Home » ගම්පෙරළිය කළ පෙරළිය

ගම්පෙරළිය කළ පෙරළිය

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

දින් සැට වසරකට පෙරාතුව නව වසරක් උදාවූයේ සිරිලක සිනමාවට සුලබ මතක සටහන් කිහිපයක්ම එක් කරමිනි. ජනවාරි 21දා සිරිලක කතානාද වෘත්තාන්ත සිනමාවේ දහ අට වන සංවත්සරය සැමරිණි. පළමු සිරිලක සිනමාපටය සේ සැලකෙන ‘රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා’ සිය හතළිස් වන ජන්ම දිනය සැමරුවේද මේ වසරේදීය. ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ වරක් කී පරිදි එතෙක් භාෂා තිස් ගණනක් කතා කරමින් සිටි ඉන්දියානු සිනමාවට තවත් බසක් එක් කළ සිරිලක සිනමාව, වඩා හරවත් ලකුණු පළ කිරීම අවිඥානකව වුව ඇරඹු සිරිසේන විමලවීරගේ ‘පොඩිපුතා’ ට දස වසරක්ද, එහි ප්‍රශස්ත එළැඹුම වන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ට අට වසරක්ද සපිරෙන්නේ මේ වසරේදීය.

මෙසේ උදාවූ 1965 වසර සිරිලක සිනමාවට නව වටිනාකමක් එක්‌ වන්නේ පෙර වසරේ මැයි මස 09 වැනිදා කොළඹ, අශෝකා සිනමාශාලාවේදී පැවැත්වුණු පළමු ‘සරසවිය’ සිනමා සම්මාන උළෙලද නිසාවෙනි. ‘සරසවිය’ සිනමා කලා පුවත්පතේ මෙහෙයවීමෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වාර්ෂිකව සංවිධානය කරන ‘සරසවිය’ සිනමා සම්මාන උළෙල අද හැඳින්වෙන්නේ හෙළයේ මහා කලා මංගල්‍යය ලෙසිනි. ඊට සිනමාව ප්‍රමුඛ වන නිසා ඉස්මතු කරන සිනමා බලය නොතකා හරින්නට කිසිසේත්ම නොහැකිය.

මෙසේ පැවැත්වුණු පළමු ‘සරසවිය’ සිනමා සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමීම සඳහා සලකා බැලුණේ 1960 -1963 දක්වා වූ කාල වකවානුව තුළ මුල් වරට ප්‍රදර්ශිත සිරිලක සිනමාපටයි. හොඳම සිනමාපටය ඇතුළු සම්මාන ගණනාවකින්ම සම්මාන උළෙල සමන්විත විය. සම්මාන විනිසුරන් සේ කටයුතු කළේ විල්මට් ඒ.පෙරේරා, ස්ටැන්ලි අබේසිංහ, විමලා ද සිල්වා, එම්.ජේ.පෙරේරා, එස්.බී. සේනානායක, චාල්ස් අබේසේකර, පියසේන නිශ්ශංක, ලුසිල් අමරසූරිය හා ඩී.ජී.දයාරත්න යන බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහත්ම මහත්මීන්ය. ඔවුන් වෙතින් නිසි ඇගැයුමක් හා තීන්දුවක් ලැබීම සම්බන්ධයෙන් කිසිදු කුකුසක් නොපවතින්නටද ඇත.

සිනමා සම්මාන උළෙලට සමගාමීව ‘සරසවිය’ හා ‘ජනතා’ පුවත්පත්වල පළවූ කුපනය හරහා සිනමාපට කේන්ද්‍රීය සිය මනාපය උක්ත සිව් වසරට අදාළව දැක්වීමේ අවකාශය සිනමා රසික පාඨකයාට උදාවිය. මෙය සම්මාන හා රසික චර්යාව පිළිබඳ සංකථනයකට අනගි නිමිත්තකි. මේ අනුව 1960 – 1963 දක්වාවූ තෙවසර තුළ මුල් වරට ප්‍රදර්ශිත සිනමාපට අතරින් ඉහළම මනාපයක් දිනා ගත්තේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’යි.ඊට මනාප ඡන්ද 35,374ක් හිමි වූ බව වාර්තා වේ.

