Home » හබරණ දී දළ කැඩුණේ සුමේධගේම ද?

හබරණ දී දළ කැඩුණේ සුමේධගේම ද?

මේ හරියේ ඉන්න එකම දළ ඇතා සුමේධ

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
සුභාෂිණි ජයරත්න

* 2017 සිට 2024 දක්වා සෑම වසරකම මැයි මස 15 – 25 අතර සුමේධ මින්නේරියට ආවා
* මේ කාලයේ මින්නේරියේ බලවත්ම පිරිමි ඇතා සුමේධ. සුමේධ තමයි ගැහැනු අලින් සමඟ වැඩි වශයෙන් සහවාසයේ යෙදෙන්නේ
* දළවල හැඩයෙනුයි අපි සුමේධ හඳුනාගන්නෙ. ඒත් කැඩුණු දළය පූට්ටු කරන්න බෑ
– පශු වෛද්‍යවරු
* සුමේධ ද නැද්ද කියලා විද්‍යාත්මකව තහවුරු කරගන්න අමාරුයි 
– ආචාර්ය සුමිත් පිලපිටිය

මින්නේරිය සුන්දර කළ තවත් දළ ඇතෙකුගේ අසුන්දර කතාවකි. සුමේධ මින්නේරිය සුන්දර කළ බලසම්පන්න දළ ඇතෙකි. ඒත් පසුගියදා රිටිගල හබරණ සහ මරදන්කඩවල මාර්ගයේ ඇති ප්‍රධාන අලිමංකඩින් ඇසුණේ සුමේධ පිළිබඳ දුක්මුසු පුවතකි. මේ ලිපිය ලියන මොහොත වන විටත් දරුණු ලෙස තුවාල වූ සුමේධ ආගිය අතක් නැත. වනජීවි නිලධාරීන් මෙන්ම ඇවැසි සියලු කණ්ඩායම් එක්ව සුමේධ සොයා දින කිහිපයක් කැලෑ පීරන්නේ සුමේධ ඇතා කෙසේ හෝ සොයා ගනු රිසියෙනි.

සුමේධගේ යැයි සැක කෙරෙන කැඩුණු දළ

සුමේධගේ යැයි සැක කෙරෙන කැඩුණු දළ

රාත්‍රී කාලයට රිටිගල රක්ෂිතයේ සිට මාර්ගය හරහා මාරු වී කැකිරාව, හොරිවිල, පලුගස්වැව යන ප්‍රදේශවල සැරිසරණ වන අලි අතර සිටි සුමේධ ඇතා පසුගියදා දරුණු ලෙස රිය අනතුරකට බඳුන් වන්නේ හබරණ, මරදන්කඩවල පාර මාරු වී රිටිගල රක්ෂිතයට ඇතුළු වීමේදීය. මෙම මාර්ගයේ සිට මීටර් 500ක් පමණ දුරකින් රිටිගල රක්ෂිතය ආරම්භ වෙයි.

එදා අලුයම් කාලයේ සිදුවූ මෙම අනතුරින් සුමේධ ඇතාගේ දකුණු දළය ගැලවී දරුණු ලෙස තුවාල ලබා ඇතා රක්ෂිතයට දිව යන්නේ දරුණු වේදනාවකිනි. මේ සියල්ල සනිටුහන් වන්නේ අදාළ ප්‍රදේශයේ සීසීටීවී කැමරාවකය. සුමේධ ඇතා සෙවීමේ මෙහෙයුම් අංශ කිහිපයක් යටතේ ගෙවුණු සතිය මැද වන විටත් සිදු කරමින් පැවැතුණේ බොහෝ බාධක මධ්‍යයේය. එහෙත් මෙම නිලධාරින් විශ්වාස කරන්නේ දැඩි වේදනාවකින් පසුවන සුමේධ කොහේ හෝ තැනක ඇති බව විශ්වාස කරමිනි. ඒ නිසා සුමේධ හමුවනතුරු තනි අලියෙකු වෙනුවෙන් සිදුකරන මේ මානුෂික සටන ඔහු හමුවන තෙක් අවසන් වන්නේ නැත.‍ රක්ෂිතයේ ඇති ගන වනාන්තර ස්වභාවය, විශාලත්වය මෙන්ම පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් රක්ෂිතය තුළ ඇති කුඩා ජල මූලාශ්‍ර පිරි පැවතීමත් යන කාරණා මෙන්ම තවත් වන අලි 100කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිතය තුළ සිටීම නිසා ඇතා සෙවීමේ කටයුතු තරමක් අසීරු වී ඇත.

