධිතාත්විකවාදී ගුරුකුලය අතර ගැටුම් ඇතිවිය.ඒවා එහි ප්‍රමුඛයා වූ අන්ද්‍රේ බ්‍රෙටන් හා ඩාලි අතර ඇතිවූ ගැටුම් බව ඇතැම් විචාරකයන්ගේ අදහසය. කෙසේවුව ද ඒවා කෙළවර වූයේ, ඩාලි ඉන් නෙරපා හරිමිනි. මේ හැලහැප්පීම් මැද වුවද, ඔහු ලන්ඩනයේ දී විත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීය.

දෙවන ලෝක යුද සමයේ සිය බිරිඳ ද සමඟ අමෙරිකාවට සංක්‍රමණය වන ඩාලි යුද්ධය අවසන් වනතුරුම එහි ගතකර 1948 දී ආපසු සියරට බලා පැමිණියේය. සැල්වඩෝර් ඩාලිගේ චරිතාපදානය THE SECRET LIFE OF SALVADOR DALI මැයෙන් 1942 දී නිකුත් කෙරිණි.

1950 ගණන් වලදී ඔහු විශිෂ්ට සිතුවම් ගණනාවක් නිර්මාණය කළේය. ඒවා, විද්‍යාව, ඉතිහාසය මෙන්ම ආගම ද සම්මිශ්‍රණය වූ නිර්මාණ ලෙස සැලකේ. ලෝක තත්වය දකිමින් මේ වකවානුව ඔහු හැඳින්වූයේ,”න්‍යෂ්ටික ගූඪවාදී සමය” වශයෙනි. 1960-70 දශකවල ඔහු බිරිඳ ද සමඟ වෙහෙසුණේ, Dali Theatre ගොඩනැඟීම වෙනුවෙනි.එය අවුරුදු 14 දී ඔහුගේ පළමු චිත්‍ර ප්‍රදර්ශනය පැවැති පරිශ්‍රයම වූ අතර යුද්ධය නිසා විනාශ වී තිබූ නිවස නවීකරණය කෙරුණේ ඩාලිගේම සැලැසුමකට අනුවය. 1974 දී එය විවෘත කෙරිණි.එම ගොඩනැගිල්ල ලොව විශාලතම අධිතාත්වික ඉදිකිරීමකි.

ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගැටලු මධ්‍යයේ ඔහු ආර්ථික පසුබෑමකට ද ලක්වූ අතර 1980 ගණන්වලදී පින්සල හැසිරවීම අපහසුවීමත් සමඟ ඇඳීමෙන් දුරස් විය. එය මෙන්ම 1982 දී සිදුවූ බිරිඳගේ වියෝව ද ඔහුට බලවත් කම්පනයක් විය. එසේ තිබියදී ගින්නකට හසුවීම හේතුවෙන් රෝදපුටුවක් මත ජීවිතය ගෙවීමට ද සිදුවිය. 1989 ජනවාරි 23 වැනිදා සැල්වදෝර් ඩාලි හෘදයාබාධයක් හේතුවෙන් සිය ජීවිත ගමන නිමා කළේ ද තමන් උපත ලැබූ හැදී වැඩුණු පෙදෙසේදීමය.

ඩාලිගේ සිතුවම් අතරින් ප්‍රකට සිතුවම් ගණනාවක් Sky Gallery හි දී ඔබ දකිනු ඇත.ඒ අතරින් Woman of the Head of Flowers නම් මලින් සැදුණු හිසක් ඇති කාන්තාවගේ සිතුවම ඔහු නිමවූයේ 1935 වසරේ දීය. එනම්, නිර්මාණ ජීවිතයේ අතිශය නිර්මාණශීලි යුගයේ කළ සිතුවමකි. එමෙන්ම මේ, ඔහු ප්‍රේමයෙන් වෙළී සිටි අවදියයි. එහි නිරූපිත ප්‍රධාන චරිතය වන කාන්තාවගේ හිස එලෙස වෙනස්ව නිර්මාණය කිරීම මඟින් අතාත්ත්විකවාදී නිර්මාණකරුවෙක් ලෙස ධනවතුන් තුළ ඇති අරුචිය නිරූපණය කර ඇති බව ඇතැම් විචාරකයන් ගේ අදහසය. හිස මලින් නිර්මාණය කිරීමෙන් ස්ත්‍රී ලිංගිකත්වය නිරූපණය කර තිබීමද පැහැදිලි ය.

Mrs.Anna ද නිර්මාණකරුවෙක් ලෙස ඔහුගේ ගැඹුර දක්වන සංකීර්ණ සිතුවමක් ලෙස විචාරකයෝ සළකති. One Second Before Awakening සිතුවමේ නිරූපිත වැතිරී සිටින නිරුවත් ස්ත්‍රිය දෙසට ගිනි අවියක් මෙන්ම පුපුරා ගිය දෙළුම් ගෙඩියකින් පිට වන මත්ස්‍යයෙකුගේ මුවින් පිටතට එන රෞද්‍ර කොටියෙක් කඩාපනින්නේ තවත් කොටියෙක් සමඟය. ඩාලිගේ සිතුවම්වල හමුවන සතුන් අතර බොහෝ විට සිටින අලියෙක් ද එහි වේ. ඩාලි කෙරෙහි ප්‍රොයිඩියානු බලපෑම ද මින් පිළිබිඹු වේ.

ඩාලිගේ විශිෂ්ටම සිතුවම ලෙස විචාරකයන් ඉහළින් තබන්නේ The Persistence if Memory චිත්‍රයයි.1931 දී අඳින ලද එය අඟල් 9.5 × 13 ප්‍රමාණයේ කුඩා සිතුවමකි. ඔහුගේ නිර්මාණවල නිතර හමුවන කැටලෝනියා පාල් කඳුවැටිය මෙන්ම වෙරළ ද ස්වභාවික දසුන් ලෙස එහි පවතින්නේ චීස් කුට්ටි මෙන් දියවී වැගිරෙන ස්වභාවයක් පෙන්වන ඔර්ලෝසු මුහුණත් ද සමඟය. ඉන් එක් ඔරලෝසුවක අපැහැදිලි මිනිස් මුහුණක් ද තිබේ.

මේ සිතුවම අලෙවි වී ඇත්තේ ඇ.ඩො.250 කටය. එය මිලදී ගත් තැනැත්තා විසින් ම මේ අගනා සිතුවම නූතන කලා කෞතුකාගාරයට පරිත්‍යාග කරන්නට යෙදිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division