‘ගම්පෙරළිය’ සම්මාන උළෙලේ විශිෂ්ටතම ජයග්‍රාහකයා වූයේ සම්මාන අටක් සහිතවය. හොඳම සිනමාපටය ‘ගම්පෙරළිය’යි. ඒ වෙනුවෙන් නිපැයුම්කරු ඇන්ටන් වික්‍රමසිංහ සම්මානිත වූයේ සිනමා නිපැයුමේ සම්භාවනීයත්වය පිළිබඳ ප්‍රශ්න කළ ඇතැමුන්ගේ දෑස් අරවමිනි.

හොඳම සිනමාපටයට හිමි සම්මානය සේම අනෙක් සම්මාන සතද කිසිදු බරපතළ විවාදයකට තුඩු නොදුන් වග පෙනේ. මෙකල නම් සිනමා සම්මාන ප්‍රදානයකින් අනතුරුව පැන නැඟෙන වාද විවාද බොහොමයකි. මේවා විෂයෙහි නිශේධනාත්මක අරමුණු නොපවතින බවක් නොපෙනේ. එනමුදු සිරිලක මුල් කාලීන සිනමා සම්මාන ප්‍රදානෝත්සව වෙතින් බරපතළ නොඑකඟතා විද්‍යමාන නොවූ බව සිහිකටයුතුය. ‘ගම්පෙරළිය’ ට හිමි වූ සෙසු සම්මාන වූයේ හොඳම අධ්‍යක්ෂ, හොඳම තිරනාටක රචක, හොඳම නිළිය, හොඳම කැමරා ශිල්පී, හොඳම සංස්කාරක, හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙනි. මෙයට අමතරව රූපණය වෙනුවෙන් වූ ගෞරව සම්මානයකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් හොඳම සිනමා අධ්‍යක්ෂ සම්මානය හිමි කර ගන්නේ අනාගත සිරිලක සිනමාවේ රුව හා ගුණ පිළිබඳ ප්‍රබල අනාවැකියක්ද පළ කරමිනි.

1965 වසර උදාවූයේ ‘ගම්පෙරළිය’ නිසා සිරිලක සිනමාවට තවත් සුවිශේෂත්වයක් ගෙන එමිනි. මේ සිරිලක සිනමාව එතෙක් මෙතෙක් ලද ඉහළම අන්තර්ජාතික පිළිගැනීමක්ය යන්න පැහැදිලිය. වසර 18ක කෙටි වෘත්තාන්ත සිනමා ඉතිහාසය තුළ වෙසෙසින් කැපී පෙනුණු මේ පිළිගැනීම වැඩිපුරම අගය කරන්නට වූයේ පසුකාලයේදීය. සිරිලක වෘත්තාන්ත සිනමාවට 78 වසරක් සපිරුණු මෙසමයේ පවා ‘ගම්පෙරළිය’ හි විශිෂ්ටත්වය අඩු නොවේ.

එසමයේ ලොව පළමු පෙළේ සිනමා උත්සව නියෝජනය සිරිලක සිනමාවට පහසු නොවූ බව පැහැදිලිය. ආගමන විගමන නීති, අන්තර්ජාතික සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් සේම උපශීර්ෂ පාඨ යෙදීම බඳු තාක්ෂණික අවශ්‍යතා මෙතැනදී තීරණාත්මක වන්නට ඇත. කෙසේ නමුදු ලෙස්ටර්ගේම ‘රේඛාව’ අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයක සිරිලක නියෝජනය වූ බව සඳහන් කළ යුතුය. ‘ගම්පෙරළිය’ද අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයක් නියෝජනය කළ වග සිහිකටයුතුය. සිනමාපටයක රුව ගුණ පිළිබඳ නිසි තක්සේරුවක් ලබා ගැනීමට ඇති ප්‍රශස්තම අවකාශයක් වනුයේ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනයයි.