සුමේධගේ දළ මුළුමනින්ම ගැලවී මාර්ගයේ වැටෙන්නේ ඉතාමත් අවාසනාවන්ත ලෙසය. අනතුර සිදු වීමෙන් පසු වේගයෙන් දිව ගොස් මීටර් 40ක පමණ දුරක නැවති වේදනාවෙන් ඇඟට පස් ගසාගෙන ඇති බව මෙම මෙහෙයුමට එක්ව සිටින රිටිගල හා ගනේවල්පොළ වනජීවී නිලධාරීන්ට එය සනාථ වූයේ එම ස්ථානයේ වූ ගිනිසීරියා පඳුරක එක් කොළයක ලේ බිඳුවක් තැවරී තිබීමෙනි. ඒ හැරුණුකොට සිදුවීම සිදු වූ ස්ථානයේ සිට මීටර් කීපයක දුරකින් ලේ බින්දු කිහිපයක් මෙන්ම අඩි සලකුණුද පැවැතිණි.

නමුත් මේ අනතුරට මුහුණ දුන්නේ සුමේධමද යන පැනය අලි පිළිබඳ විශාරදයින් මතු කරති. ඉතා කෙටි සී සී ටී වී දර්ශන තවමත් ඒ සැකය නිරාකරණය කිරීමට ඉඩක් නැත. සුමේධ යනු ඇතුන් අතර ජනප්‍රිය නමක් රැන්දු ඇතෙකි. විශේෂයෙන් අලි නැරඹීමට ප්‍රසිද්ධ මින්නේරියේ කලකට නිතරම දැකිය හැකි ඇතෙකු වන්නේ සුමේධය.

“මගේ දැනුමේ හැටියට මේ අනතුරට ලක්වුණේ සුමේධමද කියලා හරියට තහවුරු කරන්න බැහැ. සුමේධ ගැන ගොඩාක් පර්යේෂණ කර ඇති මට සුමේධ වාහනයේ හැපෙන වීඩියෝවෙන් ඒ සුමේධද නැද්ද කියලා තහවුරු කරන්න අමාරුයි. වීඩියෝව තව ටිකක් හෙමින් ධාවනය වුණානම් හරියටම කියන්න පුළුවන්. මින්නේරියේ අලි පිළිබඳ පර්යේෂණ කරන්න ආරම්භ කළ දා සිට 2017 සිට පසුගිය වසර දක්වා සෑම වසරකම මැයි මස 15 – 25 අතර කාලයේ සුමේධ මින්නේරියට එනවා. ඒ මද කිපුණාම. මෙදා පාර සුමේධ මින්නේරියට නාවොත් මේ අනතුර වුණේ සුමේධට කියලා මට හරියටම කියන්න පුළුවන්. මම සුමේධව අවසන් වරට දැක්කේ පසුගිය වසරේ මැයි මාසයේ. මින්නේරිය පාක් එකේ එක කොණක් වන කටුකැලියාව හරහායි සුමේධ මේ කාලයේ මින්නේරියට ඇතුළු වෙන්නේ.

