Home » යුගයේ කලාවේ ඉරණම

යුගයේ කලාවේ ඉරණම

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
මංජුලා විජයරත්න

AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය බොහෝ ක්ෂේත්‍රවල පරිවර්තනීය වෙනසක් ඇති කර තිබේ. එහිලා වඩාත් ම කැපී පෙනෙන්නේ කලාත්මක නිර්මාණ කෙරෙහි කෘත්‍රිම බුද්ධිය මඟින් ඇති කෙරෙන බලපෑම ය. මේ ගැන කතා කරන ඇතැම් විද්වතුන් සඳහන් කරන්නේ මිනිසා සිදු කරන කලාත්මක නිර්මාණත්, කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් යන්ත්‍රාධාරයෙන් (පරිගණක යන්ත්‍ර) කෙරෙන කලාත්මක නිර්මාණත් බෙදා වෙන් කෙරෙන රේඛාව මේ වනවිට බොඳ වී ගොස් ඇති බව ය. මෙය හුදෙක් චිත්‍ර මාධ්‍ය සඳහා පමණක් නොව සංගීතය, ලේඛනය, රූප රචනය, කථනය, කාව්‍ය, ප්‍රතිමා කලාව ආදී බොහෝ කලාවන්ට බලපා ඇත. කෘත්‍රිම බුද්ධියෙන් බිහි කෙරෙන එවැනි නිර්මාණ සඳහා ඉල්ලුමක් ඇති වී තිබෙන අතර එනිසා ම ඊට වෙළඳපොළක් ද සෑ දී තිබේ.

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කලාත්මක නිර්මාණයක් කිරීම සඳහා කලාකරුවකු අවශ්‍ය වන්නේ නැත. ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නිර්මාණයක් ලබා ගැනීමට උවමනා වන්නෙ අදාළ මෘදුකාංගය ඉතා හොඳින් පරිහරණය කළ හැකි පරිශීලකයකු පමණි. එවැනි මෘදුකාංග සහ පරිශීලකයන් යොදාගෙන ඉතා ඉක්මනින් නිර්මාණයන් සිදු කිරීමට පුළුවන. අලුතෙන් පොතක් ලියන ලේඛකයකු ගැන සිතන්න. ඔහුට එම පොතේ පිට කවරය ඉතා ඉක්මනින් නිර්මාණය කරගැනීමට කෘත්‍රිම බුද්ධිය ඇදහිය නොහැකි තරමේ වටිනා සම්පතක් වනු ඇත. මන්ද, නිර්මාණකරුවකු ලවා පිට කවරය නිර්මාණය කරවා ගන්නේ නම් ඊට සැලකිය යුතු තරමේ කාලයක් බලා සිටීමටත්, විශාල මිලක් ගෙවීමටත් සිදු වන බැවිනි. කවි ලිවීම, ගීත රචනා කිරීම, පොත් ලිවීම ආදී වශයෙන් වන ලේඛන කටයුතු සඳහා ද කෘත්‍රිම බුද්ධිය මේ වනවිට භාවිතයට ගැනෙමින් තිබේ. දත්ත විශාල ප්‍රමාණයක් එකවර භාවිතයට ගනිමින් ඉතා වේගයෙන් උක්ත නිර්මාණය සිදු කිරීමට කෘත්‍රිම බුද්ධිය සමත් බැවින් වඩාත් සංකීර්ණ ලේඛන කාර්යයන් උදෙසා එය සැකයකින් තොරව භාවිත කිරීමට පුළුවන. එසේ ම නිර්මාණයෙන් නව ආකෘති, නව සංකල්ප හඳුන්වාදීමටත් කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගත හැකි බව සනාතව තිබේ. කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණයක් සිදු කරන විට එහි සංස්කරණ කාර්යය ද ඉතා පහසු ය. ගුණාත්මක බැවින් ඉහළ නිර්මාණයක් ඉදිරිපත් කිරීම සඳහා එකී පහසුකම බෙහෙවින් ම ඉවහල් වේ.