1965 වසරේ ජනවාරි මස 08 වන දින සිට 21 වන දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි හි පැවති තුන්වන නවදිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේ ඉහළම සම්මානයක් ‘ගම්පෙරළිය’හිමි කර ගන්නේ සියලු සිරිලක සිනමා රසිකයන් තුළ අපමණ ප්‍රහර්ෂයක් ඇති කරමිනි. සිනමාව නොහඳුනන, සිනමාව බැහැර කරන, සිනමාවට නොකැමැති සිරිලක පාර්ශ්වද ‘ගම්පෙරළිය’ ලද මේ සම්මානය නොපැකිලව අගය කළහ. මේ උළෙලේ ප්‍රමුඛතම සම්මානයක් වන ‘රණ මයුර’ සම්මානයයි.

මේ අනුව ‘ගම්පෙරළිය’ ලද මේ අගනා සම්මානයේ සැට වන වසර ප්‍රහර්ෂයෙන් සමරන්නට වත්මන් විදග්ධ සිනමා රසිකයන්ද, පෙර කී පාර්ශ්වයන්ගේ වත්මන් පිරිස්ද සිනමා බලධාරීන් සමඟ නොපැකිලව එකතු වනු ඇත.

උළෙල විවෘත කළේ එවක ඉන්දියානු ජනපති පදවිය දැරූ සර්වපල්ලි රාධක්‍රිෂ්ණන්ය. උළලේ ප්‍රධානත්වය දරුවේ කීර්තිමත් ඉන්දියානු සිනමාකරු සත්‍යජිත් රායිය. මේ වන විට සත්‍යජිත් රායි ‘පතෙර් පංචාලි’, ‘අපරාජිතෝ , ‘අපූර් සංසාර්’, ‘ජල්සඝර්’, ‘තීන් කන්‍යා’, මහානගර්’, ‘චාරුලතා’ යන ඉන්දියානු සිනමාව ලොවට විවර කළ අගනා සිනමාපට නිමවා සිටි බව සඳහන් කිරීමද වැදගත්ය.

මෙසමයේ ලොව වඩාත් බලපෑම් සහගත සිනමා උළෙල අතරට නවදිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලද ඇතුළත්ව තිබිණි . සෙසු සම්මාන උළෙල පැවැත්වූයේ ප්‍රංශයේ කාන්ස්, ජර්මනියේ බර්ලින්, ඉතාලියේ වැනිස්, චෙකොස්ලොවැකියාවේ කාර්ලොවි වාරි හා සෝවියට් දේශයේ මොස්කව් යන නගර පාදකවය. මේ අතර අමරිකා එක්සත් ජනපදයේ ඇකඩමි සම්මාන උළෙලද කැපී පෙනුණි.

හොඳම සිනමාපටයට හිමි ‘රණ මයුර’ සම්මානය ‘ගම්පෙරළිය’ හිමි කර ගන්නා විට මීළඟ ප්‍රමුඛ සම්මානය හිමි කර ගන්නේ ඉන්දීය සිනමාකරු තපාන් සිංහගේ ‘නිර්ජන් සයිකේට්’ සිනමාපටයයි. උළෙල නිම කළේ ග්‍රීක් – අමරිකානු සුප්‍රකට සිනමාකරු එලිසා කසාන්ගේ ‘අමරිකා අමරිකා’ සිනමපටයෙනි.

සම්මාන උළෙල පිළිබඳ අගනා විස්තරයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් පසුකාලීනව කුමාර් ද සිල්වා අබියස කරනු ලබන්නේ තිරය මත සේම තිරය පිටුපසද සියුම් පෙළ ගැසීම් තිබෙන බව ඉඟි කරමිනි. ‘Lester by Lester as told to kumar de Silva’ යන මේ විමසුම් ගත ‘ලෙස්ටර් පවත’ මැයෙන් සිංහලට පරිවර්තනය කළේ පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – සිනමා විචාරක අතුල සමරකෝන් ය. ලෙස්ටර්ගේ සියලු සිනමාපට විෂය වන මේ විමසුම් ගත වෙසෙසින්ම ලෙස්ටර්ගේ ඒ ඒ අත්දැකීම් විවරණයට ලැබෙන මාහැඟි අවස්ථාවකි. ලෙස්ටර් තමන්ගේ සියලුම සිනමාපට අරභයා කරුණු දක්වයි. ඇතැම් කරුණක් අතිශයින්ම විවාදාත්මකය. ‘ගම්පෙරළිය’ ලද ‘රණ මයුර’ සම්මානය පිළිබඳ අදහස්ද එසේම වන බව පෙනේ.