සුමේධ ලොකු ඇතෙක්. වයසත් වැඩියි. විද්‍යාත්මකව හරියටම වයස කියන්න අමාරු වුණත් උස අනුව අවුරුදු 35-50 අතර වයසක ඇතැයි අනුමාන කරන්න පුළුවන්. සුමේධගේ විශේෂත්වය වන්නේ ඌ මින්නේරියේ අලි ගහනයේ ප්‍රජනනය සඳහා විශාල වශයෙන් දායක වන ඇතෙක් නිසා. මැයි, ජූනි මාසවල හීට් එකට එන ගැහැනු අලින්ව භාවිතයට ගන්නේ සුමේධ. ඒ පිළිබඳ වාර්තා තියෙනවා. මේ කාලයේ මින්නේරියේ බලවත්ම පිරිමි ඇතා සුමේධ. මේ බලවත්ම ඇතාට තමයි මේ කාලයේ ප්‍රජනන අවස්ථා වැඩියෙන්ම හිමිවන්නේ. සුමේධ තමයි ගැහැනු අලින් සමඟ වැඩි වශයෙන් සහවාසයේ යෙදෙන්නේ මේ ඇතා විශාල වශයෙන් පැටවුන් බෝ කරන්න දායක වෙනවා.

සාමානයෙන් ගැහැනු සතුන් හොයාගෙන පිරිමි සතුන් එන්නේ මද කිපුණාමයි. ඒ කාලයටයි මින්නේරිය කවුඩුල්ලේ අලි දකින්න ලැබෙන්නේ. එක තැනක ගැහැනු සතුන් ගොඩාක් සොයාගන්න පුළුවන් නිසා සුමේධත් මේ තැනට මේ කාලයේ එනවා. කාලය අවසන් වුණාම සුමේධ ඇතුළු පිරිමි සතුන් මින්නේරියෙන් එළියට යනවා.

මම සුමේධ ඇතාව එළියේ දැකලා නැහැ. මට ආරංචි වෙන විදියට රිටිගල ප්‍රදේශයේ දකින්න ලැබෙනවා. මේ පැත්තේ ඉන්න ලොකු ඇතා සුමේධ නිසා තමයි ගම්මු මේ ඇතා සුමේධ කියලා අනුමාන කරන්නේ. නමුත් මම විද්‍යාත්මකව මේ දෙස බලන නිසාත් මගේ ඇස් දෙකට සියයට සියයක් තහවුරු කරන්න බැරි නිසාත් හැපුණේ සුමේධම කියලා කියන්න අමාරුයි. බොහෝ දුරට සුමේධ වෙන්න පුළුවන් වුණත් ඒ කරුණ මට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මැයි මාසයේ. එක දළක් එක්ක සුමේධ ආවොත් හෝ එසේත් නැතිනම් ආවේ නැතිනම් ඒ හැපුණේ සුමේධ වෙන්න පුළුවන්.

ඇතෙකුට එක දළක් නැති වුණාට ඇත්තු මැරෙන්නේ නෑ. නමුත් වාහනයේ වැදුණු වේගයට මේ ඇතාගේ දළ කැඩුණා. මස් පවා ගැලවුණා. ඒ නිසා තුවාලය දරුණු වුණේ කොතැනද කියලා අපි දැක්කේ නැහැ. දළයක් නැති වුණාට නොමැරුණත් තුවාලය ආසාදනය වුණොත් නම් මැරෙන්න ඉඩ තියෙනවා. ප්‍රතිකාර නොකළත් ආසාදනයක් නොවුණානම් ප්‍රශ්නයක් නැහැ.

මේ ඇතාට වේදනාව තදින්ම දැනෙනවා ඇති. ජීවිතයට විශාල තර්ජනයක් තියෙනවා. තුවාලයේ තරම අපි දන්නේ නැහැ. ඒ නිසා කළ යුත්තේ හැකි ඉක්මනින් සොයාගෙන ප්‍රතිකාර කිරීමයි. මේ ඇතාගේ දළ පූට්ටු කිරීම් ගැන කතා කරනවා. නමුත් එය කරන්න බැහැ. වාහනවලට හොඬවැළ දාන ගැමුණුගේ දළ දෙක අවස්ථා දෙකකදී කැඩුණා. නමුත් දැන් ඒ දළ දෙක අඩියක් වැවිලා තියෙනවා. දළේ මුලින්ම කැඩුණේ නැතිනම් දළය වැවෙන්න ඉඩ තියෙනවා. මුලින්ම ගැලවුණාද නැද්ද යන්න අපි දන්නේ නැහැ. කැඩුණු දළය අනුව කැඩුණේ කොහොමද කියන්න අපි දන්නේ නැහැ.