විශේෂ අවශ්‍යතා ඇති අයට ද ස්වකීය නිර්මාණයන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිතයෙන් කර ගැනීමට පුළුවන. ඒ, පෙළ මඟින් රූපය (Text-to-image) නිර්මාණය කිරීම එහි මූලධර්මය වන බැවිනි. මේ නිසා නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා යෑමේ අවශ්‍යතාවක් නැත. එසේ ම කථනය මඟින් පෙළ ද (speech-to-text), පෙළ මඟින් කථනය ද (text-to-speech) සිදු කෙරෙන මෘදුකාංග ප්‍රයෝජනයට ගනිමින් නිර්මාණයන් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පුළුවන. කථන ආබාධ සහිත අයවළුන්ට මේ ශක්‍යතාව පුළුල් ලෙස පරිහරණය කිරීමට හැකි වීම විශේෂත්වයකි. නිර්මාණාත්මක ලේඛනයක වෙනත් භාෂා පරිවර්තනයක් ලබා ගැනීමට කෘත්‍රිම බුද්ධිය පහසුවෙන් යොදා ගත හැකි බව ද අප අමතක නොකළ යුතු ය. කිසියම් නිර්මාණාත්මක ලියවිල්ලක් වෙනත් භාෂාවකට පෙරළා ගැනීමට අවශ්‍ය පරිවර්තකයන් සොයා ගැනීමේ දුෂ්කරතාවත්, පරිවර්තනය වෙනුවෙන් වැය වන කාලය සහ මුදල ගැනත් සලකා බලන විට කෘත්‍රිම බුද්ධිය ඊට භාවිත කිරීමට හැකිවීම ඇත්ත වශයෙන් ම පුදුමාකාර වාසියකි. නිර්මාණ භාවිතයෙහි දී ඇතිවන හිදැස් පුරවා දැමීම සඳහා ඉතා ඵලදායී ලෙස කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි බව කියන්නට මේ නිසා තවත් නිදසුන් අවශ්‍ය නොවනු ඇත.

මිනිසා අතින් කෙරෙන ඕනෑ ම නිර්මාණයක යම් යම් වැරදි සහ දෝෂ තිබෙන්නට පුළුවන. එය ස්වභාවික දෙයකි. දත්ත ගළපමින් ඉතා නිරවද්‍ය නිර්මාණයක් ලබා ගැනීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නට හැකිවීම කලාකරුවන් ලත් සුවිශේෂ පහසුකමකි. අනෙක් අතට කිසියම් නිර්මාණයක් සිදු කරන නිර්මාණකරුවකු තම නිර්මාණය සිදු කිරීමට පළමුව එයට අදාළව විශාල වශයෙන් පර්යේෂණ සිදු කළයුතුව ඇත. ඒ සඳහා කාලය ද, මුදල් ද වැය වේ. ඇතැම් විට ඒ නිර්මාණකරුවාට, මානසික වෙහෙසට අමතරව තොරතුරු සොයා යෑමට සිදුවීම නිසා ඇතිවන කායික වෙහෙස ද උහුලා ගන්නට සිදු වේ. කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණයක් සිදු කිරීමේ දී ඒ කියන කරදර කිසිවක් විඳින්නට සිදු නොවේ. අදාළ මෘදුකාංගවලට අන්තර් ජාලයේ පවත්නා විවිධ තොරතුරු පරිශීලනය කිරීමේ ශාක්‍යතාව ඇත. විද්‍යාත්මක පදනමක් මත පර්යේෂණාත්මක ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව ද ඊට ඇතුළත් ය. එය ම කෙතරම් පහසුකමක් ද?.