උළෙලේදී සිනමාපටය පළමුව තිරගත කළේ නිසි පිළිවෙලට නොවන බව මෙහිදී ලෙස්ටර් අවධාරණය කරන්නේ සදය උපහාසයකිනි. යළි එය තිරගත කරන විට සිනමාශාලාවේ විචාරකයන් නොසිටීම සම්බන්ධයෙන්ද ඔහුගේ අවධානය යොමුවේ. කෙසේ නමුත් ‘ගම්පෙරළිය’ට ‘රණ මයුර’ සම්මානය ලැබීම පිටුපස සත්‍යජිත් රායිගේ මූලිකත්වයෙන් යුතු විනිසුරු මඬුල්ල සිටි බවයි ඔහු කියා සිටින්නේ. ප්‍රංශයේ සෝර්බෝන් සරසවියේ ව සිනමා අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය ජෝර්ජ් සදූල්, චෙක් සිනමා ඇකඩමියේ මණ්ඩපාධිවරයාව සිටි බ්‍රව්සිල්,විශිෂ්ට සෝවියට් සිනමාකරු ෂලටකුව්, එබඳුම පෝලන්ත සිනමාකරු අන්ද්‍රේ වජ්ඩා හා බ්‍රිතාන්‍ය සිනමාවේ විශිෂ්ටයකු වූ ලින්ඩ්සේ ඇන්ඩර්සන් ද විනිසුරු මඬුල්ල නියෝජනය කළ බව ලෙස්ටර් තවදුරටත් පවසයි.

ලෙස්ටර් පවසන විවාත්මකම කරුණ වනුයේ ‘ගම්පෙරළිය’වෙත ‘රණ මයුර’ සම්මානය පිරිනමන්නට සත්‍යජිත් රායිට ඇවැසි නොවුයේය යන්නයි. ඊට අදාළ තවත් කරුණු කිහිපයක්ද ලෙස්ටර් මෙතැනදී ඉදිරිපත් කරන්නේ එම ප්‍රකාශයේ නිරවද්‍යතාව තහවුරු කරමිනි.එවක සත්‍යජිත් රායි හා තමන් අතර ගැඹුරු මිත්‍රත්වයක් තිබූ බවත් ලෙස්ටර් මෙහිදීම කියා සිටී.

ලෙස්ටර් මෙම අදහස් දැක්වීමේදී තවත් විවාදාත්මක අදහසක් ඉදිරිපත් කරයි. එනම් ‘රණ මයුර’ සම්මානය ‘ගම්පෙරළිය’ වෙත පිරිනැමීම සුදුසුය යනුවෙන් සාකච්ඡාව ඇරඹුවේ පෝලන්ත සිනමාකරු අන්ද්‍රෙයි වජ්ඩාය යන්න සමඟිනි. එහිදී වජ්ඩා ‘ගම්පෙරළිය’ සිනමාපටය චෙකොවියානු හා රුසියානු ලකුණු විශද කළ බව පැවසුවේ යැයි ලෙස්ටර් සඳහන් කරයි. සමකාලීන හා පසුකාලීන සිනමා විචාරකයන් බොහෝ විට ‘ගම්පෙරළිය’ ඇතුළු ලෙස්ටර්ගේ සිනමාපට හා සත්‍යජිත් රායිගේ සිනමා භාවිතය අතර සමානතා ගෙන හැර පෑම සමඟ මේ අදහස එකඟ නොවන වග පෙනේ.