සුමේධ බොහෝ විට ඉන්නේ තනියම. නමුත් වීඩියෝවේ තව අලියෙක් පන්නනවා වගේ පේනවා. සුමේධ වාහනවලට බය ගතියක් පෙන්වනවා. මින්නේරියේ වාහන ළඟට එන්නේ නැහැ. මේ නිසා පාර මාරුවීමේදී සුමේධ පරිස්සමෙන් යන්නේ. නමුත් මෙතැන අලියා පැන්නීමේ හේතුව දන්නේ නැහැ. සුමේධගේ වම් හෝ දකුණු කකුලේ පොඩි නොණ්ඩියක් තියෙනවා. 2017 ලොකු නොණ්ඩි ගතියක් තිබුණත් දැන් එය සුවවී එනවා. නමුත් දුවපු වීඩියෝවේ මම එය දැක්කේ නැහැ. මෙයත් මට චකිතයක්. ඒ නිසා නොදැක මේ සුමේධයි කියලා මට තහවුරු කරන්න බැහැ.“ ඒ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් හා අලි පිළිබඳ පර්යේෂකයකු වන ආචාර්ය සුමිත් පිලපිටියයි.

අනපේක්ෂිත අනතුරකට ගොදුරු වූ මෙම ඇතා රිටිගල, මින්නේරිය, කවුඩුල්ල, කලාවැව, හබරණ ප්‍රදේශවල සැරිසරන ‘සුමේධ’ නමැති ප්‍රකට ඇතා විය හැකි බවට වැටී ඇති දළය මඟින් හඳුනාගෙන ඇති බව පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය චන්දන ජයසිංහ පවසන්නේය

සුමේධ දළ ඇතා ඡායා­රූපය-සංජය මධු­ෂාන්

සුමේධ දළ ඇතා ඡායා­රූපය-සංජය මධු­ෂාන්

“දළවල හැඩයෙන් අපි හඳුනාගෙන ඇත්තේ මේ ඇතා සුමේධ කියලයි. අපේ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මකයි. නමුත් සොයා ගැනීමට තවමත් හැකි වුණේ නැහැ. ඇතා හමු වූ පසු තුවාලයේ බරපතළකම අනුවයි ප්‍රතිකාර පිළිබඳ තීරණය කරන්නේ. ඇතාගේ දළය නැවත සවි කිරීම ප්‍රායෝගිකව සිදුකළ හැක්කක් නොවේ. දළය මුදුනින්ම ගැලවී යාම නිසා සවි කිරීමේ සම්භාවිතාව අඩුයි. මේ සතා ජීවත් කරන්න පුළුවන්. ඊට තුවාලය බැක්ටීරියා ආසාදනය වීම වළක්වා ගැනීමයි කළ යුතු වන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ළඟදීම සුමේධ ඇතා සොයා ගැනීමට හැකිවෙයි කියා. මේ සතා විශාල ප්‍රදේශයක සැරි සරන නිසා ගැවසීම වැඩියි. අඩි පාර ඔස්සේ සෙවීම් කළත් අනිකුත් අලින්ගේ අඩි පාර නිසා මෙය තරමක් බැරෑරුම්. නමුත් හමුවනකම් සොයනවා… අලියා සොයා ගත් පසුයි අපේ පිරිස් එතැනට යන්නේ. ප්‍රතිකාර කරන්නේ නිර්වින්දනය කරලා. ඊට විශාල සූදානමක් අවශ්‍යයි. අලින්ගේ දළ ඇස ආසන්නයට යන තෙක් තියෙනවා. මේ සතාගේ දළයත් මුලින්ම ගැලවි ගිහින් තියෙනවා.“ ඒ පශු වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය චන්දන ජයසිංහයි.