අවාසනාවකට මෙන් ඇතැම් පරිශීලකයෝ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් මානව සමාජයට යහපත් නොවන දේ ද නිර්මාණය කරති. ප්‍රංශයේ ලෝක ප්‍රකට අයිෆල් කුලුන ගිනි ගන්නා අන්දම දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ජාලවල පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ව්‍යාප්ත වී ගියේ ය. එම දර්ශන පෙළ කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද ඒවා බව පසුව අනාවරණය විණ. ඇමෙරිකා ජාතික ගායිකාවක වන ටේලර් ස්විෆ්ට් ද පසුගිය වසරේ ජනවාරි මාසයේ දී කෘත්‍රිම බුද්ධි නිර්මාණයක ගොදුරක් බවට පත් වූවා ය. ඇය පෙනී සිටින අසභ්‍ය දර්ශන පෙළක් කෘත්‍රිම බුද්ධි පරිශීලකයකු නිර්මාණය කර තිබුණු අතර එය ද සමාජ මාධ්‍යවලින් ලෝ පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විණ. ඇමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලයේ දී නිව් හැම්ප්ශියර්හි ඇතැම් පිරිස්වලට ජෝ බයිඩන් ජනාධිපතිවරයාගෙන් දුරකතන ඇමතුම් ලැබුණේ ය. එම ඇමතුම් නිසා ඡන්දදායකයෝ විශාල පිරිසක් නොමග ගියහ. පසුව කළ විමසීමක දී තහවුරු වූයේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ කටහඬ ට සමාන කටහඬක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කර ඇති බවකි. මේ නිදර්ශනවලින් පෙනී යන්නෙ කලාත්මක නිර්මාණ බිහි කිරීමට සමත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මිනිසා ම අවභාවිතයට ගත් අන්දම ය.

කෘත්‍රිම බුද්ධිය කලාත්මක නිර්මාණ බිහි කිරීමට භාවිත කිරීමේ දී කලාකරුවන් තවදුරටත් අවශ්‍ය ද යන ගැටලුව මතු වේ. මෙය, මානව සම්පත අවශ්‍ය වන විවිධ වෘත්තීන්වලට තාක්ෂණික දියුණුව ප්‍රතිස්ථාපනය වීමේ අයහපත් පක්ෂයෙහි ම දිගුවක් මිස වෙසෙසින් ම කෘත්‍රිම බුද්ධිය අරභයා මතු වූ ගැටලුවක් නොවේ. එසේ වූවත් කලාත්මක නිර්මාණ, කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සිදු කෙරෙන්නට පටන් ගත් විට තාක්ෂණය සහ තාක්ෂණික මෙවලම් මත යැපෙන සමාජයක් නිර්මාණය කිරීම සඳහා එමඟින් වැඩි දායකත්වයක් සැපයේ යැයි සිතීම අසාධාරණ නැත. අනෙක් අතට, නිර්මාණයන් සඳහා මෘදුකාංග වෙත ලබාදෙන පෞද්ගලික දත්ත අපහරණය වීමට ද ඉඩ ඇත. එවිට පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවීම ස්වාභාවික ය. ගැඹුරු චිත්තවේගයන්, සූක්‌ෂ්ම අර්ථ කථනයන් නිර්මාණවලට එබ්බවීමට තරම් කෘත්‍රිම බුද්ධිය සමත් ද යන ගැටලුව මතු වී ඇත. කෘත්‍රිම බුද්ධිය මඟින් කෙරෙන නිර්මාණ, බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් වන නීතිවලට යටත් නොවන බව ද සඳහන් වේ. ඒ, එම නිර්මාණවල හිමිකාරීත්වයේ පවත්නා අවිනිශ්චිතභාවය හේතුවෙනි. ප්‍රකාශන හිමිකම් ආරක්‍ෂාව මත යැපෙන නිර්මාණකරුවන්ට මේ නිසා ගැටලුවක් මතු වේ.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් වන මේ වාසි සහ අවාසි පිළිබඳ තුලනාත්මකව සිතන විට අවබෝධ වන්නේ නිර්මාණකරුවන් සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහයෝගය සාධනීය නිර්මාණ සමාජයට ඉදිරිපත් කිරීම සඳහා එකට මුසු විය යුතු බව ය. එසේ නොමැතිව එකක් මඟින් අනෙක ප්‍රතිස්ථාපනය කිරීම, මානව සමාජයේ ඉදිරි ගමනට බාධාවක් වනු නිසැක ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division