දකුණු ලක වෙරළේ පිහිටි ස්වභාවධර්මයා විසින් මවන ලද අපූරු නිර්මාණයක් වන්නේ හුම්මානයයි. මාතර – හම්බන්තොට මාර්ගයේ කිලෝමීටර 184 කණුව වන නාකුළුගමුවෙන් ප්‍රධාන මාර්ගයේ සිට වෙරළ තීරයට පිවිසෙන මාර්ගයේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් යන විට කුඩාවැල්ල – වැලි කැලේ වෙරළ තීරයේ කඳු ගැටයක් මත දී හුම්මානය හමුවෙයි.
මෙය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ. නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ රළු ස්වභාවයක් ගන්නා මුහුදු රළ මෙම කඳු කපොල්ල තුළට වැදීමෙන් මතු කරන ජල දහරාව සහ හූ හඬට සමාන ශබ්දය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හුම්මානය සමත්ව තිබේ.

හුම්මානය ගොඩබිමට දිස්වන අයුරු
දිනකට දෙස් විදෙස් සංචාරකයෝ සිය ගණනක් හුම්මානය නැරඹීමට පැමිණෙති. කුඩාවැල්ල ධීවර වරායට පිටුපසින් වනාන්තර සහිත කුඩා කඳුකර ප්‍රදේශයක හුම්මානය පිහිටා ඇත. මාතර – ගල්ල මාර්ගයෙන් කුඩාවැල්ල පාලම අසලින් කුඩාවැල්ල මාර්ගයට හැරී මීටර 300ක් පමණ යන විට වරාය මාර්ගයට නැවත හැරී යා යුතුය. එතැන් සිට කිලෝමීටර් 1.6ක් පමණ යන විට හුම්මානය පිහිටි ප්‍රදේශය හමුවන අතර එහි ප්‍රධාන මාර්ගය ආසන්නයේ වාහන ගාල්කොට හුම්මානයට ඇතුළුවිය යුතුයි. පා ගමනින් මීටර 500ක් පමණ යෑමට සිදුවන අතර මීටර 400කදී ප්‍රවේශපත්‍ර කවුළුව හමු වෙයි. මෙහි ප්‍රවේශපත් ලබා ගැනීමෙන් පසුව නැවත කුඩා කඳු ගැටයක් නැඟීමෙන් පසු හුම්මානය ඔබට දැකබලා ගැනීමට හැකිය. මෙම ස්ථානය ආරක්ෂිත වැටකින් වටකොට ඇති අතර අවට ප්‍රදේශයද තවමත් කුඩා වනාන්තරයක් හා වන උයනක් ලෙස පවත්වාගෙන යයි.
දෙස් විදෙස් ආකර්ෂණය රැඳි මේ මනස්කාන්ත දර්ශනය දැකගැනීමට දැන් තවත් අවස්ථාවක් විවර කර ඇත්තේය. ඒ සංචාරකයන්ට මෙතෙක් කලක් ගොඩබිමින් පමණක් නැරඹීමේ හැකියාව තිබූ හුම්මානය බෝට්ටුවක් මඟින් මහ මුහුදට ගොස් හුම්මානය ආසන්නයේ සිට නැරඹිය හැකි වන පරිදි බෝට්ටු සේවයක් ආරම්භ කිරීමය.
තංගල්ල ප්‍රාදේශීය සභාව මඟින් මෙම නැරඹුම් ස්ථානය ආරක්ෂා කරන ලදුව නඩත්තු කරන අතර පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම ද සිදු කෙරේ. හුම්මානය අසලට යන එන මඟ කොන්ක්‍රිට්වලින් පඩි පෙළක් සකස් කර ඇති අතර සංචාරකයන්ගේ වෙහෙස නිවා ගැනීමට හා ලැගුම් ගැනීම සඳහා පහසුකම් ඇති කුටියක් ද ඉදිකර තිබේ. දේශීය සහ විදේශීය සංචාරකයන්ට වෙනම වැසිකිළි පද්ධතියක් සකස්කර ඇති අතර, පිරිසුදු පානීය ජලය ජාතික ජල සම්පාදන නළ පද්ධතියකින් සපයා තිබේ. දේශීය සංචාරකයකුගෙන් රුපියල් 50ක ගාස්තුවක් සහ විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් 500ක ගාස්තුවක් එක් නරඹන්නකු වෙනුවෙන් අය කිරීමට මෙහි පිහිටි ස්ථානභාර නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.