විටෙක ලෙස්ටර්ගේ හා රායිගේ සිනමා පිවිසුම් හැඳින්වූයේ ‘ධ්‍යානශීලී’ සිනමා භාවිතයක් ලෙසිනි. රායිගේ සිනමා භාවිතය පුරාම ඉන්දියානු හා පොදුවේ දකුණු ආසියානු රිද්මය දක්නට ලැබෙන්නේ සුලබ ලකුණක් සේය. වෙසෙසින්ම රායිගේ මුල් කාලීන සිනමාපට වූ ‘පතෙර් පංචාලි’ , ‘අපරාජිතෝ’ හා ‘අපූර් සන්සාර්’ යන සිනමාපට අවලෝකනයකදී මෙකරුණ පහසුවෙන් පසක් කර ගන්නට පුළුවන. ලෙස්ටර්ගේ ‘රේඛාව’, ‘ගම්පෙරළිය’, රන්සළු’, ‘ගොළු හදවත’ , ‘අක්කර පහ’ හා ‘දෑස නිසා’ යන සිනමාපට ප්‍රතිවිවරණයකදීද රායිගේ උක්ත සිනමාපට සිහිපත් වීම නොවැළක්විය හැක්කකි.

වසර 1965 දී සිරිලක සිනමාවට මතු නොව සිරිලකටම ඉමහත් ගෞරවයක් දිනා දුන් ‘ගම්පෙරළිය’ වත්මන් සිනමා විද්‍යාර්ථීන්ගේද අධ්‍යයන කාර්යයන් සඳහා උපයෝගී කර ගන්නා සිනමාපටයකි. සිරිලක සිනමාවේ මං සලකුණු විමසන කිසිදු අවස්ථාවකදී ‘ගම්පෙරළිය’ බැහැර නොවේ. සුවිශේෂ පසු අවස්ථා ද්විත්වකදීම ‘ගම්පෙරළිය’ සිය අභිමානය සුරක්ෂිත කර ගත් බවද මෙහිදී සනිටුහන් කළ යුතුමය.

මෙයින් පළමුවැන්න වනුයේ සිරිලක කතානාද වෘත්තාන්ත සිනමාවට විසි පස් වසරක් සපිරීම නිමිත්තෙන් ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය වසර 1972 දී එතෙක් නිර්මිත හොඳම සිනමාපට සමුච්චය නම් කරලීමේදී ‘ගම්පෙරළිය’ පළමු ස්ථානයට පත්වීමයි. වසර 1997 දී සිරිලක කතානාද වෘත්තාන්ත සිනමාවේ ස්වර්ණ ජයන්ති සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා විචාරක මනාපයෙන් එතෙක් ප්‍රදර්ශිත හොඳම සිනමාපට තෝරා ගනිද්දී ‘ගම්පෙරළිය’ ට දෙවන ස්ථානය හිමිවිය.

සිරිලක කතානාද වෘත්තාන්ත සිනමාවට 75 වසරක් සපිරීම නිමිති කොට ගෙන ‘සරසවිය’ සිනමා කලා පුවත්පත සංවිධානය කළ එතෙක් ප්‍රදර්ශිත හොඳම සිනමාපට පිළිබඳ සිනමා විචාරකයන්ගේ හා සිනමාකරුවන්ගේ මත විමසුමේදීද ‘ගම්පෙරළිය’ ට ඉහළ පිළිගැනීමක් ලැබිණි.

දැන් උදාවී ඇත්තේ සිරිලක වෘත්තාන්ත සිනමාවේ සිය වැනි වසර මහත් අභිමානයෙන් සැමරිය හැකි සමයකි. ලෝක සිනමාවට ඇත්තේ වසර 130ක ඉතිහාසයක් වීමත්, සිරිලක පළමු සිනමා දර්ශනය වසර 1898දී පැවැත්වීමත් යන කාරණාද මෙහිදී සැලකිල්ලට ගැනීම සප්‍රයෝජනවත්ය. මේ අනුව වසර සියයක හොඳම සිරිලක සිනමාපට කවරේදැයි යන මත විමසුමක් සිනමාවට නොයෙක් අයුරින් සම්බන්ධ පාර්ශ්ව සහභාගී කර ගෙන පැවැත්වීමේ ඉඩ හසර විවරව පවතී. මෙබන්දකදී නිරනුමානවම ‘ගම්පෙරළිය’ වෙත ප්‍රශස්ත වටිනාකමක් හිමි කර දෙනු ඇතැයි සිතේ. හරියටම සැට වසරකට පෙරාතුව නවදිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘රණ මයුර’ සම්මානය ඊට පිරි නැමීම වඩා සහේතුක වන්නට මෙයද ඉවහල් කොට ගත හැකිය.

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division