සුමේධ යනු මින්නේරියේ ගැවසෙන ලොකුම ඇතෙක් මෙන්ම මේ රිටිගල ප්‍රදේශවල ගැවසෙන ලොකුම දළ ඇතා බව මාධ්‍යවේදි සංජය මධුෂාන් පවසන්නේය. ඔහු බොහෝ විට සුමේධ දකින්නේ මේ ප්‍රදේශයේදීය.

“සීසීටීවි දර්ශන සහ මේ දිනවල සතාගේ ගැවසීම හා දළයේ හැඩය අනුව අපිට මේ ඇතා සුමේධ කියලා අනුමාන කරන්න පුළුවන්. මේ හැපුණේ සුමේධ කියලා සියයට 90ක් විශ්වාසයි. සුමේධ පසුගිය කාලයේ මේ හරියේ ඇති කුණු වළක කුණු කකා හිටියා. මේ පළාතේ මේ ආකාරයේ ලොකු දළ ඇතෙක් වෙන නැහැ. එදා උදේ මේ ඇතා ගමේ සිට කැළේ ඇතුළට යන විටයි මේ අනතුර සිදු වුණේ. කවුරුත් නොකිව්වට ගමේ අය අලි වෙඩිල්ලක්වත් දාලා අලි එළවන්න ඇති. අලි කලබලෙන් පාර පනින්නේ ඒකයි. සුමේධත් එක්ක තවත් අලි දෙන්නෙක් එකට හිටියා. සුමේධ අනිත් අලි පැන්නුවා නෙමෙයි. මේ වෙලාවේ අලින් බලන්නේ කැළේ ඇතුළට යන්නයි. සුමේධට මේ කාලයේ මද කිපිලා නැහැ. ඒ නිසා කැළේ ඇතුළට යනවා. පාන්දර එළිය වැටෙන කොට මේ සත්තු ගම් මැද්දේ ඉන්න බයයි. එවිට උත්සාහ කරන්නේ කැළයට රිංගන්නමයි. මේ ඇතා ඕන තරම් පාර මාරු වෙනවා. එ‍ෙළව්වේ නැතිනම් මේ සතා ඔය තරම් වේගයෙන් පාර මාරු වෙන්නේ නැහැ. ඒ මාරු වෙද්දී තමයි ලොරිය එන්නේ. සුමේධව සෙවීමේ මෙහෙයුමට ඩ්‍රෝන යොදා ගත්තා. නමුත් ඩ්‍රෝන යවා ගස් යට ඉන්න අලි සොයන්න අමාරුයි. එහෙමනම් ගුවන් හමුදාවේ ඇති හීට් ඩ්‍රෝන යැවිය යුතුයි. මෙහෙයුම් කරන අය කියන්නේ ඇතා ඉන්නවා කියලයි. …“ ඒ සුමේධ ගැන හොඳින්ම දන්නා සංජය මධුෂාන්ය.

මේ වන විටත් සුමේධ සොයන මෙහෙයුමට වනජීවී කණ්ඩායම් හයක් යොදවා ඇත. ඊට අමතරව ඇතා සිටින ඉසව්ව හඳුනා ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහායද ඉල්ලා ඇති බව වාර්තා වෙයි. ඇතා සොයා ගැනීමට නිරීක්ෂණ කණ්ඩායම් අපොහොසත් වුවහොත් ගුවන් හමුදාවේ ඩ්‍රෝන තාක්ෂණයේ සහාය ලබා ගැනීමට අදහස් කෙරෙයි.

අලි මිනිස් ගැටුමට ලංකාවේ තවමත් විසඳුමක් නොමැත. එහෙත් අලි මිනිස් ගැටුම් පරයමින් සිදුකරන මෙවැනි මානුෂික මෙහෙයුම් මේ ගැටලුව නිරාකරණයට මඟක් සාදන්නේ යැයි කිව නොහැකි ද?

රිය අනතුර සිසීටීවී කැමරාවේ සටහන්ව තිබූ අයුරු

රිය අනතුර සිසීටීවී කැමරාවේ සටහන්ව තිබූ අයුරු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division